වැඩි වූ මන්ත්‍රීන් හාරදහසට ඉඩ දෙන්න මහජනතාවට අමතර වැය බරක්


 

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 4006 කින් වැඩි වේ. ඒ අනුව මුළු සභික සංඛ්‍යාව 8500 කට ආසන්න වනු ඇතැයි විශ්වාස කෙරේ. මේ වැඩිවෙන පිරිසට රැස්වීම් ශාලා පහසුකම් සැලසීම අමතර ගැටලුවක් වශයෙන් පවතී. 


ප්‍රාදේශීය සභා 276 සභික සංඛ්‍යාව 3624 සිට 6853 දක්වාද නගර සභා 41 සභික සංඛ්‍යාව 417 සිට 729 දක්වා ද මහ නගර සභා 26 සභික සංඛ්‍යාව 460 සිට 836 දක්වා ද වැඩිවීම සිදුවේ. 


මෙම වැඩිවෙන සභික සංඛ්‍යාවට කිසිදු පළාත් පාලන ආයතනයක රැස්වීම් ශාලා ඉඩකඩ නොමැත. සියලුම පළාත් පාලන ආයතනවලම පාහේ සභික සංඛ්‍යාව දෙගුණයකින් පමණ හෝ ඊට ආසන්න ප්‍රමාණයකින් වැඩිවනු ඇත. 


මේ වැඩිවෙන සභික සංඛ්‍යාවට පහසුකම් සැලසීම ඒ ඒ පළාත් පාලන ආයතනවලට සිදු වනු ඇත. ප්‍රාදේශීය සභාවක රැස්වීම් ශාලාව විශේෂිතය. උදාහරණයක් ලෙස කලින් 10 ක් වූ සභිකයන් සඳහා පැවැති රැස්වීම් ශාලා පසුකම, සභික සංඛ්‍යාව 19 න් වූ විට වඩාත් පුළුල් විය යුතුය. රැස්වීම් ශාලාවේ ප්‍රමාණය වැඩි කිරීම, මේස, පුටු, විදුලි පංකා, ලිපි ලේඛන වැඩි කළ යුතුයි. වෙනදා ලිපියක පිටපත් 10 ක් ලබා ගත් ස්ථානයක් පිටපත් 19 ක් ලබා ගත යුතුවෙයි. ඒ සඳහා මුද්‍රණ කඩදාසි පවා වැඩිපුර යෙදවිය යුතු වනු අත. රැස්වීම් ශාලාවේ අසුන් ගැනීමට සැප පහසුකම් ඇති පුටු ලබා ගැනීමට සිදුවේ. බොහෝ විට සියලු සභිකයන්ට එකම වර්ගයේ පුටු සැකසීම සිදුවන නිසා දැනට පාවිච්චි කරනු ලබන පුටු ඉවත් කර සියලුම දෙනාටම අලුතෙන් පුටු ඇනවුම් කිරීමට ඉඩ ඇත. 


රැස්වීම් පවත්වනු ලබන්නේ මාසෙකට එක් දිනයක් පමණක් වුවත් ඒ එක් දිනය වෙනුවෙන්  රැස්වීම් ශාලාව අංගසම්පූර්ණව තිබිය යුතු වනු ඇත. රැස්වීම් ශාලාවට අමතරව විවේකාගාර, වැසිකිළි පහසුකම්, ආපනශාලා, දුරකථන, ජලය, වාහන ගාල් කිරීමේ පහසුකම්, අමුත්තන් හමුවීමේ ස්ථාන, විදුලි පංකා, පරිගණක, අන්තර් ජාල පහසුකම්, කාර්ය මණ්ඩලය සැපයීමට සිදුවිය යුතුව ඇත. 


විශේෂයෙන් කාන්තා නියෝජනය සියයට 25 ක් කිරීම නිසා ඔවුන් සඳහා විශේෂිත පහසුකම් සැලසිය යුතුවේ. විවේකාගාර මෙහිදී ප්‍රධානය. 


