සිය නිවසට එල්ල වූ ප්‍රහාරයත් සමඟ මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මෙවර ‘මුහුණට මුහුණ’ කතාබහට එක්වේ.
පහරදුන් අය ගැන මාධ්‍යවේදී
චමුදිත සමරවික්‍රම කතා කරයි
- වසර පහකට ඇෙමරිකා යන්න මට වීසා තියෙනවා. කැනඩාවට වසර දහයකට තියෙනවා
- මම අජිත් රෝහණව, දේශබන්දු තෙන්නකෝන්ව විවේචනය කරල තියෙනවා
- මම බය වුණා කියල කවුරු හරි හිතනවා නම් ඒක විහිළුවක්
- මගේ ඔළුවේ තියෙන සැක සහිත නම් මගේ ඔළුවෙම තිබුණාවේ
- පහුගිය කාලේ මාත් එක්ක හතුරු වෙච්ච අය ඕනෑ තරම් ඇති
මේ වෙද්දී කොහොමද පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය එහෙම. අසූචි ගහපු අය එහෙම අල්ලගෙනලුද?
මගේ නිවසේ තියෙන සී.සී.ටී.වී. කැමරා විසිදෙකක තියෙන දර්ශන විමර්ශනය කරන අයට දීලා තියෙන්නේ. ඒ වගේම මගේ පැත්තෙන් පරීක්ෂණ සඳහා ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. පරීක්ෂණ කණ්ඩායම් ගෙදරට ඇවිත් පරීක්ෂණය කළා. ඒ දේවල් ප්‍රමාදයක් නැතුව සිදුකෙරෙන බවක් පේනවා. සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ කණ්ඩායම් නවයක් පරීක්ෂණයට හවුල් වෙන බව ඔවුන් මට කිව්වා. පරීක්ෂණය සිදුවෙන විදියේ ප්‍රගතියට වඩා ඒකේ ප්‍රතිඵලය දෙස තමයි බලාගෙන ඉන්නේ. ලංකා ඉතිහාසයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ මෙවැනි ප්‍රහාර සම්බන්ධව සිදුකෙරුණු පරීක්ෂණ ගැන ඉතිහාසයේ අපි තොරතුරු දන්නවා. ඒ පරීක්ෂණවල අවසන් තීන්දු බොහෝ විට තාමත් හම්බවෙලා නෑ. ඒ ප්‍රහාරවලට සම්බන්ධ අයට දඬුවම් හම්බවෙලත් නෑ බොහෝ සිදුවීම්වල.
අපි බලාගෙන ඉමු මේ සිද්ධියේ පරීක්ෂණවලට මොකද වෙන්නේ කියලා. ලංකාවේ මෙවැනි සිදුවීම් පරීක්ෂණය කරන්න ඉතා ඉහළ බුද්ධිමත් පිරිස් ඉන්නවනේ. දැන් ඒ අය මේ ගැන හරි තොරතුරු අපිට ලබා දෙන්න ඕනැ. දැන් මේකෙ වගකීම තියෙන්නේ ආණ්ඩුවට.
මේ ප්‍රහාරයට සම්බන්ධ වෙන්න ඇති කියලා යම් යම් අය ගැන ඔබේ ඔළුවෙ සැක සංකා තියෙනවා කියල ඔබ කියල තිබුණා. කවුද ඔබට ගහන්න තරම් ඉඳපු හතුරෝ?
