සංචරණ සීමා නොකළොත් ඉදිරි කාලයේ භයානක තත්ත්වයක්


සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි   

 

(උපුල් වික්‍රමසිංහ)   

අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය මගින් පළ කර ඇති නවතම සමීක්ෂණ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය පිළිබඳ කර තිබෙන පුරෝකථන හා අනතුරු ඇඟවීම් ගැන දැඩි සැලකිල්ලක් යොමු කර ඒවාට මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.   

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එම වාර්තාව ගැන අදහස් දක්වමින් ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ඉදිරියේදී ජනතාව අලුත් අවුරුදු කාලයේ මෙන් සංචරණ කටයුතුවල යෙදුණහොත් අදාළ වාර්තාවෙන් ඉදිරියේදී මෙරට ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති අවදානම් සහගත තත්ත්වයට වඩා භයානක තත්ත්වයක් ඇති විය හැකි බවය. සමස්ත ජනතාවගෙන් සියයට අනූවකට වැඩි පිරිසක් මුඛ ආවරණ පැළඳුවහොත් වයිරසයෙන් ආරක්ෂාවීමට තිබෙන හැකියාව ඉහළ යනු ඇති බවට එම වාර්තාවේ කර ඇති සඳහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ජනතාව මුඛ ආවරණ පැළඳීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය යැයිද ඒ මහතා කීය.   


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණසේකර මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවසුවේ අදාළ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන පරිදි ඉදිරියේදී කොවිඩ් 19 ආසාදිතයන් වැඩිවශයෙන් හමුවීමට ඉඩ ඇති බැවින් කල්තියාම ඊට මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් මේ වනවිට රටේ රෝහල් පද්ධතිය එහි උපරිම ධාරිතාවට ළඟා වී ඇති තත්ත්වයක වඩාත් වැදගත් වන්නේ අලුතින් ඇඳන් හා රෝහල් ඉදිකිරීමට වඩා සමාජයේ සියලුම පුරවැසියන් සංචරණ සීමා කර නිවෙස්වලම රැඳී සිටීම බවත්ය.   
ලෝකයේ කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තියට අදාළව දැනට පවතින දත්ත යොදා ගනිමින් එක් එක් රටවල ඉදිරියේදී මේ වයිරසයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැනනැගිය හැකි අවදානම් තත්ත්ව ගැන අනාවැකි පළ කර තිබෙන එම වාර්තාවේ දැක්වෙන අන්දමට ජූනි මාසයේ අවසාන සතිය වනවිට මෙරටේ වාර්තා වන දෛනික කොවිඩ් 19 ආසාදිතයන් ගණන අසූපන්දහසේ (85000) සීමාව ඉක්මවා යන අතර සැප්තැම්බර් පළමු දින වනවිට ලංකාවේ සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 20876 ක් දක්වා ඉහළ යනු ඇතැයි ප්‍රරෝකථනය කර ඇත.