රැස්වීම් පැවැත්වෙන දිනවලදී සහිකයන්ට තේ හා දිවා ආහාර සැපයීම ඒ ඒ ආයතනවලින් ලබාදීම බොහෝවිට සිදු කෙරේ. මධ්‍යම පළාතේ ප්‍රධානම මහ නගර සභාවක රැස්වීම් දිනයේ සභිකයන්ට, ආයතනයේ කාර්ය මණ්ඩලයට හා මාධ්‍යවේදීන්ට දිවා ආහාරය සපයා ඇත. රුපියල් 400 ක පමණ මිල ඇති දිවා ආහාර වේලක් 75 දෙනෙකු සඳහා ලබාදීම සිදුකර ඇත. 24 ක්ව තිබූ සභික සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇති නිසා වෙනදා දිවා ආහාර සඳහා වැය වූ රුපියල් 9600 ක මුදල සභිකයන් සඳහා පමණක් 16400 දක්වා වැඩි කිරීමට සිදුවෙනු ඇත. 


අදාළ පළාත් පාලන ආයතන ඒ සඳහා වැය කරන්නේ ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා වැය කරනු ලබන මුදලින් බව සඳහන් කළ යුතුව ඇත. 


පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩි වීමත් සමගම වැයකරනු ලබන දීමනාව ද දෙගුණයකින් වැඩිකිරීමට සිදුවෙනු ඇත. 
ප්‍රාදේශීය සභා, මහ නගර සභා හා නගර සභා සභිකයන් සඳහා දීමනාවක් ගෙවනු ලබයි. එයින් ප්‍රාදේශීය සභා සභිකයකුට මාසික දීමනාව රුපියල් 15,000 කි. මහ නගර සභා හා නගර සභා මන්ත්‍රීවරයකුට දෙනු ලබන දීමනාව රුපියල් 20,000 ක් බැගිනි. 


ඒ අනුව මීට පෙර නගර සභා සභිකයන් 417 සඳහා ගෙවන ලද දීමනාව වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 83 ක් පමණ වැය කිරීමට සිදුවූ අතර දැන් එම මුදල රුපියල් ලක්ෂ 145 දක්වා වැඩිවීම සිදුවේ. 


මෙතෙක් මහ නගර සභා සභිකයන් 460 සඳහා මාසයකට රුපියල් ලක්ෂ 92 ක් ගෙවූ අතර දැන් සභිකයන් 836 දෙනා සඳහා ලක්ෂ 167 ක් වැය කිරීමට සිදුවේ. 


ඒ අනුව වසරකට මහ නගර සභා සභිකයන්ගේ දීමනා සඳහා වැය කරන මුදල ලක්ෂ 1104 සිට ලක්ෂ 2004 දක්වා වැඩි වෙනු ඇත. ඒ අනුව ලක්ෂ 900 ක මුදලක් වැඩිපුර වැය වෙනු ඇත. 


නගර සභා සභිකයන් සඳහා වසරකට වැය කරන දීමනාව රුපියල් ලක්ෂ 996 සිට රුපියල් ලක්ෂ 1740 දක්වා වැඩිවනු ඇත. ලක්ෂ 744 ක මුදලක් වැඩිපුර වැය කිරීමට සිදුවෙනු ඇත. ප්‍රාදේශීය සභාවල තත්ත්වයද එලෙසමය. ප්‍රාදේශීය සභාවල මෙතෙක් සභිකයන් 3624 සඳහා දීමනාව මසකට රුපියල් ලක්ෂ 543 ක්වූ මුදල රුපියල් ලක්ෂ 1029 කින් වැඩිවේ. ඒ අනුව වර්ෂයකට ප්‍රාදේශීය සභා සභිකයන්ගේ දීමනාව රුපියල් ලක්ෂ 3516 සිට රුපියල් ලක්ෂ 12348 ක් දක්වා වැඩිවේ. 


මීට අමතරව ඒ ඒ පළාත් පාලන ආයතන රැස්වීම්වලදී ගනු ලබන තීරණවලට අනුව සභිකයන් සඳහා දීමනා ලබාදීම සිදු කරනු ලබයි. ඇතැම් විට ප්‍රවාහන දීමනා, රැස්වීම්වලට සහභාගිවීමේ දීමනා හෝ වෙනත් දීමනාවක් ලබාදීම සඳහා ඒ ඒ ආයතනවලින් තීරණය කරනු ලබයි. 


