සෝමාවතී මව පාළු ඉඩමක දමාගොස් තිබූ අයුරු
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සපයන වාර්තාවන්ට අනුව අපේ රටේ සමස්ත ජනගහනයෙන් සියයට දොළහක පමණ පිරිසක් වැඩිහිටි ජනගහන කුලකයට අයත්වේ. ශ්‍රම බලකායේ වර්ධනය වෙනුවට යැපෙන්නන්ගේ වර්ධනය දියුණු වෙමින් පවතින රටකට ගැටලුකාරී තත්ත්වයකි. ජපානය වැනි දියුණු ලෝකයේ රටවල් වලද වැඩිහිටි ජනගහනය වර්ධනය වෙන තත්ත්වයක පැවතුණද හොඳ ආර්ථික මට්ටමක් යටතේ ජීවිතයේ සැඳෑ සමය ගෙවීමට හැකිවීම නිසා එකී රටවලට වැඩිහිටි ජනගහනය යන්න ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව නැත. අවම ආර්ථික පරිසරයක් තුළ වියපත් වෙන අපේ රටේ වැඩිහිටි ජනගහනය සමාජයට මෙන්ම ආර්ථිකයටද බලපෑමක් බවට පත්ව ඇත. වැඩිහිටි ජනගහනයේ වර්ධනය සමග මතුවෙන ගැටලුකාරී තත්ත්වයන් මත මහළු මව්පියන් මහ මඟ අත්හැර යෑම් පිළිබඳ කතා පුවත් කිහිපයක් ඉකුත් සති කිහිපය තුළ එක පෙළට වාර්තා විය. එබඳු සිදුවීම් කිහිපයක් අප මෙසේ දක්වන්නෙමු.
* දේවස්ථානය අසළ දමා ගිය මව
ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන දෙල්ගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි මියුරියල් ප්‍රනාන්දු නැමති වයස අවුරුදු හැට නවයක් පමණ වන රෝගී වියපත් කාන්තාවක් මහ මග අතරමං කර යෑමේ සිදුවීමක් වාර්තා විය. කටාන සිට ත්‍රිරෝද රථයකින් රැගෙන ආ එම කාන්තාව පුත්තලම-අනුරාධපුර මාර්ගයේ කලාඔය දේවස්ථානය අසළට එසේ ගෙනැවිත් දමා තිබුණි. ඉකුත් පෙබරවාරි විසිඅට වැනිදා සවස දෙකට පමණ ඇය දේවස්ථානය අසළ අත්හැර දමා ගොස් තිබියදී ප්‍රදේශවාසීන් මැදිහත්ව ඇය දෙවස්ථානය භාරයේ ඇති නිර්මල ලුර්දු දේවමාතා වැඩිහිටි නිවාසයට භාරදී ඇත.
හැට නව හැවිරිදි මියුරියල් ප්‍රනාන්දු නැමති කාන්තාව පුතුන් දෙදෙනකුත් තමන්ට දාව නූපන් තවත් දියණියකුත් රැක බලාගත් දයාබර මවකි. කලාඔය වැඩිහිටි නිවාසයේ පාලිකා සඳුනි ඕපාත කන්‍යා සොයුරිය සඳහන් කරන ආකාරයට ඇය යම්කිසි මානසික ආබාධ තත්ත්වයකින් පසුවන නිසා බොහෝ ජීවන තොරතුරු පැවසීමට අපොහොසත්ව ඇත.
දේවස්ථානය අසළ දමා ගිය පසුව වැඩිහිටි නිවාසයේ පාලක පාලිකාවන්ගේ මැදිහත්වීම මත ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කොට තිබුණි. ඒ අතරතුරත් බොහෝ අවස්ථාවල ඇය තම පුතුන් දෙදෙනා ගැනත් පුතුන්ට දාව උපන් දරු මුණුබුරන්ගේ නම්ද සඳහන් කරමින් විවිධ දෑ පවසා තිබේ.
ඉකුත් විසිඅට වැනිදා ඇය දමා ගිය පසුව දින කිහිපයකින් අනතුරුව ඇයව සොයා ඇයගේ දියණියක වන ඉනෝකා මාලි ප්‍රනාන්දු නම් කාන්තාවක් පැමිණ තිබේ. නොච්චියාගම පොලිසිය මැදිහත්ව එම දියණියට අතහැර දමා ගිය මව නැවත රැගෙන යෑමට දැනුම් දුන්නද ඇය තම මව රැගෙන යෑම ප්‍රතික්ෂේප කොට තිබේ. එසේ ප්‍රතික්ෂේපකරමින් ඇය සඳහන් කොට ඇත්තේ ‘මේ අම්මා ගෙදර ගෙනි යනවාට වඩා හොඳයි මං මෙයාව මරලා හිරේ යනවා’
එම කාන්තාව තම වැඩිහිටි මව රැගෙන යෑම ප්‍රතික්ෂේප කරන නිසා ඇය තවදුරටත් වැඩිටිහි නිවාසය තුළ රඳවා තබාගත් බව සඳුනි ඕපාත කන්‍යා සොයුරිය අප සමග පැවසුවාය. එසේ කියමින් ඇය තවදුරටත් ඒ පිළිබඳව තොරතුරු පැහැදිලි කළේ මෙසේය.
“මේ ඉන්නේ මා වැදූ අම්මා නොවෙයි. මා කුඩා කාලයේ ළමා නිවාසයකින් රැගෙන ඇවිත් ඒ අම්මා මාව හදාවඩා ගෙන තිබෙනවා. ඉන් පසුව ඇයට තවත් පිරිමි දරුවන් දෙදෙනකු ලැබී තිබෙනවා. දරුවන් ජීවත් කිරීමට තරම් හොඳ ආර්ථිකයක් තිබුණේ නැහැ. මේ අම්මා අපිව ජීවත් කරන්න ධීවර රැකියාවෙත් නිරත වුණා. අපි හිටියේ කුලී ගෙවල්වල. ජීවත් වුණේ බොහෝ අපහසුතාවයන් මැද. බොහෝම වෙහෙස මහන්සි වෙලා ජීවිතේ ගැට ගහගෙන අපි උස්මහත් වුණා. දැන් මල්ලිලා දෙන්නත් විවාහකයි. මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා. මගේ දරුවන් කුඩා කාලයේ ඔවුන් මේ මව ළඟ තබා මම ගෘහ සේවයට විදේශ ගතවුණා. මේ අම්මා මගේ දරුවෝ බලා ගත්තා. මාව හදා ගන්න ගත්තු දරුවෙක් වුණත් අම්මා මට සැලකුවා. මමත් ඇයට ඒ වගේම සැලකුවා. ඒත් දැන් මට ඇයට සලකන්න විදිහක් නැහැ. ඇයගේ කුසින් උපන් දරුවෝ ඇයව බලා ගන්නේ නැහැ. මේ නිසා මම ඇයව මහළු මඩමකට බාර දෙන්න තීරණය කළා.
එසේ ගිය බොහෝ තැන්වලින් ඇය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසයි කටානේ ඉඳලා මෙහාට ගෙනැත් දාලා යන්න තීරණය කළේ.”
එම කාන්තාව වැඩිහිටි නිවාසයේ පාලිකා සඳුනි ඕපාත කන්‍යා සොයුරි සමග පවසා ඇත.
ශ්‍රී පාදස්ථානයේදී අතරමං කළ සී.ඩබ්ලිව්. කුසුමාවතී
* ශ්‍රී පාදස්ථානයේ දමාගිය මහළු මව
කළුතර දොඩම්ගොඩ නෑහින්න ප්‍රදේශයේ පදිංවිව සිටි පනස් නව හැවිරිදි මවක් කැඳවාගෙන පුතා සහ ලේලිය වන්දනා නඩයක් සමග ශ්‍රී පාද වන්දනාවේ ගොස් වන්දනාව නිමා කොට මව ශ්‍රීපාද උඩමළුවේ දමා ඒම පිළිබඳ පුවතක් පසුගිය දිනෙක වාර්තා විය.
සී.ඩබ්ලිව්. කුසුමාවතී නම් වන එම කාන්තාව මුළු රාත්‍රියක් මුළුල්ලේම කුසගින්නේ සහ තද සීතල මැද අසරණව වැතිර සිට ඇත. පසුව ශ්‍රී පාදස්ථානයේ සේවය කළ නිලධාරීන් ආහාරපාන ඇඳුම් පැළඳුම් ආදිය සපයා ඇයට සත්කාර කොට තිබේ.
පිරිමි දරුවන් තිදෙනෙක් හා එක් ගැහැණු දරුවකුගේ මවක් වන කුසුමාවතී මහත්මිය කුෂ්ඨ රෝගයකින් පෙළීම නිසා සිරුර පුරා තුවාල කැළැල් තිබුණු අතර එම රෝගී තත්ත්වය නිසා දැන් ශාරීරික අපහසුතාවලින් පෙළෙන බවද පෙනී යමින් තිබුණු බව අනාවරණය විය.
* මනම්පිටියේ තනිවූ මව
දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ දළුකාන නම් ග්‍රාමයේ පාළු ඉඩමකට යූ.බී. සෝමාවතී නම් මාතාව තනිකර දමා ගොස් තිබේ. එම කාන්තාව දූ පුතුන් අට දෙනෙකු බිහිකර ඇතිදැඩි කළ මවකි. ඇය බිහිකළ දරුවන් අතර ගුරුවරියක් ලෙස එක් දියණියක් හා අනෙක් දරුවන්ද විවිධ රැකියාවන් කරමින් රාජ්‍ය අංශයේ සේවයේ නියුතු වන දරුවන්ය. නමුත් එයින් ඇතැම් දරුවන් දැනට සිටින්නේ කොහේ කොතැනකද කියා ඇය දන්නේ නැත. දැනට අංශභාග රෝගී තත්ත්වයෙන්ද පෙළෙන ඇය ඉටි කොළ වලින් සෙවිලි කළ පැල්පතක බොහෝ අසීරුතාවයන් මැද දිවි ගෙවමින් සිටියි.