මම හිරු නාළිකාවේ කරපු වැඩසටහන්වලින් වැඩිපුරම කතා කළේ රටේ ජනතාවගේ ප්‍රශ්න. මම ඒ වෙනුවෙන් තමයි හඬ අවදි කළේ. හඬක් නැති මිනිස්සුන්ගේ හඬ වෙන්න මට ඕනෑ වුණේ. ජනාධිපතිගේ ඉඳල පහළ නිලධාරියා දක්වා ඔවුන්ගේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙමින් සාධාරණ විවේචනයක් අපි කරලා තියෙනවා. කාටවත් පෞද්ගලිකව පහර එල්ල කරලා නෑ ඒ කිසිම වැඩසටහනකින් මම. හේතු සහිතව අපි අපේ විවේචනය ඉදිරිපත් කළේ. පහුගිය කාලේ රටේ ඇතිවුණු සෑම ප්‍රශ්නයක් පිළිබඳව අපි මැදිහත් වීමක් කළා. ඒ හැම වෙලාවකම රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. ආණ්ඩුවේ ප්‍රශ්න අඩුපාඩු විතරක් නෙවෙයි විපක්ෂ කණ්ඩායම්වලත් අඩුපාඩු අපි විවේචනය කළා. මතවාදයකට උත්තර දෙන්න ඕනැ මතවාදයකින් මිසක් අසූචි ප්‍රහාරවලින් නෙවෙයි. මට ඉන්නේ වැට මායිමට රණ්ඩු කරන අල්ලපු වත්තේ මනුස්සයා වගේ හතුරෝ නෙවෙයි. සාමාන්‍යයෙන් කෙනෙකුට එහෙම අයනේ සතුරුකම් කරන්නේ. රටේ බරපතළ ප්‍රශ්නයක් හෙළිදරවු කරලා මතවාදයක් ඉදිරිපත් කළාට පස්සේ ඒකෙන් රිදෙන අය ඕනැ තරම් ඉන්න පුළුවන්. මේ පහුගිය කාලේ පුරා එහෙම මාත් එක්ක සතුරු වෙච්ච අය ඕනැ තරම් ඇති. මටත් එහෙම යම් යම් අය පිළිබඳව අදහසක් තියෙනවා. හැබැයි ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න අවශ්‍ය නෑ. දැන් මේ නිශ්චිත සිද්ධියක් වෙලා තියෙන වෙලාවෙ පොලිසියේ වගකීම ඒකට අදාළ අය ගැන හොයා බලන එක. මට යම් සැක සංකා තිබුණට පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් පිළිබඳව ඒක නිශ්චිතවම කියන්න බෑනේ. ඒක නිසා මගේ ඔළුවෙ තියෙන සැක සහිත නම් මගේ ඔළුවෙම තිබුණාවේ. අපේ ශ්‍රී ලංකා පොලිසිය මේ ගැන හරි විමර්ශනයක් කරලා වැරදිකරුවො අල්ලල දෙන්නකෝ. අපිට සාධාරණ සැකයක් තියෙන්නෙ අපි හඳුනන අය ගැනනේ. සමහර විට අපි නොසිතනම කවුරුහරි මේක කළා වෙන්න පුළුවන්. අනුමාන කිරීම් සත්‍යම වෙන්නෙ නෑනේ. මට මඩ ගහල සෝෂල් මීඩියා එකේ පෝස්ට් එකක් දාන එක සාමාන්‍යය දෙයක්. ඒවට කමෙන්ට් එකක් වැටෙන එක සාමාන්‍ය දෙයක්.
ඔය අතරෙ පොලිසිය භාර ඇමැති සරත් වීරසේකරගෙ පුතා මේ සම්බන්ධව ෆේස්බුක් පෝස්ට් එකක් දානවා. ඒකෙ තියෙන්නේ ‘ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙළාදකිමු’ කියලා. මම ඕක දකින්න සුළු මොහොතකට පෙර ඔහුගේ පියා සරත් වීරසේකර මට කෝල් කරල කියනවා ‘චමුදිත මම දේශබන්දුට කිව්වා ආවා නේද ෆින්ගර් ප්‍රින්ට් ඔක්කොම හරි නේද, පොත අත්සන් කරනවට අමතරව ඔහෙට මොබයිල් එකක් දාන්න කිව්වා’ කියලා. එතකොට මේ ප්‍රකාශ දෙක අතරෙ පරස්පරතාවයක් පේනවා. අපි තවදුරටත් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්න ඕනැද. අපි කට ඇරන් බලන් ඉන්න ඕනැද? වින්දිතයින්ට සාධාරණයක් ඉටුවෙයිද? මට නම් මේක සාමාන්‍ය දෙයක්. කවුරුහරි හිතනව නම් මම මේකෙන් බය වුණා කියලා ඒක විහිළුවක්.
ඔබ නම් විදියටම සඳහන් කළා පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර සහ ඔහුගේ පුතාව. ඔවුන්ගේ ප්‍රකාශ අපි දැක්කා පහුගිය කාලේ ඔබ සරත් වීරසේකරව සැරට විවේචනය කළා. ඒ නම් සඳහන් කිරීමෙන් ඔබ කළේ මොන වගේ ඉඟියක්ද?
