මේ සමාජය නවතින්නේ කොතැනද ?


වැඩිහිටි රැකවරණය හා ළමා රැකවරණය ගිලිහී යාම වර්තමාන සමාජයේ ඔඩුදුවන පිළිලයක් බවට පත් වී ඇත. එක් ස්ථානයක ළමා අපචාර, ළමා අපයෝජන බොf!හාමයක් සිදුවන අතර ඔවුන් අයිතිවාසිකම් කඩවුණ ඉච්ඡාභංගත්වයට පත් වූ පිරිසක් ලෙස සමාජගතවීම සිදුවේ. 


තවත් ස්ථානයක වැඩිහිටියන් සරණක් නොමැතිව අසරණ වී ඇත්තේය. 


වැඩිහිටි නිවාසයක, පදික වේදිකාවක හෝ හුදෙකලා මඩුවක, බලු කූඩුවක ගසක් යට ඔවුනගේ අභාග්‍ය සම්පන්න ඉරණම් තීරණය වී ඇත. 


කුසට අහරක් නොමැතිව, පිපාසයෙන් අපවිත්‍ර වූ පරිසරයක දිවිගෙවන එවැන්නෝ මානසික පීඩනයට හා අසහනයට පත් වී ජීවත් වෙති. 


දරුවන් හා වැඩිහිටියන් යනු සමාජගත සියලු දෙනාගේ ආදරය රැකවරණය ලැබිය යුත්තෝය. ඔවුන් සමාජ අවධානයෙන් ගිලිහී යාම තුළම මතු වන්නේ සමාජ ප්‍රශ්නයයි. 


නීතිය සදාචාරය පිළිබඳව කොතරම් සාකච්ඡා කළද එය ප්‍රායෝගිකරණය වී නැත. මිනිස් සිත් ආකල්පමය දුර්වලතාවලින් පිරී ඇති අතර ඉන් සිදු වන්නේ අයහපතමය. 


මේ පසුගිය සතිය තුළ අසන්නට හා දකින්නට ලැබුණු එවන් වූ ඛේදනීය සමාජ ගැටලුය.


සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ 
කුසයේ නොදැරුවත් දිවි බර මට  දැනුණේ 
මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ 
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුණේ 


ටී.ඇම්. ජයරත්නයන්ගේ හඬින් ගලා යන ඒ මිහිරි අරුත් බර ගී පද සදාදරණී වූ පිය සෙනෙහස පිළිබඳය. දරුවකු මව් කුස පිළිසිඳගත් දා සිට එහි බර හිස මතට ගන්නේ පියාය. දරුවා පෝෂණය කර ඔහුගේ ජීවිතය සමෘද්ධිමත් කිරීමට කටයුතු කරන්නේ පියාය. කුසට අහරක් නොමැතිව, අව්වට වේළී වැස්සට තෙමී මහබර කන්දක් දෙවුර මත තබාගෙන දෑතේ කරගැට එනතුරු දරුවන් වෙනුවෙන් වෙහෙසෙන්නේ ද පියාය. එවන් වූ පියවරුන්ගේ වයෝවෘද්ධ කාලය දුක සේ ගත කරනවා දැකීමම අභාග්‍යයසම්පන්නය. 


දරුවන්ගේ කෙනෙහෙලිකම් හමුවේද ඔවුනට වෛර නොකර අපහාස නොකර ඔවුන්ගේ සැපතම ප්‍රාර්ථනා කරන එවන් පියෙකුගේ අභාග්‍යසම්පන්න පුවතක් පසුගිය දිනක වාර්තා විය. 


ඒ හලාවත ප්‍රදේශයෙනි. 


එම ඛේදනීය ඉරණමේ හිමිකරුවා වූයේ දෙදරු පියෙකි. ඔහු දරුවන් උස් මහත් කර සියලු දායාද ඔවුනට පවරා දී ඇත. ඒත් ඔහුගේ වයෝවෘද්ධ කාලයේ දී කුඩා කල දෑතේ හුරතල් වූ දරුවන්ගේ සෙනෙහස දුරස් වී ඇත. 


හලාවත, රබේපිටිය ප්‍රදේශයේ සුවිසල් මැදුරු දෙකක දරුවන් දෙදෙනා සුඛෝපභෝගී ජීවිත ගත කරද්දී ඔහු මල මුත්‍රා සහිතව අපවිත්‍ර වූ ලෑලි මඩුවක දුක සේ ජීවත් වන්නට විය. 


