රටට රන් පදක්කම් ගේන්න හිස් අරක්කු බෝතල් අහුලන ක්‍රීඩිකාව


එදා පොළොන්නරුව වැලිකන්ද නම ඇසූ සැණින් අප කාගේත් සිහියට නැගුණේ බිහිසුණු ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරවල ප්‍රතිඵලයන්ය. ඒ කොටි! වැඩි කලක් වැලිකන්දේ සැරිසරමින් කරන ලද ජීවිත හා දේපළවල විනාශයන් නිසාමය.


මෙදා අපට වැලිකන්ද මතකයට එන්නේ රටක් මවිත කරවන ලොවක් දිනවන සිද්ධීන් ගොන්නක එකතුවක් වශයෙනි.


 අලි, කොටි තර්ජන හමුවේ දිවිගෙවන වැලිකන්දේ මිනිසුන්ට කලක් බීමට වතුර නොමැතිව දසවධ විඳින කතාද අපට ඇසේ.
අප මේ කියන්නට යන්නේ ඒ වතුර නැති කතාවක්, නොමැති නම් ජනතාව මුහුණ දෙන පොදු ගැටලු පිළිබඳ කතාවක්ද නොවේ.
 වැලිකන්ද සෙවණපිටියේ පුංචි පැල්පතක සිට රටක බර කරටගෙන ලොවක් කැලඹූ දිරිය දැරියක් පිළිබඳවය.


 ලක්මවගේ ගෙල රනින් බැබළවූ සෙවණපිටියේ අයි.පී. ලක්ෂිකා මදුමාලි අද ලොවක බර කරට ගෙන රන්දෙරණ සරසවන්නට සූදානමින් සිටින්නීය.


 බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් අප රටෙන් පෙරට යන ලක්ෂිකාගේ ජයග්‍රහණයන් දෙස බලා අප ප්‍රීතිඝෝෂා නගා අත්පොළසන් ගැසුවද ඇයගේ දුෂ්කර ක්‍රීඩා ජීවිතය දෙස බලා අප කිසිවෙකුට එවැනි සතුටක් ලැබීමට නම් නොහැක.


මේ අතිදක්ෂ ක්‍රීඩිකාවගේ ක්‍රීඩා දිවියට එතරම්ම බාධක, කම්කටොලු ගලා එන්නේය. එය ඉතා සංවේදීය.


වයස අවුරුදු 16 හි පසුවන 53 බර පන්තියෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ හොඳම දෙවැනි ක්‍රීඩිකාව බවට පත්ව සිටින ලක්ෂිකා අංක 450, සෙවණපිටිය, වැලිකන්ද ලිපිනයේ ජීවත්වන්නීය.


2013 අගෝස්තු 04 වැනිදා බර ඉසිලීමේ  ක්‍රීඩාව ආරම්භ කර ඇති ලක්ෂිකා මදුමාලී, සෙවණපිටිය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නීය.


අයි.ජී. සුසන්ත ප්‍රේමරත්න සහ එස්.ඒ. ඉනෝකා චාන්දනී ඇයගේ මව්පිය දෙපළ වන අතර පියා වඩු ශිල්පියෙක්.


 අයි.පී. අශේන් රුක්ෂාන් ලක්ෂිකාගේ එකම වැඩිමහල් සොයුරා වන අතර ඇය පවුලේ බාල දරුවාය.


 වැලිකන්ද ක්‍රීඩා නිලධාරි කේ.ඩී. කැලුම් දයාන් පත්මසිරි මහතා ලක්ෂිකාගේ එකම ක්‍රීඩා ගුරුවරයා වේ.


ලක්ෂිකා මදුමාලී සිය බර ඉසිලීමේ ක්‍රීඩාව ප්‍රගුණ කරගෙන ඇත්තේ කායවර්ධන උපකරණ  කට්ටලයක් මගිනි.


එමගින් බර ඉසිලීම දියුණු කරගත් ලක්ෂිකා 2014 වසරේදී ජාතික පාසල් බර ඉසිලීමේ තරගයෙන් ප්‍රථම රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූවාය.


