වරාය නගරය ඉදිකිරීමෙන් කොළඹ ගොඩනැගිලි ගිලෙයිද ?


 

කොළඹ නගරයේ ඉදිකෙරෙන දැවැන්ත ගොඩනැගිලි නිසා නගරයේ පැරණි ගොඩනැගිලි සහ මංමාවත් ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ඉංජිනේරුවෝ පවසති.


එවැනි දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීම්වලදී පොළොවට එවැනි බරක් දැරිය හැකිද යන්න පිළිබඳ ක්‍රමවත් හා විධිමත් අධ්‍යයනයක් කළ යුතුයි. විශේෂයෙන් එවැනි ගොඩනැගිලි ඉදිකිරීමේදී පොළොව අභ්‍යන්තරයේ පවතින පාෂාණ තට්ටුව දක්වා මූලික කැනීම් කර ඒ තුළ ඉදිකිරීමේ මූලික පදනම යෙදිය යුතු යැයි භූවිද්‍යාඥයන් මෙන්ම ගොඩනැගිලි ඉංජිනේරුවෝ පවසති.


විශේෂයෙන් මේ පිළිබඳ අවධානය යොමු වුණේ කොළඹ වරාය නගරය ඉදිකිරීමේදී ඇතිවන තත්ත්වය පිළිබඳව විවිධ මත පළවීම හේතුවෙනි. වරාය නගරය ඉදිකෙරෙන්නේ මුහුදු අභ්‍යන්තරයේ ඇති වැලි ගොඩ දමා පිරවීමෙන් පසුවයි.


මේ නිසා මුහුදු මට්ටම ඉහළට ඒමත් එහි බලපෑම මත කොළඹ නගරයට ඇතිවන ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවත් විශේෂඥ ඉංජිනේරුවෝ පවසති.


පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මෙම වරාය නගරය ඉදිකිරීම නිසා ජනාධිපති කාර්යාලය ද දෙදරුම් කෑමේ තත්ත්වයකට මුහුණ දුන් බව විටින් විට තම කාර්යාලයේ සේවකයන්ද දැනුම් දුන් බව ජනාධිපතිවරයා එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. මේ ව්‍යාපෘතිය  නිසා රාජ්‍ය සම්පත් ද විදේශීය රටවලට අලෙවි වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසයි.


එහෙත් එවැනි තර්ජනයක් ඇති නොවන බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.


 

ගිලාබැසීම පිළිබඳ පළවූ වාර්තාවලට පදනමක් නෑ

මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍ය පාඨලි චම්පික රණවක


කොළඹ නගරයේ ගොඩනැගිලි හා මංමාවත් ගිලා බැසීමට හා ඉරිතැලීම්වලට ලක්වීමේ අවදානමක් පවතින බවට පළවූ වාර්තාවල කිසිම පදනමක් නැහැ. මම වගකීමෙන් ප්‍රකාශ කරනවා මේවා පදනම් විරහිත ප්‍රචාර. ඔය සිද්ධියට මුල්වුණේ ආචාර්ය ජී.ජී. කරුණාරත්න මහතා කළ ප්‍රකාශයක් නිසා.


කොළඹ නගර ව්‍යාපෘතිය නිසා මෙවැනි තත්ත්වයක් උදාවන බව ඔහු ප්‍රකාශ කර තිබුණා. නමුත් එවැනි කිසිම අවදානමක් නැහැ. ඔහු ප්‍රකාශ කළේ භූගත ජල තලය මුහුදු සීමාවට ආසන්නයේදී මුහුද ගොඩගැලීමක් සිදුවුවහොත් ජල තලය ඉහළට එසවනවා කියන එක. එය දැනට මීටර් 3.9 ක් පහළින් තිබෙන්නේ. එය ඉහළට යා හැකි බව ඔහු දේශනයකදී ප්‍රකාශ කළා.


