හදිසි අනතුරකට ලක්වී මොළේ මියගිය අයකුගෙන් ලබාගත් හෘදය සහ පෙණහලු ඔහුගේ සිරුරෙන් ඉවත් කරගෙන හදවත් රෝගී කාන්තාවකට බද්ධ කරමින් මෙරට වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් රන් සලකුණක් තැබුවේ ඉකුත් සති අන්තයේදීය.
හදවත් රෝගී කාන්තාවකට හදවතක් බද්ධ කළේ මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවටය. අතිශය සංකීර්ණ හා අතිශය දුෂ්කර කර්තව්‍යයක් වූ මෙම හදවත් බද්ධ කිරීම සාර්ථක ලෙස සිදු කිරීමට හැකිවූයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙනි.
එම වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමද එසේ මෙසේ අය නොවීය.
ඔවුන් එංගලන්තය වැනි බටහිර වෛද්‍ය විද්‍යාෙව් හිණිපෙත්තේම සිටින විශේෂඥ වෛද්‍යවරුන් යටතේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවීම් ලැබුවෝ වෙති.
මේ හදවත් බද්ධ කිරීමේ සැත්කම ලක්මෑණියන්ට ඉමහත් ගෞරවයක් අභිමානයක් ගෙනා සැත්කමක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.
ශ්‍රී ලංකාවේ පළමු වරට සිදුවූ මේ හදවත් බද්ධ කිරීමේ සැත්කම හදවත් රෝගවලින් පෙළීම නිසා හදවත් බද්ධ කළ යුතු බවට නිගමනය කර සිටින මරණයේ මාවතට පිවිස සිටින රෝගීන්ට ඔවුන්ගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමට හැකි වනවා නොඅනුමානය.
මොළේ මියගිය තරුණයෙකුගෙන් ලබාගත් හදවතක් හා පෙනහල්ලක් ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් සිටි කාන්තාවකට බද්ධකර ඇයට ජීවිතය ලබාදීමේ සාර්ථක සැත්කමේ නියමුවා වූයේ මහනුවර මහ රෝහලේ හෘද රෝග ශල්‍ය වෛද්‍ය විශේෂඥ අනිල් අබේවික්‍රම මහතාය.
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට මේ භාරදූර කර්තව්‍යය කිරීමට ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, හෘද උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන්, වෛරස් ආසාදන විශේෂඥ වෛද්‍යවරුන්, රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ස්නායු ශල්‍ය නිර්වින්දන වෛද්‍ය විශේෂඥයන්, සායනික ක්ෂුද්‍රජීව, ප්‍රතිශක්තිය, විකිරණ ශිල්පය පිළිබඳ විශේෂඥයින්, ව්‍යධිවේදී විශේෂඥයන්, පෙණහලු පිළිබඳ විශේෂඥයන්, ළමා හා වැඩිහිටි උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් ඇතුළු විශේෂඥයන්ගේ මෙන්ම හෙද කාර්ය මණ්ඩලයෙන්ද මුල සිටම ලැබී ඇත්තේ නොමද සහයෝගයකි.
මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් මේ සඳහා ලැබුණු සහයෝගය ද කියා නිම කිරීමට නොහැකි බව විශේෂඥ වෛද්‍යවරු පවසති.
මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ශිව සුබ්‍රමනියම් මහතාගෙන්ද මේ සඳහා දායකත්වයක් ලැබී ඇත.
මෙම කර්තව්‍යයේ දෙවැනි නියමුවරිය වූයේ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගනි පෙරේරා මහත්මිය ප්‍රමුඛ 15 දෙනකුගෙන් සමන්විත වෛද්‍යවරු කණ්ඩායමකි.
මේ විශේෂඥ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරියන් අනෙකුත් ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ හා හෙද කාර්ය මණ්ඩලයේ අපමණ කැපකිරීම හා වෘත්තීය නිපුණතාවය හා හසල දැනුම නොවන්නට මෙවැනි සැත්කමක් සාර්ථක ලෙස අවසන් කිරීමට කිසිසේත් නොහැකිවනු ඇත.