මෙම අසරණ පියාගේ අභාග්‍යසම්පන්න කටුක ජීවිතය දුටු ප්‍රදේශවාසීහු හලාවත පොලිසියට ඒ පිළිබඳව දන්වා සිටියහ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ගිලන්ව සිටි පියා සොයා ගත් අතර, ඔහුට නොසලකා හැර සුඛෝපභෝගී ජීවිත ගත කළ පුතුන් දෙදෙනාද අත්අඩංගුවට ගත්තේය. 


දරුවන් මව්පියන්ට කෙසේ සැලකුවත් මව්පියෝ දරුවන්ට වෛර නොකරති. ඔවුනට සැපතම ප්‍රාර්ථනා කරති. නියම පිය සෙනෙහසේ අර්ථ පෙන්වා දුන් ගිලන් පියා ඒ මොහොතේ ද සිය දරුවන්ගේ සැපත හා ගෞරවය උදෙසා පෙනී සිටියේය. 


ඔහු පොලිසියට දුන් කටඋත්තරය වූයේ දරුවන් ඔහුට හොඳින් සලකන බවත්, ඔහු කැමැත්තෙන් ලෑලි මඩුවේ කල් ගත  කරන බවත්ය. ඔහුගේ කට උත්තරය මත පිය සෙනෙහස නොහඳුනනා පුතුන් දෙදෙනා නීතියෙන් නිදහස් විය. 


එවේලෙහි ද දැන ගත හැකි වූයේ පියා සතු වූ පොල් ඉඩමේ ආදායම ඔවුන් දෙදෙනා කූට ලෙස බෙදාගන්නා බවයි. 


මේ පිළිබඳව හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කුමාර........? මහතාගේ උපදෙස් පරිදි හලාවත පොලිසියේ වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක වීරරත්න, පොලිස් සැරයන් සුරසිංහ (21365), පොලිස් කොස්තාපල් සුසන්ත (53275) යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. 


මෙය වැඩිහිටියන්ට නොසලකා හරින ලද අජාසත් දරුවන් කළ එක් ක්‍රියාවක් පමණි. මෙවැනිම දුක්ඛදායක ඉරණම් හිමිවූ මව්පියෝ බොහෝය. ඔවුන් ජීවිත කාලයම දරුවන් වෙනුවෙන් වෙහෙසී වයෝවෘද්ධ අවධියකට පත් වූ පසු මහලු මඩමක හෝ පදික වේදිකාවක ජීවිත මුදාහරින තත්ත්වයට පත්ව ඇත. ආදරය රැකවරණය අත්‍යවශ්‍ය වන මොහොතක දූ දරු සෙනෙහස නොලබා සමාජයේ අසරණභාවයට පත්ව දුක සේ කාලය ගත කරන එවැන්නන්ගේ හෙට දවස පිළිබඳව කතා කිරීමට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුවින්ද එස්. සිංගප්පුලි මහතා සම්බන්ධ කර ගත්තෙමු. 


ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ 
සුමින්ද එස්. සිංගප්පුලි. 
සමාජය හමුවේ අසරණභාවයට පත් වන වැඩිහිටියන්ගේ රැකවරණය වෙනුවෙන් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ක්‍රියා කරන්නේ කෙසේද? 


වැඩිහිටියන් සඳහා නඩත්තු මණ්ඩලය කියලා ඒකකයක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ තිබෙනවා. එයට නොසලකා හරින ලද වැඩිහිටියන් පිළිබඳව තොරතුරු දන්වන්න පුළුවන්. 


ඒ තොරතුරු අනුව අපි ඒ අය ගැන හොයා බලනවා. ඒ වගේම දරුවන් කැඳවලා එම ගැටලු විසඳීමට ක්‍රියා කරනවා. අම්මාගේ හෝ තාත්තාගේ හෝ ඉල්ලීම සාධාරණ නම් ඔවුනට නඩත්තු මුදලක් ගෙවීමට පවරනවා. එහෙම බැරි නම් මව්පියෝ වැඩිහිටි නිවාසයට යොමු කරලා අවශ්‍ය වියදම් දැරීමට පවරනවා. එය අධිකරණමය නියෝගයක්. දරුවකු එම නියෝගය පැහැරහැරියහොත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවා. එය කරන්නේ නීති හදන කමිෂන් සභාවෙන්. 


