ඉන්දික හේවාවිතාරණ
ජලය කළමනාකරණය කරගෙන මෙවර යල කන්නයේ වී වගා කරන භුමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ දෙකකින්වත් ඉහළ දමා ගැනීමට කටයුතු නොකළ හොත් ලබන පෙබරවාරි මාසය දක්වා සහල් අර්බුදය පැවැතිය හැකි බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
යල කන්නයේ ආසන්න වශයෙන් හෙක්ටයාර් ලක්ෂ හතරක පමණ වගා කටයුතු සිදුකරන බවත් මෙම ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ හයක් දක්වා මෙවර කන්නයේදී ඉහළ දමා ගත යුතු බවත් එම සංගමයේ
සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය.
මාස් කන්නයේදී වී මේට්‍රික් ටොන් ලක්ෂ 28-30 අතර අස්වැන්නක් බලාපොරොත්තු වුවත් ඇතැම් ප්‍රදේශවල මාස් කන්න දෙකක් ආපදාවලින් හානි සිදුව තිබෙන බව ද ඔහු පවසා සිටියේය.
මේ නිසා මෙවර මාස් කන්නයේ අස්වැන්න ආසන්න වශයෙන් මේට්‍රික් ටොන් ලක්ෂ 4-5 අතර ප්‍රමාණයක් අඩු වී තිබෙන නිසා මාස් කන්නයේ අපේක්ෂිත අස්වැන්න නොලැබී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. වර්ෂයකට අවශ්‍ය සහල් ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීමට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 45කට අධික ප්‍රමාණයක් වුවමනා වේ. සමාන්‍ය ක්‍රමයට අනුව යල් කන්නයේ දී වී මෙට්‍රික් ලක්ෂ 15-18 ප්‍රමාණයක් ලැබෙන බවත් මාස් කන්නයේ දී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 28-30 අතර ප්‍රමාණයක් ලැබෙන බවත් ඔහු පැවසීය.
මෙවර මාස් කන්නයේ දී වී අස්වැන්න ලැබී තිබෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ විසිපහකට ආසන්න ප්‍රමාණයක් නිසා යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් ලක්ෂ විස්සකට වැඩි අස්වැන්නක් ලබාගත යුතු බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා සඳහන් කළේය.
මේ වන විට ඇතැම් ප්‍රදේශවල ජලාශ හා වැව්වල ජලය පිරී පවතින අතර ඉදිරියේදී ද වැසි ලැබීමට නියමිත නිසා නියමිත ආකාරයට කන්න රැස්වීම් පවත්වා අඩු කාලයකදී අස්වැන්න නෙළාගත හැකි වී වගා කිරීමට ගොවීන් උනන්දු කළ යුතු බවද ඔහු පැවසීය. පවතින ජලය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් මෙවර යල කන්නයේ වගා කරන භූමි ප්‍රමාණය ඉහළ දමා ගත හැකි බවත් ඒ හරහා ඉදිරි කාලයේ දී සහල් හිඟයක් ඇති වීම හා සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ යෑම වළක්වා ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
මේ වසර අවසානයේ දී වගා කටයුතු ආරම්භ වෙන මාස් කන්නයේ අස්වැන්න ලැබෙන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේ දී නිසා දැනට ආරම්භ වී තිබෙන යල් කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය සහන ලබා දී ජලමූලාශ්‍රවල ජලය නිසි ලෙස කළමනාකරණය කරගෙන වගා කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවද සභාපතිවරයා පැවසීය.