2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ සමඟ නාම යෝජනා බාර දීමට මැතිවරණ ලේකම් කාර්යාලයට ගියේ විජයදාස රාජපක්ෂය. ඒ සාක්ෂියට අත්සන් තැබීමටය. මහින්ද ජනාධිපති විය. රාජ්‍ය බැංකු සංවර්ධනය පිළිබඳ රාජ්‍ය ඇමැති ධුරය විජයදාස රාජපක්ෂට හිමි විය.
එහෙත් විජයදාස රාජපක්ෂ ඇමැති ධුරයේ සිටියේ මාස පහකි. රාජපක්ෂ ආණ්ඩුව ඉතා බලවත්ව තිබිය දී ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වූ විජයදාස රාජපක්ෂ විපක්ෂයේ අසුන් ගත්තේය.
2015 ජනධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස නාම යෝජනා දීමට මැතිවරණ ලේකම් කාර්යාලයට ගියේ විජයදාස රාජපක්ෂ සමඟය. ඒ සාක්ෂියට අත්සන් තැබීමටය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විය. ඔහුගෙ අධිකරණ හා බුද්ධශාසන ඇමැති වූයේ විජයදාස රාජපක්ෂය.
එහෙත් විජයදාස රාජපක්ෂට ඇමැති ධුරයේ සිටීමට හැකි වූයේ වසර දෙක හමාරක් පමණි. ඉකුත් 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමැති ධුරවලින් විජයදාස රාජපක්ෂ නෙරපා හැරියේය.
ඇවන්ගාඩ් ප්‍රශ්නය මතුවූ අවස්ථාවේදී තිලක් මාරපන ඇමැතිධුරයෙන් ඉල්ලා අස්විය. බැඳුම්කර ප්‍රශ්නය මතු වූ අවස්ථාවේදී රවි කරුණානායක ඉල්ලා අස්විය. දැන් විජයදාස රාජපක්ෂ නෙරපා හැර තිබේ. යහපාලන ආණ්ඩුවේ ගතවූ වසර දෙක හමාර තුළ දී ඇමැතිවරුන් දෙදෙනකු ඉල්ලා අස්වී තිබේ. එක් ඇමැතිවරයකු නෙරපා හැර තිබේ. නෙරපා හළ එකම ඇමැතිවරයා විජයදාස රාජපක්ෂය. එහෙයින්ම ඔහු සුවිශේෂය.
විජයදාස රාජපක්ෂගේ ගම හම්බන්තොට දිස්ක්‍රික්කයේ බෙලිඅත්තය. නීතිඥයකු වශයෙන් වෘත්තීය ජීවිතය අරඹන විජයදාස රාජපක්ෂ දේශපාලනික වශයෙන් වඩාත් ළං වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙතය. 1998 වසරේදී නීති ක්ෂේත්‍රය පිළිබඳව විශිෂ්ටතම තරුණ වෘත්තිකයා වශයෙන් ටොයිප් (Toyp) සම්මානයෙන් පිදුම් ලද විජයදාස රාජපක්ෂ කෙරෙහි පැහැදුණු චන්ද්‍රිකා ඔහුට ගෙවල් කුලී සමාලෝචන මණ්ඩලයේ සභාපති ධුරය දුන්නාය. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නීති උපදේශක ධුරය දුන්නාය. පුවත්පත් මණ්ඩලයේ සභාපති ධුරය දුන්නාය. එතෙකින් නතර නොවී 2004 වසරේ දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ද ගත්තාය.
විජයදාස රාජපක්ෂ කියන පරිදි ඔහුට රෝගයක් තිබේ. ඒ හදවතට දැනෙන ඇත්ත කතා නොකර සිටීමේ රෝගය වේ.
‘ඒක මම සනීප කරගන්නෙත් නෑ.’ ඔහු නිතර කියයි. ඒ නිසාම ඔහු නිතර ගැටුම් හදා ගත්තේය. විජයදාස රාජපක්ෂ කියන පරිදි ඔහුට දේශපාලන සතුරන් නිර්මාණය වීමට පටන් ගත්තේ 2008 වසරේදී කෝප් කමිටුවේ සභාපති ධුරයට පත්වී වැඩ පෙන්වන්නට පටන් ගත් පසුවය.