අධිකරණය බල ගන්වා දඩයක් ලෙස අදාළ මුදල් අය කර ගන්නවා. 


ඒ වගේම කාත් කවුරුවත් නැති වැඩිහිටියෙක් ඉන්නවා නම්, ඔහු පිළිබඳව අපිව දැනුම්වත් කළොත් වැඩිහිටි නිවාසයකට යොමු කිරීමේ කටයුතු අපි සිදුකර දෙනවා. පළාත් සභාවෙනුත් මීට උදව් කරනවා. ඒත් නඩත්තු මණ්ඩලය කියන නීති ආයතනය තිබෙන්නේ අපි යටතේ. 


අපේ ප්‍රධාන කාර්යාලය තිබෙන්නේ කොළඹ. යම් අයෙකුට අපව දුරකථනය හා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් 0113094543, 544 යන අංකවලින් සම්බන්ධ විය හැකියි. 


ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනුත් අපිව සම්බන්ධ කර ගත හැකියි. එහි ඒ සම්බන්ධ නිලධාරීන් පත් කර සිටිනවා. ඊට අමතරව ග්‍රාම සේවක මගිනුත් අපට අදාළ තොරතුරු සපයා සම්බන්ධීකරණය කර ගත හැකියි. එහෙමත් නැත්නම් 118 ක්ෂණික ඇමතුම් අංකය හරහාත් අපව සම්බන්ධ කර ගත හැකියි. 


වැඩිහිටි රැකවරණය සඳහා වූ ක්‍රියාදාමය එසේ වූ අතර ළමා රැකවරණය ගිලිහී යාම හා ඒ සම්බන්ධව ඇති රාජ්‍යමය කාර්යභාරය මෙසේ ගෙන හැර දක්වමු. 


වතුරට වැටුණු ලේන් පැටවුන් දෙදෙනා බේරා ගැනීමට ලේන් මව සිය පෙඳයෙන් ජලය ඉවත් කරන්නට සැරසුණේ අපරිමිත වූ මාතෘ ප්‍රේමයට උදාහරණ සපයමිනි. උණහපුළුවාට උගේ පැටියා මැණිකක්  ලෙස අර්ථ දක්වා ඇත්තේ ද කොතරම් අවලස්සන දුවත් තම දරුවන් තමන්ට මහමෙරකටත් වඩා අගනා බැවිනි. වැළට ගෙඩි බර නෑ ලෙස ජනප්‍රවාදයේ සඳහන් කර ඇත්තේ ද දරුවන් යනු මව්පියන්ගේ සම්පතක් බැවිනි. 


මව්පියන් හා දරුවන් අතර වූ සම්බන්ධතාව එවන් වූ ස්වභාවයක් ගත්තද සමාජයේ ආදරය රැකවරණය ගිලිහී ගිය දරුවන් අපමණ ය. ළමා අපචාර ළමා අපයෝජන බොහොමයකට හේතු පාදක වී ඇත්තේ ද දරුවන්ට සිය පවුල තුළින් ලැබිය යුතු නිසි ආරක්ෂාව, රැකවරණය සෙනෙහස හා පෝෂණය නොලැබී යාමයි. 


පසුගිය දිනක කතරගම ප්‍රදේශයෙන් වාර්තා වූයේ ද එසේ අසරණභාවයට පත් දරුවන්ගේ කතාවකි. කතරගම පූජා භූමියට එන බැතිමතුන්ගේ ආධාරයෙන් ජීවිතය ගැට ගහ ගන්නා යාචක කාන්තාවකගේ පවුල සම්බන්ධයෙන් එම පුවත වාර්තා විය. සිදුවීමට අනුව ඇය තිදරු මවකි. සැමියා නොමැති ඇය ජීවත් වූයේ කතරගම නාගහවීදිය ගම්මානයේ යාල වන උද්‍යානයකට ආසන්න හුදෙකලා ප්‍රදේශයකය. ඇගේ එක් දරුවෙකු ආබාධිතය. 
වයස අවුරුදු නවයක් වූ පිරිමි දරුවා සහ අවුරුදු 17ක් පමණ වූ ගැහැනු දරුවා නිවස ආසන්නයේ ඇති ගසක හා කොන්ක්‍රීට් කණුවක ගැට ගසා දමා යාචක වෘත්තියට යාමට ඇය පුරුදුව සිටියාය.