පාළු ඉඩමක තනිව වෙසෙන මෙම කාන්තාවට කාගේ හෝ හව්හරණක් නැත. තමාට පැල්පතක් සාදා දෙන ලෙස ඇය වරෙක ඉල්ලා සිට ඇත. දරුවන් විසින් තම නිවෙස් වලින් පන්නා දමන ලද ඇයට අවසානයේදී ඉතිරිව ඇත්තේ මෙම පාළු ඉඩමේ පිහිටි ඉටි කොළ පියස්ස පමණි. උයා ගත් බත් කට ලුණු දියර ඉසිමින් ආහාරයට ගන්නා ඇයට ජීවත් වීමට හැකි කිසිම වටපිටාවක් නොමැතිවීම ගැටලුකාරී තත්ත්වයකි.
* කුකුල් කූඩුවේ දැමූ මව
ගල්ගමුවේ පදිංචි අසූ පස් හැවිරිදි නූර් මොහොමඞ් හවුල් උම්මා නැමති මහලු මව දරුවන් සිව් දෙනෙකු වැදූ මවක් වන අතර යම් මානසික ව්‍යාකූලතාවයක් හේතුවෙන් ඇය නිවසේ අන් අයට හිරිහැරයක් වීම නිසා දම් වැලකින් ගැටගසා කුකුල් කූඩුවේ දමා තැබීමේ පුවතක් වාර්තා වූයේ ඉකුත් වසර අග භාගයේදීය. එම සිදුවීම සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසියේ නිලධාරීන් මැදිහත් වූ අතර එනමුත් ඒ වනවිටත් ඇය දැඩි ලෙස පීඩාවට පත්ව සිටියාය.
පානදුර නගරයට නුදුරු මාදුරුපිටිය පාතගම්ව ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. රොසලින් නැමති අසූ අට හැවිරිදි කාන්තාවක් බස් නැවතුම් පොළකට අතහැර දමා යෑමේ පුවතක් වාර්තා වූවේය. තමන් සතු සියලු දේපළ වැඩිමහල් දියණියට පවරාදී ඇය යටතේ මිය යනතුරු ජීවත්වීමේ අපේක්ෂාවෙන් සිටි තවත් මවක් එම පිළිසරණ අහිමි වූ නිසා බාල දියණියගේ නිවසට ගිය පසු ඇය එම මව පොලිසියට ගෙනැවිත් භාරදීම පිළිබඳ පුවතක් ඉකුත් දෙසැම්බරයේ වාර්තා විය. පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි තවත් පියෙකු අතට රුපියල් පන්සීයක් දී සිය පුතු තමා මහ මග දමා ගිය බවට අඬමින් සිය දුක්බර කතාව පැවසූ පියෙකු පිළිබඳ තොරතුරුද ඉකුත් කාලසීමාවේ අපට අසන්නට ලැබුණි. මහනුවර උඩුදුම්බර ප්‍රදේශයේ තවත් මවක් ඉටි රෙදි සෙවිලි කළ කූඩාරමක් යට ජීවත් වූ පුවතක්ද ඉකුත් කාල සීමාවේ වාර්තා විය.
අප සමාජයේ වැඩිහිටියන්ට මුහුණ පෑමට සිදුවී ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුලාවතී මැණිකේ මහත්මිය දැක්වූ අදහස් මෙසේය.
රටක උපත් අනුපාතිකයට සාපේක්ෂව මරණ අනුපාතිකය තුළිත නොවීම අප වැනි රටකට ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. ආසියාතික රටවල් අතරින් වයස්ගත වූවන් පිළිබඳ ගැටලුව සෘජුව බලපාන රටක් විදිහට අපේ රට හඳුන්වන්න පුළුවන්. සංවර්ධන රටවල හැත්තෑව පිරුණු අය වැඩිහිටියන් ලෙස සැලකුවත් අපේ රටේ වැඩිහිටියන් ලෙස සලකන්නේ හැටට වැඩි අය. යැපෙන පිරිස වැඩිවීම පිළිබඳ ගැටලුව නිසා මෙවැනි තත්ත්වයන් ඉස්මතු වෙනවා.
ආර්ථික ශක්තිය අඩු මට්ටමෙන් තිබියදී වියපත් වෙන පිරිස වැඩිවීම නිසා දරුවන්ට ඔවුන්ගේ බර දැරීමට සිදු වෙනවා. මේ සියල්ල නිසා ගැටලුකාරී තත්ත්වයක් මතු වෙනවා. ඒ වගේම අපේ රටේ සංස්කෘතික රාමුව මත වැඩිහිටි නිවාස වැනි දෑ පිළිබඳව දරණ ආකල්පය වෙනස්වීම ගැටලුවක්. නමුත් බටහිර රටවල වැඩිහිටි නිවාස රජයේ මැදිහත්වීමෙන් පිළිගන්නා යාන්ත්‍රණයකට පත්වී තිබෙනවා.
සටහන සමන්තිකා මාධවී