‘මම කෝප් කමිටුවේ සභාපති වෙලා හිටපු කාලයේ මට මරණීය තර්ජන තිබුණා. ඒ රජයෙන් බලපෑම් කළා. අහවල් ගනුදෙනු ගැන ප්‍රශ්න කරන්න එපා කිව්වා. මම නතර කළා ද? රක්ෂණ සංස්ථාව ආපහු රජයට පවරා ගන්න කියලා අපි කිව්වා. ඒ විදියට ඒවා ආපහු ගන්න කිව්වට පස්සේ තමයි මට ගහන්න පටන් ගත්තේ. ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? ඔය දූෂණවලට සම්බන්ධ දූෂිතයොත් ඇතුළුව 18 දෙනෙක් ගියා මහින්ද ළඟට.
ඉරිදා ලංකාදීප අගෝස්තු 13
මේ ආරෝව ඔහුට දිගටම තිබුණේය. ඔහු වරක් නඩු කියා ඇමැතිවරයකුගේ මන්ත්‍රී ධුරය නැති කළේය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට එන විට ඔහු සමඟ හැප්පුණේය. ජනතා විමුක්ති පෙරමුණට සල්ලි දුන් බව කියා වරක් ජවිපෙ නායක අනුර කුමාර සමඟ හැප්පුණේය. මංගල, චම්පික හා රවි එක්කද ඔහුගේ අරෝවක් තිබුණේය. එහෙත් ඔහු තනිවම ඔහුගේ ගමන ගියේය.
ඉකුත් 8 වැනිදා දිනය උදා වූයේ ඔය අතරවාරයේදීය.
මේ වන විට රටේ අවධානය යොමු වී තිබුණේ ඇමැති රවි කරුණානායක වෙතය. බැඳුම්කර කොමිසම හමුවේ ඇමැති රවි සාක්ෂි දී තිබිණි. කොමිසමේ සාක්ෂි ද එළියට පැමිණ ඇමැති රවි නීතිපති දෙපාර්තමේන්තුවට විවිධ චෝදනා එල්ල කළේය. නීතිපති දෙපාර්තමේන්තුව පැවැතියේ ඇමැති විජයදාස යටතේය. ඇමැති රවි අනුව යමින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ද නීතිපති දෙපාර්තමේන්තුව විවේචනය කරමින් සිටියහ.
ඇමැති විජයදාසට එරෙහිව තවත් ප්‍රවෘත්තියක් නිර්මාණය වී තිබිණි. ඒ හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සම්බන්ධයෙන් ඔහු විරෝධය පළ කළ බවය. එම නිසාම එදින කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බවය.
මෙම කරුණු කාරණා සියල්ලම සැලකිල්ලට ගෙන ඉරිදා ලංකාදීපයට ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත යුතු බවට තීරණය විය.
ඇමැති විජයදාස රාජපක්ෂට මම කතා කළෙමි.
‘ගෙදරට එන්න.’ ඇමැති විජයදාස රාජපක්ෂ කීවේය. ඒ අනුව නුගේගොඩ විජයබා මාවතේ පිහිටි ඔහුගේ නිවෙසට ගියෙමි.
ඇමැති විජයදාස රාජපක්ෂ සුපුරුදු සැහැල්ලුවෙන් සිටියේය. මා ඉදිරිපත් කළ ප්‍රශ්නවලට සෘජු පිළිතු දුන්නේය.
සම්මුඛ සාකච්ඡාව අවසන් විය.
‘ඔහොම කතා කරන්න බය නැද්ද? මම විමසුවෙමි.
මොකට බයවෙනව ද? මට මේ කිසිම දෙයක් ලොකු නැහැ.’ ඔහු සිනහ වෙමින් උත්තර දුන්නේය.
සම්මුඛ සාකච්ඡාවේ වඩාත් වැදගත්ම ප්‍රකාශය වූයේ හම්බන්තොට වරාය ආපහු අරගෙන මිස පස්ස බලනන්නේ නෑ.’ යන්න විය. එම ප්‍රකාශය ඇතුළත් ප්‍රවෘත්තිය මෙම අගෝස්තු 10 වැනිදා බ්‍රහස්ප්‍රතින්දා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ විය.
එදින ඇමැති රවි ඇමැතිධුරයෙන් ඉවත් වූ දිනය විය. දැඩි දේශපාලනික උණුසුමකින් රටම වෙලී තිබිණි. එහෙත් දේශපාලන ලෝකයේ තියුණු අවධානය ඇමැති විජයදාසගේ ප්‍රවෘත්තියට යොමු විය. ඇමැති රවීගේ නික්ම යාමෙන් සංවේගයට හා කම්පනයට පත් එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ ගොදුරක් බවට ඇමැති විජයදාස පත් විය.
ඇමැති විජයදාස රාජපක්ෂගේ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පසුගිය 13 වැනිදා ඉරිදා ලංකාදීපයේ පළ විය.