 දැඩි අව්රශ්මියේ පීඩා විඳිමින් ඔවුන් සිටින තැන්වලම මල මුත්‍රා කර ගනිමින් පිපාසයෙන් හා කුසගින්නෙන් පසුවන දරුවන් ගෙවා දැම්මේ අසහනකාරී ජීවිතයකි. අවුරුදු දහ අටට අඩු දරුවන් විදිනා දුක්ඛ දෝමනස්සයන් දුටු ප්‍රදේශවාසීහු කම්පාවට පත් වූහ. ඔවුනට යම් කිසි සරණක්වීමට සිතූ ගම්වාසීහු ඒ සඳහා සොයා ගියේ කතරගම රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේය. 


ප්‍රදේශවාසීන්ගේ දැනුම්වත් කිරීම මත ක්‍රියා කළ සරණ තිස්ස හිමිපාණන් කතරගම පොලිසිය දැනුම්වත් කළ අතර ඔවුන් සමග දරුවන් සිටි ස්ථානය කරා ගමන් ගත්හ.


දැක ගත හැකි වූයේ හද කම්පා කරවන දසුනකි. කුඩා දරුවෝ දෙදෙනා කුස ගින්නෙන් හා පිපාසයෙන් පීඩාවට පත් වී සිටියහ. 
හිමිනම ඇතුළු පිරිස ගෙන ගිය වතුර  සහ කෑමත් දරුවන්ගේ කුස ගින්නත් පිපාසයත් දුරු කළ අතර ප්‍රදේශවාසීන් විසින් ප්‍රකාශ කරන ලද්දේ දරුවන්ගේ මව සෑම දිනකම බීමත්ව පැමිණ දරුවන්ට පහර දෙන බවයි. 


කතරගම පොලිස් හා කාන්තා කාර්යංශය විසින් දරුවන්ට අවශ්‍ය නිසි රැකවරණය ලබාදෙන ලෙස අත්අඩංගුවට ගත් යාචක මවට අවධාරණය කරන ලද්දේය. 


මෙම අවස්ථාවට සම්බන්ධ වූ අධිකරණ සංඝ නායක හිමියන්ගේ අදහස වූයේ මෙරට නායකයෝ ලෝක ළමා දිනයට පමණක් ළමයින් ගැන කතා කරන බවය. වැඩිදුරටත් අදහස් දැක් වූ එහිමියෝ පවසා සිටියේ නිසි ආරක්ෂාව, රැකවරණය නොලබන මෙවන් වූ දරුවන් පිළිබඳව රජයේ ළමා ආරක්ෂණ අධිකාරිය හා ළමා අයිතිවාසිකම් සුරකින ආයතන සොයා බැලිය යුතු බවය. දරුවන්ගේ මානසික මට්ටම් කුමක් වුවත් ඔවුන් ද මේ සමාජයේම කොටසකි. ඔවුනටද අපේ දරුවන්ට සේම නිසි ආරක්ෂාව, රැකවරණය හා පෝෂණය ලැබිය යුතුය. 


එමනිසා සමාජයේ අසරණභාවයට පත්වන මෙවන් දරුවෝ පිළිබඳ ළමා රක්ෂණ අධිකාරිය ක්‍රියා කරවන විද්‍යාත්මක වැඩසටහන් හා ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කිරීමට එහි නියෝජ්‍ය සභාපති සජීව සමරනායක මහතා සම්බන්ධ කර ගත්තෙමු. 


ළමා රක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සභාපති සජීව සමරනායක, 
සමාජයේ රැකවරණයක් නොලබන අවුරුදු 18 ට අඩු දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් ළමා රක්ෂණ අධිකාරිය ක්‍රියා කරන්නේ කොහොමද? 


සමාජයේදී එක් එක් අවස්ථාවල විවිධ සිද්ධිවෙනවා. අපිට එක් එක් සිද්ධිය දිහා වෙනම බලලා ප්‍රතිචාර දීම අපහසුයි. 


අපි අධිකාරිය වශයෙන් කළ යුත්තේ කුමක්ද? අධිකාරිය ඉන්නේ එක් එක් සිද්ධියට ප්‍රතිචාර දක්වන්න ද කියන එක මගේ ප්‍රශ්නය, ඒ වගේම වාක්‍යයකින් දෙකකින් පිළිතුරු දෙන්න බැරි සංකීර්ණ මාතෘකාවක් මේක. 


ළමා අපයෝජන ළමා අපචාර බොහොමයක් සිදුවෙනවා. ඒ පිළිබඳව අධිකාරිය ක්‍රියාත්මක කරන විද්‍යාත්මක ක්‍රමවේද සඳහන් කළොත් මෙතන තියෙන්නේ ළමයින්ගේ ප්‍රශ්නයක් නොවේ. මේක බෙදුණු සමාජයක්. ද්විත්ව ආර්ථියක් තියෙන්නේ. අවශ්‍යතා විවිධයි. ඒක තුළ අපි ඉන්නේ. බොහොම අඩු වියදමකින්. අඩු සම්පත් භාවිත කරලා දුප්පත් ළමයින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙයි කියන එක රජය බලාපොරොත්තු වෙනවා. මේ විෂයට ලොකු ප්‍රමුඛතාවක් දීලා නැහැ. මේකට අපි කියන්නේ දුප්පතුන්ගේ නීතිය කියලා. එංගලන්තේ කාර්මික විප්ලවය කාලේ හුඟාක් මිනිස්සු නගරයට ආවා. ඒ මිනිස්සු පාලනය කරන්න නීති ගෙනාවා. 
දුප්පතුන්ගේ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසියෙනුයි. පරිවාසෙනුයි, ළමා නිවාසයි. ඒක තමයි  අපි දුප්පත් මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිය. 


මේ අය රජයේ නිලධාරියෙක් හමුවට ආපුවහම ඒ අයට අයිතිවාසිකම් ලැබෙනවාද? ඒ අයට ඒ අයගේ ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න  පුළුවන්ද? 


ඇත්තටම මේ ප්‍රශ්නයේදී සමාජය දීලා තියෙන විසඳුම් රාමුව තුළයි අපි වැඩ කරන්නේ. ඒ වගේම ලංකාවේ සමාජ වැඩ  බොහොම දුර්වල තත්ත්වයකයි තිබෙන්නේ. ඒ නිසා  අපි සමාජ ප්‍රශ්න විසඳන්න හදන්නේ පොලිසිය දාලා. සමාජ ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ද සමාජ ක්‍රියාවලියක් නැතුව.


 ඒ සමාජ ක්‍රියාවලිය දියුණු කිරීම තමයි විසඳුම. 


පහුගිය කාලෙම අසාධාරණයට ලක් වූ ළමයි පිළිබඳව තොරතුරු ලබාදෙන්න කියලා ටෙලිෆෝන් නම්බර් දීලා යම් කිසි ක්‍රියාදාමයක් ළමා රක්ෂණ අධිකාරිය හරහා සිදු වුණා. 


ඒවා විසඳුම් නෙවෙයි. උත්තර පමණයි. මේවාට ප්‍රාදේශීය මට්ටමෙන් තමයි විසඳුම් ලබාදිය යුත්තේ. අපිට ඒවා කොළඹ ඉඳලා විසඳන්න බෑ. ඒ ප්‍රදේශවලට ගිහින් තමයි ඒවා විසඳිය යුත්තේ. එම ප්‍රශ්න විසඳිය හැකි සම්බන්ධීකරණ ජාලයක් තියෙනවාද? 
තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරවන්න ඕන. ඒවායෙත් අඩුපාඩුකම් රැසක් තිබෙනවා. ඒ වගේම ආයතන පිළිබඳවත් යම් කිසි අවබෝධයක් ලබාගන්න ඕන. ඒවා පිළිබඳවත් සමාජයේ යම් කිසි දැනුවත්වීමක් ඇති කරලා තිබෙනවා. 


හේතුව අවුරුදු 20 ක් අධිකාරිය කටයුතු කරලා තිබෙනවා. ඒත් හරියට ළමා රක්ෂණය නිර්වචනය කරලා නෑ. 


සටහන : කුමාරි හේරත් 
පසුබිම් වාර්තා : කතරගම කේ.ඩී. දේවප්‍රිය සහ 
අනුර ගාල්ලේවත්ත 
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න