රොන් මඩවලින් පොහොර නිපැයීමෙන් බැර ලෝහ ශරීරගත වීමේ අවදානමක්


ඉන්දික හේවාවිතාරණ

සිඳීගොස් තිබෙන වැව් හා ජලාශවල පිහිටි රොන්මඩ තට්ටු කාබනික පොහොර සඳහා භාවිත නොකරන ලෙසත්, මෙම රොන්මඩ තුළ බැරලෝහ විශාල ලෙස අඩංගු වී තිබිය හැකි බවත් පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.


සමහර ප්‍රදේශවල වැව් හා ජලමූලාශ්‍රවල  රොන්මඩ කාබනික ද්‍රව්‍ය ලෙස භාවිත කිරීමට රැගෙන යන බවට වාර්තා වෙමින් තිබෙන බවත්,  මෙවැනි කටයුතු සිදුකරනවා නම් ජලමූලාශ්‍ර තුළදීම විද්‍යාත්මක පරික්ෂණයකට ලක් කළ යුතු බවත් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.


රොන්මඩ ඉවත් කරන බව පවසමින් සමහර ජලමූලාශ්‍රවල පස් කැපීම, වැලිකැපීම හා මැණික් ගැරීම් සිදුවෙමින් තිබෙන බවත්, මෙවැනි ක්‍රියා මගින් ජලමූලාශ්‍රයේ පතුලට විශාල ලෙස හානි සිදුවන බවත්, මේ හරහා වසර කිහිපයක් යන තුරු ජලමූලාශ්‍රවල නිශ්චිත ජලධාරිතාව රඳවා ගැනීමට නොහැකි වන බවත් හෙතෙම පැවසීය.


රොන්මඩ ඉවත් කිරිම සිදු කළ යුතු වන්නේ නිවැරදි තාක්ෂණය භාවිත කරමිනි.  ජලමූලාශ්‍රයේ පතුලට හානි සිදුවුව හොත් ජලමූලාශ්‍රයට එකතුවන ජලයෙන් සැලකිය යුතු කොටසක් පොළොවට උරාගත හැකිය.  එය යථා තත්ත්වයට පත් වීමට වසර හතරක් පහක් ගත විය හැකිය. රොන්මඩ හෝ ජලමූලාශ්‍රවල රැඳී තිබෙන පස් කාබනික පොහොර ලෙස භාවිත කළ හොත් එම ද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ පලදාව හරහා ශරිරගතවීම සිදුවිය හැකි බවත් මිට අමතරව වර්ෂාව ඇතිවූ පසු  පානීය ජලමූලාශ්‍රවලට පවා සෝදාගෙන යා හැකි බවත් හේමන්ත විතානගේ මහතා පැවසීය.


කෘෂිකර්මාන්ත කටයුතු සඳහා භාවිත කරන රසායනික පොහොර හා කෘමිනාශකවල කොටස් හා කර්මාන්ත ශාලාවලින් ඉවත දමන ඇතැම් රසායනික දුව්‍ය වර්ෂාව සමග ගලාගෙන විත් ජලමූලාශ්‍රවල තැන්පත්  වන බවද හෙතෙම සඳහන් කළේය.