හෙනානිගල ආදිවාසී නායකයාගේ සුභ පැතුම්
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණයකට ඉදිරිපත්වූ ආදිවාසී කාන්තාවක් ඉන් ජයග්‍රහණය හිමිකරගෙන ඇත. ඇය විජේසේකර මුදියන්සේලාගේ ශිරෝමාලාය. තිස් අට හැවිරිදි තිදරු මවකි. ඇය ඉකුත් 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට අයත් හෙන්නානිගල උතුර හා දකුණ බහු කොට්ඨාසය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කළාය. එහිදී ඡන්ද 1369 ක් ලබා ගනිමින් තම පක්ෂයට මෙම ජයග්‍රහණය හිමිකර දෙන්නට ඇය සමත් වූවාය. ඒ තම කොට්ඨාසය සඳහා තරග වැදුණු එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි ඡන්ද 615 ක් ලබා ගනිමිනි. සිය ජයග්‍රහණයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ඇය සිය ජයග්‍රහණය ගැන මෙන්ම ඉදිරි වැඩපිළිවෙල ගැනද ඉරිදා ලංකාදීපය හා අදහස් දැක්වීමට නිහතමානීවූවාය.
අපි පවුලේ විස්තර වලින්ම පටන්ගමු?
මම උපන්නේ මහියංගණ දඹානේ. මහවැලියේ ඉඩම් ලැබුණට පස්සේ 1984 අවුරුද්දේ තමයි අප්පිල ඇත්තොත් එක්ක හෙනානිගලට ආවේ. මගේ පවුලේ නව දෙනයි. ගැහැනු අටයි. බාලය මල්ලි. මම ඒ පවුලේ අටවැනිය.
මගේ අප්පච්චි ඌරුවරිගේ පුංචිබණ්ඩා. අම්ම ඩබ්ලිව්.එම්. ප්‍රේමාවතී. අම්මයි අප්පච්චියි විවාහ වෙලා නැති නිසා අපිට අම්මගේ වාසගම ලැබුණ. (බාලම දරුවාගේ උපතින් පසුව ඔවුන් විවාහ වී ඇත.)
මම විවාහකයි. මහත්තය යුද හමුදාවේ. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නව. දුවල දෙන්නයි පුතයි. ලොකු දුවට 16 යි. දෙවැනියට 13 යි. අන්තිමයට 09 යි. තුන් දෙනාම පාසල් යනව.
මම පාසල් ගියේ හෙනානිගල දකුණ විද්‍යාලයට. එකොළහේ පන්තියට යනකම් ඉෙගන ගත්ත. විභාගෙට ලිව්වේ නැහැ. වැඩිදුර ඉගෙන ගන්න තරම් ආර්ථික හයියක් තිබුණේ නැහැ. අපි පොඩි කාලෙ ඉඳලම කැලේ හේන්වල තමයි ජීවත් උනේ.
ස්ථීර රස්සාවක් කියල නැහැ. ඉරිඟු ටිකක් හිටවල අඳේට කුඹුරක් කරල තමයි ජීවත්වෙන්නේ. ඒ වගේම කුලී වැඩක් අහු උනොත් ඒකටත් යනව. එකක්ම කරල ජීවත් වෙන්න බැහැනේ.
පාසල් කාලෙ කොහොමද ?
මම පාසල් කාලෙත් නායකත්වයට කැමැතියි. පාසලේ ශිෂ්‍ය නායිකාවක් වගේම ක්‍රීඩා නායිකාවක් විදිහටත් කටයුතු කළා. සාහිත්‍ය සමිති වගේ ඒවයෙත් නිලතල දැරුව.
ගමේ නායකත්වයට ආවේ කොහොමද?
මම කොහොමත් පොදු වැඩ වලට කැමැතියි. ඒ නිසාම මම ගමේ සමිති සමාගම්වලත් නිලතල දරමින් කටයුතු කළා. කුඩා කණ්ඩායම්වල නායකත්වය දැරුව. මගේ තාත්ත ඉස්සර ඉඳලම දේශපාලනය කළා. එයා හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. කිසි දිනෙක පක්ෂය මාරුකරල නැහැ. අපේ ගෙදර දේශපාලන රැස්වීම් තියෙනව. ඒ නිසා මටත් ඒ හුරුව තිබුණ.
ඔබල හොඳ ශ්‍රී ලංකාකාරයෝ නම් ඉතින් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙ පක්ෂයෙන් එපැයි ඉල්ලන්න?
මගේ තාත්තල බණ්ඩාරනායක මහත්තයගේ කාලේ ඉඳල දේශපාලනය කරන අය. ඒ අය නායකය විදිහට සැලකුවේ මහින්ද මහත්තයයි. අපි වෙනස් උනේ නැහැ. පස්සෙනේ මෛත්‍රී මහත්තය වෙන පැත්තකට ගියේ.
කවුද මේ ගමන් මග හෙළිකරල දුන්නේ?
මේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහත්තය තමා මට මේ අවස්ථාව අරන් දුන්නේ.
ආදිවාසී කාන්තාවන් කියන්නේ අපි දන්න විදිහට එළියටවත් නොඑන පිරිසක්. එවැනි තත්ත්වයක් මත ඔබේ ඉදිරිපත්වීමට තහංචි වැටුණෙ නැද්ද?
මේක අමුතුම අත්දැකීමක් නිසා අම්ම තාත්තගෙ නම් පොඩි බයක් තිබුණ. දේශපාලනය කියන්නේ පිරිහීගෙන යන මාතෘකාවක් විදිහට තමයි ඒ අය සැලකුවේ. ඒ වගේ පරිසරයක හැප්පිලා වැඩ කරන්න මට බැරිවෙයි කියන බය ඒ අය ළඟ තිබුණ.
නමුත් මගේ මහත්තය එහෙම හිතන කෙනෙක් නෙමෙයි. එයා කියන්නේ ඉස්සර වගේ ගෑනු ගෙවල් ඇතුළටම වෙලා ඉන්න අවශ්‍ය නැහැ කියලයි. එයා මට ආශීර්වාද කළා.
ඔබේ නායකතුමා තමයි ඌරු වරිගේ වන්නියලෑ ඇත්තෝ එතුමා මොකද කීවේ ?
මට ඡන්දය ඉල්ලන්න අවස්ථාව ලැබුණු ගමන් මම මුලින්ම ගියේ එතුමා හමුවෙන්න. මොකද එතුමා තමයි අපේ නායකය. අපි ඕනෑම දෙයක් කරන්නේ එතුමගෙන් අහලයි. එතුමා ඒ කතාව අහල හරියට සතුටු උනා. අපේ ප්‍රශ්න කතා කරන්න කෙනෙක් නැහැනේ එහෙම යන එක හොඳයි කියල තමා එතුමා මට කීවේ.
ඒ වගේම හෙනානිගල ආදිවාසී නායක තලාවරිගේ ගුණ බංඩියා නායක තුමත් මට සුභ පැතුව. විශාල ශක්තියක් දුන්න.
ඡන්ද ව්‍යාපාරය කරගෙන යද්දි අමතක නොවෙන සිදුවීම් එහෙම උනාද?
එහෙම විශේෂ දෙයක් නම් සිදු උනේ නැහැ. හැබැයි ඉතින් මේක ලොකු අත්දැකීමක් උනා. කොට්ඨාසයේ හැම ගෙදරකටම යන්න සිදු උනා. එහෙම ගිහින් කතා කරල ඒ අයගේ දුක සැප දැන ගන්න මට අවස්ථාව ලැබුණ. මම මුලු කොට්ඨාසයේම මිනිස්සු ගැන දැන කියා ගත්ත.
දැන් ඔබ ඡන්දෙන් දිනූ බව මුලින්ම දැන ගත්තේ කොහොමද?
ඡන්ද ගැන්නේ අපේ මධ්‍යස්ථානයේමයි. අපිටත් ඡන්දේ ගණින තැනට යන්න අවසර තිබුණ. ගැනල ඉවරවෙද්දි එතන හිටිය නිලධාරියෙක් මට කීව ඔයා දිනල තියෙන්නේ කියල.
ඒ වෙලාවේ මොකද හිතුනේ?
අපි කොහොමත් දැනගෙන හිටිය අපි මේ ඡන්දෙන් දිනනව කියල. හැබැයි මම දිනුව කියල දැන ගත්ත වෙලාවේ මට දරාගන්න බැරි සතුටක් දැනුන. මම ජීවිතේ කිසිම දවසක ඒ වගේ සතුටක් විඳල නැහැ. මගේ ඇස්වලට කඳුළු ආව. මගේ අම්ම, තාත්ත, මහත්තය මට ඡන්දේ දුන්න අහිංසක මිනිස්සු මේ හැමෝම මට මතක් උනා.
මුලින්ම කාටද මේ ප්‍රතිඵලය ගැන කීවේ?
මගේ ඡන්ද ව්‍යාපාරය පුරාවට මට ගමේ හිතවත් දෙන්නෙක් උදව් කළා. ඒ දෙන්න මාත් එක්ක ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් හිටිය. මම ඒ දෙන්නට තමයි මුලින්ම කීවේ. ඊළඟට මගේ මහත්තයට කීව. එයා සතුටු උනා. ඒ වගේම එයා ළඟ ඉන්න බැරි උනා කියල දුක් උනා. මගේ අම්ම තාත්ත දෙන්නත් ඇවිත් හිටිය.
ඒ ජයග්‍රහණය අත් විඳපු අවස්ථාව සිහිපත් කළොත්?
අපි කොහොමත් දිනන බව දැනගෙන හිටිය. ඒ නිසාම ගමේ හුඟ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානයට ඇවිත් හිටිය. මම එළියට එද්දි හැමෝම ඇවිත් අපේ රැහේ විදිහට අත් දෙක දීල සුභ පැතුව. ඊළඟට රතිඤ්ඤ පත්තු කරල මාව උස්සගෙන ගෙදරටම එක්ක ආව. ගමේ හැමෝම ආව. පාන්දර 2.-3 වෙනකම්ම ටෙලිෆෝන් කෝල් ආව.
විශේෂ කෙනෙක් කතා කළේ නැද්ද?
මට මේ ඡන්දෙට උදව් කරපු නීතිඥ නෝන කෙනෙක් ඉන්නව. එතුමිය මට කතා කළා. විමලවීර මන්ත්‍රීතුමාට කතා කරන්න උත්සාහ කළත් මට බැරි උනා.
ආදිවාසී නායකතුමාට කිව්වේ නැද්ද?
අප්පෝ එතුමට කීව. එතුමට අපි හැම දේම කියනව. එතුම ඒ ජයග්‍රහණය අහල පුදුම විදිහට සතුටු උනා ආදිවාසී ජනතාව ලබපු විශාල ජයග්‍රහණයක් කියල එතුම මට සුභ පැතුව. මට අවවාද ගොඩක් දුන්න. තනතුරේ බරපතළකම වගේම අභියෝග ගැනත් කියල දුන්න. ඒ වගේම එතුම මට ඒ අභියෝග වලට මුහුණ දෙන හැටිත් කියල දුන්න.
ආදිවාසී නායකතුමා හමුවෙන්න ගියේ නැද්ද?
වැඩ රාජකාරිත් එක්ක මට යන්න බැරි උනා. මම ඒ වග එතුමට කීව. එතුම මට කීව “පුතා ඔතන තියෙන වැඩ ටික අවසන් වුනාට පස්සේ මාව ඇවිත් හම්බ වෙන්න” කියල
ඔබතුමියගේ නායකය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තය. එතුමා කතා කළේ නැද්ද?
නැහැ. මම හරිම ආසයි එතුමට කතා කරන්න. ඒ වගේම එතුමා මුණ ගැහෙන්නත් මට පුදුම ආසාවක් තියෙනව. කවුරු හරි ඒකට උදව් කරනව නම් ලොකු පිනක්.
දැන් ඔබ මන්ත්‍රීවරියක්. හෙට අනිද්ද දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවට යනව. ගිහින් මොනවද මුලින්ම කරන්න හිතාගෙන ඉන්නේ.?
මේ කොටසේ පවුල් 750-800 ක් විතර ඉන්නව. ඒ අය වෙනුවෙන් මුලින්ම විසඳගන්න ඕනැ පොදු ගැටලු ටිකක් තියෙනව. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගමට එන්න හරියට පාරක් නැති එක. මේ පාර හදා ගන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම මේ ආදිවාසී ගම්වලට හරියට බොන්න වතුර ටිකක් නැහැ. ගෙවල් දොරවල් හරියට නැහැ. පාසලේ ගුරු හිඟය උග්‍ර වෙලා. ඒවගේම වන අලින්ගෙන් මේ ගම්වලට විශාල තර්ජනයක් තියෙනව. ඒකට විදුලි වැටක් හරි විදුලි ලාම්පු ටිකක් හරි හයි කර ගන්න ඕනැ.
ඔබේ ජයග්‍රහණය ගැන මේ කොට්ඨාසයේ ජනතාව දැන් සතුටු වෙනව. ඒවගේම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නව. ඒ අයට දෙන පණිවිඩේ මොකක්ද ?
ඇත්තටම මේක ආදිවාසී ජනතාවගේ ජයග්‍රහණයක්. අපේ හඩ රටට ගෙනියන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම ඊට අවස්ථාවක් තිබුණෙ නැහැ. නමුත් දැන් අපිට අවස්ථාවක් ලැබිල තියෙනව. මේ අවස්ථාව මෙතනින් නතර නොකර පළාත් සභාව , පාර්ලිමේන්තුව දක්වාම ගෙනියන්න තමයි මට අවශ්‍ය. සමහර විට මට ඒකට අවස්ථාව නොලැබෙන්න පුලුවන්. නමුත් දැන් දැන් අපේ දරුවෝ ඉෙගන ගන්නව. ඒ අයට ඒ තැනට යන්න අවශ්‍ය පාර කපල දෙන්න මට හැකිවී තිබෙනව.
මේ ජයග්‍රහණය ලබා ගනිද්දි කාන්තාවක් විදිහට අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණාද?
නැත්තෙම නැහැ. හැබැයි සාපේක්ෂව අඩුයි. පොඩි පොඩි හැල හැප්පීම් තිබුණ. නමුත් ඒව මම විඳ දරාගෙන මගේ වැඩේ මම කළා.
අනෙක මේ ජයග්‍රහණය ලබා ගත්තේ ලේසියෙන් නෙමෙයි. මුදල් තියෙන අය, ආණ්ඩු බලය තියෙන අය එක්ක අපිට තරග කරන්න සිදුවුණා. නමුත් අපේ කොට්ඨාසයේ මට උදව් කළ අය අතර තිබුණ සමගිය ඒ සියල්ලට වඩා විශාල වුණා. මමත් එක්ක හිටිය පිරිසට අඩුම තරමේ දවස තිස්සේම කන්න බොන්නවත් තිබුණේ නැහැ. ගෙදරකින් ලැබෙන කහට උගුරක්, වතුර ටිකක් බීල තමයි අපි ඡන්ද ව්‍යාපාරය කරගෙන ගියේ.
ගමේ හැමෝම මාරුවෙන් මාරුවට ඇවිත් මට උදව් කළා. ඒ වගේම මගේ අක්කල මට විශාල විදිහට උදව් කළා.
ඔබ පාසල් යන වයසේ දරුවන් තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්. මේ ඡන්ද ව්‍යාපාරය ඒ අයගේ පාසල් ගමනට සහ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වුණේ නැද්ද?
කොහෙත්ම නැහැ. මම උදේම නැගිටල එයාලගේ වැඩ ටික කරනව. ඒ වගේම දරුවො ලොකුයි. ගොඩක් දේවල් ඒ අයට කරගන්න පුලුවන්. අනෙක ලොකු දුව සාමාන්‍ය පෙළ ලියල දැන් ගෙදර ඉන්නේ. එයා ගෙදරට වෙලා මගෙන් කෙරෙන්න ඕනැ හැම දේම නංගිටයි මල්ලිටයි කරල දෙනව. එයා අම්ම කෙනෙක් වගේ ගෙදර ඉඳගෙන මගේ ඡන්ද ව්‍යාපාරයටත් ලොකු හයියක් වුණා.
මේ ජයග්‍රහණයත් එක්ක පදිංචිය එහෙම වෙනස් කරන්න අදහසක් නැද්ද?
අනේ නැහැ. මේ ගමේ මේ අය එක්කම ඉන්න තමා මගේ කැමැත්ත
ඔබ ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොජන පෙරමුණින්. ඒක අලුත් පක්ෂයක්. මේ අලුත් පක්ෂය පහුගිය 10 වැනිද කවුරුත් නොහිතපු විදිහේ ජන වරමක් ගත්ත. ඔබ ඒ ජයග්‍රහණය දකින්නේ කොහොමද?
ඒකට ලොකුම හේතුව තමයි මේ රටේ ප්‍රතාපවත් නායකයෙක් වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයගේ නායකත්වය. එතුම යුද්ධය දිනුව විතරක් නෙමෙයි රටට විශාල සංවර්ධනයක් ගෙනාව. ජනතාවගේ ගැටලුවලටත් පුලුවන් තරමේ විසඳුම් හරි දුන්න. බඩු මිල වගේ දේවලුත් පාලනය කළා.
මේ ප්‍රතිඵලයත් එක්ක වත්මන් රජයේ ජනප්‍රියත්වය යම් තරමකට පහත වැටී ඇති බව පේන්න තියෙනව. ඒ ගැන හැම තැනම කතාවෙනව. රජයට විවේචන එල්ලවෙනව.
ඔව්. අපිටත් ලොකු ප්‍රශ්න තියෙනව. 2015 මිනිස්සු මේ රජය බලයට ගෙනාවේ තිබුණූ රජයේ අඩුපාඩු නිසයි. නමුත් අන්තිමට මේ රජයෙන් මිනිස්සුන්ට කිසිම සෙතක් උනේ නැහැ. විශේෂයන්ම මේ පැතිවල මිනිස්සුන්ට පෝර සහනාධාරය නොලැබීම හරහා රජය පිළිබද විශාල කලකිරීමක් ඇති උනා.
මේ පැතිවල හුඟ දෙනෙක් ජීවත් වෙන්නේ කුඹුරු වවල. බඩ ඉරිඟු වවල. ඒ කාලේ අපිට රුපියල් 350.00 ට පෝර මිටිය ලැබුණ. නමුත් මේ ආණ්ඩුව ආව ගමන් ඒක නැති උනා. පෝර මිටිය 3000.00- 3500.00 දීල ගන්න උනා. ඒ වගේම අවශ්‍ය වෙලාවට පෝර ටික වෙළෙඳපලට ආවේ නැහැ. මේ හරහා ගොවි ජනතාව විශාල කලකිරීමකට ලක් වුණා. මම හිතන්නේ රජය පරදින්න ලොකුම හේතුව ඒක කියලයි.
ඔබ ආදිවාසී මන්ත්‍රීවරියක්. සිංහල වගේම ආදිවාසී භාෂාවත් දන්නව. අලුත් සභාවට ගියාට පස්සේ කතා කරන්න හිතාගෙන ඉන්නේ මොන භාෂාවෙන්ද ?
එතන්ට පත්වුන අනිත් හැමෝම කතා කරන්නේ සිංහලෙන්. ඒ නිසා මම මගේ භාෂාවෙන් කතා කළොත් ඒ අයට නොතේරේවි. ඒක ගැටලුවක්. හැබැයි අවස්ථාවක් ලැබෙන විදිහට ඒ ගැන මම තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
සටහන ජායාරූප - වියලුව වාර්තාකරු නිශාන්ත කුමාර