‘ඇමැති විජයදාසට විශ්වාසභංගයක් ගේනවා.’ නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා කීවේය.
‘ඇමැති විජයදාස රාජපක්ෂ ඇමැති මණ්ඩලයේ සාමුහික වගකීම් කඩ කරලා.’ විශ්වාස භංගයේ නිමිත්ත එය විය. එයට අමතරව පසුගිය රජය සමයේ හොරු ඇල්ලීම ප්‍රමාද කරන බවට ද ඔහුට චෝදනාවක් විය.
17 වැනිදා රැස්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමේ දී ඇමැති විජයදාස රාජපක්ෂට එරෙහිව ප්‍රබල හඬක් මතු විය. ඇමැති විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් තමන්ට විශ්වාසභංගයක් නොමැති බව එජාප මන්ත්‍රී කණ්ඩායමේ අදහස විය. ඇමැති විජයදාසට එරෙහිව චෝදනා පහක් එල්ල කළ එජාප මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ පත්කළ මන්ත්‍රී ආශු මාරසිංහය. යෝජනාව ස්ථීර කරන ලැබුවේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු සිඩ්නි ජයරත්නය.
මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඇමැති විජයදාස ද එක්වී සිටියේය. අගමැති රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී කණ්ඩායමෙන් විමසුවේ එම යෝජනාවට විරුද්ධව අදහසක් තිබේද? යනුවෙනි. එහෙත් කිසිවකුගෙන් කිසිදු විරෝධයක් එල්ල නොවීය.
එදිනම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයද රැස් විය. එහිදී ද ඇමැති විජයදාසගේ ප්‍රශ්නය ඇදී ආවේය. එහිදී ඇමැති විජයදාසට නියෝග කෙරුණේ 21 වැනිදාට පෙර ලංකාදීපයට කළ ප්‍රකාශය නිවැරැදි කරන ලෙසය. එමෙන්ම ඒ සඳහා ඇමැති මලික් සමරවික්‍රම, මංගල සමරවීර හා රාජය අමාතය රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසද අගමැති රනිල් උපදෙස් දී තිබිණි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ දී හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ඇමැති විජයදාසට එරෙහිව එල්ල වූ චෝදනා මෙසේය.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස තම වගකීම ඉටුකිරීමට අපොහොසත් වී ඇති බැවින්ද,
එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇති අල්ලස හා දූෂණය මැඬලීමට නව නීති ගෙන ඒමට අපොහොසත්ව ඇති බැවින්ද,
අපරාධ මගින් උපයා ගත් ධනය ආපසු ජනතාවට අත්පත් කරදීම සඳහා අවශ්‍ය කරන නව නීති ගෙන ඒමට අපොහොසත්ව ඇති බැවින්ද,
අපරාධ නඩු විභාග කිරීමට අදාළව පවතින අධික ප්‍රමාධය නිසා යුක්තිය ඉටු නොවීම පිළිබඳව ශ්‍රී ලංකා පුරවැසියන් බරපතළ ලෙස අධිකරණ ඇමැතිවරයා කෙරෙහි විවේචන එල්ල කරන බැවින්ද,
අධිකරණ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් රජය හා එක්සත් ජාතික පක්ෂය බලවත් ලෙස ජනතා අප්‍රසාදයට පත්ව ඇති බැවින්ද,
අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා කෙරෙහි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශ්වාසය නැති බව මෙයින් යෝජනා කර සිටී,
කරුණු මෙසේ වුවද ඇමැති විජයදාස තම ස්ථාවරය වෙනස් කළේ නැත. ඒ වෙනුවට අනුරාධපුරයේ පැවැති උත්සවයකදී ඇමැති විජයදාස ආණ්ඩුවට තදබල ප්‍රහාරයක් එල්ල කළේය.
රට ගැන කතා කරනකොට ආගම ගැන කතා කරන කොට රටේ අධිකරණ ඇමැතිට ගොරකයෙක් කියලා අපහාස කරනවා.’ එසේ කී ඇමැති විජයදාස ඇමැති රාජිත සහ ඇමැති මංගල ඉලක්ක කරගෙන ද ප්‍රහාරයක් එල්ල කළේය.
22 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට ද ඇමැති විජයදාස සහභාගි නොවීය.
මේ අතර යළිත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්විය. එහිදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියේ ‘ඇමැති විජයදාස නිවැරැදි කිරීමක් කර තිබේද? යනුවෙනි. මන්ත්‍රීවරුන්ගේ පිළිතුර වූයේ ‘නැත’ යන්නය.