 දිළිඳු කමේ අවසන් පඩිපෙළේ සිටින ලක්ෂිකාට හරි හැටි පෝෂ්‍යදායි ආහාරවේලක් ලබා ගැනීමට ආර්ථිකය හරස් වී ඇත්තේය.
මේ සියලු බාධා මධ්‍යයේ බර ඉසිලීමේ ක්‍රීඩාව අත් නොහැරි ලක්ෂිකා මැලේසියාවේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසලීමේ තරගාවලියේදී ලෝකඩ පදක්කමක් ලබා ගනිමින් වැලිකන්ද ක්‍රීඩා ඉතිහාසයේ බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ලැබූ පළමු ජයග්‍රහණය හිමකර දුන්නාය.


ජාතික පාසල් බර ඉසිලීමේ තරගාවලියන්හි දී 2014, 2015, 2016 වසරවල කිලෝ ග්‍රෑම් 53 බර පන්තියෙන් අඛණ්ඩව වසර තුනක් රන් පදක්කම් ලබා ඇති ලක්ෂිකා මදුමාලී 2016  වසරේදී බර ඉසිලීමේ දක්ෂතම ක්‍රීඩිකාව බවටද පත්ව ඇත්තේ වැලිකන්දට පමණක් නොව ලක්මවටද මහත් කීර්තියක් එක් කරමිනි.


 “මට රට ගිහින් තරගවලට ඉදිරිපත් වෙන්න පාස් පෝට් හදන්න, සපත්තු, ඇඳුම් අරන්දෙන්න අම්මට, තාත්තට සල්ලි තිබුණේ නැහැ. මට උදව් කළේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙත්, මහවැලි අධිකාරියෙත් ක්‍රීඩා නිලධාරි කැලුම් සර්ගේ යාළුවෝ කට්ටියකුයි.” දෙනෙත් කඳුළින් බර කරමින් ලක්ෂිකා තම කඳුළු ක්‍රීඩා කතාව පෙරළන්නට පටන් ගත්තාය.


ලක්ෂිකාගේ නෙත්වලින් ඇයටත් හොරා පොළවට රූරා වැටෙන කඳුළු බිඳු අතරේ බොහෝ දෑ කීමට උත්සාහ ගන්නීය.
 2017 ජූලි 22 වෙනිදා ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගයට සහභාගි වීමටද ඇය සූදානමින් සිටින්නීය.


 මීට අමතරව මේ වසරේ සැප්තැම්බර් 01 වෙනිදා නේපාලයේ කත්මන්ඩු අගනුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ තරගය සඳහාද ඇය සහභාගි වීමට පෙරුම් පුරමින් සිටින්නීය.


 එම ජාත්‍යන්තර තරගවලට ඇයට සහභාගි වීමට වරම් උදාවෙන්නේ මැයි මාසයේ කොළඹදී පැවැත්වෙන තේරීම් තරගයට ඉදිරිපත් වී එයින් ලැබෙන ප්‍රතිඵලයත් සමගය.


“මට ඔය තරග සිම්පල්. නමුත් මට රට තරගවලට යන්න තියෙන එකම බාධාව සල්ලි නැති එකයි. මම මේ කල්පනා කරන්නේ ඒවට සල්ලි දෙන්නේ කවුදෝ කියලා. 2020 දී ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමත් මගේ එක ඉලක්කයක්. රට ගිහින් බර ඉසිලීමේ තරගවලින් ලංකාවට රන් පදක්කම් අරන් එන එක තමා මගේ ලොකු අරමුණ. ඒකට ළංවෙන්න මට හරියට පහසුකම් ලැබුණොත් මට විශ්වාසයි ඒ අභියෝගය ජයගන්න පුළුවන්” කියලා. ලක්ෂිකා පවසන්නීය.


 දෙමව්පියන්ට හරි හැටි මිල මුදල් නැති බව දැනගත් ලක්ෂිකාත් ඇගේ යෞවන සමාජයේ යාළුවොත් සෙවණපිටිය නගරයේ අස්සක් මුල්ලක් නෑර ඇති හිස් අරක්කු බෝතල් අහුලන්නට පටන් ගත්හ.


