ලෝක උරුමයක් වූ ගාලු කොටු පවුර නිසලය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වාසනාවන්තම හා ලෝක පූජිත ක්‍රීඩකයන් රැසක් වඩාත් ප්‍රියකරන ක්‍රීඩාංගණය ලෙස සුපතල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පාලුවට ගොස් ඇත. රිච්මන්ඞ් - මහින්ද ආදරවන්තයන්ගේ සටනේ දී අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යන මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ලෝකයේ අංක එකේ කණ්ඩායම තරග කරන අවස්ථාවක දී පිරෙන්නේ නැත.
නමුත් අද ලෝක උරුම ගාලු කොටු පවුරත්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයත් එකම කාසියක දෙපැත්ත මෙන් ජනතාවගේ සිත්තුළ දෝලනය වෙමින් පවතී.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දින කිහිපයක් ඇතුළත එතැනින් ඉවත්කරන බවට පැතිරගිය ආරචිංයක් හේතුවෙනි.
ගාල්ලේ කොටුව ඉදිකළ ස්ථානය පෘතුගීසීන්ගේ හා ලන්දේසීන්ගේ කාලයේදීත් ඉංග්‍රීසි පාලනයේ මුල් කාලයේදීත් දැවැන්ත වගුරු බිමකි. කොටුව ඉදිරියෙන් වූයේ දිය අගලකි. පසුව ඉංග්‍රීසි පාලන කාලයේ දී කොටුව ඉදිරිපිට වූ වගුර ටිකෙන් ටික ගොඩකර එය සමතලා භූමියක් බවට පත්විය. ඒ භූමිය ඉංග්‍රීසීන්ගේ තුරඟ තරග පැවැත්වීමට යොදාගත් බැවින් ජිම්කානා ක්‍රීඩාංගණය විය. මෙකල ගාල්ල කොටුවට ඇතුළුවීමට තිබුණේ එක් දොරටුවක් පමණි. ඒ පරණ වරාය අසළින් තිබූ දොරටුවයි. ඉංග්‍රීසීන් 1873 දී කොටුවේ මැදින් පවුර කඩා බිම්ගෙයක් වැනි නව දොරටුවක් ඉදිකරන ලදී. 1875 දී තුරඟ තරග ගාල්ල නගරයේ නොපවත්වා බූස්සේ අක්කර 200ක භූමියට ගෙනයාමට ගත් තීරණයත් සමග ගාල්ල කොටුව ඉදිරිපිට පිට්ටනියේ අශ්ව රේස් ක්‍රමයෙන් අඩු වෙන්නට විය. ඉන්පසු එය ගාල්ලේ මහජනයාට විවෘත වූ පොදු ක්‍රීඩාංගණයක් බවට පත්විය. පොදු ක්‍රීඩාංගණයක් වූ ගාල්ල පිට්ටනියේ ක්‍රිකට්, පාපන්දු ඇතුළු විවිධ ක්‍රීඩාවන් සිදුකෙරුණු අතර ගාල්ලේ පාසල් රැසක දරුවන්ගේ සෙල්ලම් පිටිය වූයේ ද මේ ක්‍රීඩාංගණයයි.
1927 දී ජාත්‍යන්තර කණ්ඩායම් ද මේ ක්‍රීඩාංගණයට පැමිණ තරග වැදුණු බව ඉතිහාසය සාක්ෂි දරයි. ගාල්ල ක්‍රීඩාංගණ ඉතිහාසයේ වැදගත්ම සංධිෂ්ථානය වන්නේ 1930 දී ය. රජයේ දේපළක් වූ ගාල්ල ක්‍රීඩාංගණය පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීමට ගාල්ල ආණ්ඩුවේ ඒජන්තරවරයා විසින් මහ නගර සභාවට පවරා දෙනු ලැබීය.
