(මුදිතා දයානන්ද)
අවශ්‍ය තරම් රතු සීනි මෙරට තිබියදී පිටරටින් රතු සීනි ආනයනය කිරීමට සැරසීම දේශීය ව්‍යාපාරිකයන්ගේ මවිතයට හේතු වී තිබේ.
මෙරටට ආනයනය තහනම් කර ඇති රතු සීනි ආනයනය කිරීමට වෙෙළඳ අමාත්‍යංශය පසුගිය 24 වැනිදා මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇති අතර රටේ ඩොලර් හිඟයක් පවතින අවස්ථාවක අත්‍යවශ්‍ය වෙනත් ආහාර ද්‍රව්‍ය ගෑස් හා තෙල් ආනයනය කිරීමට ඩොලර් අවශ්‍යතාව තිබියදී දේශීය වශයෙන් සපයා ගත හැකි රතු සීනි ආනයනයට ඩොලර් යෙදවීම විශාල නාස්තියක් බව දේශීය කර්මාන්තකරුවෝ පවසති.
උක් ඇතුළු කුඩා භෝග වගා සංවර්ධනය ආශ්රිත අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය පසුගිය වසර ආරම්භයේදී රතු සීනි ආනයනය තහනම් කරනු ලැබුවේ එම කර්මාන්තකරුවන් හා උක් ගොවියා ආරක්ෂා කරගැනීම සඳහාය.
වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ උත්සව සමයේ මිල ඉහළයාම පාලනය කර පාරිභෝගිකයාට අඩු මිලට රතු සීනි ලබාගැනීම සඳහා මෙසේ රතු සීනි ආනයනයට අවසර ඉල්ලා සිටින බවය.
මෙරට වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් වන අතර එයින් රතු සීනි පරිභෝජනය මේ වන විට මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් වී තිබේ. ඒ රතු සීනි සුදු සීනිවලට වඩා අඩු මිලට සතොස හා සමුපකාර වෙෙළඳසල් මගින් පසුගිය වසර තුළ සැපයීම නිසා ඉල්ලුම වැඩිවීමෙන් බව සීනි සංස්ථාව පවසයි. එසේම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා රතු සීනි වෙත මාරු වීමද එතරම් රතු සීනි ඉල්ලුම වැඩිවීමට හේතු වී ඇති බව ශ්‍රී ලංකා සීනි සංස්ථාව සඳහන් කරයි.
රාජ්‍ය කර්මාන්ත දෙකක් සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවතින කර්මාන්ත ශාලාවක් ඇතුළු කර්මාන්ත ශාලා හතරක් ප්‍රධාන වශයෙන් මෙරට සීනි නිෂ්පාදනයේ යෙදෙන අතර මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් ලෙස රතු සීනි සැපයීම එම කර්මාන්ත ශාලාවලින් මෙතෙක් සිදුවිය. ඒ නිසා දේශීය උක්ගොවියාටද හොඳ ආදායමක් මෙම රතු සීනි නිෂ්පාදනයෙන් ලැබිණ.
රටේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් රතු සීනි නිෂ්පාදනයක් රට තුළ සිදුවෙද්දී මෙවැනි ඉල්ලීමක් කිරීම පිටුපස තිබෙන්නේ දේශීය සීනි කර්මාන්තයත් අභාවයට යැවීමේ සැලැස්මක් දැයි සැකයක් පවතින බවද දේශීය සීනි කර්මාන්තකරුවෝ පවසති.
ආණ්ඩුව මිල පාලනයෙන් ඉවත් වී මිල පහළ දැමීම සඳහා යැයි පවසමින් විටින් විට සහල්, සීනි වැනි ද්‍රව්‍ය මෙලෙස ආනයනය කිරීම විහිළු සහගත යැයිද සීනි කර්මාන්තකරුවෝ පවසති.
සීනි ආනයනික බදු ශත විසිපහට අඩු කළ අවස්ථාවේ ඇතැම් ව්‍යාපාරිකයන් විශාල තොග වශයෙන් සීනි ආනයනය කර පසුව වැඩිමිලට විකුණා උපරිම ලාභ ඉපයූ බවද රතු සීනි ආනයනයට අවසර ලබාදීමෙන් එයම සිදුවිය හැකි බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමේදි ශ්‍රී ලංකා සීනි සංස්ථාවේ සභාපති ජානක නිමලචන්ද්‍ර මහතා සඳහන් කළේ රටේ සමස්ත සීනි පරිභෝජනය වැඩි නොවුණද සුදු හා රතු සීනි අතර ඉල්ලුමේ වෙනසක් සිදුව ඇති අතර එයට ප්‍රමාණවත් නිෂ්පාදනයක් දේශීයව දැනට සිදුනොවන බවය.
පසුගිය කාලයේ රතු සීනිවල මිල අඩුකිරීම නිසා සුදු සීනිවලින් රතු සීනිවලට මාරු වීම මෙම ඉල්ලුමේ වෙනසට හේතුව බවද ඔහු පැවසීය. එම ඉල්ලුම මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් පමණ වන අතර දැනට දේශීය කර්මාන්තකරුවන් විසින් සපයනු ලබන්නේ මෙට්‍රික් ටොන් අසූදහසක් පමණ බවද එය ඉදිරියේදි ලක්ෂයක් දක්වා වැඩිවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවද ඔහු පැවසීය. එහෙත් සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා පරිභෝජනයට මෙයින් යොදාගනු ලබන්නේ සියයට විස්සක් පමණක් බවද ඉතිරිය බේකරි නිෂ්පාදන හා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා බවද ඔහු පැවසීය.
රතු සීනි ආනයනය කිරීමෙන් දේශීය කර්මාන්තකරුවනට කිසිදු පාඩුවක් සිදුවන්නේ නැතැයිද ඔවුන්ගේ සැපයුම පෙර පරිදිම සිදුකළ හැකි බවද ඔහු පැවසීය. අමාත්‍යාංශය බලාපොරොත්තු වන පරිදි සීනි මිල පාලනය කළ හැකි වනුයේ සතොස මගින් සීනි ආනයනය කළහොත් බවද වෙනත් පෞද්ගලික ව්‍යාපාරිකයන් ඊට මැදිහත් වන්නේ නම් එම අරමුණ ඉටුවේද යන්න සැක සහිත බවද ඔහු පැවසීය.