ලංකාවේ ලොකුම අල්ලස ඉල්ලූ රේගු ලොක්කෝ


 

ලංකා මාතාව ජීවග‍්‍රහයෙන් අල්ලාගෙනය.   


අල්ලස..........   


ඇගේ බොටුවෙන් මිරිකාගෙනය.   


ජීවග‍්‍රහයෙන් අල්ලාගෙන, බිඳුවෙන් බිඳුව ලංකා මාතාවගේ රුධිරය උරාබොමින් ඇගේ හුස්ම පොද හිර කරන්නේ මේ දැනුම ඇගේ ප‍්‍රාණය නිරුද්ධ කිරීමට නොව ඇය නොමරා මරමින් ඇගේ රීරි මාංශ උරා බීමටය...........   


මැරුනොත් සියල්ල අවසන් බව පාපතරයෝ දනිති..........   


මරණය යහපති. දිනෙන් දින දුෂණයට ලක් වෙමින් මැරීමැරී ජීවත්වීම............. ලංකා මාතාව අද දිනයටත් වඩා විඳවන්නේ ඇගේ අනාගතය සිහිවන විටය. එමෙන්ම තවමත් මෙලොව එළිය නුදුටු තමන්ගේම අතිජාත පුතනුන්,............. දියණියන්ගේ......... අනාගතය............. ගැන මෙන්ම තමන්ගේ කුසේ සිටින අවජාත පුතනුන්,............. දියණියන්ගේ......... අනාගතය.............   
අල්ලස නමැති ගොහොරුවේ මොහොතින් මොහොත............. දිනෙන් දින ගිලෙමින් මියයා යුතු බවට උප්පත්තියටත් පෙරම මරණ සහතිකය ලියා ඇත්නම්...............   


‘කුමට අප ඉපදෙමුද මේ රටේ’.   


ලංකා මාතාවගේ අතිජාත මෙන්ම අවජාත දියණියන්.......... පුතනුවන්,............. මේ පැනය ඇගෙන් විමසාවිද? නැත්නම් ඇයට ශාප කරාවිද?   


‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ යන ගෞරවනීය නාමයෙන් හැඳින්වු ලංකා මාතාවට ‘ඉන්දියන් සාගරයේ අමුතු ඇටය’ යනුවෙන් හෙලුවැලි සුද්දෝ සුද්දියෝ ඔච්චම් කිරීමට වැඩි කාලයක් ගත වන බවක් මට නම් නොහැඟේ   
‘අම්මට මුකුත් කියන්න එපා’ අපි ඇගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින්නෙමු. ඒ අපගේ මේ උත්සාහය ලංකා මාතාවගේ ගෞරවය බේරා ගැනීම සඳහාම වන නිසාය.   


ඉවක් බවක් නැති මෙවැනි විකාරරූපී සිහින මගේ මනස පුරා විසිරී යෑමට ආරම්භ වුයේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ අධිකරණයේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා මෙන්ම අනෙකුත් රාජ්‍ය සේවකයන්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුවකුට නියම කරන්නැයි කළ ඉල්ලීමක් අසා සිටි අවස්ථාවේදීය.   


 රටේ පුරවැසිභාවයවත් නොමැති උත්තමයෝ රටේ ප‍්‍රාණ නාළිය වන මහබැංකුව වැනි මර්මස්ථානවල අධිපතිධුරයන්ට පත් කරන්නේ කුමකට දැයි බොහෝ දෙනා ප‍්‍රශ්න කරන විට ‘හොරකම් කරන්නනේ, ඇයි තේරෙන්නේ නැද්ද?’ ‘ලංකා මාතාවට ශාපයක් වුණත් ලොකු ලොක්කන්ට යහපත ගෙන දුන් බව කියන කොටින්ගේ කළු සල්ලි සුදු කරන්නනේ’ යනුවෙන් තවත් අය හුමිටි දෙති.   


ඇත්තද? නැත්තද? දන්නේ දෙවියෝත්, යක්‍ෂයෝත් පමණි.   


දරුවන්ගේ සාගිනි නිවන්න, වකුගඩු ලෙඩෙන් දුක් විඳිමින් ජීවිතයත් මරණයත් අතර සටන් වදින බිරිඳගේ ජීවිතය බේරා ගන්න, පරම්පරාවකට හිසට සෙවණ දුන් නිවෙස විකිණීමට සිදුවන යුගයක. තවත් පිරිසක් ‘සල්ලි උඩ පිහිනන්නදෝ සිතෙන තරම් වැටුප් දීමනා ආදිය ලබන ආයතනවල රැකියා කරන උදවිය කෝටි ගණන්වලින් අල්ලස් ගැනීම......... බැඳුම්කර ගනුදෙනුවලදී රාජ්‍ය බැංකුවලට අඩුවෙන් ලංසු තබන්නැයි මුදල් ඇමැතිවරුම නියෝග දෙන යුගයක.......... එහෙම නියෝග දෙන්නේ තමන්ගේ සුපිරි නිවෙසේ මාසික කුලිය ගෙවන නොදන්නා කොම්පැනි රටේ සල්ලි කාබාසිනියා කරන්න දැයි සිතෙන යුගයක...........   


‘ඉන්දියන් සාගරයේ අමුතු අටය’ කියා හෙලුවැලි සුද්දෝ සුද්දියෝ ඔච්චම් කරන විට ජාතිමමත්වයෙන් කෙළින්ව තිබු අපේ හිස් නිකම්ම පහතට නොවැටෙන්නේද?   


ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැලකෙන බව කියන රුපියල් කෝටි 12 1/2ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට රේගු අධිකාරීවරුන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලද බවට වූ පුවත ඇසු මගේ සිත තුළ මෙවැනි විකාරරූපී සිහින වැලක් නළියන්නට විය.   


‘අනේ කාලේ වනේ වාසේ’ යනුවෙන් මට හැඟුණේ ලංකාවේ පගා ගහන ආයතනවලින් අංක එකට ‘පොලිසිය’ පත් වෙලා යන්න පොල් ගෙඩි අකුරින් පුවත්පත්වල මුල් පිටු සැරසුවත්, ඇත්තෙන්ම දහසකුත් එකක් ප‍්‍රශ්නවලට පිළිතුරු සොයමින් නොයෙක් දුක් ගැහැට විඳින, යටි පතුල කාකි බුට් එකේ අඩියට ගෙවන තුරු ගිනි ගහන අව් කූටකේ පිච්චි පිච්චි හන්දි ගාණේ දුක් විඳින කාකි නිල ඇඳුමෙන් තම ප‍්‍රශ්න සියල්ල වසාගෙන සිටින නිලදරුවන් ගැන සියළු දෙනා ඇස ගසාගෙන සිටියත් කොළඹ සීතල කාමරවල ඇති සීතලට ගුළිවී, ‘සීතලෙන්ම’ ඉතිහාසය අලුත් කරන ටයි කෝට් හැඳි මහත්වරුන් දෙස දේවත්වයෙන් බලා සිටින්නෝ නොවෙත්දැයි සිතුණු විටදීය.   


රට වටේටම මහ මුහුද තිබුණත් උම්බලකඩයත් පිටරටින් ගෙන්වන, තියෙන දේ විකිණීමත්, හොරා කෑමත්, පිටරටින් දෙන දේම කෑමත්, සිය ප‍්‍රතිපත්තිය කරගත් ගොයියෝ රටේ ප‍්‍රතිපත්ති හදන විට සිංගප්පුරුව අප රට දෙස බලා මීට අවුරුදු 50කට කලින් කී දේ මතකයට නගාගෙන ‘ලංකාවත් සිංගප්පුරුවක් කරනවා’ කියා පාරම්බාන ප‍්‍රතිපත්තිකාරයෝ සිටින විට ලෝකය හමුවේ ලංකා මාතාවගේ අනාගතය කොතැනද?   


‘ත්‍රීවී්‍ල්’ පැදවීම ශ්‍රී ලාංකිකයන්ගේ එකම රැකියාව වී, වත්තේ තියෙන එකම පොල් ගහට නැඟීමටත් අහළ පහළ රටකින් කල්ලතෝනින් ආනයනය කිරීමට සිදුවන යුගය වැඩි ඈත නොවේ.   


වඩුවෝ, ගොවියෝ............. ආනයනය කිරීමට සිදුවුවත් පගා ගහන විශේෂඥයෝ අපනයනය කිරීමට නම් අපට ඕනවටත් වඩා සුදුසුකම් ඇතිවාට කිසිම සැකයක් නැත. ඉහළ සිට පහළටම පගාකාරයෝ....... කාක්කෝ........... ඕනෑතරම්ය.   


ලංකාව මේ නරා වළෙන් ගොඩ ගැනීමට අල්ලස් හෝ දුෂණ චෝදනා හෝ විමර්ශන කොමිසම විශාල මෙහෙවරක් සිදු කරතත්. රටක් විධියට ලෝකයා හමුවේ උජාරුවෙන් කතා කිරීමට නම් අල්ලස් ගැනීම, අල්ලස් මුදල්වලින් තම දරුවන්ට කන්න, බොන්න, අඳින්න දීම තමන්ටත් තම දරුවන්ටත් අවමානයක් ලෙස සිතීමට තම ජානවලටම කාවැද්දිය යුතු වේ. මට මෙලෙස සිතුණේ ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැලකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් රේගු අධිකාරීවරුන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලද පුවත ඇසු අවස්ථාවේදීය.   


මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට මෙන්ම එය කුමන්ත‍්‍රණකාරීව සිදුකළ බව ඇතුළු චෝදනා 16 යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරනු ලැබ ඇත.   


රුපියල් කෝටි 12 1/2ක අල්ලසක් ඉල්ලා ලබාගත් 2015 ජූනි මස 22 වැනිදාත් 2015 ඔක්තෝබර් මස 15 වැනිදාත් අතර කාලයේදී ජීවත්ව සිටියත් මේ වනවිට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව මෙම අල්ලස් ලබාගත් බවට චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික‍්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක‍්‍රම ජිනදාස මහත්වරුන්ය.   


2015 ජුනි මස 22 වැනිදාත් 2015 ඔක්තෝබර් මස 15 වැනිදාත් අතර කාලයේ කොළඹ පංචිකාවත්තේදී රුපියල් මිලියන 150ක මුදලක් දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ඉල්ලා ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරනු ලැබ ඇත.   


එම කුමන්ත‍්‍රණයට අනුව අවස්ථා කිහිපයකදී පැමිණිලිකරුගෙන් අල්ලස් ඉල්ලීම ඒ අනුව 2015 ඔක්තෝබර් මස 15 වැනිදා රුපියල් මිලියන 125ක මුදලක් ලබාගත් බවට මෙන්ම සෙසු විත්තිකරුවන් ඊට ආධාර සහ අනුබල දුන් බවට විත්තිකරුවන්ට අල්ලස් කොමිසම එරෙහිව වැඩිදුරටත් චෝදනා ඉදිරිපත් කොට ඇත.   


රුපියල් කෝටි 12 1/2ක අල්ලස් මුදල ඉල්ලීම සම්බන්ධයෙන් මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකු වන බන්ධුලසේන මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කරනු ලැබ තිබිණි.   


පැමිණිලිකරු මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වීමේදී රජයට අඩුවෙන් බදු මුදල් ගෙවා ඇති බව සඳහන් කරමින් පැමිණිලිකරුගේ ගබඩාව පරීක්‍ෂාවට භාජනය කොට ඇති බවත් එහිදී නිසි අන්දමට මෙම භාණ්ඩ ගණනය කළහොත් රුපියල් මිලියන 300ක පමණ බදු මුදලක් රජයට ගෙවීමට සිදුවන ඇති බව පවසා එය අඩුවෙන් ගණනය කොට රජයට අඩුවෙන් බදු මුදල් ගෙවීමට සලසාදීම සඳහා රුපියල් මිලියන 150ක මුදලක් විත්තිකරුවන් විසින් මුල් අවසථාවේදී ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙනු ලැබ ඇත.   