එතැන් පටන් එය හැඳින්වූයේ ගාල්ල මහා නගර සභාව සතු දේපළක් ලෙසිනි. හැමදාමත් පොදු කටයුතු වෙනුවෙන් විවෘතව තිබූ ක්‍රීඩාංගණය 1998 වර්ෂයේ දී ක්‍රිකට් සඳහා වෙන්කිරීම ගාලු වැසියන් බහුතරයකට නොරිස්සුම් කටයුත්තක් විය. 1998 වර්ෂයේ දී ගාල්ල මහ නගර සභාවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයත් අතර අත්සන් කළ බදු ගිවිසුමකින් ක්‍රීඩාංගණය වසර 30ක් සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත බදු දෙන ලදී. එවකට නගරාධිපතිවරයා වූ ලයනල් ප්‍රේමසිරි මහතාත් නාගරික කොමසාරිස් ඒ.ඩබ්ලිව්. ගුණරත්න මහත්වරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ එවකට සභාපති තිලංග සුමතිපාල සහ උප සභාපති අනුරුද්ධ පොලොන්නෝවිට යන මහත්වරු මේ බදු ගිවිසුමට අත්සන් කළහ.
ගාල්ල ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වුව ද එහි ගැටලු මතුවෙන්නට පටන් ගත්තේ 2006 දීය. ඒ වනවිට ක්‍රීඩාංගණයේ තිබූ නාගරික ක්‍රීඩා මණ්ඩපය එක් දිනක් රාත්‍රියේ දී හදිසියේම කඩා දමා තිබිණි. එවකට නාගරික මන්ත්‍රීවරයකු වූ පසුව නගරාධිපති ධූරයට පත් මෙත්සිරි ද සිල්වා මහතා ගාල්ල පොලිසියට ගොස් නගර සභාවේ දේපළක් කඩා දමා ඇතැයි පැමිණිලි කරන්නට උත්සාහ ගත්ත ද පාලකයන්ගේ බලපෑමෙන් පොලිසිය මේ පැමිණිල්ල සටහන් කරගත්තේ නැත. කෙසේ වෙතත් කඩා දැමූ ක්‍රීඩා මණ්ඩපය වෙනුවට නව ගොඩනැගිල්ලක් ලහි ලහියේ ඉදිකිරීමට කටයුතු කර තිබිණි. මෙය නිසි අවසරයකින් තොරව ආරම්භ කරන ලද ඉදිකිරීමකි.
මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් පිළිබඳ තීරණ ගැනීමට හා නිර්දේශ ලබාදීම සඳහා ගාලු උරුමය පදනම වෙනුවෙන් වර්තමානයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වන මහාචාර්ය ප්‍රශාන්ත බී.මණ්ඩාපල මහතාත්, එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වන ආචාර්ය සෙනරත් දිසානායක මහතාත්, නාගරික සංවර්ධන අධිකාරිය, ගාල්ල මහ නගර සභාව යන ආයතනවල නියෝජිතයන්ගෙන්ද සමන්විතව තාක්ෂණික කමිටුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලදී.
එම තාක්ෂණික කමිටුව විසින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාර ඇතුළු ඉදිකිරීම් සඳහා අවශ්‍ය නිර්දේශයන් ලබාදෙන ලදී. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව, නාගරික සංවර්ධන අධිකාරියේ නියාමනයන්ට ගැලපෙන පරිදි යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම සඳහා ලබා ඇති පිලිවිතරයන්ට අනුකූලව අවසන් නිර්දේශ ලබාදෙන ලදී. නගර සභාව ද එම අදාල නියමයන් සහිත සැළසුමක් ද අනුමත කර ඇත.
වත්මන් නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා නගර සභාව විසින් අනුමත කළ සැළසුමක් මේ සඳහා ඇතැයි පවසන්නේ එයයි. පුද්ගලික වාස්තු විද්‍යා ආයතනයක් යොදා ක්‍රිකට් ආයතනය විසින් සාදා ගන්නා ලද සැළසුමක් නගර සභාවෙන් අනුමත කර තිබිණි. ගාලු උරුමය පදනම පවසන්නේ මේ අනුමත සැළැස්ම ගාල්ල මහ නගර සභාව විසින් අනුමත කර ඇතත් එය පුරාවිද්‍යා හා නාගරික සංවර්ධන අධිකාරියේ නියමයන්ට අනුකූළ නොවන බැවින් එම අනුමැති නීත්‍යානුකූළ නොවන බවයි.
එවකට පැවැති දේශපාලන බලය භාවිතා කළ පුද්ගලයන් සිදුකළේ සියලු නිර්දේශයන්ට පටහැනිව යමින් නගර සභාව අනුමත කළ සැළැස්ම නිවැරදි හෝ වැරදි වුව ද එම සැළැස්මෙන් ද පරිබාහිරව ක්‍රීඩාගාරයක් ඉදිකිරීමයි. දැන් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාගාරය ලෙස නම් කර ඇත්තේ එලෙස අනුමත නිර්දේශවලින් තොරව ඉදිකරන ලද ක්‍රීඩාගාරයයි.