හදවත් බද්ධ කිරීමේ සැත්කමේ නියමුවා වූ හෘද රෝග ශල්‍ය වෛද්‍ය විශේෂඥ අනිල් අබේසිංහ මහතාගෙන් මේ විස්මිත සැත්කම සිදුකළ ආකාරය ගැන තොරතුරු විමසුවෙමි.
විශේෂඥ වෛද්‍ය අබේසිංහ මහතා ඒ විස්මිත සැත්කම සිදුකළ අාකාරය ගැන කිව්වේ එම සැත්කම මුල සිටම සැලසුම් කළ තැනේ සිටය.
මේ විශේෂඥ වෛද්‍යවරයා කී කතාවයි.
“මුලින්ම ලෝකයේ හදවත් බද්ධ කිරීමක් සිදුකළේ 1960 වසරේදී ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ක්‍රිස්ටියන් බර්නාඩ් නම් අප්‍රිකානු ජාතික විශේෂඥ වෛද්‍යවරයා විසිනි. ඊට පසුව හදවත් සැත්කම් සිදු කළේ ලෝකයේ දියුණු රටවල විතරයි. වෙනත් අවයව බද්ධ කිරීම ලෝකයේ වෙනත් රටවල පිහිටි රෝහල්වල සිදුකර වසර පහක් විතර යනකොට අපි වගේ රටවල්වලට කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් හදවත් බද්ධ කිරීම සිදු කිරීමේ තාක්ෂණය අපේ රටට එන්න වසර පනහකට වැඩි කාලයක් ගියේ ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති අය නොසිටීම නිසයි.
හදවත් බද්ධ කිරීමේ සැත්කම්වලට ලක්වීමේ අපේක්ෂාවෙන් ලෝකයේම ලක්ෂ පහක් විතර ඉන්නවා. ඒත් වසරකට හදවත් සැත්කම් සිදු කිරීමට හැකියාව ඇත්තේ 5000කට විතරයි. එ් වගේම තවත් විශේෂ යමක් කියන්න අවශ්‍ය්‍යි. අපේ රටේ අයකුට කොච්චර මිල මුදල් තිබුණත් හදවත් බද්ධ කිරීමේ සැත්කම් කරන දියුණු රටවල රෝහල්වලට ගිහින් කර ගැනීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. ඔවුන් හදවත් බද්ධ කිරීමේ සැත්කම් කරන්නේ ඔවුන්ගේ රටේ පුරවැසියන්ට පමණයි.
මම එංගලන්තයේ ෆ්‍රීමන් රෝහලේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදුකරමින් ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවීම් වසර 2 1/2ක් තිස්සේ ලබා තිබෙනවා. ඒ රටේ මොළේ මියගිය අයගේ හදවත් ශල්‍ය කර්මවලින් ඉවත් කරගෙන රෝගීන්ට බද්ධ කිරීමට රෝහලට අරගෙන එන්නේ ජෙට් යානාවලින්. ඒ හදවතක් ලබා ගත්තාම කඩිනමින් බද්ධ කිරීමට අවශ්‍ය නිසයි.
මොළේ මියගිය අයකුගේ හදවතක් ශල්‍ය කර්මයකින් ඉවත් කරගෙන හදවත් රෝගියකුට බද්ධ කිරීමේ භාරදූර කටයුත්ත කිරීමට අවශ්‍ය මූලික කටයුතු 2012 වසරේ සිට ප්ලෑන් කළා. එංගලන්තයේ ෆ්‍රීමන් රෝහලේ වසර 2 1/2ක් සේවය කරමින් සිටි මම ලංකාවට ආවේ ලංකාවේ හදවත් බද්ධ කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙනුයි.
මේ සඳහා මහනුවර මහ රෝහලේ සිටින ප්‍රියන්ත දිසානායක, අරුණි ජයසේකර සහ ජගනි පෙරේරා යන නිර්වින්දන විශේෂඥවරුන් හා වෛද්‍යවරියන්ද මුදිත ලංසක්කාර හා කේ. ඥානකාන්තන් යන හෘද රෝග ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්ගෙන්ද සැදුම්ලත් කණ්ඩායමක් පිහිටුවා ගත්තා. මේ විශේෂඥ වෛද්‍යවරුන් දක්ෂතම කට්ටියක්.
ඊට පස්සේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහත්තයා හමුවී අපි කරන්න යන කාර්ය ගැන ඔහු දැනුවත් කළා. අපිට පූර්ණ සහාය ලබාදෙන්න වෛද්‍ය රත්නායක මහත්තයා පොරොන්දු වුණා. පිට පළාත්වල රෝහල්වල සේවය කරන දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සහාය ලබා ගැනීමට අවශ්‍ය බවත් අපි රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නා. ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයාට මේ ගැන ලිඛිතව දැනුම් දුන්නා. සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතියත් අපට ලැබුණා.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවශ්‍ය අවසරය අපට ලැබුණට පස්සේ කොළඹ ළමා රෝහලේ හෘද රෝග ශල්‍ය වෛද්‍ය විෙශ්ෂඥ කාංචන සිංගප්පුලි, වැලිසර ළය රෝහලේ ළමා හා පෙනහළු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය වරුණ කරුණාරත්න, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ ළමා හෘද රෝග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර, අනුරාධපුර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන වසන්ත කපුකොටුව, රොෂාන් පරණමාන, කුරුණෑගල මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිමුතු වීරසූරිය යන අතිදක්ෂ වෛද්‍යවරුන් ද මේ සඳහා තෝරා පත්කර ගත්තා.
එංගලන්තයේ හදවත් බද්ධ කිරීමේ ෆ්‍රීමන් රෝහලේ අධ්‍යක්ෂ හදවත් උරස් ශල්‍ය හා හදවත් පෙණහලු අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ස්ටීව් සී. ක්ලාක් මහතා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබාදීමට පැය 23ක පමණ කාලයක් සඳහා අපේ රටට ගෙන්වා ගත්තා.
විශේෂඥ වෛද්‍ය ස්ටීව් සී. ක්ලාක් මහතා මෙන්ම ජාත්‍යන්තර හෘද සහ පෙණහලු බද්ධ කිරීමේ සංගමයේ සභාපති අධ්‍යක්ෂ ජේ. ෆිෂර් මහතාත් අපට මේ කාර්ය ඉටුකර ගැනීමට ඔවුන්ගේ දැනුම හා මග පෙන්වීම නිරන්තරයෙන් ලැබුණා. හදවත බද්ධ කිරීමට රෝගී කාන්තාව තෝරා ගත්තට පස්සේ ඇය සම්බන්ධයෙන් ලබාගත් සෑම පරීක්ෂණ වාර්තාවක්ම ඊමේල් මගින් ඒ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට යවා අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. එහෙමත් නැතිනම් දුරකථනයෙන් කතා කර අවශ්‍ය උපදෙස් නිරන්තරයෙන් ලබා ගත්තා. ඒ නිසා මේ හදවත් බද්ධ කිරීමේ සැත්කම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදුවූ බද්ධ කිරීමක් බව පැවසීමට පුළුවනි.
හදවත බද්ධ කිරීමට තෝරාගත් කාන්තාවගේ පුප්පුශීය ධමනියේ පීඩනය වැඩිවී ඇති බව අප කළ පරීක්ෂණවලදී පෙනී ගියා. ඒ නිසා එවැනි අවස්ථාවක හදවත පමණක් බද්ධ කිරීම කිසිදු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා පෙනහළුද මේ කාන්තාවට බද්ධ කිරීමට අවශ්‍ය වුණා.
හදවත් සැත්කම සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍රයක් (EPMO) අපේ රෝහලේ නැහැ. කොළඹ ළමා රෝහලේ තියෙන මේ යන්ත්‍රය සැත්කම සිදුකර ගැනීමට ලබාදීමට විශේෂඥ වෛද්‍ය සිංගප්පුලි මහතා කැමැත්ත ප්‍රකාශ කළා. ලංකාවේ නොමැති ඖෂධ වර්ග පිටරටින් ගෙනවිත් දීමට රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා පියවර ගත්තා. නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගනි පෙරේරා මහත්මිය සැත්කම සිදුකරන දැඩි සත්කාර එ්කකයට අවශ්‍ය උපකරණ වගයක් එතුමියගේ වියදමින් ගෙනවිත් දුන්නා. සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර මහත්මියත් අවශ්‍ය උපකරණ වගයක් පරිත්‍යාග කළා.
හදවත් සැත්කම සිදුකළ ආකාරය ගැන අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා මෙසේ කීය.
මොළේ මියගිය තරුණයාගේ හදවත හා පෙණහළු ලබාගෙන ඒවා රෝගී කාන්තාවකට බද්ධ කරන අතරතුර ශල්‍ය වෛද්‍ය විශේෂඥ පී.කේ. හරිස්චන්ද්‍ර මහතා එම තරුණයාගේ සිරුරෙන් ඉවත් කරගත් වකුගඩු දෙක වකුගඩු රෝගීන් දෙදෙනකුට සාර්ථක ලෙස බද්ධ කරනු ලැබුවා. සාමාන්‍යයෙන් මොෙළ් මියගිය කෙනෙකුගෙන් ලබාගත් හදවත හා පෙණහළු පැය තුනක කාලයක් ඇතුළත ඒවා රෝගියාට බද්ධ කළ යුතුයි. ශල්‍යකර්මය කළ මා ඇතුළු අපේ වෛද්‍ය කණ්ඩායමට මේ ශල්‍යකර්මය පැය 1 විනාඩි 55 කාලයක් ඇතුළත සිදුකර අවසන් කිරීමට හැකියාව ලැබුණා.
හදවත හා පෙනහලු බද්ධ කිරීමේ සැත්කම සිදුකර ඇත්තේ අනිල් අබේවික්‍රම, මුදිත ලංසක්කාර, අරුණි ජයසේකර, ජගනි පෙරේරා, රොෂාන් පරණමාන, කේ. ඥානකාන්තන් සහ සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර යන විශේෂඥ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරියන් විසිනි.
හෙද කාර්ය මණ්ඩලයට අමතරව කනිෂ්ඨ සේවක මණ්ඩලයෙන්ද මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට නොමද සහායක් ලැබිණි.
රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධර්මා සමරකෝන්, වයිරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, ක්ෂුද්‍රජීව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරි, ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලෙස්ලි සිරිවර්ධන, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රවී වීරකෝන් සහ අනෝමා විතානගේ යන මහත්ම මහත්මීන්ගෙන්ද ලැබී ඇත්තේ සුවිශේෂ දායකත්වයකි.
මෙවැනි සැත්කමක් කළාට පස්සේ වසර 20ක පමණ කාලයක් ජීවිතය පවත්වාගෙන යාමේ හැකියාව තිබෙන බවත් සමහර විට එම වසර ගණන ඊට වඩා වැඩිවිය හැකි බවත් ඉන්පසු අවශ්‍යතාවක් පැනනැගුනොත් යළි හදවත් බද්ධ කිරීමක් සිදුකළ හැකි බවත් විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා පෙන්වා දුන්නේය.
මේ කටයුත්තට දායක වූ වෛද්‍ය විශේෂඥවරුන් හා විශේෂඥ වෛද්‍යවරියන් සියලු දෙනා ලංකාවේ සිටින අතිදක්ෂ වෛද්‍යවරුන් බව අබේවික්‍රම මහතා පවසයි.
මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ මේ රටේ පළමු හදවත් සැත්කමට භාජනය වූ කාන්තාවගේ එම සැත්කම සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබුණු බවය.
ඇය තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.
බද්ධ කිරීම සඳහා හදවත, පෙණහලු, වකුගඩු දෙක ලබාගෙන තිබුණේ හදිසි රිය අනතුරකට ලක්වී යන්ත්‍රයක ආධාරයෙන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි ෙවලන්බොඩ මාවීකුඹුර උතුර පදිංචිව සිටි අයි.ජී. ප්‍රදීප් කුමාර (21) තරුණයාගෙනි.
තරුණයාගේ මෙම අවයව බද්ධ කිරීම සඳහා ලබාගැනීමේ කාර්ය සම්බන්ධීකරණය කරනු ලැබුවේ මහනුවර මහ රෝහලේ මොළේ මියගිය අයගේ අවයව ලබාගැනීමේ ඒකකයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී ෙෙවද්‍ය අරුණ අබේසිංහ, සහකාර සම්බන්ධීකරණ නිලධාරින් වන හෙද නිලධාරී ආර්.එම්. ජයවර්ධන සහ හෙද නිලධාරි අනුර රත්නායක යන මහත්වරුන් විසිනි.
මොළේ මියගොස් සිටි ප්‍රදීප් තරුණයාගේ සිරුරේ අයවය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ තරුණයාගේ මව්පියන් ඇතුළු සියලුම දෙනාට මෙවැනි මහඟු කාර්යයකට දායක වීම ගැන ගෞරව පූර්වක ස්තුතිය පුද කරන බවත් මියගිය තරුණයාටද පිං අනුමෝදන් කරන බවත් වෛද්‍ය අරුණ අබේසිංහ මහතා කීය.
හදවත සහ පෙණහළු බද්ධ කිරීම සිදු කරනු ලැබුවේ අනුරාධපුරයේ දිංචි පුෂ්පකුමාරි නමැති අවුරුදු 34 ක දෙදරු මවකටය. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ මෙම කාන්තාවගේ හදවත සියයට 12ක පමණ අකර්මණ්‍යවී තිබීම හේතුවෙන් ඇය ජීවිත අවදානමකට ලක්ව සිටි බවත් මෙම සැත්කම නිසා ඇයට ජීවත්වීමේ වාසනාව උදාවී ඇති බවත්ය.
අනුරාධපුරයේ දෙදරු මවට ජීවත්වීමේ වාසනාව භාග්‍ය ලැබුණේ දේව හාස්කමක් හේතුවෙන් අද්භූත බලවේගයක පිහිටක් නිසා නොව වෛද්‍ය විද්‍යාවේ පිහිට නිසාත් මොළේ මිය ගොස් සිටි ප්‍රදීප් කුමාරගෙන් ලබාගත් හදවත හා පෙණහළුවලට පිං සිද්ධ වෙන්නටය.
ප්‍රදීප් කුමාරලා දරිද්‍රතාවේ පතුලේ සිටි අය වූහ. ප්‍රදීප් මව පියා සහ සහෝදරියන් දෙදෙනා ද සමග ජීවත් වූයේ කටුමැටි ගැසූ පුංචි නිවසකය. ඔහුගේ පියා කුලී වැඩ කර බිරිඳ හා පවුල නඩත්තු කළේය.
ශ්‍රී රේවත මහ විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරන ප්‍රදීප් කුමාර රැකියාවක් නොමැති නිසා තම මස්සිනා සමග පිළිමතලාවේ ගරාජයක වැඩ පුහුණු වීමට ගොස් දින තුනකි.
තුන්වැනි දවසේ මස්සිනාත් එක්ක යතුරුපැදියෙන් නිවෙස බලා එන අතරවාරයේ වෑන් රථයක ගැටී දෙදෙනාම තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
ප්‍රදීප් කුමාර ඇතුළත් කරනු ලැබුවේ දැඩි සත්කාර එ්කකයටය.
පුතාගේ මොළේ මියගොස් ඇති නිසා ඔහු තවදුරටත් ජීවත් කිරීමට නොහැකි බව වෛද්‍යවරැ අපිත් එක්ක කිව්වා. ඔයගොල්ලෝ කැමතිනම් පුතාගේ ශරීර අවයව රෝගීන්ට බද්ධ කිරීමට පරිත්‍යාග කරන්න පුළුවන් කියා වෛද්‍යවරු අපට දැනුම් දුන්නා. අපි කැමැත්ත ප්‍රකාශ කළා. පුතාගේ වකුගඩු, හදවත, පෙණහළු විතරක් නෙමේ ඇස් දෙකත් අපි දන් දෙන්න තීරණ්‍ය කළා. පුතා නැතිවෙච්ච දුක අපට වාව ගන්න බැහැ. ඒත් පුතා නිසා තවත් රෝගීන් තිදෙනකුට ජීවත්වීමේ වාසනාවත් තවත් රෝගීන් දෙදෙනකුට මේ ලෝකය දැකීමේ වාසනාව ලැබුණු නිසා ඒ ගැන හිතලා අපට හිත හදා ගන්න පුළුවන් යැයි ප්‍රදීප් කුමාරගේ පියා සහ මව වන අයි.ජී. නන්දසේන (55) සහ ඉන්ද්‍රා කල්‍යාණි (48) මහත්ම මහත්මීන් පැවසූහ.
නිකරුණේ පොෙළාවට පස් වෙලා යන පුතාගේ සිරුරේ අවයවවලින් තවත් කිහිප දෙනකුට ජීවිතය ලැබුණු එක අපට හරිම සතුටුයි. අපි අනිත් අයටත් කියන්නේ මේ වගේ පිංකම් කරන්න කියා යැයිද ප්‍රදීප් කුමාරගේ මවත් පියාත් වැඩිදුරටත් පැවසූහ.
මෙච්චර ලොකු පුණ්‍ය කර්මයක් සිදුකළ ප්‍රදීප් කුමාරගේ බාල නැගණියට රැකියාවක් නොමැත. ඇයට රැකියාවක් ලබාදීමට කවුරුන් හෝ ඉදිරිපත්වෙන්නේ නම් එය ඔවුන් වෙනුවෙන් කරන පිංකමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙම වෛද්‍යවරුන් සිදුකළ හදවත් බද්ධ කිරීම අගය කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම වෛද්‍යවරුන් හා දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් ස්තුතිය පුද කිරීම ඇත්තෙන්ම පැසසුම් කළ යුතුය.
එසේම බද්ධ කිරීමට අවයව දන්දීමට ඉදිරිපත්වූ ප්‍රදීප් කුමාරගේ මව්පියන් ඇතුළු පවුලේ අයද එ්හා සමානව අගය කළයුතු නොවේද? ඒ වගේම අන්ත අසරණ පවුලක් වූ ප්‍රදීප්ගේ පවුලේ අයට යම් පිළිසරණක් වන්නේ නම් එය ද ඉතාම වටින්නේය.
කෙනෙකුගේ මොළය මියගියා කියා විශේෂඥ වෛද්‍යවරුන් මණ්ඩලයක් පරීක්ෂාකර බලා තීරණය කළ පසු ඔහුට හෝ ඇයට ජීවත්වීමට ෙනාහැකියි. එය තමා ඇත්ත කතාව. මෙවැනි අයගේ ශරීර අවයව අරගෙන තවත් රෝගීන් කිහිප දෙනකුට බද්ධ කර ඔවුන්ට ජීවත්වීමේ වාසනාව ලබාදිය හැකිය. ඒ උතුම් පුණ්‍ය කර්මයට දායක වන ලෙස මහනුවර මහ රෝහලේ මොළේ මියගිය අයගේ අවයව ලබා ගැනීමේ සම්බන්ධීකරණ ඒකකයේ ප්‍රධන වෛද්‍ය ඇරුණ අබේසිංහ මහතා විශේෂ ඉල්ලීමක් කරයි.
ප්‍රදීප් මගේ ඥාති පුතෙක්. ඔහු හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර එක්කයේ ප්‍රතිකාර ලබමින් සිටියා. ඔහු දින 11ක්ම ජීවත් වූයේ දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍රවල ආධාරයෙන්. ඔහුගේ මොළේ මිය ගියගොස් ඇති නිසා ජීවත් කිරීමට නොහැකි බව වෛද්‍ය අබේසිංහ මහතා මාත් එක්ක කිව්වා. ඒ නිසා ශරීර අවයව පරිත්‍යාග කරන්න කැමතිද කියා ඇසුවා. ඊට පස්සේ මම මේ ගැන ප්‍රදීප්ගේ මව පියා හා සහෝදරියන් දෙදෙනා සමග කතාකරලා ඔවුන්ගේ කැමැත්ත අරන් දුන්නා යැයි එම්. එච්. ජානු මහත්මිය පැවසුවාය.
සටහන : ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප : පේරාදෙණිය සෙනරත් බණ්ඩාර සහ අනුර රත්නායක