වසර තිහක කාලයකට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නෑ


ප්‍රාථමික ගැණුම්කරුවකු වන පර්පචුවල් ටේ‍රෂරීස් හි අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අතර ඥාතී සම්බන්ධතාවයක් ඇති බව බැඳුම්කර කොමිසම හමුවේ හෙළි විය.


ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මේ බව හෙළි කළ අතර තමන් මෙම ඥාතී සම්බන්ධතාවය දැනගත්තේ 2015 පෙබරවාරි 27 වැනිදා මහ බැංකුවේ පැවැත් වූ බැඳුම්කර වෙන්දේසියෙන් පසුව එහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සෙනෙවිරත්න මහත්මිය සමඟ කළ සාකච්ඡාවේ දී බවද ඔහු වැඩිදුරටත් හෙළි කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.


2015 පෙබරවාරි මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.


ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා බැඳුම්කර කොමිසම හමුවේ තෙදිනක් පුරා සාක්කි දුන්නේය.
වසර 30ක කාලයකට බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණයක් ගත්තේ නැතැයි ද ඒ පිළිබඳව තීරණය කළේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා යැයි ද ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා වැඩිදුරටත් හෙළි කළේය.


මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් මෙසේ ද පැවැසීය.


වසර 30ක කාලයක් සඳහා බැඳුම්කර නිකුතුව සම්බන්ධ වෙන්දේසියේ දී මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බිලියන 10 සීමාව දක්වා ලංසු ලබා ගැනීමට නියෝග නිකුත් කළා. ඒ බව දැනගත් විගස මට හොඳටම කේන්ති ගියා.


කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා- පී. සමරසිරි මහතා අමතමින් ඔබට එසේ කේන්ති ගියේ ඇයිදැයි විමසා සිටි අවස්ථාවේ දී මෙම තීරණය දැනුම් දීම සඳහා තමා හැර අනෙකුත් නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා සම්බන්ධ කර ගැනීම නිසා යැයි ඊට පිළිතුරු දෙමින් සමරවීර මහතා පැවැසීය.


මෙම කොමිසම ආරම්භ කිරීමට පෙරම යහපාලනයේ අවශ්‍යතාව සඳහා කොමිසමේ කටයුතු අවසන් වනතුරු අප සියලු දෙනා  ටෙන්ඩර්  මණ්ඩලයෙන් ඉවත් කළා. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සෙනෙවිරත්න මහත්මිය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පත්කිරීම පිළිබඳව මා අසතුටට පත් වුණා. මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඇයට ඇති අඩු දැනුම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පාලනය කිරීමට ඇයට සුදුසු පසුබිමක් නොතීබීම යන කරුණු නිසා  ඇයගේ පත්කිරීම පිළිබඳව මා අසතුටට පත් වුණා.


ටෙන්ඩර් මණ්ඩලයේ සියල්ලන්ම එක්ව සාකච්ඡා කොට නිර්දේශ ලබා දෙනවා. බහුතර තීරණය නිර්දේශය වශයෙන් සලකනවා. අවසානයේ දී ටෙන්ඩර් මණ්ඩලයේ තීරණය මහ බැංකු අධිපතිවරයාට දැනුම් දෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර වාතාවරණය තුළ සෑම නිර්දේශයම විමර්ශනයට මහ බැංකු අධිපතිවරයාට යොමු කරන නිසා ටෙන්ඩර් මණ්ඩලයේ තීරණයත් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දෙනවා.


විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා: ටෙන්ඩර් මණ්ඩලයට තීරණ ගැනීමේ බලය තියෙනවා. මණ්ඩලය සතුව ඒ පිළිබඳව විශේෂඥතාවයෙන් සහ පළපුරුද්ද තියෙන බුද්ධි මණ්ඩලයක් සිටිනවා. ඔවුන් කරන නිර්දේශයට අත්සන් තබා, මුද්‍රා තබන එක පමණයි මහ බැංකු අධිපතිවරයා කරන්නේ. එහෙම නේද?


පිළි- මට එහෙම කියන්න බැහැ.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා:- ටෙන්ඩර් මණ්ඩලයේ තීරණ  ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් වෙනස් කළ අවස්ථා තියෙනවාද?