ගාල්ල ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපය ඉදිකරමින් තිබූ ආකාරය
හදිසියේම හිටපු ජනාධිපතිවරයාගේ නම එල්ලමින් මේ අනවසර ඉදිකරීම විවෘත කෙරුණු පසු යුනෙස්කෝවේ දකුණු ආසියා වැඩසටහන් විශේෂඥ නිකොල් බොලොමි මහත්මිය පැමිණ ගාලු උරුමය පදනම, නගර සභාව, ක්‍රිකට් ආයතනයේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු නියෝජිතයන් පුද්ගලිකව හමුවී සාකච්ඡා කරමින් තත්ත්වය සියල්ල පරීක්ෂා කර වාර්තාවක් සකස් කර තිබේ. එහි ක්‍රීඩාගාරය ගැන පමණක් නොව ගාල්ල කොටුව අභ්‍යන්තරයේ ඇති නොගැලපීම්, අනවසර ඉදිකිරීම්, පැරණි ගොඩනැගිලි අභාවයට යාම, ගාලු උරුමය වඩාත් ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳව ද ඇතුළත්ව ඇත. එහි දී ඇය ඉදිරිපත් කළ වාර්තාවේ කෙටිකාලීන සැළසුම් හා දිගුකාලීන සැළසුම් ලෙස අංශ දෙකක් පිළිබඳ පැහැදිලිව සඳහන් කර තිබිණි.
කෙටිකාලීන විසඳුම් වූයේ ගාල්ල කොටුවේ දර්ශනයට හානි වන කිසිදු ඉදිකිරීමක් තවදුරටත් නොකළ යුතු බවයි. දිගුකාලීන සැළැස්ම වූයේ දැනට ඉදිකර ඇති අනවසර ගොඩනැගිල්ල ක්‍රමානුකූලව 2020 වර්ෂය වනවිට ඉවත්කිරීමයි. මේ සඳහා මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ගාලු උරුමය පදනම, ගාල්ල මහා නගර සභාව, ක්‍රිකට් පාලක මණ්ඩලය යන සියලු පාර්ශවයන් එකඟ වී ඇත.
ගාල්ල කොටුවේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට පියවර ගැනීමත් සමගම ගාලු කොටුවේ පදිංචිකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර එවකට දකුණු පළාත් ආණ්ඩුකාරවරිය වූ කුමාරි බාලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී මේ පිළිබඳ තීරණයක් ගැනීමට රජයේ බලධාරීන් රැස්වූහ. එහි දී එවකට නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතා ද මූලාසනයේ සිටි අතර නගරාධිපතිව සිටි කැළුම් සෙනෙවිරත්න මහතා ද මේ රැස්වීමට සහභාගී වී සිටියේය.
දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එම රැස්වීමේදී පැහැදිලිව සඳහන් කර සිටියේ යුනෙස්කෝවෙන් ඉදිරිපත් කර ඇති නිකොල් බොලොමි වාර්තාව අනුව කෙටි කාලීන සැළැස්ම මෙන්ම දිගුකාලීන සැළැස්ම ද ක්‍රියාත්මක කරමින් 2020 වර්ෂයට පෙර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාගාරය කඩා ඉවත්කළ යුතු බවයි. ඒ අනුව මේ තීරණය අද ඊයේ ගත් තීරණයක් නොව 2007 වර්ෂයේ දී ගන්නා ලද තීරණයකි.
නමුත් ඒ නියෝග කිසිවක් ක්‍රියාත්මක වූයේ නැත.
සෑම වර්ෂයක ම යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම සමුළුව පැවැත්විණි. ගාලු කොටුව ලෝක උරුමය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි නියෝජිතයන් සහභාගී වන අතර 2010 දී යුනෙස්කෝව ගාල්ල ලෝක උරුමය සම්බන්ධ දැඩි තීරණයක් ගෙන තිබිණි. එවර සමුළුවේ දී ගාල්ල කොටුව ලෝක උරුමයේ කොන්දේසි කඩකරමින් ඉදිකර ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය කඩා ඉවත්කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එකඟ වී ඇතත් ඒ එකඟතා කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නොතිබීම හේතුවෙන් විශ්වාසය කඩවී ඇතැයි මෙරටට චෝදනාවක් ද එල්ල කර තිබේ. එබැවින් මේ සම්බන්ධ ගිවිසුම් ගතවීමක් අවශ්‍ය බව ද යුනෙස්කෝව විසින් දන්වා ඇත.
