වසර 13කින් උසස්වීම් නැතැයි උපපොලිස් පරීක්ෂකවරියන්ගෙන් චෝදනා


ඉන්දික හේවාවිතාරණ

පොදුවේ උසස් වීම් ලබාදෙන අවස්ථාව වන විට දින04ක සේවා කාලයක් මදිවීම නිසා වසර දහතුනක් තිස්සේ එකම තනතුරේ සේවය කිරීමට සිදුව තිබෙන බව උපපොලිස් පරීක්ෂකවරියෝ සඳහන් කරති.
2012 වසරේදී උපපොලිස් පරීක්ෂක තනතුරට බඳවාගත් පිරිස් සඳහා 2020 වසරේ පෙබරවාරි 08 වැනි දින වෙන විට වසර අටක සේවා කාලයක්  සම්පූර්ණ කළ පිරිස් පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බවද අසධාරණයට පත් පිරිස් පෙන්වා දෙති.

මේ අනුව 2012 වසරේ පෙබරවාරි 12 වැනි දින පත්වීම් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරියන්ට වසර 08 සම්පූර්ණ කර ගැනීමට තවත් දින 04 ක් අවශ්‍ය වූ නිසා අදාළ අවස්ථාවෙහිදී උසස්වීම් නොලැබුණ බව කියති.

උපපොලිස් පරීක්ෂක ශ්‍රේණියේ වසර 08 සම්පූර්ණ වූ පසු පොලිස් පරීක්ෂක තනතුරට උසස් වීම් ලබා දිය යුතුව තිබුණත් තවමත් එය සිදුවී නොමැති බවද අසාධාරණයට පත් උපපොලිස් පරීක්ෂකවරියෝ සඳහන් කරති. 

මේ වෙන විට පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී  තිබෙන නිසා වසර 08 සම්පූර්ණ කර සිටින උපපොලිස් පරීක්ෂකවරියන්ට හා පොලිස් පරීක්ෂකවරුන්ට උසස් වීම් ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බවද ඔවුහු සඳහන් කරති.

ස්ථිර වශයෙන් පොලිස් පරීක්ෂක තනතුර ලබාදීමට යම් කාලයක් ගත වෙනවා නම් රාජකාරි ඉටු කිරීමේ පදනමින් හෝ අදාළ තනතුර ලබාදෙන ලෙස අසාධාරණයට ලක්වූ උපපොලිස් පරීක්ෂකවරියෝ ඉල්ලා සිටිති.

සහකාර පොලිස් අධිකාරී තනතුරෙන් ඉහළ තනතුරුවල සේවය කරන පිරිස් රාජකාරි ඉටු කිරීමේ පදනමින් තනතුරුවලට පත් කරමින් තිබෙන නිසා අසාධාරණයට ලක්වූ උපපොලිස් පරීක්ෂකවරින්යටත් මේ ආකාරයට හෝ සාධාරණයක් සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු සඳහන් කරති.