එතුමා ඒක ප්‍රකාශ කරන්නත් ප්‍රථම මේ සම්බන්ධව කළ පරිසර අධ්‍යනයේදී. පැහැදිලිවම එය සඳහන් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ගතයුතු ඉංජිනේරු ක්‍රියාමාර්ගත් යෝජනා වෙලා තිබෙනවා. ඒ සියලු ඉංජිනේරු ක්‍රියාමාර්ග අප අරගෙන තිබෙනවා.


මෙහි අනතුර හැටියට සඳහන් කළේ වෙරළ තීරයට ආසන්නයේ තිබෙන පැරණි ගොඩනැගිලි, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, විදේශ අමාත්‍යාංශය. තැපැල් මූලස්ථානය වගේ වසර 100 කට කලින් හදපු ගොඩනැගිලිවලට හානි සිදුවන බවයි.
ඒ කාලේ මේ ගොඩනැගිලි ඉදිකළේ අද වගේ පොළොව අභ්‍යන්තරයේ ඇති පාෂාණ තට්ටුව විදලා, අත්තිවාරම දමලා නොවෙයි. පාෂාණ තට්ටුව දක්වා ගොඩනැගිල්ලේ අත්තිවාරම සම්බන්ධ කරලා නැහැ. ඉතින් භූගත ජලය ඒ අභ්‍යන්තරයට ගියාම ඒවාට හානි සිදුවීමේ ඉඩකඩ පවතින්න පුළුවන් කියන එකයි පරිසර වාර්තාවේ තිබුණේ.


ඒකට ගත්ත ඉංජිනේරුමය ක්‍රියාමාර්ග තමයි ප්‍රධාන ගොඩබිමයි, වරාය නගරයයි අතරේ ඇළක් තිබෙනවා. ඒ ඇළ සකස් කළේ යම් හෙයකින් ජල තලයේ ඉහළ යාමක් වුණොත් එහි පීඩනය ගන්න.


මීළඟට බේරේ වැව තිබෙනවා. යම් හෙයකින් ජලතලයේ ඉහළ යාමක් සිදුවුවහොත් ප්‍රථමයෙන්ම සිදුවෙන්නේ බේරේ වැවේ ජල මට්ටම ඉහළ ගොස් ජලය පිට​ෙවලා යන එකයි. ඊළඟට අපි පීඩන මාපක සවිකරලා තිබෙනවා. ඒවායින් නිරන්තරයෙන් වාර්තා ලබා ගන්නවා. මෙවැනි ආපදා ඇතිවනවාද කියලා. දැනට සැලකිය යුතු ප්‍රමාණයක් වරාය නගරය ගොඩකර අවසන්.


යම්කිසි සිද්ධියක් ඇතිවනවා නම් සෑහෙන කාලයක් ගියා නමුත් එවැනි අවාසනාවන්ත සිදුවීමක් වෙලා නැහැ. ඒකෙන් මම අදහස් කරන් නැහැ අනාගතයේදී එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. නමුත් අපි ඊට ප්‍රතිකර්ම යොදලා තිබෙන්නේ.


ඕනෑම කාර්යයකදී ඔය ව​ෙග් දේවල් එනකොට ඒවාට ඉංජිනේරුමය පිළියම් තිබෙනවා. ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ දියුණු රටවලත් මේ වගේ ගැටලු ඇතිවෙනවා. ඒවට ඉංජිනේරුමය වශයෙන් විවිධ පිළියම් යොදනවා. මේක ගොඩ ඉංජිනේරුවන්​ෙග් සහායෙන් කරන දෙයක් නොවෙයි.


විශේෂඥ ඉංජිනේරුවන්ගේ තාක්ෂණය උපයෝගී කරන ව්‍යාපෘතියක්. මේ ගැන අපි දැනගෙන ප්‍රතිකර්ම යොදමින් තමයි යන්නේ. මේ කොළඹ නගරයේම පාරවල් ගිලා බසිනවා කියන එක අමූලික මුසාවක්.