නමුත් ශ්‍රී ලංකා රජය යුනෙස්කෝව සමඟ එකඟ වූ කිසිදු කරුණක් ක්‍රියාවට නැගුවේ නැත.
ගාල්ල වරාය පුළුල් කිරීමේ යෝජනා රැසක් සඳහා මෙරට රජය අවස්ථා කිහිපයක දී උත්සාහ ගත්ත ද ඒ කිසිවක් සාර්ථක වූයේ ද නැත. 2015 දී වර්තමාන රජය බලයට පත්වූ පසු ජපන් ආධාර මුදලක් ගාල්ල වරාය පුළුල් කිරීමට ලැබිණි. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයකු වන පාස්කරලිංගම් මහතා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යය භාරව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ද පවත්වන ලදී.
එහි දී ජපන් ආධාර ලබාදීමට පෙර ගාල්ල උරුම හානි ඇගයීම් වාර්තාවක් සැකසීම, ගාලු උරුමය සම්බන්ධ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, ගාලු කොටුව සම්බන්ධ කළමනාකරණ සැළැස්මක් සකස්කිරීම, උපක්‍රමික සංචාරක සැළැස්මක් සකස් කිරීම, කොටුවේ අනවසර ඉදිකරීම්වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග රැගෙන ඒවා ඉවත් කිරීම, විනාශ වූ ගොඩනැගිලි හඳුනාගෙන ඒවා ප්‍රතිසංස්කරණය කිරීම, ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම යන කොන්දේසි කිහිපය ඉදිරිපත් කෙරිණි. ඒවා අතරින් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් මෙතෙක් ඉවත්කර නොමැති අතර කොටුවේ අනවසර ඉදිකිරීම් කිහිපයක් ඉවත්කර ඇත. අනෙක් ඉදිකිරීම් ඉවත්කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමර්ග දැනටමත් ගනිමින් පවතී. අනිත් සියලු කොන්දේසි ඉටුකර අවසන්ය.
2016 වර්ෂයේ දී වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහි දී ජාත්‍යන්තරයෙන් ඇසූ බරපතළම පැනය වූයේ ලෝක උරුමයකට යොදා ඇති කොන්දේසියක් වූ ගාල්ල ක්‍රීඩා මණ්ඩපය ඉවත්කිරීමේ කාර්යය කොතෙක් දුරට සාර්ථක කර ඇත් ද යන්නයි. නමුත් රජයට සිදුවූයේ එය ඉදිරියේ දී ඉටුකරන්නම් යන පොරොන්දුව දීමට පමණි. නමුත් ඒ පොරොන්දුව ද මෙතෙක් ක්‍රියාත්මක වූයේ නැත. ගාල්ල ක්‍රීඩා මණ්ඩපය ඉවත්කිරීම සඳහා රජය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ජපන් රජයෙන් ගාල්ල වරාය පුළුල් කර වාණිජ්‍යය වරායක් බවට ගාල්ල පත්කිරීම සඳහා ලැබීමට තිබූ ඩොලර් බිලියන ගණනක මුදල ශ්‍රී ලංකාවට අහිමිවී ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
මෙවර 2018 වර්ෂයේ දී ද යුනෙස්කෝ සමුළුව පැවැත්විණි. එහි දී ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් හා කොටුවේ ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් යළිත් ප්‍රශ්න කෙරිණි. එහි දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත බී. මණ්ඩාවල මහතා පොරොන්දු වී ඇත්තේ ඉක්මණින් ම මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග රැගෙන එම ගොඩනැගිල්ල කඩා ඉවත් කරන බවයි.
ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ඇමැති පියසේන ගමගේ උපදෙස් ලබාදෙමින්
2007 වර්ෂයේ සිට එවකට පැවැති රජයත් වත්මන් රජයත් යුනෙස්කෝ සංවිධානයට මෙම ක්‍රීඩා මණ්ඩපය කඩා ඉවත්කරන බවට පොරොන්දු වී එම වර්ෂයේ දී ම එය කඩා ඉවත්කරන්න යැයි ගාල්ලේ නිලධාරීන් හමුවේ දී දිනේෂ් ගුණවර්ධන එවකට ඇමතිවරයා විසින් ම පැවසුව ද මෙතෙක් එය ඉටුකර නැත. යුනෙස්කෝවට හැමදාමත් බොරු කී මෙරට රජයන් දැන් මෙරටට පැමිණෙන ආධාර හා සංවර්ධන ව්‍යාපෘති පවා අහිමිකර ගැනීමේ තැනට තල්ලු වී ගොස් ඇත
ගාල්ල වරාය පුළුල් කිරීමේ දැවැන්ත ජපන් ව්‍යාපෘතිය අප රටට අහිමිවන්නේ මේ ක්‍රීඩාගාරය කඩා ඉවත්කිරීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
එපමණක් නොව තව නොබෝ දිනකින් ගාල්ල ලෝක උරුම නගරය රතු ලේඛන ගත ස්ථානයක් බවට පත්වනු ඇත. ඉන් වසර දෙකකට පසු ගාල්ල ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්කිරීමට නියමිතය. ඇතැම් ගාලු වැසියන් පවසන්නේ ගාල්ලේ ලෝක උරුමයෙන් අපිට වැඩක් නෑ. අපේ කණ්ඩායමට දිනන පිට්ටනියක් ඕනෑ යනුවෙනි. ඉවත් කරන්නේ පිට්ටනිය නොවේ. ක්‍රීඩාගාරය පමණි. ක්‍රීඩාගාරය රැකගන්න මොර දෙන ඇතැම් පුද්ගලයන් රටකට දුන් ලෝක උරුමයක් අසාදු ලේඛන ගතවීමෙන් රටක් ලෝකය හමුවේ අසමත් රාජ්‍යයක් වීමේ ආදීනව කිසිදා තේරුම් ගන්නේ නැත.
ගාල්ල ලෝක උරුමය සම්බන්ධයෙන් පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු කොටුවේ දී සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් පැමිණ සිටි අතර නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා සහභාගී වී සිටියේ නැත. නගර සභාවට අයත් බව කියන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන ද එහි දී සාකච්ඡා කෙරිණි. ඒ අවස්ථාවේ නාගරික සංවර්ධන අධිකාරිය හා ගාල්ල උරුමය පදනම කියා සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගොඩනැගිල්ල අනවසරයෙන් ඉදිකර ඇති බවයි.
“අනවසර ඉදිකිරීම් කඩා ඉවත්කරන්න. සාමාන්‍ය මිනිසුන්ගේ ඒවාට නඩු දාලා ඒවා කඩනවා නම් රජයේ ඒවාත් කඩන්න. කිසිම දේකට පැකිලෙන්න එපා. ” යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී නියෝග කළේය.
අගමැතිවරයා මේ නියෝගය දෙද්දී පියසේන ගමගේ ඇමතිවරයා පසෙක සිටියේය. එදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් සිදුවෙද්දී ඒ ඉදිකිරීම්වලට උපදෙස් දුන් පියසේන ගමගේ ඇමතිවරයා අද දක්ෂිණ සංවර්ධන විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාය. ගාලු උරුමය පදනම ඇත්තේ ඔහුගේ අමාත්‍යාංශය යටතේය. වර්තමානයේ ක්‍රීඩාමණ්ඩපය කඩන්න අගමැතිවරයා නියෝග දෙද්දී ඔහු අගමැතිවරයා සමග එකම පේළියේ අසුන්ගෙන සිටියේය.
නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ රජය ගත් තීරණයකට අනුව මේ ක්‍රීඩාංගණයේ ඇති අනවසර ඉදිකිරීමක් වූ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය කඩා ඉවත්කිරීමට නීති අංශයෙන් ලිඛිතව ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දෙන බවයි. දින 14ක් ඇතුළත ඒ සඳහා නිසි ක්‍රියාමර්ග නොගන්නේ නම් අධිකරණයට කරුණු වාර්තාකර අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ නියෝගයක් ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසෙයි.
නමුත් අධිකරණයෙන් එවන් නියෝගයක් ලබාදුන්න ද එය අභියාචනාධිකරණයේ දී අභියෝගයට ලක්කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවේ. එයින් පෙනී යන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට තව බොහෝ කල් ගතවන බවයි.
සජීව විජේවීර