ඉන්දික හේවාවිතාරණ
දේශීය ලොකු ලූනු ගොවියා රැක ගැනීම සඳහා ආනයනික බද්ද රුපියල් 20 කින් ඉහළ දැමීමෙන් සිදු වූයේ පාරිභෝගික ජනතාවට වැඩි මිලට ලොකු ලූනු මිලදී ගැනීමට සිදුවීම පමණක් බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
දේශීය ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න අගෝස්තු 15 වැනි දින සිට වෙළෙඳ පොළට පැමිණීම ආරම්භ වීම අනුව අස්වනු විශාල කොටසක් මේ වන විට විකුණා අවසන් බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය.
අස්වැන්න වෙළෙඳ පොළට පැමිණි මුල් අවස්ථාවෙහිදී ලොකු ලූනු කිලෝවක් රු. 120-රු.130 අතර මුදලකට මිලදී ගත්තද අස්වැන්න ලැබීම ක්‍රමානුකූලව අඩු වීමත් සමග ලොකු ලූනු කිලෝවක ගැනුම් මිල රු. 180-රු.200 අතර මිලකට ඉහළ ගිය බව පැවසීය.
වර්තමාන ආණ්ඩුව විසින් දේශීය ගොවියාගේ අස්වැන්නට හොඳ මිලක් ලබා දීම සඳහා පසුගිය 06 වැනි දින සිට රු.10ක්ව පැවති ආනයනික ලොකු ලූනු බද්ද රු. 30 දක්වා රු. 20කින් ඉහළ දමා ඇතත් තවමත් ලොකු ලූනු කිලෝවක් ගොවීන්ගෙන් මිලදී ගන්නේ රු. 200කට ආසන්න මුදලකට වීම නිසා බදු ඉහළ දැමීමේ වාසිය ගොවීන්ට නොලැබෙන බව ඔහු පැවසීය.
රජය විසින් බදු ඉහළ දැමීමත් සමග වෙළෙඳ පොළේ රු.250-රු.270 අතර මුදලකට අලෙවි කළ දේශීය ලොකු ලූනු කිලෝවක මිල රු. 320-රු.350 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව කිලෝවක් රු. 120 කට මිලදී ගෙන ගබඩා කරගෙන සිටි ව්‍යාපාරිකයන් මේ වන විට ලොකු ලූනු කිලෝවක් රු. 320 ඉක්ම වූ මිලකට අලෙවි කරමින් අධික ලාභයක් උපයා ගන්නා බව අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය.
දැනට රු.200කට මිලදී ගන්නා දේශීය ලොකු ලූනු කිලෝවක් පවා ජනතාවට අලෙවි කරනු ලබන්නේ රු.320 ඉක්මවූ මුදලකට බව ඔහු කීය.
දේශීය ගොවීන් ලොකු ලූනු වගා කටයුතු ආරම්භ කරන්නේ සෑම වසරකදීම මාර්තු හා අප්‍රේල් මාසවලදී වන අතර අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙන්නේ අගෝස්තු මාසයේදීය.
දැනට පවතින තත්වය අනුව වාර්ෂිකව අවශ්‍ය වන ලොකු ලූනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දහසක් පමණ වේ. මෙම ප්‍රමාණයෙන් මෙරට නිෂ්පාදනය කරන්නේ සියයට දහයකට ආසන්න ප්‍රමාණයක් නිසා දේශීය වශයෙන් වගා කරන භූමි ප්‍රමාණය ක්‍රමානුකූලව ඉහළ දමා ගොවියාගේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණීමට ආසන්න කාලවලදී ආනයනික බදු ඉහළ දැමීමේ වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.