රුපියල් මිලියන 150ක මුදල ඉල්ලීමේ සිද්ධියෙන් පසු පැමිණිලිකරු අවස්ථා ගණනකදී විත්තිකරුවන් සමඟ සාකච්ඡා කොට අල්ලස් මුදල රුපියල් මිලියන 125 දක්වා අඩු කරගෙන ඇති බවත්, ඉන් අනතුරුව 2015 ඔක්තෝබර් මස 15 වැනිදා රුපියල් මිලියන 125ක මුදලක් පැමිණිලිකරුගේ ව්‍යාපාරික ස්ථානයේදී ලබාගන්නා අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනෙකුත් ඉන් අනතුරුව සිදුකළ පරීක්‍ෂණවලදී සෙසු විත්තිකරුවනුත් අත්අඩංගුවට ගෙන ඇතැයිද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.   


විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛන හා සාක්කිවලට අමතරව හඬපට සහ රූප දර්ශන සහිත වීඩියෝපටද සාක්කි ලෙස ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.   


ලංකාවේ ලොකුම අල්ලස සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ට එරෙහිව නඩු පවරන අතරතුර පෙරුම්පුරා රජයේ රස්සාවක් ලබා ගැනීමෙන් අනතුරුව පෞද්ගලික රැකියා කරන අය ගැන සැලකිල්ලක් දක්වන බවක් නෙපෙනෙන රජ්‍ය සේවකයෝ එම උජාරුව හෑල්ලුවට ලක් කරමින් දිනෙන් දින අල්ලසට කොටුවන විට මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ රාජ්‍ය සේවකයන් අසලම බංකු මත තවත් කාර්යාලයක් පවත්වාගෙන යමින් එහි පැමිණෙන අයගෙන් අල්ලස් ලබාගනිද්දී කාක්කෙක්ද කොටුවිය.   


රාජ්‍ය කාර්යාල තුළ කාක්කෝද කාර්යාල පවත්වාගෙන යන තරමටම තත්ත්වය දරුණු වී ඇත.   


ඉවක් බවක් නැති විකාරරූපී සිහින මගේ මනස පුරා විසිරී යෑම යළිත් ආරම්භ වුයේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා මෙන්ම අනෙකුත් රාජ්‍ය සේවකයන්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුවකුට නියම කරන්නැයි කළ ඉල්ලීම සිහි වු නිසාමය.   


අලූතින් ඉදිකරන ලද නිවාස සංකීර්ණයක මලප‍වාහන බට පද්ධතිය දුම්රිය මාර්ගයට යටින් එළීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට නීත්‍යනූකූලව ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 2 1/2ක මුදලක් ගෙවා තිබියදීත් දුම්රිය මාර්ගයට යටින් මලප‍වාහන බට පද්ධතියක් එළීම අධීක්‍ෂණය කරමින් සිටි දුම්රිය දෙපාර්තමෙන්තුවේ හිටපු මාර්ග පරීක්‍ෂකවරයකු ඉංජිනේරුවරයකුගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 35,000/-ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වී 20 වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය.   
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයන්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරුට එලෙස දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 35,000/-ක මුදල දණ්ඩනයක් ලෙස යළිත් අයකර ගැනීමටද නියම කළේය. ඊට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද ඔහුට නියම කළේය.   
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ බුද්ධිනාත් ඩයස් නමැති දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු මාර්ග පරීක්‍ෂකවරයෙකුටය.   


ඔහු වරදකරු කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය අධිකරණය අමතමින් අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇති බවත්, සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයන්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.   


දඬුවම්වලින් බේරී අල්ලසට ගිජු වී සිටින්නෝ නැත්තේම නොවේ. ඒත් තමන්ගේ හෘද සාක්ෂියට කවරදා හෝ පිළිතුරු දිය යුතුය. කෙනෙක් තවකෙකුට දෙන දඬුවමකට වඩා ස්වභාව ධර්මය දෙන දඬුවම් බරපතළය. දරා ගැනීමට නොහැකි තරම් කුරිරුය. ඒත් ඊට එරෙහි වීමට නොහැකිය. අාඩපාලි කියා වැඩක් නැත. මෙලෙස පගාවට යට වු අයගේ අවසාන නවාතැන දැනගැනීමට අවශ්‍ය නම් කැලණි පන්සලේ බුදුමැඳුරේ පාදමේ ඇති ගල් බමුණු පිළිරූ දෙස බලන්න මම ඔබට ආරාධනා කරමි.   

සටහන - මනෝප‍්‍රිය ගුණසේකර