යාපන ජනයාටත් අමතක ඊළම උපන් වඩුක්කොඩෙයි


 

ඊළාම් රාජ්‍ය සංකල්පය ප්‍රථම වරට ඉදිරිපත් කෙරුනු වඩුක්කොඩෙයි සමුළුවට මේ වනවිට වසර 40ක් ගතවී තිබේ. දෙමළ පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් වෙනම රාජ්‍යයක් සඳහා වන යෝජනාවලියක් ඉදිරිපත් කරන ලද්දේ 1976 මැයි 14 වැනිදා පවත්වන ලද සමුළුවකදීය. “වඩුක්කොඩෙයි සම්මුතිය” නමින් හැඳින්වුණු එය දෙමළ ඊළාම් සටනට මග පෑදූ මුල්ම ක්‍රියාවලිය වූයේය. එහි විශේෂත්වය වූයේ නිදහස උදෙසා සටන් කිරීමට ඉදිරියට පැමිණෙන මෙන් දෙමළ තරුණයන්ගෙන් කෙරුනු ඉල්ලීමක් වූ බැවිනි.
වඩුක්කොඩෙයි යාපනය නගරයේ සිට කිලෝමීටර 25ක් පමණ දුරින් පිහිටි නගරයකි. එහි පන්නාකම් නමින් කුඩා ග්‍රාමයක් ඇත. එහි වඩක්කම්බරෙයි අම්බාල් නමින් ප්‍රසිද්ධ කෝවිලකි. එයට යාබදව පිහිටා ඇත්තේ පන්නාකම් මෙයිහණ්ඩාම් පාසලයි. වඩුක්කොඩෙයි සමුළුව පැවැත්වුණේ එම පාසලේ ගොඩනැගිල්ලකය. පාසලේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුඵ වූ විට වම් පසින් පිහිටි එම ගොඩනැගිල්ල දැකිය හැකිය. එය දැන් නවීකරණයට ලක්වී තිබේ. 


නූතන පරම්පරාව වඩුක්කොඩෙයි සමුළුව පිළිබඳව හෝ පැරණි දේශපාලනඥයන් පිළිබඳව හෝ දන්නේ නැත. ඔවුන් දැන සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකත්වය හා එහි කාඩර්වරුන් පිළිබඳව පමණි. වඩුක්කොඩෙයි සමුළුව පැවැත්වුණු ස්ථානය සොයා ගිය අපට එය සොයා ගැනීමට අපහසු වූයේ වඩුක්කොඩෙයි සමුළුව පිළිබඳව හෝ එය පැවැත්වුණු ගොඩනැගිල්ල පිළිබඳව හෝ දන්නා කෙනෙක් නොමැති වීම හේතුවෙනි. අවසානයේ අපට සහය වූයේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන ගිය වයෝවෘධ පුද්ගලයෙකි. ඔහුට හතළිස් වසරකට ඉහත පැවැති එම සමුළුව පිළිබඳව මතකයේ තිබිණි. ෆෙඩරල් පක්ෂයේ නායක එස්.ජේ.වී චෙල්වනායගම් ඇතුළු පුද්ගලයන් රැසක් එම විදුහල වෙත පැමිණි බව මතකයේ ඇතැයි ඔහු කියා සිටියේය. මෙම සමුළුවට නායකත්වය දුන් එක් දේශපානඥයකු වූයේ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්ය. අමිර්තලිංගම්ගේ උපන් ගම පන්නාකම් වූ අතර ඔහු වඩුක්කොඩෙයි අසුන නියෝජනය කළ දේශපාලනඥයකු විය.


වඩුක්කොඩෙයි සමුළුව දෙමළ ප්‍රජාවේ ප්‍රථම ජාතික සමුළුව විය. එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂයේ මූලිකත්වයෙන් පැවැති එම සමුළුව අනිකුත් දෙමළ දේශපාලන පක්ෂ ද එකම වේදිකාවකට කැඳවන්නට සමත් විය. සමුළුව පැවැත්වීමේ අරමුණ වූයේ සමාජවාදී දෙමළ ඊළමක් නොහොත් වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීම සඳහාය.


ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා සිංහලයන් මෙන්ම දෙමළ ප්‍රජාව ද විශාල අරගලයක නිරත වූහ. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙසිනි. නිදහසින් පසු දෙමළ ජනයාට දෙවැනි පන්තියේ ප්‍රජාවක් ලෙසින් සැලකීම පිළිබඳව දෙමළ ජනයා සිටියේ කලකිරීමකිනි. උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන මෙන් අවස්ථා ගණනක දී පැවැති රජයන්ගෙන් ඉල්ලා සිටියහ. ෆෙඩරල් පක්ෂ නායක ඇස්.ජේ.වී. චෙල්වනායගම්ට අවශ්‍ය වූයේ උතුරේ දෙමළ භාෂාවට මුල්තැන ලැබෙන ෆෙඩරල් පාලන ක්‍රමයකි. ඒ සම්බන්ධයෙන් අත්සන් කෙරුනු බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම සහ ඩඞ්ලි - චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාවට නැංවීමට රජය කටයුතු කළේ නැත. 