වෙරළා සන්නයේ තිබෙන පැරණි ගොඩනැගිලි කිහිපයකට තමයි යම් කිසි හානියක් සිදුවුණොත් සිද්ධවෙන්නේ. ඔය කලාපයේ ගොඩනැගිලි හුඟක් පැරණියි. ඒවායේ මුහුදු සුළංවලට හසුවීම නිසා කොංක්‍රීට්වල ඇති කම්බි මලකඩ කෑමකට හසුවෙලා බිත්ති පුපුරලා තිබෙනවා. ඒක නිසා යම් යම් ගොඩනැගිලිවල බදාම කඩා වැටීම් වැනි සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා. ඒකයි වරාය නගරයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ.


පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයේ ඔය වැනි දෙයක් සිදුවූවා යැයි කියපු සැණින් අපි සොයා බැලුවා. අපි ක්ෂණිකව වරාය නගරයේ පීඩන ක්‍රියාවලිය නවත්වා වෙනත් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවා. එවැනි සිද්ධියක් ඊට පස්​ෙස් වාර්තා වෙලා නැහැ.


2017 දෙසැම්බර් 05 වැනිදා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේදී කළ ප්‍රසිද්ධ දේශනයකදී ආචාර්ය ජී.ජී. කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ වරාය නගරය ඉදිකිරීමෙන් කොළඹ නගරය ආශ්‍රිත භූගත ජලයෙහි ජල මට්ටම ඉහළ යන බවයි. ඒ නිසා ගැඹුරු නොවන අත්තිකාරම් මත ඉදිකර ඇති ගොඩනැගිලිවල අත්තිවාරම් බුරුල්වී ඒවායේ දරා ගැනීමේ හැකියාව අඩපණ වෙන බවය. මේ නිසා එම ගොඩනැගිලි ගිලා බැසීමේ අවදානමක් පවතින බව ඔහු ප්‍රකාශ කළා.


 

 

භූ විද්‍යාඥයන් සමග ඉංජිනේරුවන් සාකච්ඡා කළ යුතුයි

මේ සම්බන්ධව පේරාදෙණිය විශ්වවිද්‍යාල​ෙය් භූවිද්‍යා අධ්‍යයන අංශයේ සම්මානනීය මහාචාර්ය කපිල දහනායක මහතා ප්‍රකාශ කළේ මෙවැනි ගොඩනැගිලි භූමිය හා එහි ඇති පාෂාණ තට්ටු පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි.


මහාචාර්ය කපිල දහනායක පාෂාණ වර්ග කිහිපයක් තිබෙනවා. ඉතින් ඒ පාෂාණ එක එක ආකාරයෙන් පවතින්නේ. එක විදිහ බලයක් ඒ ඒ පාෂාණ වෙත යොමු කළහොත් ඒ පාෂාණ හැසිරෙන්නේ එක් ඒක ආකාරයකට.


ඕනෑම ගොඩනැගිල්ලක් සෑදීමේදී පොළොව අභ්‍යන්තරයේ ඇති පාෂාණය පිළිබඳව සැලකිය යුතුයි. ඒ පාෂාණය හොඳ තත්ත්වයේ විය යුතුයි. හොඳ ශක්තිමත් එකක්. බොහෝවිට තිරුවාන, හුනුගල් වගේ දේවල් තිබෙන්න පිළිවන්. තිරුවාන ගල්වලට වැඩි බලයක් යෙදවුවොත් කුඩු වෙන්න පුළුවන්.


ලොකු බලයක් දරා ගන්න බැහැ. හුණුගල් වගේ දෙයක් අම්ල සමඟ මිශ්‍ර වූවාම දියවෙන්න බලනවා. පාෂාණවල සංයුතිය පමණක් නොවෙයි ඒවායේ පිහිටීම පිළිබඳව ද සැලකිය යුතුයි.