පොදුවේ මෙම දීමනාව ලබා ගැනීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයට අතිරේක මුදලක් ලබා ගැනීමට සිදුවේ. 2018 අය වැය මගින් පළත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රුපියල් කෝටි 17621 ක්ද මූල්‍යාන වියදම් ලෙස රුපියල් කෝටි 4200 ක්ද වෙන් කර ඇත. 


මෙම මුදලට පළාත් සභා සඳහා වූ මුදල් ද ඇතුළත්ය. ඉතිරිය වෙන් කර ඇත්තේ වැඩිවූ සභික සංඛ්‍යාව හා ඒ අනුව සැකසිය යුතු රැස්වීම් ශාලා හා අනෙකුත් පහසුකම් පිළිබඳව වැය වෙන අමතර මුදල ඇතුළත් කර නොමැති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය. 


පළාත් පාලන ආයතන සඳහා අතිවිශාල මුදලක් වැය වෙනු ඇතැයි ගණන් බලා ඇත. ඒ මුදල වැය වෙන්නේ කතිරය ගැසූ ජනතාවගේ සුබසිද්ධිය සඳහා නොව කතිරයෙන් තේරී පත්වන සභිකයා වෙනුවෙනි. 


මීළඟ ප්‍රශ්නය මෙතරම් විශාල වැයක් මේ රටට දැරිය හැකි බරක්ද යන්නයි. ගම සංවර්ධනය කිරීමට යැයි පවසමින් ජනතා ඡන්දයෙන් පත් කර ගන්නා සභිකයා නඩත්තු කිරීමට සිදුවෙන්නේ ද ජනතාවටය. ජනතා මුදලින් නඩත්තු වෙන අතර තම පවුලේ නඩත්තුව සඳහා ද විවිධාකාර ක්‍රමෝපායන් සකසා ගැනීමට බොහොමයක් දේශපාලනඥයන්ට විශේ‍ෂ ඥානයක්ද පිහිටා ඇත. බයිසිකලයක්වත් නොතිබූ ප්‍රාදේශීය දේශපලනඥයන් බොහොමයක් තට්ටු පිට තට්ටු ගෙවල් ඉදි කරන්නේ එම දේශපාලන ඥානය නිසා බව කිව හැකිය. 


කොට්ඨාස ක්‍රමය හා සමානුපාතික ක්‍රමය යටතේ අපේක්ෂකයන් තේරීම නිසා සභික සංඛ්‍යාව වැඩිවී ඇත. දන්නා තරමට පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩි කරන ලෙසට ජනතාවගෙන් කිසිම ඉල්ලීමක් තිබූ බවක් නම් දැනගන්නට නැත. එහෙත් ​ෙද්ශපාලන අවශ්‍යතා මත වැඩි වූ සභිකයන්ට පහසුකම් සැලසිය යුතු වේ. 


එසේ නම් අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? 


ඒ පිළිබඳව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතාගෙන් කළ විමසීම මෙසේය. 


කොළඹ මහ නගර සභා රැස්වීම බණ්‍ඩාරනායක සමරු හලට ගෙනයනවා 


කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර: 


කොළඹ මහ නගර සභා රැස්වීම පැවැත්වීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉඩකඩක් වෙන් කර ගන්නා බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා කීය. 


ඒ මහතා මෙසේද කීය. 


කොළඹ මහ නගර සභාවේ සභික සංඛ්‍යාව 53 සිට 110 දක්වා වැඩිවී තිබෙනවා. හරියටම දෙගුණයකින්. මේ පිරිස සඳහා කොළඹ නගර සභා රැස්වීම් ශාලාව කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා දැනට බණ්‍ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ රැස්වීම් ශාලාවක් වෙන් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. 


කොළඹ මහ නගරසභා සභිකයන්ට රැස්වීම් සඳහා පහසුකම් ලබා ගත හැකි එකම ස්ථානය මෙය බව හඳුනා ගෙන තිබෙනවා. ඇතැම් සභිකයන්ට සිංහල භාෂාව කතා කිරීමට නොහැකියි. ඇතැම් අයට දෙමළ භාෂාව කතා කළ නොහැකියි. ඒ සියලු පහසුකම් සලකා බලා මෙම තීරණය ගෙන තිබෙනවා. මහ නගර සභා ​ෙගාඩනැගිල්ලේ ඉඩකඩ පහසුකම් ලබා ගැනීම පිළිබඳව සභාව මගින් තීරණය කරනු ලබාවි. 

 


බදුල්ල මහ නගර සභාවේ රැස්වීම් ශාලාව පුළුල් කරනවා 


බදුල්ල මහ නගර සභා කොමසාරිස් සී. අනුරාධා හේරත්: 


මහ නගර සභාවේ සභික සංඛ්‍යාව වැඩිවී තිබෙන නිසා දැනට පවතින රැස්වීම් ශාලාවේ ඉඩකඩ වැඩිකර ගැනීමට පියවර ගෙන ඇතැයි බදුල්ල මහ නගර සභාවේ කොමසාරිස් සී. අනුරාධා හේරත් මහත්මිය ප්‍රකාශ කළාය. 


ඒ මහත්මිය මෙසේද කීවාය. 


අලුතෙන් රැස්වීම් ශාලා ඉදිකිරීම කඩිනමින් කළ හැක්කක් නොවෙයි. ඒ සඳහා ප්‍රතිපාදනත් අවශ්‍යයි. එබැවින් දැනට පවතින රැස්වීම් ශාලාවේ ඉඩ පහසුකම් වැඩි කර අලුත්වැඩියා කිරීමට පියවර ගෙන තිබෙනවා. 


සභික සංඛ්‍යාව 15 සිට 25 දක්වා වැඩිවී තිබෙනවා. සභික සංඛ්‍යාව 10 කින් වැඩිවී තිබෙනවා. එබැවින් තිබෙන රැවීම් ශාලාවේ ඉඩකඩ වැඩිකර ප්‍රයෝජනයට ගත හැකියි. 

 


අනුරපුර මහනගර සභාවේ ඉඩ මදි. ළඟ ඇති කාර්යාල ඉඩක් ලබාගත්තා 


අනුරාධපුර මහ නගර සභා කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා: 


දැනට පවතින නගර සභා රැස්වීම් ශාලාව වටා ඇති ආයතන කීපයක්ද එකතු කර ශාලාවේ ඉඩකඩ වැඩි කර ගන්නා බව අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා කීය. 


ඒ මහතා මෙසේද කීය. 


අනුරාධපුර මහ නගර සභාවේ සභික සංඛ්‍යාව 13 සිට 25 දක්වා වැඩිවී තිබෙනවා. තිබෙන රැස්වීම් ශාලාවේ ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. මේ ගොඩනැගිල්ල වසර 31 ක් පරණයි. අනුරාධපුර නව නගරය පිහිටුවන කාලයේ මෙම ගොඩනැගිල්ල ලබාදී තිබෙනවා. 


සභික සංඛ්‍යාවට රැස්වීම් ශාලාව ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා රැස්වීම් ශාලාව වටා පිහිටි කාර්යාල රැස්වීම් ශාලාවට එකතු කළා. 


ස්ථීර ගොඩනැගිල්ලක් පිහිටුවීම සඳහා අලුත් සභාව තීරණය කරාවි. එතෙක් මූලික පහසුකම් සලසමින් සිටිනවා. 

 


වැඩි ​ෙවන සභිකයන්ට පඩි දෙන්න ඇමැති මණ්‍ඩලයෙන් සල්ලි ඉල්ල ගන්නවා 


පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා: 


පළාත් පාලන ආයතනවල වැඩි වෙන සභික සංඛ්‍යාවට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කීය. 


ඒ මහතා මෙසේද කීය. 


පළාත් පාලන මැතිවරණයෙන් සභික සංඛ්‍යාව 8500 කට ආසන්න වෙන බව විශ්‍වාස කෙරෙනවා. ඔවුන්ගෙන් ප්‍රාදේශීය සභා සභිකයෙකුට මසකට රුපියල් 15,000 ක්ද නගර සභා හා මහ නගර සභා සභිකයකුට රුපියල් 20,000 බැගින් ද මසකට දීමනාවක් ලබා දෙනවා. 


වැඩිවෙන සාමාජිකයන් සඳහා අමාත්‍ය මණ්‍ඩලයෙන් අතිරේක මුදලක් ලබාගැනීමට තීරණය කර තිබෙනවා.

දයාසීලි ලියනගේ