1970 වනවිට තරුණ කොටස් විවිධ දේශපාලන සංවිධාන පිහිටුවා ගැනීමට පියවර ගත්හ. දෙමළ විමුක්ති සංවිධානය 1960දී ද ෆෙඩරල් පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරය වූ දෙමළ ශිෂ්‍ය ලීගය 1970දී ද ප්‍රභාකරන්ගේ දෙමළ නව කොටි සංවිධානය 1972දී ද ආරම්භ කෙරුනු අතර 1975 දී එය එල්.ටී.ටී.ඊ. සංවිධානය බවට පත් විය. 1976දී මොවුන්ගෙන් ඇතැම් කණ්ඩායම් ෆෙඩරල් පක්ෂය සමඟ එක්වී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවා ගත්හ. සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය සහ ලංකා කම්කරු කොංග්‍රසය, ඊළත් තමිලාර් ඔට්ටෲමායි මුන්නානි පක්ෂය ද එයට එක්වූ අනිකුත් පක්ෂ වූහ. 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් ප්‍රකාශ වූ අතර බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවිය. මින් උතුරේ ජනයා තවදුරටත් කලකිරීමට පත් වූහ.


සිංහල දේශපාලකයන් විසින් ඉටු නොකෙරුනු පොරොන්දු හා දෙමළ ජනයාට එරෙහිව ක්‍රියාත්මක කෙරුනු ප්‍රචණ්ඩත්වයට විරෝධය පෑමට ද දෙමළ බස සහ දෙමළ සංස්කෘතියට ගෞරවණීය තත්ත්වයක් සහ ස්වයංනීර්ණ අයිතිය ලබා ගැනීම සඳහා ද වෙනම රාජ්‍යයක අවශ්‍යතාව පිළිබඳව මෙම සමුළුවේදී අදහස් ප්‍රකාශ කෙරිනි. ස්වයංනීර්ණ අයිතිය යටතේ තම ජාතියට නිදහස ලබා ගැනීම සඳහා රජය සමඟ අවිහිංසාවාදී අරගලයක නිරත විය යුතු බවට ඔවුහු ප්‍රකාශ කළහ. එමෙන්ම 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් දෙමළ ජනයා දෙවැනි පන්තියේ පුරවැසියන් පිරිසක් වශයෙන් සැලකීමේ පිළිවෙතට එරෙහිවීම ද මෙම සමුළුවේ තවත් අරමුණක් විය. උතුරු නැගෙනහිර පළාත්වලට අයත් නොවන එහෙත් දෙමළ ප්‍රජාවක් විශාල වශයෙන් වාසය කරන වතුකරයේ දෙමළ ජනයා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට බඳුන් විය.


මෙම සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක රජය ප්‍රතිචාර දැක්වූයේ අප්පාපිල්ලේ අමිර්තලිංගම්, එම්. සිවසිතම්පරම්, කේ.පී. රත්නම් සහ කේ. තුරෙයිරත්නම් රාජද්‍රෝහී චෝදනා යටතේ අධිකරණය හමුවට පැමිණවීමෙනි. 1976 ජුනි 18 වැනි දින ඔවුනට එරෙහි නඩුව විභාගයට ගැනීමට නියමිත වුවද පසුව චෝදනා ඉවත් කර ගැනිණි. චූදිතයන් සඳහා පෙනී සිටියේ එම්. තිරුචෙල්වම්, ජී.ජී. පොන්නම්බලම් සහ එස්.ජේ.වී. චෙල්වනායගම් වැනි දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැවැන්තයන්ය.


වඩුක්කොඩෙයි සම්මුතිය සන්නද්ධ අරගලයක් සඳහා කෙරුනු ආරාධනාවක් නොවීය. එහෙත් එමඟින් ඉදිරිපත් කෙරුනු යෝජනා 30 වසරකට අධික කාලයක් පුරා පැවැති බෙදුම්වාදී සන්නද්ධ අරගලයකට මාවත තනා දුන්නේය. එවැන්නක් සිදුවනු ඇතැයි සමුළුවට සම්බන්ධ වූ පිරිස් පවා නොසිතන්නට ඇත. අවසානයේ එය ඔවුන්ට පාරා වළල්ලක් වූ අතර ජීවිත දහස් ගණනක් අහිමි වී ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා ආර්ථිකය දැවැන්ත අර්බුදයක් කරා රැගෙන ගියේය.  

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරූපය - ඇලෙක්සැන්ඩර් බාලසූරිය