 ඩෙංගු මර්දන ව්‍යාපෘතියට සමගාමීව, සැමතැන විසිකර ඇති හිස් අරක්කු බෝතල් 5000 කට වැඩි ප්‍රමාණයක් අහුලා මුදල් බවට පත්කර ගැනීමට ඔවුහු උත්සාහ දැරූහ.


බර ඉසලීමේ තරගයෙන් ලක්ෂිකා රට යන්න තේරිලා. ලක්ෂිකාට කොළඹ යන්නත් සල්ලි නැහැ. එයාට සපත්තු, ඇඳුම්, පාස්පෝට් හදාගන්නත් ඕනැ. දැනට ක්‍රීඩා සර් කැලුම් සර් තමා එයාට පෝෂණ ආහාර දීලා ඒ තරගවලට වැඩි පුහුණුව දෙන්නේ. අපි මේ අහුලන හිස් බෝතල් සේරම විකුණලා ඒ සල්ලි ලක්ෂිකාට දෙනවා රට යන වියදමට තියාගන්න කියලා. අපේ යෞවන සමාජය මගින් තවත් එක එක ආදර්ශ වැඩ කරලා හොයන සල්ලි ලක්ෂිකාට දෙමු කියලා අපි තීරණය කළා.


 චමින්ද විජේසිංහ ග්‍රාම සේවක මහත්තයයි අපියි ගිය සැරේ යෞවන සමාජ රැස්වීමෙන් ලක්ෂිකාගේ රට ගමනට උදව් කරමු කියලා තීරණය කළා. ඉතින් අපි හිස් බෝතල් අහුලල පරිසරය වෙනුවෙනුත් ආදර්ශ වැඩක් කරලා ලක්ෂිකාටත් ඒ බෝතල් විකුණලා ගන්න සල්ලි දෙන්න අදහස් කළා. සෙවණපිටිය නගරයේ බෝතල් ඇහිදින දරු දැරියෝ එලෙස පැවැසූහ.


ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගයට ලක්ෂිකා රට යනවා නම් රුපියල් 150,000 ක මුදලක් ඕනැ වෙනවා. ලක්ෂිකා ජාත්‍යන්තර තරග දෙකකට විතර සුදුසුකම් ලබලා. එයා මැයි දෙවැනි සතියේ තේරීම් තරගයකට කොළඹත් යනවා. ඒකෙන් තේරුණොත් ලක්ෂිකාට රට යන්න සිදුවෙනවා. එයාට මේ දවස්වල පෝෂ්‍යදායි ආහාර වේලක අවශ්‍යතාව තිබුණත් ඒවා මිලට ගන්න සල්ලි නැහැ.

ඉතින් මට පුළුවන් විදිහට උදව් උපකාර කරනවා. ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කම් ගන්න ලක්ෂිකාට හොඳ හැකියාවක් තිබෙනවා. වැලිකන්ද ක්‍රීඩා නිලධාරි කේ.ඩී. කැලුම් දයාන් පත්මසිරි මහතා අප කළ විමසීමකදී එලෙස කීවේය.


උතුරු මැද පළාතේ වැඩිම රක්ත ඌණතාව ඇති දරුවන් සිටින්නේ වැලිකන්දේ කියන නිල බලධාරියාට ලක්ෂිකාගේ බර ඉසිලීමේ තරග ප්‍රතිඵලවලින් අපට බොහෝ දේ සිතීමට ඉතිරිකර ඇත. හිස් බෝතල් විකුණා ඒ මුදලින් ජාත්‍යන්තරයට ගොස් ලක්මවට ගෞරවයක්, කීර්තියක් ගෙන ඒමට බර උසුලන ලක්ෂිකා මදුමාලීගේ සිහිනය සැබෑ කිරීමට ඔබට හැකිනම් එය ලක්ෂිකාට පමණක් නොව අප රටේ බර ඉසිලීමේ ඉසව්වට කරනා උතුම් ගෞරවයකි.

සටහන - ඡායාරූප 
මනම්පිටිය නිමල් ජයරත්න