පිළි- මා ඒ.ඇස්. ජයවර්ධන මහතා මහබැංකු අධිපතිවරයා යටතේත් සේවය කර තියෙනවා. එහෙම සිදුවීමක් වෙලා නැහැ.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා:- එතකොට අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මහබැංකු අධිපතිවරයා ලෙස ටෙන්ඩර් මණ්ඩලයේ තීරණ  වෙනස් කළ අවස්ථා තියෙනවාද?


පිළි- ඔව්. 
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා:- අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනස් කළ ටෙන්ඩර් මණ්ඩලයේ තීරණ මොනවාද?
පිළි:- 2015 පෙබරවාරි 01 වැනිදා සිට 2016 පෙබරවාරි 28 වැනිදා දක්වා සිදු කළ බැඳුම්කර වෙන්දේසිවල ටෙන්ඩර් මණ්ඩල තීරණ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනස් කළා.


විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා:- 2015 පෙබරවාරි 01 වැනිදා සිට 2016 පෙබරවාරි 28 වැනිදා දක්වා සිදු කළ බැඳුම්කර වෙන්දේසිවල ටෙන්ඩර් මණ්ඩල තීරණ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විසින් කී වතාවක් වෙනස් කළාද?
පිළි:- හතර වතාවක් වෙනස් කළා.


‘ටෙන්ඩර් මණ්ඩලයට වඩා මහ බැංකු අධිපතිවරයාට දැනුමක් තියෙනවාද?’ යනුවෙන් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙන අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා විමසා සිටි අවස්ථාවේ දී මහ බැංකු අධිපතිවරයා සාමාන්‍යයෙන් සලකා බලන්නේ අනාගත මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව බවට සමරසිරි මහතා පැවැසීය.


සම්ප්‍රදායක් හැටියට මූල්‍ය මණ්ඩලයේ සටහන් එහි ලේකම්වරයා විසින් තබා ගන්නවා. ඊට පසු මටත් අනෙකුත් නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනාටත් එම සටහන් විමර්ශනයට එවනවා. ඒත් 2015/02/27 වැනිදා පැවැත්වූ බැඳුම්කර වෙන්දේසියෙන් පසුව එම සටහන් සංශෝධනයට ලක් කළේ එම බැඳුම්කර වෙන්දේසියෙන් පසු එළැඹුණු සතියේ. කෙසේ නමුත් එම රැස්වීමේ තොරතුරු මගේ මතකයේ තිබුණා. නමුත් රැස්වීම පිළිබඳ සටහන් තබා ගත්තේ නැහැ. කෙසේ නමුත් මූල්‍ය මණ්ඩලයේ ලේකම් කරුණාරත්න මහතා සටහනක් තබා තිබුණා. මූල්‍ය මණ්ඩලය වසර 30ක් බැඳුම්කර නිකුතුවක් නිකුත් කිරීමේ හැකියාව ගවේෂණය කරනවා කියා. පසුව මූල්‍ය මණ්ඩලය වසර 30ක බැඳුම්කර සටහන් සතියක් ඇතුළත නිකුත් කරන ලෙස මා උපදෙස් දුන්නා.


සභාපති විනිසුරු චිත්‍රසිරි මහතා:- සාමාන්‍යයෙන්  රැස්වීමක දී ලේකම්වරයාගේ සටහන් සංශෝධන කරන්නේ ඊළඟ රැස්වීමේ දී. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ රැස්වීම්වල තැබු සටහන් සංශෝධනය කරන්නේ නියෝජ්‍ය අධිපතිවරයෙක්.
පිළි:- මා ව්‍යවස්ථා මණ්ඩල තුනක එනම් ශ්‍රී ලංකා විගණන මණ්ඩලය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, ණය මණ්ඩලය, සුරැකුම්පත් සභාවේ  සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. මේවායේ ලේකම්වරයෙක් නැහැ. සටහන් තබා ගන්නේ අධක්‍ෂක ජනරාල් විසිනුයි.


සභාපති විනිසුරු චිත්‍රසිරි මහතා:- මමත් සුරැකුම්පත් සභාවේ  සාමාජිකයෙකු ලෙස වසර දෙකක කාලයක් කටයුතු කර තියෙනවා. ඒ කාලයේ මෙවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.
පිළි:- මෙම ආයතනවල සමාගම් පණත යටතේ පත් කළ ලේකම්වරයෙකු නැහැ.


විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා:- වසර 30ක කාලයකට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මෙවැනි ආකාරයට වසර 30ක කාලයකට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සඳහා සංශෝධනය කළේ ඇයි?
පිළි:- මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කිව්වා අපි වසර 30ක කාලයක් සඳහා බැඳුම්කර නිකුතුවකට යා යුතුයි කියලා. ඵලදායිතා චක්‍රයට යන එක හොඳ තත්ත්වයක් නොවන බව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වැඩිදුරටත් කිව්වා.
මේ කරුණ පිළිබඳව මූල්‍ය මණ්ඩලයේ සාකච්ඡා කළේ නැහැ. අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ උවමනාවට මේ කරුණ සිදු වුණා. එයට මූල්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් මුකුත් කීවේ නැතත් වසර 30ක කාලයකට බැඳුම්කර නිකුතුවකට යා යුතු බවත් එමඟින් උපරීම සඵලතා ලාභයක් ලබා ගත හැකි බවත් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කීවා. ඔහු එසේ කියද්දී අනෙක් නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා කිසිවක් කතා කළේ නැහැ. කෙසේ නමුත් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රමාණවත් තරම් මුදල් නොමැතිව තිබිය දී ආයෝජනය කළ බව නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා කීවා ද කියලා මට මතකයක් නැහැ. එවැන්නක් ගැන විශේෂයෙන් අවධානය යොමු කළා නම් මූල්‍ය මණ්ඩලයේ ලේකම් කරුණාරත්න මහතා ලියා ගන්නවා.


ප්‍ර:- ඒ කියන්නේ මෙම වසර 30 බැඳුම්කර නිකුතුව පිළිබඳ අවසන් තීරණය ගත්තේ ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය නෙමේ. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා නේද?
පිළි:- ඔව්. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා තමයි මේ සාකච්ඡා පටන් ගත්නේ. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ මූල්‍ය මණ්ඩලය ගත්තා කියලයි.


ප්‍ර:- 2015 මාර්තු මස 02 වැනිදා පැවැත්වූ මූල්‍ය මණ්ඩලයේ රැස්වීම පිළිබඳ සටහන් ඔබට ලැබුණ ද? එම සටහන් ඔබ සංශෝධනයට ලක් කළාද?
පිළි:- මට එම මූල්‍ය මණ්ඩලයේ රැස්වීම පිළිබඳ සටහන් ලැබුණා. එම සටහන් සුළු වශයෙන් සංශෝධනය කොට එම සංශෝධිත සටහන් මහ බැංකු අධිපතිවරයාට යැව්වා.


2015 මාර්තු මස 26 වැනිදා උදෑසන මහ බැංකුවේ 06 වැනි මහලේ පැවැත් වූ රැස්වීමට මා සහභාගි වුණා. මේ රැස්වීමට ආනන්ද සිල්වා සහ අනෙක් නියෝජ්‍ය අධිපතිවරයාත් සහභාගි වුණත් ඔවුන් මුකුත් කතා කළේ නැතත් එම රැස්වීමට පිටස්තර අය ලෙස ඇමතිවරුන් වන රවී කරුණානායක, කබීර් හසීම්, මලික් සමරවීර යන මහත්වරුනුත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් තිදෙනෙකුත් පැමිණ හිටියා. එම රැස්වීමට අර්ජුන් මහෙන්ද්‍රන් මහතා එහි පැමිණෙන බව දැනුම් දී තිබුණා. එම රැස්වීමේ දී මාර්ග සංවර්ධන අධිකාරීයට අවශ්‍ය අරමුදල් සම්පාදනය පිළිබඳව, වැඩිපුර අරමුදල් අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළා. ඒ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රශ්න රාශියකට මුහුණ පා ඇති බව හෙළි වුණා.


ප්‍ර:- අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පැමිණීමට පෙර බැල්කනිය ළඟ සාකච්ඡාවක් පැවැත්වුණා ද?
පිළි:- මට මතක නැහැ. ඒ සාමාන්‍ය යෝජනයට විස්සක විතර පිරිසක් සහභාගි වුණේ.


ප්‍ර:- අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිකිරීම්වලට මුදල් ගෙවීම පිළිබඳව විරෝධය පළ කළා ද?
පිළි:- මට මතක නැහැ.


විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා:- ඔබ ප්‍රථම වරට සභාපතීත්වය දැරුවේ 2015 පෙබරවාරි 27 වැනිදා බැඳුම්කර මණ්ඩලයේදී ද?
පිළි:- ඔව්. එම ටෙන්ඩර් මණ්ඩලයේ සෙනෙවිරත්න හා මුතුගල මහත්මීන්, සේපාල රත්නායක මහතා, ආචාර්ය ආර්ෂින්, කරුණාතිලක හා ඇස්. දයාරත්න යන මහත්වරුන් ඇතුළු අටදෙනෙක් හිටියා. 


ටෙන්ඩර් මණ්ඩලය පටන් ගත් හැටියේම ආචාර්ය ආර්ෂින් මහතා කතා කොට රුපියල් බිලියන 10 ලංසුව පිළිගන්නා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා තවත් දෙදෙනෙකු සමඟ පැමිණ පැවසු බව කීවා. ඔහු කිව්වා රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවෙන් නිර්දේශය බිලියන 2.6 ප්‍රමාණය පිළිගන්නා ලෙස දැනුම් දුන් බවත්. මේ තොරතුරු දැනගත් විට මට විශාල කේන්තියක් ආවා. අර්ජුන් මහෙන්ද්‍රන් මා හැර අනිත් නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා පමණක් රැගෙන ගොස් මෙම තීරණය දැනුම් දීම නිසා මට විශාල කේන්තියක් ආවා.


විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා:- සාමාන්‍යයෙන් කරන බැඳුම්කර නිකුතුවක දී වසර දෙකෙන් තුනෙන් ලංසු බාර ගැනීම සිදුවුණත් දහගුණයකින් යුතු ලංසු බාර ගැනීමක් පිළිඳව ඔබ මීට පෙර අසා තියෙනවාද?
පිළි:- නැහැ. මේ කතාව ඇසු විට මුතුගල මහත්මියත් කීවා අර්ජුන් මහෙන්ද්‍රන් මහතා හමුවී මේ පිළිබඳ විමසන ලෙස.


ප්‍ර:- ප්‍රාථමික ගැණුම්කරුවකු වන පර්පචුවල් ටේ‍රෂරීස් හි අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඥාතී සම්බන්ධතාවයක් ඇති බව ඔබ දන්නවාද?
පිළි:- මා ඒ බව දැනගත්තේ 2015 පෙබරවාරි 27 වැනිදා වෙන්දේසියෙන් පසුව. සෙනෙවිරත්න මහත්මිය සමඟ සාකච්ඡා කළ පසුවයි මා මේ බව දැනගත්තේ.


2015 මාර්තු 23 වැනිදා මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික ගැණුම්කාර ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමක් පැයක පමණ කාලයක් පුරා පැවැත්වුවා. ඊට අර්ජුන් ඇලෝසියස් මහතා සහභාගි වුණේ නැහැ. එහිදී අලෙවි සංවර්ධනය ගැන රුපියල් බිලියන 10 දක්වා ලංසු පිළිගැනීම පිළිබඳව කතා කළා. මීට පෙර මෙවැනි රැස්වීමක් පැවැත්වූ බව  මා දන්නේ නැහැ. මෙම රැස්වීම පැවැත්වීම අසාමාන්‍ය සිදුවීමක්. මෙම රැස්වීමේ අසාමාන්‍යතාවය වූයේ දීර්ඝ බැඳුම්කර වෙන්දේසි සැලකිල්ලට ගැනීමේදී ලංසු ලැයිස්තුවේ අඩුම ලංසුව වන්නේ අර්ථ සාධක අරමුදල, එවිට උපරීම ප්‍රමාණය දක්වා අපි ලංසු පිළිගන්නවා. නමුත් මෙහිදී එවැනි තත්ත්වයක් දක්නට ලැබුණේ නැහැ. පැහැදිලි ලංසු රාමුවේ අසාමාන්‍යතාවයක් විද්‍යාමාන වුණා.
කොමිසමේ සාක්කි විභාගය තවදුරටත් පැවැත්වේ.

මනෝප්‍රිය ගුණසේකර සහ 
රංජන් කටුගම්පොළ