නෑ.... මෙහෙමයි. මේ අතරෙ කිසිම සම්බන්ධයක් තියෙනවා කියල විශ්වාස කරන්නේ නෑ. මම කියන දේ හැම තැනම කෙළින් කියල තියෙනවා. මම ඒ සම්බන්ධ කිසිවෙක් සමඟ තරහක් නෑ. ඔවුන් සමග පෞද්ගලික ප්‍රශ්නත් නෑ. නමුත් මගේ විවේචනයට ලක්වුණු අය මං ගැන තරහෙන් ඉන්නවද මම දන්නේ නෑ. මම අජිත් රෝහණව, දේශබන්දු තෙන්නකෝන්ව විවේචනය කරල තියෙනවා. ඒත් අපි අතරේ එහෙම තරහක් නෑ. හැබැයි මාත් එක්ක කවුරු තරහ ද කියල මම දන්නේ නෑ. මම ඒ කවුරුත් මගේ හතුරෝ විදියට සලකලා වැඩ කරන්නේ නෑ.
නමුත් සරත් වීරසේකරගෙ පුතා දාපු ෆේස්බුක් පෝස්ට් එක අහඹුවක් වෙන්න බෑනේ. ඔහුත් පොලිස් නිලධාරියෙක්. ඔහුත් නිලයක් දරනවා. මට තියෙන ප්‍රශ්නය මේ වගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා පළ කරන්න නිශ්චිත බලයක් ලැබුණෙ කොහොමද කියන එක. මොකද ඔය වගේ නිලයක ඉන්න අයට සාමාන්‍ය පුද්ගලයින්ට වගේ හිතූ හිතූ හැටියට තමන්ගෙ මතවාද පළ කරන්න සීමා නම් තියෙනවා. ඔබට මට ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාලා අදහසක් කියන්න තියෙනවට වඩා සීමාවක් හමුදාවෙ පොලිසියේ නිලතල දරණ අයට තියෙනවා කියල මං හිතන්නේ. විනය සම්ප්‍රදාය අනුව එහෙම දෙයක් තියෙනවනේ. ඒත් සරත් වීරසේකරගෙ පුතාට මෙහෙම දෙයක් කියන්න විශේෂ ඉඩක් ලැබුණෙ කොහොමද කියලත් ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි ඉන්නේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වෙන රටකනේ. අපි දන්නෙ නෑ ඉතින් මේව වෙන්නෙ කොහොමද කියලා. සැකයකට වඩා මේවා ගැන මට තියෙන්නේ ප්‍රශ්නයක්.
මේක චමුදිතම ගහගත්ත අසූචි ප්‍රහාරයක් කියලා දැන් සමහරු ප්‍රසිද්ධියේම මයික් ඉදිරියට ඇවිත් කියනවා. එහෙම අදහසක් සමාජයෙන් එන්නෙම ඇයි?
මෙතන ඇත්තටම කවුරු හරි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවනේ. ඒක කාගේ හරි ඕනැකමට වෙන්න ඕන. එක්කෝ රජය අපහසුතාවයට පත් කරන්න වෙන කවුහරු හරි කරන්න ඕනැ. නැත්නම් ඔය සමහරු කියනවා වගේ මමම ගහගහන්න ඕනැ. මම එහෙම කරගන්නෙ මොකටද? මට රටේ චරිතයක් වෙන්නද? මට තව ටිකක් ප්‍රසිද්ධ වෙන්නද එහෙම නැත්නම් දේශපාලන රැකවරණ පතා විදේශ තානාපති කාර්යාලයක් හරහා රටකට යන්නද? ඔය දෙකෙන් එකක්වත් මට අවශ්‍ය නෑ. හේතුව මම යම් පමණකට රට දන්න චරිතයක්. ඒක මට ඇති. තව අමුතු ප්‍රසිද්ධියක් ඕනැ නෑ. මට අසූචි ප්‍රහාරයකින් හදාගන්න ජනප්‍රියත්වයක් නෑනේ. අනිත් එක මට රටකට යන්න ඕනැද කියන එක. සමහර ෆේස්බුක් පෝස්ට් එකක තිබුණා පොලිස් බල්ලා කැරකිලා කැරකිලා ගේ ඇතුළටම ආවා කියලා. ඒකෙන් කියන්න උත්සාහ ගන්නේ මමම ප්‍රහාරය එල්ල කරගත්තා කියලනේ. මේ වගේ කතා කියන කණ්ඩායම් කවුද? මඩකරියන්ට උත්තර දෙන්න මට අවශ්‍ය නෑ. මේ මොහොත ෙවන විට මටත් මගේ පවුලේ අයටත් වීසා තියෙනවා වසර පහකට ඇෙමරිකාවට යන්න. මට ඒකට යන්න අවශ්‍ය එයාර් ටිකට් එක විතරයි. මට කැනඩාවට වසර දහයකට යන්න පුළුවන්. හෙට උදේ ටිකට් ගත්තොත් හෙටම යන්න පුළුවන්. ඒක නිසා රට පනින්න ඕනෑකමක් නම් මට නෑ. මේ සිදුවීමත් එක්ක එහෙම ගියොත් ඒ රටවල්වලදී මට දේශපාලන රැකවරණ ලැබෙනවා. ඒ ගැන සැකයකුත් නෑ. ඒකත් මම දන්නවා. ඒත් මම එහෙම යන්නේ නෑ. මාව රටින් යවන්න කාට හරි ඕනකමක් තිබුණත් ඒක සිද්ධ වෙන්නෙ නෑ. දේශපාලන රැකවරණ පතා මේ චමුදිතගෙ අතින් එකදු ලිපියක් ලියවෙන්නේ නෑ. ඒක සහතිකයි. දැන් මේ ප්‍රහාරය මමම කරගත්තා කියලා ඔප්පු කරන එක පොලිසිය හමුවේ තියෙන වගකීමක්. ඒක ගැන මම අභියෝග කරනවා.
මේ සිදුවීමත් එක්ක සමාජ මාධ්‍ය තුළ අදහස් පළකරපු ඇතැම් අය සඳහන් කරලා තිබුණා චමුදිතගෙ නිවසට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිනවා වගේම ඔබේ මාධ්‍ය භාවිතාවත් හෙළා දකිනවා කියලා මෙහෙම අදහසක් එන්නෙම ඔබේ වැඩේ ගැනත් සමාජයේ අප්‍රසාදයක් තියෙන නිසා නේද?
මගේ මාධ්‍ය භාවිතය පිළිබඳ විවේචනයක් එනවා කියන්නේ මේකයි. මම වැඩසටහන්වල ප්‍රශ්න කරන ස්වභාවය ගැන තමයි ඔය විවේචනය තියෙන්නේ. ළඟ ළඟ ප්‍රශ්න කිරීම, ආරාධිතයාට නිශ්චිත පිළිතුරක් දීමට අවස්ථාවක් දෙන්නෙ නෑ කියන එක. මැද්දෙන් පැනලා ප්‍රශ්න අහනවා කියන එක වගේ චෝදනා පත්‍රයක් තමයි තියෙන්නේ. හැබැයි මම විශ්වාස කරන්නේ මම නිශ්චිත ආරක් හඳුන්වා දෙන්න උත්සාහ කළා රූපවාහිනී වැඩසටහන් හරහා. ඔබ දන්නවා පුවත්පතක සම්මුඛ සාකච්ඡාවක සහ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක තියෙන වෙනස. පුවත්පතකට කොච්චර වෙලාවක් ප්‍රශ්න කළත් පළ කරන්නේ සංස්කරණය කරල ගලපලා අවශ්‍ය ප්‍රමාණයට විතරයිනේ. ඒත් සජීවී රූපවාහිනී වැඩසටහනක එහෙම බෑ. අපිට හම්බවෙන කාලය තුළ අපිට අහන්න නියමිත සහ අවශ්‍ය ප්‍රශ්න ඔක්කොම අහන්නත් ඕනැ. වෙලාව කළමනාකරණය කරගන්නත් ඕනැ. විරාමයන්වලට ඉඩ දෙන්නත් ඕනැ. එතෙනදී ආරාධිතයා උත්තර දෙන විදිය ගැන ප්‍රශ්නයක් ආවොත් මැදින් ප්‍රශ්න අහලා අදාළ කාරණයට උත්තරේ දැනගන්න ඕනැ. ඒක සරල දෙයක්නේ. අනික මෙහෙම හිතමුකො. මම දැන් ඔබට මේ සාකච්ඡාව කරමු කියලා එකඟ වුණේ ඔබට මගෙන් අහන්න තියෙන ඕනැම ප්‍රශ්නයක් අහන්න එකඟ වෙලානේ. අනිත් ඒවත් එහෙම වෙන්න ඕනැ. සාකච්ඡාවකට එන ආරාධිතයා ඒකට මුහුණ දෙන්න ඕනැ අහන ඕනැ ප්‍රශ්නයකට පිළිතුරු දෙන එකඟතාවයකින්. එහෙම උත්තර දෙන්න බැරි සීමාවන් තියෙන නීතිමය අවස්ථාවල එහෙම ඒක කතා කරල බේරගන්න පුළුවන්. හැබැයි එහෙම නැත්නම් අහන ඕනැ දේකට පිළිතුරු දෙන්න ඕනැනේ. රටේ දේශපාලන නායකයෙක් හෝ නිලධාරියෙක් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට එල්ල වෙච්ච යම් චෝදනාවන් ගැන ප්‍රශ්න කරන්න අපිට අයිතියක් තියෙනවනේ. ඔවුන් රටට ජනතාවට වගකියන අය. ඒ අයගෙන් අපි ප්‍රශ්න කරන්නේ සමස්ත රට වෙනුවෙන්. මම ඒ ප්‍රශ්න කිරීම හරහා නියෝජනය කරන්නේ හඬක් නැති රටේ සාමාන්‍ය ජනතාව. ජනතාවට තියෙනවා ඒ ගැන දනගන්න අයිතියක්. ඒක තමයි මම කරන්නේ ඒක මගේ ශෛලියට මම කරනවා, එච්චරයි. මම මගේ වැඩසටහන්වලට එන ආරාධිතයට ඩෑෂ් එක ගහන්න බෝලෙ උස්සල දෙන ක්‍රීඩකයෙක් නෙවෙයි.
ඔබ නියෝජනය කරන මාධ්‍ය ආයතනය හා ආණ්ඩුව අතර තියෙන සම්බන්ධතාව උඩ ආණ්ඩුවෙන් නම් මෙහෙම දෙයක් කරන එකක් නෑ කියලත් සමහරු කියනවා?
අපේ චැනල් එක ගත්තම ඒකෙ තියෙන්නේ දේශපාලන වැඩසටහන් දෙකයි. අනිත් එක පත්තරේ විස්තරේ. පැහැදිලිව ඕනැ කෙනෙකුට පේනවා ඒවහිදී අපි ආණ්ඩුවට පක්ෂව කටයුතු කරනව ද කියලා. එහෙම නෑ. ආණ්ඩුවට බරපතළ විදියට විවේචන එල්ල කරනවනේ අපි. ආණ්ඩුව කරන අසාධාරණ අකටයුතුකම්වලදී අපි හැම විටම ආණ්ඩුවට පහර දුන්නා. අපි හිටියේ හැමදාම ජනතාවගෙ පැත්තේ. අපි රටේ ප්‍රේක්ෂකයා අමතක කරලා දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවකට ඕනැ දේ කරනව නම් ඒ නාලිකාවක් විදියට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා කියලා අපි දන්නවා. අපිට එහෙම වෙලා නෑ. දිගටම අපිව බලනවනේ මිනිස්සු.
මේ ඉෂු එක චමුදිතගෙ යූ ටියුබ් චැනල් එකටත් සෑහෙන්න වාසියක් නේද?
මම ඒක නෑ කියන්නේ නෑ. මීට පෙර සිදුවුණු සිදුවීමට පස්සෙත් මගේ යූ ටියුබ් චැනල් එකේ සබ්ස්ක්‍රයිබස්ලා සැලකිය යුතු ප්‍රමාණයෙන් ඉහළ ගියා. මගේ චැනල් එක ජනප්‍රිය මාතෘකා කතා කරන එකක් නෙවෙයිනේ. ඒකෙ ග්‍රාහකයෝ දවසින් දවස විශාල වශයෙන් වැඩිවෙන තත්ත්වයක් නෑ. ඔබ කියනව නං මේ සිදුවීම හරහා මගේ යූ ටියුබ් චැනල් එකට වාසියක් වුණා කියලා මම ඒ අදහස ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එහෙම නෑ කියල කියනව නම් මම බොරුකාරයෙක්. ඒ අනුව මේ ප්‍රහාරය එක්තරා ආකාරයකට මට ආශිර්වාදයක්.
සටහන
ප්‍රියන්ත කොඩිප්පිලි