ඒ අනුව 22 වැනිදා ඇමැති විජයදාස රාජපක්ෂ ඔහු දරන සියලුම ඇමැති ධුරවලින් වහා ඉවත කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාලගෙන් නිල වශයෙන් ඉල්ලා සිටියේය.මෙම නිල ඉල්ලීමට පෙර 21 වැනිදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් අතර විශේෂ හමුවක් පැවැත්විණි. එම හමුව ඇමැති විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක හමුවක් විය.
ජනාධිපති මෛත්‍රී අවසන් තීන්දුවට එළැඹිණ.
ඒ අනුව ඉකුත් 23 වැනිදා ඇමැති විජයදාස රාජපක්ෂ දැරූ සියලුම ඇමැති ධුරවලින් ඔහු ඉවත් කිරීමේ ලිපියට අත්සන් තැබුවේය. එම ලිපිය වහාම විජයදාස රාජපක්ෂ අතට පත්කර තිබිණ.
බලාපොරොත්තුවෙන් සිටි දෙයක් වූවාක් මෙන් හැඟීමකින් විජයදාස රාජපක්ෂ කටයුතු කළේය. ඔහු මුලින්ම අධිකරණ අමාත්‍යාංශයට ගොස් සිය කාර්ය මණ්ඩලයට සමුදුන්නේය. අනතුරුව බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිණ එම කාර්ය මණ්ඩලයට ද සමු දුන්නේය.
අධිකරණ අමාත්‍යාංශයට සමුදී පිටතට පැමිණි විජයදාස රාජපක්ෂ මාධ්‍යයට මෙසේ කීවේය.
පණ්ඩුකභය රජ සමයේ සිට මේ දක්වා මේ රටේ සිදුවූ දැවැන්තම මංකොල්ලය වන බැඳුම්කර මගඩිය වසා ගැනීම සඳහා එහි මහ මොළකරුවන් තමාගේ ඇමැතිධුරය බිල්ලට ගත් බව ද ඔහු කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
‘අපේ රටේ ඉතිහාසය පුරාම අධිකරණ ඇමැතිවරුන්ට තිබුණ චෝදනාවක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවට හා අධිකරණයට බලපෑම් කිරීම. එහෙත් අධිකරණ ඇමැතිවරයා ලෙස මට ආපු චෝදනාව තමයි අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකිරීම, මා මේ රටේ ජනතාවට කිවයුතු මගේ සිද්ධියට සම්බන්ධ ආසන්නතම හේතුන් දෙකක් තිබෙනවා.
ඉන් පළමුවැන්න තමයි හම්බන්තොට වරාය බදු දීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. අපේ කැබිනට් මණ්ඩලය සාමුහිකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළා. ඒක මම හෙළිදරව් කළාට කැබිනට් සාමුහික වගකීම උල්ලංඝණය කළ බව කියමින් මට චෝදනා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යවස්ථාව අනුව ආයෝජන කටයුත්තකට හම්බන්තොට වරාය වගේ ගනුදෙනුවකට ඇතුළත්වීමේ දී අත්‍යවශයෙන්ම පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුතුයි. එම යෝජනාව පාර්ලිම්න්තුවේ නොපැමිණ සිටි මන්ත්‍රීවරුන් ද ඇතුළුව තුනෙන් දෙකකින් සම්මත කරගත යුතුයි. ඒක එහෙම වුණේ නැහැ. ඒ නිසා හම්බන්තොට ගිවිසුම කඩදාසි කොළයක් විතරයි. එය බලශුන්‍යයි කිසිදු නීතිමය වටිනාකමක එම ලියවිල්ලට නැහැ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට වරායේ මෙහෙයුම් කටයුතුවලට අදාළ ගනුදෙනු කිරීමට බලයක් තිබෙනවා. ඒත් වරායක් පැවරීමට බදු දීමට බලයක් නැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේක මම හෙළිකළාම මට එරෙහිව කුපිත වූ කණ්ඩායමක් හිටියා.
මා කියන්න ඕනෑ චන්ද්‍රිකා ආණ්ඩුවේ වරක් මම ඇමැතිකම බාරගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම මාස පහෙන් දාලා ගියා. අද මම අස්කරපු ඇමැතිවරයෙක්. බැඳුම්කර ගනුදෙනුවේ මහමොළකරුවන් හෙළිදරව් වෙනකොට ෆුට්නෝට් කල්ලියේ ගනුදෙනු එළියට එන විට බයවෙලා සමහරු කෑ ගහනවා. බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබුණු පසුව හොරුන්ට දූෂිතයින්ට එරෙහි නඩු දාන්න ඕනෑ. ඒක රටේ ජනතාව බලාපොරොත්තු වෙන දෙයක්. නීතිපති දෙපාර්තමේන්තුව මා යටතේ ස්වාධීන නිසා මේවා වහන්න අමාරුයි. ඒ නිසා මේ අධිකරණ ඇමැතිවරයා ඉවත් කරන්න. නීතිපති දෙපාර්තමේන්තුවේ කොන්ද කඩන්න මේ අය තීන්දු කළා.
ඉකුත් 15 වැනි බදාදා නීතිපතිතුමා අරලියගහ මන්දිරයට කැඳෙව්වා. චණ්ඩි මන්ත්‍රීවරුන් පසුපෙළ මන්ත්‍රීවරුනුත් ගෙනත් නීතිපතිට අපහාස උපහාස කළා. නියෝග දුන්නා තෝරාගත් නඩු තරහකාරයන්ගේ නඩු සති දෙකක් ඇතුළත පැවරිය යුතුයි කියලා. ඒක තමයි දූෂිතයන්ට ආරක්ෂා වෙන්න පුළුවන් හොඳම උපක්‍රමය.
රාජපක්ෂ ආණ්ඩුව කාලේ සිදුවීම් හා සම්බන්ධ නඩු ප්‍රමාද කරන බවට මට චෝදනාවක් කරනවා. බැඳුම්කර මගඩිය යට ගහගන්න මාව බිල්ලට දුන්නා. මම මතක් කරන්නම් එදා 2007 කෝප් වාර්තාව හරහා මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිට අභියෝග කරලා එළියට බැහැලා යනකොට ඔය අද කෑකෝ ගහන බොහෝ පිරිසක් හිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ හුරතල් වෙවී.
එදා 2002 එජාප ආණ්ඩුව කාලේ රටේ ජාතික සම්පත් වික්කා, ශ්‍රී ලංගමය මිලියන 860 කට වික්කා රවි වෙත්තසිංහට. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බිලියන 125 ක වත්කමක් තිබුණා. ඒක බිලියන 6 කට වික්කා. ඇපලෝ රෝහල රටට අහිමි වුණා. කෝප් වාර්තාව හරහා මේවා හෙළිදරව් කළේ අපි. නඩු පවරලා නැවත රටේ සම්පත් බේරාගත්තා. එදා සතපහක්වත් නැතිව කොළඹ වරායේ අක්කර 8 1/2 ක් දීලා තිබුණා. මා මැදිහත්වෙලා ඒවා ජනතාවට නැවත ලබා දුන්නා. මේ තරම් රටේ සම්පත් විකුණන ආණ්ඩුවක් ගැන ජනතාව තීන්දුවක් ගනීවි.
මගේ දේශපාලන ගමන ගැන මම පසුව කියන්නම්. ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා.
ඇවන්ගාඩ් සිද්ධිය ගැනත් මට චෝදනා කරනවා. එදා මගේ මතය වැරදියි කිව්වා. හිටපු නීතිපතිවරයා තීන්දු කළේ ඇවන්ගාඩ් එකට එරෙහිව අපරාධ නඩුවක් පවරන්න බැහැ කියලයි. විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිතුමාට දීලා තියෙනවා. ඒකේ තියෙන්නේ ඇවන්ගාඩ් එකේ නීති විරෝධී කටයුත්තක් වෙලා නැති බවයි.
ඇවන්ගාඩ් ගැන නීතිමය පියවරක් ගන්නේ නම් වර්තමාන ආරක්ෂක ලේකම්වරයාත් අත්අඩංගුවට ගන්න ඕනෑ. නාවික හමුදාව රතු මුහුදේ තිබෙන පාවෙන ඇවන්ගාඩ් නැවේ තමයි ආයුධ තැන්පත් කරන්නේ. නාවික හමුදාව ඒ නැවේ ආයුධ 500 ක් විතර තැන්පත් කර තිබෙනවා.
2005 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ සමඟ මැතිවරණ ලේකම් කාර්යාලයට ගිය 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමග මැතිවරණ ලේකම් කාර්යාලයට ගිය විජයදාස රාජපක්ෂ 2020 ජනාධිපතිවරණයේදී අත්සන් කිරීමට තවත් කෙනෙකු රැගෙන මැතිවරණ ලේකම් කාර්යාලයට යන්න බලාපොරොත්තුවක් තිබේදැයි කිව නොහැකිය. මන්ද යත් 2020 පොදු අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ යැයි කනින් කොනින් කියැවෙන හෙයිනි.
සටහන :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්