සමාජයේ වරදින් බිහිවුණු පාතාලය ගැනයි


 

-සියලු සිරකරුවෝ මනුෂ්‍යයෝය” වැලිකඩ බන්ධනාගාරය දෙස මහ මග සිට නෙත් හෙළන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන්නේ එම වැකියයි. දරුවකු කුස තුළ සිටියදී කිසිම මවක් හෝ පියෙක් තම දරුවා මැරයෙක් වේවායි පතන්නේ නැත. කුඩුකාරයෙක්, සොරෙක්, මිනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක් වේවායි පතන්නේ නැත. ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව යහපත් දරුවෙක්ම වන්නේය.

 

මව්පිය සෙනෙහස මධ්‍යයේ ඇති දැඩිවන කිසිදු දරුවෙකු අනාගතයේ මැරයෙක්, පාතාල නායකයෙක්, දූෂකයෙක් වේවායි පතන්නේ නැත. ඔවුන්ගේද ඒකායන බලාපොරොත්තුව සමාජයේ වැදගත් යැයි සම්මත කුමන හෝ වෘත්තියක නියැලීමය. එය එසේ නම් කිසිවෙකුත් අපේක්ෂා නොකරන සමාජ අපරාධකරුවකු නිමවන්නේ කෙසේද? අහිංසක දරුවකුගේ අතක් අවියක් සවියක් කරගන්නේ කෙසේද? ඔවුන් තුළ සමාජ විරෝධී පෞරුෂයක් ගොඩනැගෙන්නේ කෙසේද? සිතිය යුතු බොහෝ දේ ඇත.


කුලභේද, පංතිභේද හා වෙනත් සමාජමය ගැටලු හමුවේ මිනිසුන් නොමිනිසුන් වන්නේය. නොහික්මුණු දේශපාලනය හා ධනවාදී බලවේග ඔවුන්ගේ අතට අවි ආයුධ සපයන්නේය. එහි අවසානය වෙනත් අයගේ සුඛවිහරණය සඳහා තමන් මිනීමරුවන් වීමය. තමා අසාධාරණයට ලක් කළ සමාජයෙන් ඔවුන් පළිගන්නේ තවත් තමා වැනිම දරු පිරිසක් අසරණ කරමිනි. එහි ප්‍රතිඵලය පරම්පරාවෙන් පරම්පරාව පාතාලයේ සාමාජිකයන් බිහි කිරීමය.


අවි ආයුධ භාවිතයට නීතියෙන් අවසර ඇත්තේ රජයේ අනුමැතිය ලත් ආයතනික නිලධාරීන්ට පමණි. එහෙත් එය යථාර්ථය නොවන්නේය.


දේශපාලනය හෝ වෙනත් බලවේග සිය ජයග්‍රහණය තකා අදෘෂ්‍යමාන හස්තයක් බවට පත්කර සිටින මැරයන් ලෙස ලේබල් ගසන ලද පිරිස අත ද විවිධ මාදිලියේ ආයුධ ඇත්තේය. ඒවා නීති විරෝධී අවිවන්නේය. ඉන් සමාජ අපරාධ බොහොමයක් සිදුවන්නේය.
2016 වර්ෂයේදී පමණක් නීති විරෝධී අවි 430ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.


එහිදී පිස්තෝල දහඅටක් (18), රිපීටර් වර්ගයේ ගිනි අවි හතරක් (4), බෝර 12 ගිනි අවි හැටක් (60), ගල්කටස් ගිනි අවි දාසයක් (16), 3.8 ප්‍රමාණයේ රිවෝල්වර අවි දොළහක් (12), ටී 56 අවි විසිපහක් (25), බඳින තුවක්කු දෙසිය අසූ හතරක් (284) සහ වෙනත් අවි එකොළහක් (11) අත්අඩංගුවට ගත් බව ඔහු ප්‍රකාශ කළේය.


මීට දින කීපයකට පෙර පාතාල නායක -සමයං” නමැත්තා ඇතුළු පිරිසක් වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියේය. ඒ නීතිය රකින නිලධාරින්ද සිටියදීමය. පාතාලය නැවත සක්‍රිය වී ඇත.


බුදු දහම රැකේවි යැයි විශ්වාසිත රටක් වූ මෙම ධර්මද්වීපයේ නොමිනිසුන් බිහිවූයේ කෙසේද? සිතිය යුතු ගැඹුරු යථාර්ථයක් ඇත. ලංකාවේ බිහිවූ එම බිහිසුණු ආයුධ සංස්කෘතිය පිළිබඳ විධිමත් විචාරයක් ඉදිරිපත් කිරීමට පේරාදෙණිය සරසවියේ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතාත්, ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතාත් සම්බන්ධ කර ගත්තෙමු.

 


ආයුධ සංස්කෘතියක් නිර්මාණය වූ පසුබිම


මහාචාර්ය මිල්ටන් රාජරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලය


ආයුධ කියන්නේ යම් කිසි කාර්යයක් සඳහා භාවිතා කරන උපකරණයක්. මුලින්ම ගල් ආයුධ නිර්මාණය කළ අතර සත්ව දඩයම, කෘෂිකාර්මික කටයුතු සිදුකිරීම එහි ප්‍රධාන කාර්යභාරය වුණා. කැති, පිහියා, කඩු, යකඩවලින් නිමකිරීම සිදුවන්නේ ඊට පසුකාලයේ. මුලින්ම ඒවා සතුරන්ට පහරදීම සඳහා භාවිතයට ගත්තේ ගෝත්‍රික සටන්වලදී.


කාලීන වශයෙන් මිනිසා දියුණුවෙද්දී කාර්යක්ෂම ආයුධ හදන්නේ කොහොමද කියන තැනට මිනිසා හිතන්න ගත්තා. එහි ප්‍රතිඵලය වූයේ ගල් ආයුධ, යකඩ, ආයුධ භාවිත කළ සමාජය තුවක්කු පරිහරණයතෙක් වැඩිදියුණු වීම. වෙඩි බෙහෙත් සහ තුවක්කුව සොයාගැනීම ලෝක ප්‍රජාවගේම පරිවර්ථනීය වෙනසකට හේතු පාදක වුණා.


ආරක්ෂාව සඳහා භාවිතා කළ ආයුධ කාලයත් සමග රටවල් යටත් කර ගැනීමට භාවිත කිරීම සිදුවුණා. ලංකාවත් ආර්ථික කොළණියක් බවට පත්වන්නේ ඒ අනුව. සිංහල සොල්දාදුවන් ඝාතනය කළ තුවක්කුව දුටු ග්‍රාමීය වැසියන් ගමේ ගොඬේ කම්මලෙනුත් තුවක්කුව හදන වාතාවරණයක් ගොඩනැගුවා.


සමාජයේ තුවක්කුව සැරිසරන්න පටන් ගත්තා සතුරාට පහරදීමට නිම කළ තුවක්කුවෙන් වෙනත් මිනීමැරීම් සිදුවුණා. එහි ප්‍රතිඵලය වුණේ තුවක්කු ලයිසන් කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම මීට අමතරව කඩු, කිනිසිවලටත් බලපත්‍ර ක්‍රමයක් ඇති වුණා.
ඒවගේම අනවසර අවි ආයුධ රජයෙන් අත්පත් කර ගත්තා. නීති විරෝධී අවි භාවිතා කළ අය නීතියේ රැහැනට හසුකර ගත්තා.
එය එසේ වුවත් යුරෝපීය රටවල සේම ලංකාවේත් සිය ආත්මාරක්ෂාව සඳහා තුවක්කුවක් පාවිච්චි කිරීමේ අයිතිය ලබාදී තිබෙනවා. විශේෂයෙන්ම හමුදාවේ, පොලිසියේ වගේ ආයතනවල ඉහළ නිලධාරීන්ට පිස්තෝලයක් වගේ දෙයක් ළඟ තබා ගැනීමේ අයිතිය නීතියෙන් සලසාදී තිබෙනවා.


ඔවුන්ට නිශ්චිත පතුරොම් ප්‍රමාණයකුත් දී තිබෙනවා. ඒත් එක්කම ලොකු ව්‍යාපාරිකයන්ට, ධනවතුන්ට, දේශපාලකයන්ට සිය ආත්මාරක්ෂාව සඳහා තුවක්කුවක් ළඟ තබාගැනීමට අවසර ලබාගත හැකියි. මේ පිරිසට අමතරව වගා කටයුතු කරන අයට තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමටද තුවක්කුවක් ළඟ තබාගැනීමේ බලය දී තිබෙනවා.


මේවා සමාජයේ නිත්‍යානුකුලව සැරිසරන අවි ආයුධ මීට අමතරව ලාංකීය සමාජයේ නීත්‍යානුකුල නොවන අවි ආයුධ ප්‍රමාණයකුත් සැරිසරනවා.


අපි දන්නවා විවිධ කාලවකවානුවල ලංකාවේ කැරලි ඇතිවුණා.


කාලයෙන් කාලයට කැරලිවලට සම්බන්ධ වූ තරුණයන් අත්පත් කරගත් තුවක්කු වැනි ආයුධ සමාජයේ සැඟවෙමින් පැවත ආවා. තවත් ආයුධ හොර රහසේ නිෂ්පාදනය වීම සිදුවුණා. යුරෝපීය රටවලින් සහ සංක්‍රමණිකයන්ගෙන් රහසිගතව අවි ආයුධ මිලදී ගැනීම් සිදුකළා.


බණ්ඩාරනායක ඝාතනය සිදුවන්නේත් වෙඩි පහරකට ලක්වීමෙන්. මේ විදියට අවි ආයුධවලින් දේශපාලන සහ ව්‍යාපාරික සතුරන් විනාශ කිරීම සිදුකළා. මුලින්ම ගෝත්‍රයේ ආරක්ෂාව සඳහා කළ ආයුධ භාවිතය ආර්ථික හා දේශපාලන වුවමණා මත මිනීමැරීම් දක්වා පරිවර්තනයක් සිදුවුණා.


අපි දැක්කා එක්දහස් නවසිය හැට ගණන්වල සිට රෝහණ විජේවීරගේ නායකත්වය යටතේ තරුණ තරුණියන් පෙළගැසුණ හැටි.
ඔවුන් පොලිසිවලට පහරදී දේශපාලන බලය ගැනීම සඳහායි තුවක්කු අතට ගත්තේ. ඒ 1971දී. ඒ වගේම වතුවලට සහ පෞද්ගලික ආරක්ෂාවට ලබාදී තිබූ බලපත්‍ර තුවක්කුත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අත්පත් කර ගත්තා. මෙය ලංකා ඉතිහාසයේ ඇතිවූ විශාල භීෂණයක්. 1971 කැරැල්ල රටම භීතියකට පත් කළා. ලංකාවට භීෂණ සංස්කෘතිය හඳුන්වාදීපු පළමුවැන්නා තමයි රෝහණ විජේවීර.


මේ පිරිස ඝාතනයට ලක්වුණෙත් ආයුධ වලින්මයි.


මේ පිරිසට අමතරව දෙමළ අයට වෙනම ජීවත්වීමට අවශ්‍ය බව ප්‍රකාශ කරලා පෙළ ගැහුණා. ඊ.පී.ඩී.පී., ප්ලොට්, ටෙලෝ, එල්.ටී.ටී.ඊ. යන කණ්ඩායම් ආයුධ දරපු අය. ඒත් දමිළ සමාජයේදී මුලින්ම මිනිස් ඝාතන කිරීම ආරම්භ කරේ එල්ටීටීඊය. එහිදීත් ලංකාවේ භීෂණයක් ඇතිවුණා. ත්‍රස්තවාදය පදනම් වුණේ තුවක්කුව මතයි.


1971 සිංහල ප්‍රදේශවල ඇතිවූ ත්‍රස්තවාදයත්, දොරයප්පාගේ මරණයෙන් පසු උතුරු ප්‍රදේශවල ඇතිවූ ත්‍රස්තවාදයත් හේතුකොටගෙන තරුණයන් සිතන්නට පටන් ගත්තා. ආයුධවලින් බලයක් ලබාගත හැකිය කියා. උතුරේත් දකුණේත් මිනිස් සිත්වල අවි ආයුධ තමයි ප්‍රධාන ශක්තිය කියන මතයක් ගොඩනැගුණා.


ඉන් තරුණයන් ප්‍රශ්නවලට ආයුධවලින් පිළිතුරු සොයන්න පටන් ගත්තා. බලපත්‍ර සහිත තුවක්කු වැරදි ක්‍රියා සඳහා භාවිත කරන්න බෑ. ඒ නිසා බලපත්‍ර නැති තුවක්කු භාවිත කිරීම සමාජගත වුණා.


මීට අමතරව තුවක්කුව භාවිතා කිරීමේ හැකියාව ඇති පිරිස් සමාජගත වීමත් සිදුවුණා. අපි දන්නවා 1971 කැරැල්ලේ යම් පිරිසක් හොර රහසේ ආයුධ පුහුණුව ලැබුවා. 1988, 89 භීෂණ කාලයේත් යම් පිරිසක් හොර රහසේ ආයුධ පුහුණුව ලැබුවා. ඒ වගේම අවි පුහුණුව ලැබු සොල්දාදුවෝ දස දහස් ගණනක් හමුදාවෙන් පැනගියා. එල්ටීටීඊය අතහැර ආයුධ පුහුණුව සහිත සාමාජික පිරිසකුත් සමාජයට මුදාහැරුණා. මේ සියලු දෙනා හමුදාවේ පොලිසියේ නොවන අවි ආයුධ හැසිරවිය හැකි අය.


මෙවැනි වාතාවරණයකදී අපේ රටේ ඕනෑම වැරැද්දක් කළ අයෙකුට දේශපාලන බලය හා සල්ලි බලය පදනම් කරගෙන නීතියෙන් රිංගා යාමේ ක්‍රමවේදයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ ක්‍රම දෙකම එකතු වුණාම ලොකු විනාශයක් සිදුකළ හැකියි. එනම් දේශපාලන බලය තිබෙන පිරිස් තම ජයග්‍රහණය තහවුරු කර ගන්න විරුද්ධවාදීන් ඝාතනය කරනවා. ඊට නීති විරෝධී තුවක්කු සහ රාජ්‍ය නොවන තුවක්කු හැසිරවිය හැකි පිරිස් භාවිත කරනවා. එය සාමාන්‍ය දෙයක් වෙලා.


ජේ.වී.පී. එකෙන්, එල්.ටී.ටී.ඊ.යෙන්, හමුදාවෙන් පැහැරගත් අවි ආයුධ සහ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන අවි ආයුධ විශාල ප්‍රමාණයක් සමාජයේ තිබෙනවා.


ඒ වගේම තවත් පිරිසක් කුඩා පිස්තෝලේ සිට මැෂින් තුවක්කු තත්වෙට යනකන් අවි ආයුධ රහසිගතව නිපදවනවා.


අද වනතුරු ඒ අවි ආයුධ පිළිබඳ කිසිදු සංගණනයක් නෑ. ඒවා කොතන තිබෙනවද කවුරු ළඟ තිබෙනවද කියලා කියන්න බෑ.
මේ ආකාරයට සමාජගත වූ තුවක්කු අතට ගත් තුවක්කුකරුවෝ සමාජයේ “අයියලා” බවට පත්වෙනවා. ඔවුන් දේශපාලනික වැඩපිළිවෙල මත කණ්ඩායම්වලට බෙදී මිනිස් ඝාතන සිදුකරනවා.


පාතාලය නැගී සිටින්නේ මේ බලවේග මත. ආර්ථික අවශ්‍යතා මත ඔවුන් දුෂ්ඨ කටයුතුවල යෙදෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම, මේ අයගේ ආරක්ෂාව තහවුරු කරගන්නේ ආයුධවලින්. එය අවසන් වන්නේ පුද්ගල ඝාතනවලින්. අද විශාල පිරිසක් මැරුනම කතා කරනවා. ඒත් වසරක් තුළ තුවක්කු භාවිත කර ඝාතනය කළ පිරිස සොයා බැලුවොත් එය අති විශාලයි.


මින් ගොඩඑන මාර්ගය ලෙස මම දකින්නේ ආකල්පමය වෙනස. රජය තුවක්කු එකතු කිරීමට කටයුතු කරනවාට වඩා පාතාල බිහිවීමේ ක්‍රමවේදය නතර කිරීම ගැනයි කටයුතු කළ යුතු වන්නේ. ඒ වගේම දේශපාලකයෝ සිය විරුද්ධවාදීන් පාලනය කිරීමට තබාගෙන ඉන්න ආයුධ භාවිතා නොකර ඉන්න ඕනෑ. ආයුධ භාවිත නොකරන දේශපාලනයක් ඇති වීමෙන් ආයුධවල අවශ්‍යතාවය නැතිවෙනවා.


මේකට හොඳ උදාහරණයක් තිබෙනවා. එක්දාස් පන්සිය ගණන්වල ජපානය පෘතුගීසීන්ගෙන් තුවක්කුව හදන්න ඉගෙන ගත්තා. ඉන් ලොකු විනාශයක් සිදුවුණා. අවුරුදු ගණනාවක් එක් එක් ප්‍රදේශ වෙන වෙන නායකයන් අතරේ පාලනය වුණා. ඒ ආකාරයට යුද්ධ කරමින් සිටි ජපන් නායකයෝ සාමයෙන් සාකච්ඡා කර එක්සත් ජාතියක් බවට පත්වුණා. වසර තුන්සීයක් පමණ ආයුධ භාවිත කළේ නෑ. රට එක්සේසත් වුණා.


 ඒත් දෙවැනි ලෝක යුද සමයේ ඉංග්‍රීසි අධිරාජ්‍යට, චීනයට, රුසියාවට හා ආසියාතික කලාපවලට විරුද්ධව යුද්ධ කිරීම ආරම්භ කළා. එසේ කටයුතු කළ ජපානය අවසානයේ පරමාණු බෝම්බයකට යටත් වුණා. එසේ වැටුණු ජපානය අද ගොඩක් දියුණුයි. ඒ අය 1945න් පසු අදවනතුරු කිසිම තුවක්කුවක උණ්ඩයක් මිනිස් ඝාතනය සඳහා භාවිත කර නැති බව මම අසා තිබෙනවා. ඒ අය තුවක්කුවෙන් ප්‍රශ්න විසඳන්න යන්නේ නෑ. අද ඔවුන් ශීඝ්‍ර දියුණුවක් ලබලා තිබෙන්නේ ඒ ආකල්පමය සංවර්ධනය නිසා. අපි ජාතියක් හැටියට තේරුම්ගත යුත්තේ එයයි.

 


පාතාල සංස්කෘතියක් බිහිවීමේ සමාජ විද්‍යාත්මක පසුබිම


මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය


මීට දින කීපයකට ඉහතදී ඝාතනයට ලක්වූ සමයං කුඩා කාලයේදී අනාථ වෙච්ච අසරණ වෙච්ච දරුවෙක්. ඔහු කුඩා කාලයේදීමයි මව්පියෝ අහිමිවෙන්නේ. ඊට පස්සේ හදාගන්න මව්පියෝත් ඔහුට අහිමි වෙනවා. ඔහුට උරුමවීමට යන දේපළ උදුරාගන්න කූඨ උපා යෙදූ ඥාතියෝ අවසානයේ ඔහු අපරාධකාරයෙක් බවට පත් කරනවා. ඒ වගේ කුඩා කාලයේ අනාථ, අසරණ, අත්හල දරුවෝ දහස් ගණනක් සමාජයේ ඉන්නවා. පාතාල සාමාජිකයන් සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන වෙනත් පුද්ගලයෝ පිළිබඳව සොයා බැලුවොත් ඔවුන් කුඩා කාලයේ ආදරය, කරුණාව, ආරක්ෂාව නොලබපු, සමාජ අසාධාරණයට ලක්වූ අය. ඒ බොහෝ පිරිසකගේ පවුල් ජීවිත විසිරිලා. අස්ථාවර පවුල් පසුබිමක ඔවුන් ඇති දැඩි වන්නේ. සමහරවිට බඩගින්න නිවා ගන්නෙත් කාගේ හරි ඉඳුල් කාලා. නැත්නම් හොරකම්කරලා. මේ අයට සදාචාරවත් කියන ජීවිතයක් ගැන අවබෝධයක් නෑ.


එවැනි පිරිස් බනිස් ගෙඩියට මිනී මරාගන්නවා. කුස ගින්දර නිවාගන්න අහුවෙන ඕනෑම දෙයක් කරනවා. කුඩු වෙළෙඳාමට ආයුධ වෙළෙඳාමට හොරකමට යොමුවන්නේ මෙවැන්නෝ. අන්තිමට හිරේ ගිහින් ලේබල් ගැහිලා සමාජගත ප්‍රසිද්ධ අපරාධකාරයෝ බවට පත්වෙනවා. ඔවුන් වටා තවත් එවැනිම පිරිස් එකතුවෙනවා. දේශපාලකයන් භාවිත කරන්නේ එවැනි අය. පාතාල නායකයන් බිහිවන්නේ ඒ අනුව. සමාජ විරෝධී පෞරුෂයකින් සමාජය දෙස බලන මෙවැනි පිරිස් ආර්ථිකය හා බලය තකායි අපරාධ කරන්නේ.


තවත් පිරිසක් ආශ්‍රය නිසා සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙනවා. අපි ආශ්‍රය කරන අය කල්‍යාන මිත්‍රයෝ වෙන්න ඕනෑ. ඒත් නිතරම නරක වචන කියන, හොරකම් කරන, රංඩු කරන අයෙක් ආශ්‍රය කරන කෙනෙක් ඒ තත්ත්වයට පත්වෙන්නේ නොදැනුවත්වම.


ලංකාවේ දේශපාලනඥයෝ කුඩා කල සිට දරදඬු ගති ඇති තරුණ වයසට පත්වූ පසු චණ්ඩිලෙස ක්‍රියාකරන එවැනි පිරිස් සිය දේශපාලන ක්‍රියාකාරකම්වලට භාවිතා කරනවා. ඔවුන් විරුද්ධවාදීන්ට පහරදීම්, ඝාතනය කිරීම් සිදුකර දේශපාලන බලය පාවිච්චි කර දඬුවමින් ගැලවෙනවා.


ඒ තුළිනුත් නිර්මාණය වන්නේ විනය විරෝධී පෞරුෂයක් ඇති තරුණ පිරිසක්. ඔවුන් වැරදි කරන්න බය නෑ. ඒ බලය භාවිතකර නීතියෙන් බේරිය හැකි නිසා.


මීළඟට පොලිසියත් අපරාධකාරයන් බිහි කිරීමට හේතුපාදක වෙනවා. විශේෂයෙන්ම බොරු චෝදනා මත බලය භාවිත කර අත්අඩංගුවට ගන්නා පිරිස සමාජය විසින් අපරාධකරුවන් ලෙස ලේබල් ගසනවා. කාගෙන් හෝ පළිගැනීමට අවශ්‍ය නම් කුඩු පැකට් එකක් හෝ ආයුධයක් අදාළ පුද්ගලයා අසල තබා අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා.


ඒ ආකාරයට අත්අඩංගුවට ගන්නා පිරිසට විවිධ තාඩන පීඩන කරනවා. පොලිසියේ පහරදීම් වාගේම බන්ධනාගාරගත කළ පසු විඳීමට සිදුවන ජීවිතය ඔවුන් අපරාධ සංස්කෘතියකට ඇද දමනවා. සමාජයත් ඔවුන් දෙස බලන්නේ කුඩු කාරයා, හොරා, දූෂකයා යන අදහසින්. ඔහු සැබෑවටම වරදක් නොකර ඇති අයෙක් නම් සමාජය පිළිබඳව ඇති වන්නේ වෛරයක්. එවැන්නන් සමාජයෙන් කොන් කරන අතර වැදගත් යැයි සම්මත රැකියා අවස්ථා නොලැබෙනවා.


එහිදී තමන්ගේ ආර්ථිකය ගොඩනගාගන්න, බලය ගොඩනගාගන්න පෙළැඹෙන, අසාධාරණයට ලක්වූ පිරිස සමාජගත චණ්ඩින් ලෙස ක්‍රියාකරනවා. ඔවුන්ගේ බලය තහවුරු කරගන්න කඩු, කිනිසි, තුවක්කු, පිස්තෝල වගේ උපකරණ භාවිත කරනවා.


කුඩා කල සිටම ආදරය, කරුණාව, ලබා නොමැති සහ සමාජ අසාධාරණයට ලක්වූ එවැනි පිරිස් සමාජය පිළිබඳ සවේදීවන්නේ නෑ. කෙසේ හෝ තමාගේ බඩ වඩාගෙන බලය පතුරුවාලීමයි අරමුණු කර ගන්නේ. මත්කුඩු වෙළෙඳාම, ආයුධ වෙළෙඳාම, ගණිකා වෘත්තිය, මිනිස් ඝාතන වැනි අපරාධකරන පාතාලය නිර්මාණය වන්නේ ඒ අනුව. දේශපාලකයනුත් එවැනි පිරිස් දේශපාලන වාසිතකා භාවිත කරනවා. ඔවුන්ගේ අපරාධවලට රැකවරණය දෙනවා. ඉන් සිදුවන්නේ තරුණ සිත් තව තවත් අපරාධ සංස්කෘතියට තල්ලු වී යාම.


බලය, ධනය ඇති තැන මමත්වය ඇතිවෙනවා. කුල, මල හේතුන් මත අසාධාරණයට ලක්වූ අය, ආර්ථික දරිද්‍රතාවයෙන් බැට කෑ අය කුමන ආකාරයකින් හෝ සමාජයේ බලය පතුරුවාලීමට අපේක්ෂා කරනවා.


තමාට අහිමිවුණ දේවල් කෙසේ හෝ ලබා ගැනීමට තැත් කරනවා. එවැනි අවස්ථාවලත් තමා කියන කරන දේ යහපත් අයහපත් බවක් පිළිබඳව ඔවුන් සිතන්නේ නෑ. තමාව අසාධාරණයට ලක්කළ සමාජය පිළිබඳව වෛරයෙන් පසුවන ඔවුන් සමාජයේ ආක්‍රමණශීලී පුද්ගලයෝ බවට පත්වෙනවා.


මීට අමතරව රස්සාවල් නැතිව පාරේ රස්තියාදු ගසන තරුණ පිරිසකුත් ඉන්නවා. සමහර අය යම් අධ්‍යාපනයක් ලැබූ අය. තවත් පිරිසක් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලද අය.


මේ පිරිසත් හොඳ ඇඳුම් පැළඳුම්, හොඳ රැකියාවක්, හොඳ සමාජ තත්ත්වයක් කියන අපේක්ෂාවන් තිබෙනවා. ඒවා සපුරා ගැනීමට නොහැකි වූ කල සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙනවා. පුංචි වැරැද්දකින් හෝ අපරාධකාරයෙකු ලෙස ලේබල් ගැසුණ අයෙක් චණ්ඩියෙක් බවට පත්වන්න යන්නේ කෙටි කාලයක්.


මීළඟට අද ඉන්න ළමා පිරිස බලන සිනමා පට පිළිබඳවත් කතා කරන්න ඕනෑ. අද දරුවන් සෙල්ලම් කරන ක්‍රීඩාවක වුවද තිබෙන්නේ ප්‍රචණ්ඩත්වය ගහගන්න, මාරාගන්න දර්ශන තමයි ඔවුන් වැළඳගන්නේ. විශේෂයෙන්ම දෙමල හා හිංදි සිනමාපටවල දාමරිකකම, භීෂණය වීර ක්‍රියා ලෙස පෙන්වනවා. ඒවා නැරඹීමට පුරුදු වූ දරුවන් ඔවුන්ගේ ලෝකයේ වීරයන් බවට පත්කරගන්නේ චිත්‍රපටිවල පෙන්වන ක්‍රියාදාම චරිත. ඇතැම් අවස්ථාවල ඒවා ක්‍රියාවේ නංවන්නත් පසුබට වන්නේ නෑ. ඒ මානසිකත්වයත් අපරාධකාරයෙකු වෙන්න බලපාන්න පුළුවන්.


මේ වගේ හේතු රාශියක් පාතාලය නිර්මාණය වීමට බලපානවා.

 

 


විවිධ අරමුණු උදෙසා ගොඩනැගුණු පාතාලය (කල්ලි අපරාධකරුවෝ)


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
චානක උදයකුමාර


අවි ආයුධ භාවිතා කරමින් පුද්ගල ජීවිත ඝාතනයට ලක්කළ බරපතළ ගණයේ අපරාධ ගණනාවක් මෑත කාලයේ සිදුවුණා. විශේෂයෙන්ම බන්ධනාගාර බස් රථයකට වෙඩි තියලා සිරකරුවන් ඝාතනය කිරීම සිදුවුණා. ඒ සිදුවීමත් සමග සමාජය නැවත වතාවක් පාතාලය උණුසුම්වීම පිළිබඳ කතා කරන්න පටන් ගත්තා. මෙය මෙවැනි අපරාධ සිදුවූ පළවැනි හෝ අවසන් අවස්ථාව නොවෙයි.


දශක තුනකට ආසන්න කාලයක සිට අවිආයුධ භාවිත කරමින් මෙවැනි සන්නද්ධ ඝාතන කිරීම සිදුවුණා.


කොහොමද මේ පාතාලය ලෙස හඳුන්වන පිරිස් නිර්මාණය වන්නේ. ඔවුන්ගේ අතට ආයුධ ලැබෙන්නේ කොහොමද? ඔවුන් ක්‍රියා කරන්නේ කුමන අරමුණු මතද යන ගැටලු සමාජය තුළ නැවත දෝලනය වෙනවා.


අවි ආයුධ භාවිත කළ ප්‍රචණ්ඩකාරී භීෂණයක් පිළිබඳව මෑත කාලයේ අපිට අසන්නට දකින්නට ලැබෙන්නේ 1971 ත්‍රස්තවාදී කැරැල්ල සහ 1988, 89 කාලයේ ඇතිවූ අරගලය හා කැරැල්ල පිළිබඳව. ඊටත් වඩා භයානක ආකාරයෙන් අපිට අසන්නට ලැබෙන්නේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාදාමයන් පිළිබඳව.


මේ අත්දැකීම් තමයි ප්‍රචණ්ඩත්වය පිළිබඳව ශ්‍රී ලංකා සමාජයේ කතිකාවට ලක්වන්නේ. මේ සන්නද්ධ කණ්ඩායම්වල අරමුණු විවිධාකාර වෙනවා. විශේෂයෙන්ම දකුණ මුල්කර ගනිමින් 1971 සහ 88/89 කාලයේ ඇති වූ අරගල සහ කැරලි කේන්ද්‍රගත වුණේ දේශපාලන මතවාදයන් මත. ඔවුන් රටේ දේශපාලන බලය අතට ගැනීම සඳහා ජීවිත හා දේපල හානි සිදුකළා.


එල්ටීටීඊ සංවිධානය හා අන් සංවිධාන ගොඩනැගුණේ වෙනත් දේශපාලන මතවාදයක් මත වුවත් එල්ටීටීඊ සංවිධානය දේපල විනාශ කිරීම්, ජීවිත හානි කිරීම් ආදී බරපතළ අපරාධ රාශියකට මුලපිරුවා. මත්ද්‍රව්‍ය ජාවාරම්, බැංකු මංකොල්ල හා වෙනත් මංකොල්ලයන් මගින් සංවිධානයට මුදල් උපයා ගන්න ඔවුන් කටයුතු කළා.


අද අපි පාතාලය ලෙස හඳුන්වන්නේ පුද්ගලයන් කීප දෙනෙක් එකතුවී බලවත් පුද්ගලයින්ගේ රැකවරණය හා අනුදැනුම මත හෝ නොමැතිව ආර්ථික ප්‍රතිලාභ උදෙසා කරන අපරාධයි. සැඟවී සිට කරන මෙවැනි අපරාධ සමාජය පාතාල අපරාධ ලෙස හැඳින් වුවත් නීතිය තුළ පාතාලය යන වචනයක් භාවිතා වන්නේ නෑ.


1971 කැරැල්ල 88/89 කැරැලි, එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනි පිරිස්වල අරමුණු විවිධ වුණත් එක් සමානකමක් තිබෙනවා. ඒ ප්‍රචණ්ඩත්වය. ඔවුන් අවිආයුධ භාවිත කරමිනුයි භීෂණය පැතිරවූවේ.


1971දී සාම්ප්‍රදායික ගිනි අවි භාවිත කිරීමක් තිබුණත් 88/89 කාලයේදී පොලිස් ස්ථානවලට පහරදීලා ස්වයංක්‍රීය ගිනි අවි කොල්ලකෑම සිදුවුණා. එල්ටීටීඊ සංවිධානයත් ත්‍රස්ත ක්‍රියා සඳහා බර අවි භාවිතයට ගත්තා. මෙම අවි ආයුධ භාවිත කිරීම යන කාරණයයි මේ පිරිස්වල තිබුණ ප්‍රවණතාවය.


1988 කාලයේ ඇතිවූ අරගලයේ දේශපාලන තේමාවක් තිබුණත් එය පිටින් දමා තවත් පිරිසක් සොරකම් කිරීම් මංකොල්ලකෑම් එදිරිවාදීන් ඝාතනය කිරීම වැනි කටයුතුවල නිරත වුණා.


1978න් පසු කාලයේ අපේ රට වෙළෙඳපළ ආර්ථිකයකට පරිවර්තනය වුණා. ආර්ථික කටයුතුත් සමඟ සන්නද්ධ ගිනි අවි භාවිත කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සමාජීය අවශ්‍යතාවයක් බවට පත්වුණා. ඒ මුදල් ඉපයීමට එය තීරණාත්මක තැනකට එන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේදී.


මේ ආකාරයට නීති විරෝධී කල්ලි එකතුවී මත්ද්‍රව්‍ය වෙළෙඳාම සේම ගණිකා ව්‍යාපාරය, අවි ආයුධ වෙළෙඳාම, බලහත්කාරයෙන් දේපල අත්පත් කරගැනීම, මංකොල්ලකෑම වැනි අපරාධත් සිදුකළා.


එවැනි වාතාවරණයකදී මිනිස්සුත් තමන්ට සාධාරණය ඉටුකර ගැනීමට මෙවැනි කල්ලිවල සහය ලබාගැනීම සිදුකළා. ඉන් නොදැනුවත්වම කැලෑ උසාවි ක්‍රමයක් නිර්මාණය වුණා.


දකුණේ ගොඩනැගුණු මේ පිරිස එල්ටීටීඊ සංවිධානය හරහා අවි ආයුධ ලබා ගැනීම සිදුකළා.


විශේෂයෙන්ම රිවෝල්වර, පිස්තෝල, ටී 56 වැනි සැහැල්ලු ගිනි අවි සමාජයේ සංසරණය වුණා. ඇතැම් දේශපාලනඥයින් මෙම කල්ලි අපරාධකරුවන්ට රැකවරණය දීලා ඔවුන්ට වටිනාකමක් දීමට කටයුතු කළා. කොළඹ ඇති මුඩුක්කු නිවාස ඔවුන්ට උත්පාදනය දෙන මෙන්ම රැකවරණය දෙන ස්ථාන බවට පත්වුණා.


මේ හේතු සාධක මත ඔවුන්ගේ අපරාධවලට තව තවත් රැකවරණය ලැබුණා. ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නොවන පුද්ගලයින් පවා මෙම කල්ලි අපරාධකරුවන්ට ආකර්ෂණය වීමක් සිදුවුණා.


අධ්‍යාපනයෙන් මග හැලෙන පිරිසක් තමා අධ්‍යාපනය හා වෘත්තීය අතින් දියුණුවනවාට වඩා බලය අතින් දියුණු විය හැකි කල්ලි සමඟ එකතුවීම යහපත් ලෙස සිතන්නට පුරුදු වුණා. එය දේශපාලන බලපෑමක් සමඟ සිදුවූවක්. ඒ වගේම හමුදාව හැරගිය පිරිස් දේශපාලකයින් සිය දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ කර ගත්තා. ඒ තුළිනුත් කල්ලි ගොඩනැගීම සිදුවුණා.


මේ සියලු දෙනාගේ ප්‍රධානම අරමුණ මූල්‍ය ප්‍රතිලාභ ලැබීම. ඒ වගේම තමන්ට අසාධාරණයක් වුණ අයගෙන් පළිගැනීමට හා බලය තහවුරු කරගැනීමටත් තවත් පිරිසක් අපරාධකාර කල්ලිවලට එකතු වුණා. ඊට අමතරව ඇතැම් ප්‍රාදේශීය හා ජාතික දේශපාලකයින්ගේ පෙළඹවීම මතත් යම් පිරිසක් සන්නද්ධ අපරාධවල නිරත වෙනවා.


මේ ආකාරයට තමයි අද කල්ලි අපරාධකරුවන් නිර්මාණයවීම සිදුවන්නේ.

සටහන : කුමාරි හේරත්