පේරාදෙණිය හැඩ කරන රොබරෝසියා ගැන කතා කරන්නට සරසවි සිසුන්ට මේ දිනවල වේලාවක් නැත. එයට හේතුව මේ දිනවල උණුසුම්ව පවතින නවක වදය පිළිබඳ වූ සිදුවීම නිසාය.
“මෙය සාමාන්‍ය දෙයක්.. අඬබෙර ගසා අලෙවි කළ යුතු දෙයක් නොවේ” යැයි .... විශ්වවිද්‍යාල සිසුවියක් මා සමඟ පැවසුවාය.
මෙහි ඇති භයානක තත්ත්වය ගැන ඇයට අවබෝධයක් නැතුවද.. නැතිනම් තම සගයන් ගැන අනුකම්පාවෙන්ද යන්න ගැන මට තවමත් ඇත්තේ දෙගිඩියාවකි. මීටපෙර නවක වදය නිසා කිහිප දෙනෙක් මිය ගිය බව රහසක් නොවේ. විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය ක්‍රියාත්මක නොවන්නට තවත් කනගාටුදායක තත්ත්වයක් සිදු වීමට ඉඩ තිබුණි. එය කිසිවෙක් බැහැර කරන්නේ නැත.
සාමාන්‍යයෙන් නවක වදය ලබා දෙන්නේ විශ්වවිද්‍යාල භූමියේදී ය. නේවාසිකාගාරයක, මාවතකදී නවකයන් හඳුනා ගැනීම වරදක් නොවේ. එහෙත් විශ්වවිද්‍යාල ඉතිහාසයේ ඉන් බාහිර ප්‍රදේශයක නවකවදය මේ තරම් බරපතළ අන්දමින් ක්‍රියාත්මක වූයේ මෙවරය. මෙයට හේතුව ලෙස විද්වතුන් පවසන්නේ සරසවිය තුළ ඒ සඳහා අවස්ථාවක් නොලැබීමය.?
මීට මාසයකට පමණ පෙර හොඳින් ඇඳ පැලද ගත් තරුණයන් තිදෙනෙක් පේරාදෙණියේ මෙගොඩ කළුගමුවට පැමිණ අංක 143 දරණ නිවස කුලියට ලබා ගන්නේ සැලසුම් ශිල්පීන් වශයෙන් හඳුන්වා දෙමිනි. රුපියල් දස දහසක මාසික කුලියට ලබාගෙන, පළමු දිනයේදීම මාස තුනක ගාස්තුව වන රුපියල් තිස් දහසක් ගෙහිමියාට ලබාදී ඇත. එහෙත් දිනෙන් දින තරුණයන් පැමිණෙන පිරිස වැඩිවෙන නිසා ගෙහිමියාට සැකයක් උපදී. එම සැකය ගැන අවධානයෙන් සිටියා නම්, මෙවන් විපතකින් සරසවි සිසුන් ගලවා ගැනීමට ඔහුට හැකියාව තිබුණි. දෛවය එයට ඉඩ ලබා දුන්නේ නැත. මෙහි සත්‍යතාව පිළිබඳ සොයා බැලීමට අප අදහස් කළේ එම නිසාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ මහතා : -පෙබරවාරි 20 දින පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යා පීඨයේ සහෝදරවරු 15 දෙනෙක්, පළමු වසරේ සහෝදරයන් අට දෙනෙකුට නවක වදය දීමක් සම්බන්ධයෙන් මාර්තු 2 දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කළා. මෙවන් සිදුවීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් නොව ලංකාවේ විශ්වවිද්‍යාල සියල්ලෙහිම පාහේ ඇතිවෙලා තියෙනවා. නවක වද සිදුවීම් ඇතිවෙලා තියෙන හැම වෙලාවකම ශිෂ්‍ය සංගමයක් විදියට අප සැම මොහොතේම මැදිහත් වෙලා තියෙනවා. නවක වද සිදුවීම් වළක්වා ගැනීමට සහ එවැන්නක් නැවතත් සිදුවීම වළක්වා ගැනීමටත් අපි කටයුතු කරනවා. ඉතිහාසයේ තිබූ නවක වද සිදුවිම්වලට වඩා දැන්, විශාල වශයෙන් ඒවා අඩු වෙලා තියෙනවා. ඒ නිකම් ම, සිදු වූ දේවල් නොවෙයි. අපි මැදිහත් වෙලා, ශිෂ්‍යයන් අතර කතාබහ ඇති කළ නිසයි. නමුත් මේ වගේ හුදෙකලා සිදුවීම් තවමත් වාර්තා වෙනවා. මෙවන් ප්‍රචණ්ඩත්වයක් අනුමත කරන්නේ නැහැ. මේ හරහා විවිධ පාර්ශ්ව ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ප්‍රහාරයක් එල්ල කරමින් පවතිනවා. දේශපාලන බල අධිකාරිය වෙන්න පුළුවන්. එමනිසා අපි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලනවා මෙවැනි සිදුවීම් හරහා ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගැසීමට සලසන්න එපා. අපි සියලු දෙනා එකතුවෙලා නවක වදය අතුගා දැමීමට කටයුතු කරමු. මේ සඳහා දිගින් දිගටම අපි මැදිහත් වෙනවා.
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රධාන විනයපාලක මහාචාර්ය ගාමිණී හිටිනායක මහතා : -කෘෂි විද්‍යා පිඨයේ සිසුන් මේ ආකාරයට පිටතට ගෙන ගොස් නවක වදය දෙනවා කියන එක වසර කිහිපයක සිට අපට දැන ගන්නට ලැබෙනවා. එහි සුලමුල සොයා ගැනීම සහ එහි සත්‍ය භාවය පිළිබඳ නිවැරැදි තොරතුරු අපට ලැබී තිබුණේ නැහැ.
“අපට එක්තරා අවස්ථාවක නවක වදය තව දුරටත් සිදු වෙනවා කියන එක අවබෝධ වුණා. ඔය අතරේ ආරක්ෂක අංශයේ ඩිනල් රත්නායක මහතා, විනය ආරක්ෂක අංශයේ අය දැනුම්වත් කර මෙම තත්ත්වය නැවැත්වීමේ කතිකාවේ අපි සිටියා. මෙය නරක මට්ටමක තිබුණා. ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් අසනීප වෙනවා. මව්පියන් කලබලවෙලා අපට කතා කිරීමට පටන් ගන්නවා. දවසක් අනපේක්ෂිත අයුරින් නවක වදය ගැන තොරතුරු මට ලැබෙනවා. ඒ අනුව මම ආරක්ෂක අංශයට දැනුම් දුන්නා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් යන එන තැන් දිහා ඇහැ ගහගෙන ඉන්න කියා.”
පසුගිය සතියේ දිනයක දහවල එක් ශිෂ්‍යයෙක් පැහැරගෙන ගියා වගේ දෙයක් ආරංචියක් ලැබුණා. ඒ වෙනකොට ප්‍රශ්නය උග්‍ර අතට හැරී අවසන්. ආරංචිය ආවේ.. මහයියාව, කුරුඳුවත්ත, ගලහ වැනි ප්‍රදේශවලට රැගෙන යනවා කියලයි. එම ස්ථානවලින් ගලහ පැත්තට වෙන්න මෙය පවත්වාගෙන යනවා කියන තොරතුරකට අනුව ඒ ප්‍රදේශය ගැන අපි විමසිළිමත් වුණා.
ගිය සිකුරාදා ආරංචියක් ආවා ගලහ පැත්තට ළමයි ගෙනියනවා වගේ කියා. ආරක්ෂක අංශයේ තිදෙනෙක් අපි ඒ ප්‍රදේශයට පිටත් කළා. ඔවුන් විශාල කැප කිරීමක් සිදු කර එළිවෙනකම් සොයා බැලීමෙන් අනතුරුව හෝඩුවාවක් සොයා ගත්තා. ස්ථානය දළ වශයෙන් දැන ගත්තා. ඉරිදා අපි පියවරෙන් පියවරට මෙහෙයුම ආරම්භ කළා. අපි යන විට එහි යතුරුපැදි තිබුණා. නිවෙස වට කර ඇතුළේ සිදු වෙන දේ අසා ගෙන සිටියා. එය ඉතාමත් සංවේදී තත්ත්වයක්. අපේ ශිෂ්‍යයන් මෙවැනි තත්ත්වයන්ට වැටීම ගැන කනගාටු වෙනවා. අපි දැඩි කම්පනයකට පත්වුණා කීවොත් නිවැරැදියි.”
වැඩබලන ප්‍රධාන ආරක්ෂක නිලධාරි සහ නියෝජ්‍ය ප්‍රධාන ආරක්ෂක නිලධාරී ආර්.එම් ඩිනල් රත්නායක මහතා : “මෙම සිද්ධිය එකවර ඇති වූ දෙයක් නොවෙයි. ප්‍රධාන විනයපාලක මහාචාර්ය ගාමිණී හිටිනායක මහතා අපට දැනුම් දුන්නා මේ වගේ සිද්ධියක් වෙනවා කියා. එතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි මේ ස්ථානය සොයා ගියා. ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දැරුවා. මමත් සමඟ අපේ පරීක්ෂක මහත්වරුන් සහ නියාමක මහත්වරුන් එක් කෙනෙක් යොදාගෙන අපි කිහිප දවසක්ම රාත්‍රි දොළහ එක දෙක වෙනකම් වෙහෙසුණා. අපි සරම් ඇඳගෙන වෙස් මාරු කරගෙන ගියේ. එහෙම ගිය එක් දවසක පාන්දර කිසියම් තැනකට අපේ අවධානය යොමු වුණා. එහිදී අපේ නියාමක මහතෙක් යොදවා එතැන සොයා ගත්තා. පසුව නිශ්ශබ්දව දවස් දෙක තුනක් සිටියා. හිටිනායක මහතාගෙන් උපදෙස් ලැබෙන තුරු අපි බලන් සිටියා.
පිට තැනක් නිසා පොලිසියේ සහය ලබා ගැනීමට උත්සාහ කළත්, එදින ඔවුන්ගේ සහය ලබා ගැනීමට නොහැකි වුණා. මම මේ සඳහා ඉදිරිපත් වුණා. ඒ අනුව දහසය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් හැදුවා. මේ පණිවුඩය කිසි කෙනෙකුට ලබා දුන්නේ නැහැ. අපි එදින රාත්‍රියේ මෙහෙයුම සිදු කළා. නිවස ඉදිරියට ගිහින් වාහනය නැවැත්වුවේ නැහැ. සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගොස් යම් ස්ථානයක වාහනය නවතා පයින් එම ස්ථානයට ගියා. ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙන් ගේ වට කළා. අපි ආයුධ කිසිවක් රැගෙන ගියේ නැහැ. ආරක්ෂාව සඳහා බැට්න් පොලු පමණක් අරන් ගියත් භාවිත කළේ නැහැ.
ගේ වටකරල විනාඩි විස්සක පමණ කාලයක් ජනෙල්වලින් බලාගෙන සිටියා ගේ ඇතුළේ මොනවද වෙන්නේ කියා. පළමු වසරේ සිසුන් කිහිප දෙනෙකු නිරුවත් කරල හාවෝ පනින ක්‍රමයට පනින්න කියනවා. දෙවෙනි වසරේ ළමයින්ගේ අතේ කෝටු හෝ මුගුරු වැනි දෙයක් තිබුණා. අසභ්‍ය වචනයෙන් බණිනවා අපට ඇහුණා. එහි දෙවැනි වසරේ සිසුන් පහළොස් දෙනෙක් සහ පළමු වසරේ සිසුන් අට දෙනෙක් සිටියා.
ආරක්ෂාව සඳහා එක ළමයෙක් දොර ළඟ සිටියත්, ඔහුට හොඳටම නින්ද ගොස් තිබුණා. අපි ගියත් ඔහුට ඇහැරුණේ නැහැ. දොර ලොක්කර තිබුණෙත් නැහැ. විනාඩි විස්සකින් පසු දොර ඇරගෙන ඇතුල් වුණා. එහිදී කිහිප දෙනෙක් නිරුවත් වෙලා සිටිනවා අපි දැක්කා. ක්ෂණිකව ඒ අසල තිබු රෙදිවලින් ඔවුන් විලි වසා ගත්තා. කිහිප දෙනෙක් පිටුපස දොරෙන් පනින්න උත්සාහ කළා. නිවස වට කර තිබුණ නිසා එම උත්සාහය හරි ගියේ නැහැ. පසුව පිඨාධිපතිතුමා ගෙන්වා ගෙන පසුව පේරාදෙණිය පොලිසියද ගෙන්වා, ඒ අය ඔවුන්ට භාර දුන්නා. අපි එම ස්ථානයෙන් ආපසු පාන්දර එකයි කාලට පමණ පිටත් වුණා. පොලීසියට පැමිණ අදාළ සටහන් කර ගැනීමෙන් පසු පළමු වසරේ සිසුන් අට දෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.”
නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ආර්. එල්. විජයවීර මහතා : නියෝජ්‍ය උපකුලපතිතුමා හැටියට ශිෂ්‍යයන්ගේ විනය භාරව කටයුතු කරන්නේ මමයි. විශේෂයෙන්ම උපකුලපතිතුමා සහ විනයපාලකතුමා සමඟ එකතුවෙලා අපි ශිෂ්‍යයන්ගේ විනය පිළිබඳව සම්පූර්ණයෙන්ම අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. අපි නවක වදය විශ්වවිද්‍යාලය තුළ පාලනය කර ගෙන තියෙනවා. මෙම පාලනය කර ගන්න ගත් ක්‍රමවේදය නිසා, මෙහි ඇතුළේ ශාලාවල මේ වගේ දේවල් කරන්න අමාරුයි. එම නිසා තමයි පිට තැනක මේ වගේ දෙයක් සිදු වෙන්නේ. උපකුලපතිතුමාගේ සහ මාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වෙලා තමයි මේ වැටලීම සිදු කරන්න පුළුවන් වුණේ. උපකුලපතිතුමා සෑම ප්‍රයත්නයක්ම අරගෙන අවශ්‍ය කටයුතු සුදානම් කරල මෙවැනි දෙයක් මින් ඉදිරියට සිදුවීමෙන් වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. මේ අවස්ථාවේදී නවක වදය සිදු වූ බවට අපට පැහැදිලිවම සාක්ෂි ලැබී තියෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක : -පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පිඨයේ ළමයි 15 දෙනෙක් නවකයන් 8 දෙනෙක් මෙම සිද්ධියට මැදිහත් කර ගෙන තියෙනවා. දොළුව ප්‍රදේශයේ නිවෙසක් මාස තුනක කාලයක් සඳහා කුලියටගෙන මේ ළමයින් රැගෙන ගිහින් නවක වදයට භාජනය කර තියෙනවා. එහි නිරුවත් ඡායාරූප ඇතුළු සියළු ජායාරූප, විඩියෝ අපි ළග තියෙනවා. විනයපාලක තුමාට ලැබුණු පණිවුඩය අනුව සහ පිඨයේ ආචාර්ය මණ්ඩලය එකතුවෙලා රාත්‍රියේ සංවිධානාත්මකව ආරක්ෂක අංශවල උපදෙස් අනුව මෙම ළමයි අත්අඩංගුවට ගත්තා. ඊට පසු පේරාදෙණිය පොලීසියට භාර දුන්නා. පොලිසිය ඔවුන් අධිකරණයට පමුණුවා, අධිකරණයෙන් මාර්තු 2 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තියෙනවා. නවක වදය පනත යටතේ නිත්‍යනූකූලව ඔවුන්ට නඩු පැවරෙන එක සිද්ධ වෙයි. විශ්වවිද්‍යාලය මඟින් අපි තීරණයක් අරන් තියෙනවා පංති තහනමක් පැනවීමට.
“පංති තහනමෙන් පසු විධිමත් විනයානුකූල පරීක්ෂණයක් තියලා එම පරීක්ෂණයේ ප්‍රතිඑල අනුව ඔවුන්ට සුදුසු දඬුවමක් ලබා දෙනවා. ඒක මොකක්ද කියා මට දැන් කියන්න බැහැ.
ශිෂ්‍ය සභාව සහ මහා ශිෂ්‍ය සංගමය මේ කටයුත්තෙදී අපිත් සමඟ ඉන්නවා. විශ්වවිද්‍යාලය මෙම උවදුරෙන් බේරාගත යුතුයි කියන මතයේ ඔවුන් සිටිනවා. ඔවුන් අපට හොඳ සහයෝගයක් ලබා දෙනවා.”
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයබන්දු හේරත් මහතා : -කෘෂිකර්ම විද්‍යා පීඨයේ ළමයි අට දෙනෙක් විසි වැනි දින උදේ හතට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයට ඇතුළත් කළා. එහිදී විශේෂඥ වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර බැලුවා. එහිදී අභ්‍යන්තර සහ බාහිර තුවාල තිබුණ බවට නිරීක්ෂණය වූයේ නැහැ. ඉන්පසු මානසික වෛද්‍යවරයෙකුටත් යොමු කර පරීක්ෂා කර බැලුවා. එහිදී නිරීක්ෂණය වූයේ රෝහලෙන් පිට කර යැවීමට තරම් හොඳ මානසික තත්ත්වයක් තිබුණ බවයි. එම නිසා එදින සවස පහට පමණ රෝහලෙන් ටිකට් කපා විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයට භාර දුන්නා. නමුත් ඒ අයට උපදෙස් ලබා දුන්නේ මානසික ආතතිය නැවත ඇතිවීමේ ලක්ෂණ ඒමට පුළුවන්. මේ නිසා නැවත පරීක්ෂා කිරීමට හැකියාව පවතිනවා. එයින් අපේ කර්තව්‍ය අවසන් වෙනවා.”
නවක වදයට පත් වූ සිසුන් පමණක් නොව සැකකාර සිසුන් ද මානසික වෛද්‍ය පරීක්ෂණයකට පත් කළ යුතු යැයි අපට සිතේ. එය කාලීන අවශ්‍යතාවකි. මෙවන් ආකාරයේ දැඩි ව්‍යායාමවල යෙදවීමෙන් උෂ්ණත්වය හා දහඩිය දැමීම අසාමාන්‍ය ලෙස සිදුවීමෙන් විජලන තත්ත්වයක් ඇතිවී මිය යාමටත් පුඑවන. වාරප්‍රකාශ් නැමති සිසුවා පමණක් නොව රත්නශීලී මිය ගියේද නවක වදයේ අයහපත් ප්‍රතිඑලයක් හැටියටය. තවත් එවන් ශෝචනීය ඉරණමකින් ඔවුන් වළක්වා ගැනීම ගැන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සැම දෙන අගය කළ යුතුව තිබේ. පාළු ගෙයක යළිත් මරණයක් සිදු වුණා නම් එහි වගකීම භාර ගන්නේ කවුරුන්ද?