දැන් පෝර්ට් සිටි වගේ වරාය නගරයක් මුහුදේ ඉදිකෙරෙන්නේ. මුහුදේ ප්‍රදේශයක් ගොඩ කරලා. එතැනදී මුහුදු පතුලේ අභ්‍යන්තරයේ ඇති පිහිටි ගල දක්වා ගොඩනැගිලිවල මූලික පදනම දමා සකස් කළොත් බලපෑමක් එන්නේ නැහැ. දැන් ගාලු මුවදොර ප්‍රදේශයේ තිබෙන්නේ ඉතා හොඳ පාෂාණ තට්ටුවක්. එය කොළඹ නගරය සැලසුම් කරනකොට මගෙන් උපදස් ලබා ගත්තා. එතන හොඳ පාෂාණයක් තිබෙන්නේ. ඒ නිසා ගැටලුවක් ඇතිවෙන එකක් නැහැ. ඒත් හැම පාෂාණයක්ම එක හා සමාන නැහැ. එක් ඒක ආකාරයටයි පිහිටලා තිබෙන්නේ.


සමහර වේලාවට හොඳ පාෂාණයි නරක පාෂාණයි එකට එකතු වෙලා තිබෙනවා හොඳ පාෂාණ තෝරාගෙන තමයි ඉදිකල යුත්තේ. එතනදී භූවිද්‍යාඥයෝ සමඟ ඉංජිනේරුවන් සාකච්ඡා කරලා තමයි ඉදිකළ යුත්තේ. ඉංජිනේරුවන් කරන්නේ ගොඩනැගිලි ඉදිකිරීමනේ. භූ විද්‍යාඥයින් තමයි භූමිය සොයාල දෙන්න ඕනෑ.


වරාය නගරය ඉදිකිරීම නිසා කොළඹ නගරයේ මානව ජනාවාසවලට ද අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවට ද ප්‍රකාශ විය. ඒ නිසා එම ප්‍රදේශ තවදුරටත් ජනාවාසවලට නුසුදුසු ප්‍රදේශ බවට පත්වීමේ ඉඩකඩක් ද මතුවිය හැක.


 

 

පොළොවේ පාෂාණ තට්ටුවටම අත්තිවාරම දැමිය යුතුයි

මේ සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය සුජීව ලෙවන්ගමගේ මහතාගෙන් අප විමසීමක් කළෙමු.
ඔහු සඳහන් කළේ වරාය නගරය ඉදිකෙරෙන්නේ වැලි තට්ටුවක් මත නිසා උස ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී එය රඳා පවතින බරක් දරාගත හැකි පරිදි පාෂාණය තෙක් ගමන් කර මූලික පදනම දැමිය යුතු බවයි. ඒ කියන්නේ ඩීප් ෆවුන්ඩේෂන් එකක් දක්වා යා යුතුයි. ඉතින් මේ ගොඩනැගිල්ලේ සියලු බර වැලි තට්ටුව මත රඳා නොපවත්වා ඒ පාෂාණ තට්ටුව කරා යොමුකළ යුතුයි.


මොකද ඔතන ඉදිකෙරෙන්නේ තට්ටු 60-40 වගේ මහල් ගොඩනැගිලි. ඉතින් ඒවායේ බර ඉසිලිය යුතු මට්ටමේ පාෂාණය කරා ගමන් කර මූලික පදනම මත ඉදිකිරීම් සිදුකළ හොත් එහි බර රඳා පැවැතිය හැකියි.


දැන් මේ වරාය නගරය ඉදිකිරීමේදී අවට ගොඩනැගිලිවලට දෙදරුම් කෑමක් සිදුවන බව වාර්තා වෙනවා. දැන් තිබෙන නවීණ තාක්ෂණය අනුව ඒ දෙදරුම් කෑමේ තත්ත්වය අවම කළ හැකියි.


වරාය නගර ව්‍යාපෘතිය සඳහා මුහුදෙන් ගොඩ කෙරෙන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 269 කි. ඉන් 50% ක ප්‍රමාණයක් මේ වන විට ගොඩකර අවසන් කර තිබේ.

සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර