1977 වසරේ පැවති මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස 1978 වසරේ දිවුරුම් දුන් ජේ. ආර්. 1982 ජනාධිපතිවරණයේදී දෙවැනි වරටත් විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.
ජේ. ආර්. ජයවර්ධන මහතා දේශපාලනයට මුලින්ම පිවිසියේ 1940 වසරේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වෙමිනි. නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලන පිටියට පිවිසි ජේ. ආර්. අවසානයේ නැවතුණේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස අභිෂේක ලබමින්ය.
ජේ. ආර්. ගේ පියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය කාරවරයෙකු ලෙස සේවය කර තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ජේ. ආර්. යුනිවර්සිටි කොලිජියෙන් හා නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිය පිළිබඳ හසළ දැනුමක් ලබාගත් අතර ඔහු අධිනීතිඥවරයෙක් විය.
හලාවත කොළඹ දුම්රිය මාර්ගයට යාබදව මාදම්පේ නගරයට නුදුරින් ජේ. ආර්ට පරම්පරාවෙන් උරුමවූ අක්කර 40 ක පමණ සරුසාර පොල් ඉඩමක්ද තිබුණේය.
මෙම වත්තේ කාලයක් වතු අධිකාරිවරයාව කටයුතු කළේ වින්සන් ජයමහ මහත්තයාය.
මෙරට විධායක ජනාධිපතිවරයාට අයත් වත්තක වතුපාලකවරයා ලෙස සේවය කළත් වින්සන් ජයමහ මහතා ප්‍රදේශයේ කොයිකා එක්කත් සමීපව ඇසුරු කළ ජනප්‍රිය පුද්ගලයකුව සිටියේය. ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධූරය දරන වකවානුවේ පවා විවේක සුවයෙන් නිදහසේ ගත කිරීමට අවශ්‍යවූ විට පැමිණෙන්නේ මාදම්පේ පිහිටි ඔහුගේ මේ වත්තටය.
මැටි ගසා බිමට ගොම අතුරා පොල් අතු සෙවිලි කළ නිවසක් හා සිමෙන්ති ගඩොලින් බැඳ පොල් අතු සෙවිලිකර නිවසක්ද ජේ. ආර්ට අයිති මේ වත්තේ තනා තිබිණි.
ජේ. ආර්. නිදහසේ කාලය ගත කිරීමට වසරකට අඩුම වශයෙන් දෙවරක්වත් වත්තට පැමිණ ඇති අතර එසේ පැමිණි අවස්ථාවල දින දෙක තුනක්ම වත්තේ ගත කිරීමට පුරුදුව සිටියේය.
වත්තට පැමිණි අවස්ථාවල ජේ. ආර්. වැඩියෙන්ම ගත කිරීමට කැමැත්තක් දක්වා ඇත්තේ පොල් අතු සෙවිලි කර මැටි ගසා බිමට ගොම අතුරා තිබූ පුංචි නිවසේය.
එලීනා ජයවර්ධන ආර්යාවද වැඩි කැමැත්තක් ආශාවක් දක්වා ඇත්තේ මේ නිවසේ ගත කිරීමටය. ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එලීනා ජයවර්ධන ආර්යාව පැමිණිවිට ඔවුන්ට විසීමට තනා තිබූ නිවාස දෙකේම තිබී ඇත්තේ සුඛෝපභෝගී බඩු බාහිරාදිය නම් නොවේ.
නිදාගැනීමට තිබුණ ඇඳටද දමා තිබී ඇත්තේ සුවපහසු මෙට්ට වෙනුවට සාමාන්‍ය මෙට්ටය.
නිවාස වලට රෑට ආලෝකය සපයා ගෙන ඇත්තේ ලන්තෑරුම් එළියෙනි.
මේ වත්තේ එක් කෙළවරකට මායිම්වී තිබුණේ තිනිපිටි වැවය.
තිනිපිටි වැව් කොමළියගේ පහස විඳීමටත් වැව් කොමළිය සිප හමා එන සිහින් සුළං රැළිවල සුවය ලබාගැනීමටත් ජේ. ආර්. දක්වා ඇත්තේ නොමද ආශාවකි.
ජේ. ආර්. හා ආර්යාව තිනිපිටි වැව ආසන්නයට සන්ධ්‍යා කාලයේ පැමිණ පැය කිහිපයක් ගත කිරීමටද අමතක නොකළේ ඒ නිසාමය. පොල් අතු සෙවිලි කළ නිවසක ලන්තෑරුම් එළියෙන් සිටීමට ජේ. ආර් තුළ තිබී ඇත්තේ ලොකු කැමැත්තකි. එය ඔහුගේ සරල චාම් ගතිපැවතුම් වලට හොඳම උදාහරණයකි.
ජේ. ආර්. ගේ වත්තේ ගස්ලබු සහ අඹ වැනි විවිධ වර්ගයේ පලතුරුද ඒ කාලයේ යහමින් වවා තිබූ අතර ඔහු පලතුරු කෑමටද මහත් රුචියක් දක්වා ඇත.
විදේශයන්හි සංචාරය කළ අවස්ථාවල රාජ්‍ය නායකයින්ගෙන් ලැබුණු වටිනා ගස් ජේ. ආර්. මාදම්පේ වත්තේද රෝපණය කර තිබිණි. ජේ. ආර්ගේ වත්තේ වතු පාලකවරයාව සිටි වින්සන් ජයමහ මහතා යම් යම් අවශ්‍යතා සඳහා ජේ. ආර්. හමුවීමට කොළඹ වෝඞ් පෙදෙසට යන සමහර අවස්ථාවන්වල ගොස් ඇත්තේ මහවැව පදිංචි ඔහුගේ හොඳම මිතුරෙකු වන ව්‍යාපාරික උපාලි රත්නායක මහතාට අයත් ඩබල් කැබ් රථයෙනි.
“ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට පලතුරු, පොල් වගේ දේවල් අරගෙන යන අවස්ථාවල වින්සන් ජයමහ මහත්තයා ඒවා අරගෙන යන්න මටයි කතා කළේ. මම ඔහුත් එක්ක කිහිපවතාවක්ම වෝඞ් ප්ලේස් එකේ තියන ජේ. ආර්. මහත්තයාගේ නිවසට ගොස් තිබෙනවා.
ජයමහ මහත්තයා ගෙන යන පළතුරු පෙට්ටි බාරදෙන්න ගියාම අපිට තේපැන් සංග්‍රහයක්ද නොවරදවාම ලබාදෙන්න අමතක කළේ නැහැ” යැයි පැවසුවේ උපාලි රත්නායක මහතාය.
මාදම්පේ ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය චරිතයක්ව සිටි ජේ. ආර්.ගේ මාදම්පේ වත්තේ පාලකයා මිය ගොස් මේ වනවිට වසර කිහිපයක් ගොස් ඇත.
ජේ. ආර් ගේ ජීවිතය හා බැඳුණු තවත් අප්‍රසිද්ධ කතා බොහොමයක් ඇත.
ඒ කතා ඉදිරියේ කියවමු.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය