ඇමැති මාරුව කල් ගන්නේ එජාපයේ බලපෑම නිසාද? වැඩවර්ජන මර්දනය කරන්න සරත් ෆොන්සේකාට බාර දෙනවාද? ගෝල්ෆේස් ගිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට විනය පියවර ගන්නවාද? රාජිත සේනාරත්න කැබිනට් ප්‍රකාශක
ධුරයෙන් ඉවත් කරනවාද? මේ අවුරුද්දෙ ජනමත විචාරණයක් එනවද? ආදී අන්දෝලනාත්මක කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය:- වෙසක් පොහොයට පෙර කැබිනට් සංශෝධනයක් සිදුවෙන බවට පසුගිය දිනවල වාර්තා පළවුණා. වෙසක් පොහොය ගෙවිලා ගිහින් තිබුණත් කැබිනට් සංශෝධනයක් සිදුවෙන බවක් පේන්න නැහැ. ජනාධිපතිතුමනි, ඇත්තටම කැබිනට් සංශෝධනයක් සිදුවෙනවාද?
පිළිතුර:- පේන්න නැතිවුණාට එය ඉතා ඉක්මනින් සිදුවේවි. ඒ නිසා ඒකට කවුරුවත් කලබල වෙන්න වුවමනාවක් නැහැ. එය ස්ථීර වශයෙන්ම සිද්ධ වෙනවා.
ප්‍රශ්නය:- ඒ කියන්නේ තව දින කීයකින් විතරද?
පිළිතුර:- ඒක තමයි මම කියන්නෙ කලබල වෙන්නෙ නැතිව ඉන්න කියලා. තවම හඳ අවරට ගියේ නැහැනෙ. තවම වෙසක් සඳ හොඳට පායලා තියෙන්නෙ.
ප්‍රශ්නය:- ඇමැති මණ්ඩල සංශෝධනයට එක්සත් ජාතික පක්ෂය කැමැති නැති බව ඔබතුමාට දන්වා ඇති නිසා කැබිනට් සංශෝධනය දිනෙන් දින කල් යන බව සමහරු කියනවා.
පිළිතුර:- ඒ ගැන මාධ්‍යවල පළවෙන දේවල්වල කිසිදු සත්‍යයක් නැහැ. මාත්, අගමැතිතුමාත් දෙපාර්ශ්වය වගේම පක්ෂ වශයෙන් සිටින අයත් මේකට එකඟ වෙලා තියෙන්නේ. කාගෙවත් විරුද්ධත්වයක් නැහැ. කැබිනට් සංශෝධනය හැම කෙනාගෙම පොදු මතයක් බවට පත්වී තිබෙනවා.
ඒ වගේම ආණ්ඩුව බලයට පත්කරපු විවිධ සංවිධාන, පාර්ශ්ව ඒ සියලු දෙනාගෙම පොදු ඉල්ලීමක් වෙලා තියෙනවා ආණ්ඩුවේ සහ රටේ යහපත සඳහා කැබිනට් සංශෝධනයක් කරන්න කියලා. ඒ නිසා මේ ගැන කවුරුවත් කලබල වෙන්න වුවමනාවක් නැහැ. කැබිනට් සංශෝධනය කියන එක ආණ්ඩුවක සාමාන්‍ය දෙයක්. මේක පළමුවෙනි සංශෝධනය නෙවෙයි. අනෙක මේක ආශ්චර්යකුත් නෙමෙයි. අපේ රටේ 1947 ඉඳලම සෑම ආණ්ඩුවක්ම වරින්වර කැබිනට් සංශෝධන සිදුකරල තියෙනවා. ඒක නිසා මේක මේ පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. සාමාන්‍ය පරිදි සිදුවන දෙයක්. ඒ නිසා කැබිනට් සංශෝධනය සිදුවෙනවා.
ප්‍රශ්නය:- ආණ්ඩුවේ ඇමැතිවරුන් එකිනෙකට පරස්පර කතා කියනවා. රාජිත සේනාරත්න ඇමැතිතුමා එකක් කියනවා. මහින්ද අමරවීර ඇමැතිතුමා, ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා තව එකක් කියනවා. ඇයි ඇමැතිවරුන් එක මතයක ඉඳන් ප්‍රකාශ නිකුත් කරන්නෙ නැත්තෙ.
පිළිතුර:- ඔව්. එකිනෙකට පරස්පර මත ඉදිරිපත් කරන්න එපා කියලා මම ඒ අයට කැබිනට් මණ්ඩලයේදීත් උපදෙස් දී තිබෙනවා. අනෙක් කාරණය පක්ෂ දෙකක් එකතු වී වැඩ කරද්දී යම් යම් පරස්පර මත තිබෙන අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි එවැනි ප්‍රශ්න මතුවෙන්නෙ. නමුත් අපි ආණ්ඩුවක් විදියට වෙන වෙන මත ඉදිරිපත් කරමින් ගැටුම් ඇතිකර නොගෙන කටයුතු කරන්න කියල මම පසුගිය කැබිනට් රැස්වීමේදීත් ඒ අයට උපදෙස් දුන්නා.
අනෙක් එක ඔය විදියෙ මත ඉදිරිපත් කරන එක මීට පෙර ආණ්ඩුවලත් තිබිල තියෙනවා. කලින් ආණ්ඩුවේ මතකද ආර්ථික ඝාතකයෙක් පිළිබඳව කතා කළානෙ. ඒ කාලෙත් ඔය වගේ මත තිබුණා. හැම ආණ්ඩුවෙම ඔය තත්ත්වය තිබුණා. ඒක අපේ ආණ්ඩුවේ විතරක් තියෙන එකක් නෙවෙයි. සමහර අය මේ ආණ්ඩුවේ විතරක් වෙන දෙයක් විදියට කතා කරනවා. පක්ෂ දෙකක් එකතුවෙලා කටයුතු කරද්දී මත ප්‍රකාශ කිරීම වෙන ආණ්ඩුවලදීට වඩා වැඩියි. ඇමැතිවරුන් එක එක මත ඉදිරිපත් කිරීම වෙන ආණ්ඩුවලත් සිදුවී තිබෙනවා. නමුත් සමහරුන්ට අද ඒවා අමතකයි. ඒ නිසා ඒක පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. ප්‍රශ්න, ගැටුම් හදාගන්නේ නැතිව යම් ගැටලුවක් තිබේ නම් අපි ඒවා සාකච්ඡාකරල විසඳගන්න කියල මම ඒ අයට උපදෙස් දීලා
තියෙනවා.
ප්‍රශ්නය:- වැඩවර්ජන, උද්ඝෝෂණ මර්දනය කරන්න සරත් ෆොන්සේකා මහත්තයා පත් කරන්න යනවා. එතුමාගේ නායකත්වයෙන් වෙනම බළකායක් හදන්න යනවා කියලා පසුගිය දවස්වල මහත් ආන්දෝලනයක් ඇතිවුණා. ආණ්ඩුව එවැනි දේකට සූදානම් වෙනවද?
පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම අමූලික බොරුවක්. එවැනි මර්දන ගැන අපි සාකච්ඡා කරලත් නැහැ. ඔය කියන විදියෙ බළකායක් හැදෙන්නෙත් නැහැ.
අපි සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විදියට වැඩවර්ජන සහ උද්ඝෝෂණවලදී ඒවට මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන්නෙ එක පැත්තකින් ජනතා සහයෝගය අරගෙන. අනෙක් පැත්තෙන් තිබෙන නීති රීති යටතේ. දැන් කැළි කසළ ප්‍රශ්නය වෙලාවෙ කැළි කසළ යම් යම් ප්‍රදේශවලට ප්‍රවාහනය කරද්දී යම් යම් උද්ඝෝෂණ, විරෝධතා ආවා. එතැනදී අපට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ අත්‍යවශ්‍ය බලතල අපි ගැසට් කළා. ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒවා මර්දන නෙමෙයි. ඒවා සාමාන්‍ය රටක සිදුවන දේවල්. අනෙක් එක වැඩ වර්ජන උද්ඝෝෂණ කරන්නෙ ඉතා සුළු පිරිසක්.
රටේ බහුතරයකට එය හානියක් වෙන්න හොඳ නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් විදියට ඔය උද්ඝෝෂණ වර්ජන කරන ඕනෑම වෘත්තීය සමිතියකට අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඒවගෙන් බැහැර වෙලා නැහැ. ඒ නිසා ඕනෑම වෘත්තීය සමිතියකට ඕනෑ දෙයක් ගැන අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් දේශපාලන න්‍යායපත්‍ර හදාගෙන ආණ්ඩු පෙරළන්න වැඩවර්ජන සංවිධානය කරන කොට අපි ඒකට මුහුණ දෙන්න ජනතාවගේ සහයෝගය ගන්නවා. තියෙන නීතිමය තත්ත්වයන් පාවිච්චි කරනවා. ඒවා සියල්ලම නීත්‍යනුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදීවයි අපි කරන්නෙ. එහෙම නැතිව ආණ්ඩු විරෝධීන්ට, කඩාකප්පල්කාරීන්ට රටේ පොදු මහජනතාවගේ දෛනික කටයුතු අඩාළ වෙන විදියට ක්‍රියා කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සම්බන්ධයෙන් අපි රජයක් විදියට දැඩි ස්ථාවරයක ඉන්නවා. නමුත් ඔය කිසිම දෙයක් ෆොන්සේකා මහත්යට බාරදීල හෝ වෙනම බළකායවල් හදන්න හෝ කටයුතු කරල නැහැ. ඒවා අසත්‍ය දේවල්. මම ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒව මේ රජයට විරුද්ධව මත ඉදිරිපත් කරන අයගෙ යම් යම් ප්‍රලාප විදියටයි මම දකින්නේ.
ප්‍රශ්නය:- සරත් ෆොන්සේකා මහත්තයා පත් කරන්න කැබිනට් තීරණයක් ගත්ත කියලා කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා කියල තිබුණා. මහින්ද අමරවීර ඇමැතිතුමාත්, ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමාත් පසුව මාධ්‍ය හමු කැඳවලා කියනව නෑ එහෙම තීරණයක් ගත්තෙ නැහැ කියලා. එතකොට ජනතාව අතර ප්‍රශ්නයක් මතුවෙනවා මේ දෙගොල්ලගෙන් කවුද ඇත්ත කියන්නෙ කියලා.
පිළිතුර:- දැන් හොඳම දේ ඔය කියන හැම කෙනෙක්ම ඇමැතිවරු විදියට තමන්ගෙ වගකීම බලාගත්ත නම් හොඳයි, නුසුදුසු අනවශ්‍ය දේවල් නිකන් කතා කරලා කටවල් වරද්ද ගෙන මහජනතාවට වැරදි මත ඉදිරිපත් කරන්නෙ නැතිව. හැම කෙනෙක්ම කැබිනට් එකේ සාමූහික වගකීම කියන දේ තුළ කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නෙ.
ප්‍රශ්නය:- රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරන්න කියල ශ්‍රීලනිපයෙ ඇමැතිවරුන් සාකච්ඡා කරල තීරණය කරනවා. ඔවුන් ඔබතුමාත් හමුවී එම ඉල්ලීම කරල තියෙනවා. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් සම කැබිනට් ප්‍රකාශක වරයෙක් පත් කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කරනවා. ඇතිවෙලා තියෙන ප්‍රශ්න මේ හරහා නිරාකරණය කරන්න පුළුවන් වෙයි කියා ඔබතුමා හිතනවාද?
පිළිතුර:- රාජිත සේනාරත්න මහත්තයා කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් මගෙන් ඉල්ලීමක් කළේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ සාකච්ඡාවකදී ඒ ඇතිවෙච්ච ප්‍රකාශ පිළිබඳව සාකච්ඡා වුණා. ඒවා නිවැරදි කරගෙන සාමූහිකව වැඩකරගෙන යාම පිළිබඳව සාකච්ඡා වුණා.
ශ්‍රීලනිපයෙන් කැබිනට් ප්‍රකාශක කෙනෙක් පත්කරන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඇමැතිවරුන් ඉල්ලීමක් කළා. ජනමාධ්‍ය ඇමැති විදියට ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා ඉන්නවා. සම කැබිනට් ප්‍රකාශක විදියට රාජිත සේනාරත්න ඇමැතිතුමා ඉන්නවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් අපි කැබිනට් ප්‍රකාශක කෙනෙක් පත්කරනවා. දැන් තුන්දෙනාම ගිහින් එකට වාඩිවෙලා, කැබිනට් රැස්වීම තිබ්බට පස්සෙ එක මතයක් කියනවා. ඒකයි දැන් තියෙන්නෙ. තුන් දෙනෙක් පත්කරන්න අපි තීරණය කළා. ඒ අනුව තුන්දෙනෙක් පත්වෙනවා.
ඒ වගේම පහුගිය කැබිනට් රැස්වීමේදීම මාත් අගමැතිතුමාත් සාකච්ඡා කරලා උපදෙස් දුන්නා ඒ තුන් දෙනාම ගිහින් එක මතයක් ප්‍රකාශ කළ යුතුයි කියලා. එතකොට තුන් දෙනාටම එතනෙදි පොදු මතය කියන්න පුළුවන්.
ප්‍රශ්නය:- අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා වෙනවා. යහපාලන ආණ්ඩුව යටතේ එන පළමු මැතිවරණය ජනමත විචාරණයක් කියල රාජිත සේනාරත්න ඇමැතිතුමා කියල තිබුණා.
පිළිතුර:- නෑ. ජනමත විචාරණයක් ගැන අපි තීන්දුවක් අරගෙන නෑ.
ප්‍රශ්නය:- මුලින් එන්නෙ පළාත් සභා, පළාත් පාලන ඡන්ද කියල මහින්ද අමරවීර ඇමැතිතුමා කියල තිබුණා. ඇත්තටම මේ දෙකෙන් මොකක්ද වෙන්නෙ.
පිළිතුර:- මොන මැතිවරණයද කියල මට දැනට කියන්න පුළුවන් කමක් නැහැ. මේ වර්ෂය මැතිවරණ පැවැත්විය යුතු වර්ෂයක් වෙනවා. නමුත් තිබෙන ව්‍යවස්ථාපිත තත්ත්වයන් අනුව රජයක් විදියට කටයුතු කිරීමේදී රජයේ තියෙන න්‍යායපත්‍රයන් අනුවයි මේවා තීරණය වෙන්නෙ. ඒ නිසා කොයි මැතිවරණයද ඉස්සෙල්ල තියන්නෙ කියන එක ගැන මට දැනට ප්‍රකාශයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉදිරියේදී ඇතිවෙන තත්ත්වයන් සැලකිල්ලට අරගෙනයි ක්‍රියාකළ යුතු වෙන්නෙ.
ප්‍රශ්නය:- ඒ කියන්නෙ අලුත් ව්‍යවස්ථාවකට ආණ්ඩුවේ සූදානමක් තියෙනවද?
පිළිතුර:- ඔව්. අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව කටයුතු දැනට කරගෙන යනවා. ඒ සකස්වෙන ව්‍යවස්ථා කෙටුම්පත කැබිනට් මණ්ඩලයට එන්න ඕනැ. එහෙම ආවම අපි ඒ ගැන සාකච්ඡා කරනවා. එහි ඇති හොඳ නරක, අඩුපාඩු මොනවද කියල සාකච්ඡා කරනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයට ආවම අපි සාකච්ඡා කරලයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ.
ව්‍යවස්ථාව ගැන නොයෙකුත් බොරු, අසත්‍ය ප්‍රචාරයන් යනවා. එක්තරා ජාතික පුවත්පතක මා දැක්කා ප්‍රධාන සිරස්තලය වී තිබුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට තියෙන තැන වෙනස් කරනවා කියලයි.
ඒක සම්පූර්ණයෙන් බොරුවක්. එවැනි දෙයක් කිසිසේත් සිදුවෙන්නේ නැහැ. බුද්ධාගම සම්බන්ධයෙන් 72 ව්‍යවස්ථාවෙ තියෙන වගන්තිවල කිසිදු වෙනසක් වෙන්නෙ නැහැ කියන එක මම බොහොම තරයේ ප්‍රකාශ කරනවා.
ප්‍රශ්නය:- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රම සංශෝධනයක් මේ නව ව්‍යවස්ථාවට ඇතුළත් වෙනවාද?
පිළිතුර:- ඔව්. පැහැදිලිවම. රටේ මහජනතාවගේ ඉල්ලීමක් තමයි අලුත් මැතිවරණ ක්‍රමය. කොට්ඨාස ඡන්ද ක්‍රමය ඕනෑ කියන එක මහජනතාවගෙ ඉල්ලීමක්. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මැතිවරණ ක්‍රමය පිළිබඳව ප්‍රමුඛතාවක් හිමි වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් මා මුල සිටම දැරූ ස්ථාවරයේ ඉන්නවා. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුයි කියන ස්ථාවරයෙයි මා ඉන්නේ.
ප්‍රශ්නය:- පළාත් පාලන ඡන්දය ගැන අවුරුදු දෙකක් තිස්සෙ කතා කරනවා. ඇයි ආණ්ඩුව පුංචි ඡන්දයට යන්න බයද?
පිළිතුර:- ඡන්දවලට බය නැහැ. හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න කියල මම ෆයිසර් මුස්තාපා ඇමැතිතුමාට උපදෙස් දීලා තියෙනවා. නමුත් මෙය ආණ්ඩුව විසින් ප්‍රමාද කරනවා කියලා ඔය චෝදනා කළාට මෙය ආණ්ඩුවෙන් කරන ප්‍රමාදයක් නෙවෙයි. මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් කලින් කරලා තිබුණු වැරදි ආකාරයට කොට්ඨාස නිර්ණය කිරීමයි මේකට බලපාලා තියෙන්නේ. අපි බලයට පත්වී අවුරුදු දෙකක් විතර ගියා ඒ කොට්ඨාස නිර්ණය සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන සිදුකරන්න. දැන් එහි රෙගුලාසි සංශෝධනය කරන්න තියෙනවා. එම කටයුතු ඉක්මන් කරන්න කියලත් මා ෆයිසර් මුස්තාපා ඇමැතිතුමාට කිව්වා. මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි කියන දැඩි මතයෙයි මාත් සිටින්නෙ.
ප්‍රශ්නය:- පහුගිය දවස්වල පවත්වපු මැයි දින රැලි, පෙළපාලි ගැන විවිධ පක්ෂ. සංවිධාන කතා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මැයි දිනය ගැන ඔබතුමා මොකද හිතන්නෙ.
පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දිනයයි මහනුවර තිබුණේ. ඉතාම ජයග්‍රාහී, විශිෂ්ට මැයි දිනයක් අපි පැවැත්වූවා. මා පක්ෂයේ සභාපති වෙලා 2015 මැයි දිනය පටන් ගත්තෙ හයිඞ් පාර්ක්වලින්. එදා රැස්වීමට ඇවිත් සිටියෙ දහදාහක්, දොළොස්දාහක් වගේ පිරිසක්.
ඊළඟට 2016 මැයි දිනය අප පැවැත්වූයේ ගාල්ලෙදි. ඒ මැයි දිනයට අතිවිශාල ජනකායක් ආවා. අපට ගාල්ලෙ රැස්වීම තිබුණ පිට්ටනියත් ප්‍රමාණවත් වුණේ නැහැ. ආපු හුඟක් අය මාර්ගවල තදබදයකට ලක්වුණා.
2017 මැයි දිනය මහනුවරදී තියන්න අපි තීන්දු කළා. මහනුවර මැයි රැලිය ගත්තාම මහනුවර නගරයට එන සෑම පාරකින්ම කි.මී. 5 කට 6 කට වැඩි ප්‍රමාණයක ජනතාව පෙළපාළි ආවා. මහලොකුවට සමහරු ඔය සාර්ථකයි කියල කතා කරන ගෝල්ෆේස් මැයි රැලියට පෙළපාළියක් තිබුණේ නැහැ. ඒ ගොල්ලන්ගෙ තිබුණෙ රැස්වීමක්. නමුත් අපේ එහෙම නෙමෙයි. අපේ මහනුවර නගරයට ඇතුළු වෙන පාරවල් හතරකින් මහා පෙළපාළි ආවා. ඒ පෙළපාලිවල ආපු ජනතාවයි ගැටඹෙට ආපු ජනතාවයි එක තැනකට ගන්න තැනක් මහනුවර තිබුණේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ මැයි රැලියට මහනුවර නගරයෙ පාරවල්වල කිලෝ මීටර 6 ක් 7 ක් දිගට තිබුණු පෙළපාළිවල ආ ජනතාව ඔය වගේ එක තැනකට දැම්ම නම් අපිත් කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය.
මැයි රැලි පිළිබඳව ඉතිහාසය දන්න අය දන්නවා පෙළපාළියක සහ රැස්වීමක වෙනස. පෙළපාලියකට එන ජනතාව රැලියට එන්නේ නැහැ. එය අද ඊයේ සිද්ධියක් නෙමෙයි. පෙළපාළියට එන අය රැස්වීම් භූමියට එන්නෙ නැතිව එහෙමම යනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්.
අනෙක මහනුවරදී අපේ පෙළපාළිය සාර්ථකව පැවැත්වෙද්දී තමයි මහනුවරට මොර සූරන මහා වර්ෂාවක් වැස්සෙ. ඒ වර්ෂාවත් එක්කත් ජනතාව එක තැනකට රොක් වූයේ නැහැ. ඒ තත්ත්වය සැලකිල්ලට ගත්තම අපේ මැයි රැලිය ඉතාම සාර්ථක මැයි රැලියක්. 2015 අපි හිටියෙ කොතනද, 2016 අපි හිටියෙ කොතනද, 2017 අපි හිටියෙ කොතනද කියන එක ජනතාවගේ පැමිණීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා.
අනෙක් කාරණය තමයි ගෝල්ෆේස්වලට සෙනඟ ආවා කියල කවුරු හරි පහුවදා ආණ්ඩු පෙරළන්න හිතනව නම් ඒක දේශපාලන මිරිඟුවක්. ඒක ඔවුන් කරගන්න ලොකුම මුළාවක්. 2015 ජනවාරි 8 වැනිදා ඡන්දය වෙලාවෙත් මගේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ රැස්වීම්වල අතිවිශාල ජනකායක් හිටියා. අවුරුදු 35ක 40ක ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ රැස්වීම්, පෙළපාලි ගැන පෞද්ගලිකව දන්න කෙනෙක් විදියට මම දන්නවා රැස්වීමකට සෙනඟ ආපු පමණින්ම ඒක ඡන්ද පෙට්ටියට ඔක්කොම හරි කියල හිතනවා නම් වැරදියි. අපේ රටේ තිබෙන දේශපාලනයේ සංකීර්ණ ස්වභාවය, රටේ අභ්‍යන්තර තත්ත්වයන්, දේශපාලන පක්ෂ විදියට ක්‍රියාකරන ආකාරය, රට තුළ තිබෙන ප්‍රශ්න යනාදිය සැලකිල්ලට ගත් විට පිට්ටනියකට සෙනඟ රැස්වුණා කියලා ඒකෙන් පහුවදා ආණ්ඩුවක් හදන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඒක දේශපාලන මිරිඟුවක්. ඔහොම රැස්වීම් අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. රට වෙනුවෙන් මගේ ඉදිරි දේශපාලන න්‍යාය පත්‍රය මම තවම කියල නැහැ. මම ඉදිරියේදී දේශපාලන තීන්දු තීරණ නොබියව ගන්න බවත් කියන්න ඕනෑ. ඕනැ කෙනෙකුට තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා.
මම බොහොම පැහැදිලිව කියනව මහනුවර අපේ රැස්වීම ඉතාම සාර්ථක මැයි රැලියක්. මේ සම්බන්ධයෙන් එක් එක්කෙනා කරන විග්‍රහයන් මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද අපි ඉතාම ශක්තිමත් ලෙස ඉදිරියට ඇවිත් තියෙනවා.
ප්‍රශ්නය:- ගැටඹේ රැස්වීමට එන්න කියලා ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු. පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දීමට පක්ෂයෙ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා. ඊට සම්බන්ධ නොවී ගෝල්ෆේස් යන අයට එරෙහිව මධ්‍යම කාරක සභාවෙන් පියවරක් ගැනීමටත් තීන්දු ගෙන තිබුණා. දැන් ගැටඹේ නෑවිත් ගෝල්ෆේස් ගිය අය සම්බන්ධයෙන් පක්ෂය ගන්නා පියවර කුමක්ද?
පිළිතුර:- ඒක මධ්‍යම කාරක සභාව රැස්වෙලාමයි තීන්දු කරන්නෙ. අපි ලබන සතියෙ මධ්‍යම කාරක සභාව රැස්වෙනවා. ඒක මධ්‍යම කාරක සභාවේ රැස්වෙලා සාකච්ඡා කරල ගන්න තීන්දුවක්.
ප්‍රශ්නය:- හම්බන්තොට වරාය චීනයට දීලා. ත්‍රිකුණාමලයෙ තෙල් ටැංකි ඉන්දියාවට දීලා. මේ රට චීනයෙ සහ ඉන්දියාවේ කොළණියක් කරන්න යනවා කියලා ආණ්ඩුවට චෝදනා එල්ලවෙනවා. මේ චෝදනා ගැන ඔබතුමා මොකද කියන්නේ?
පිළිතුර:- ඕක අහන අය අහන්න ඕනෑ අර පෝට් සිටි එක ඒ කාලෙ චීනයට දුන්න වෙලාවෙයි. පෝර්ට් සිටි එක චීනයට ඒ කාලෙ දෙනකොට කටවහගෙන හිටපු මිනිස්සු දැන් තමයි මෙහෙම අහන්නෙ. හම්බන්තොට චීනයට දෙනවයි, ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙනවයි කියලා දැන් තමයි ඒ අය අහන්නේ. රජයක් විදියට රට දියුණු කරන්න විදේශ ආයෝජන අවශ්‍යයි. හැබැයි ඒ විදේශ ආයෝජන ගන්න කොට රටේ ස්වාධීනත්වයට. ස්වෛරීත්වයට, ජාතික ආරක්ෂාවට. රටේ ආර්ථිකයට, රටේ සංස්කෘතියට හානියක් නොවන විදිහට ව්‍යවස්ථාවට එකඟව අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒ නිසා හම්බන්තොට ද ත්‍රිකුණාමලය ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. මගේ තීරණය වෙන්නෙ මූලික වශයෙන් අපේ රට දියුණු කරන්න විදේශ සහයෝගය අවශ්‍යයි. රටේ ණය බර ගැන හැමෝම දන්නවා. අපි ඒකෙන් ගොඩ එන්න ඕනැ. අපේ විදේශ වත්කම් වැඩිවෙන්න ඕනැ. අපේ අපනයන වැඩිවෙන්න ඕනැ. ආනයන වියදම අඩුවෙන්න ඕනැ. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට රට වශයෙන් ගොඩ නැගෙන්න අපට ආයෝජන
අවශ්‍යයි. හැබැයි ඒ ආයෝජනවලදී මා කලින් කී පරිදි රටෙන් කොටසක් ලියලා දෙන්න, සින්නක්කරව දෙන්න පුළුවන් කමක් නැහැ.
විශේෂයෙන්ම 1977 න් පස්සේ ගත් විට සෑම ආණ්ඩුවක් යටතේම විදේශ ආයෝජන කෙරිලා තියෙනවා. ඒ තත්ත්වයන් සැලකිල්ලට ගෙන එවැනි වැඩපිළිවෙලකට අප යා යුත්තෙ කියන එකයි මගේ අදහස. ඒ හැරෙන්න ඔය කියන විදියට ලෝකෙ කාටහරි රට දෙන්නවත්, රට කාටවත් දීලා අපි අත පිහදා ගන්නවත් අපි සූදානම් නැහැ. එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම කෙරෙන්නෙත් නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනැ. ඔය කිව්වට අද වෙනකම් අපි කිසි රටකට දීලාත් නැහැනෙ. එන යෝජනා. ගිවිසුම් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරලයි තීන්දුවක් ගන්නෙ. එහෙම නැතිව කිසිම රටකට භූමියෙ අයිතිය දෙන විදියේ දේකට මම එකඟ වෙන්නෙ නැහැ. කිසිම ආයෝජකයකුට මේ රටේ භූමියෙ අයිතිය දීමට මම සූදානම් නැහැ. ඒකට ඉඩ දෙන්නෙත් නැහැ.
පිළිසඳර : අජන්ත කුමාර අගලකඩ