සේනා දළඹුවා අපේ රටට ආවේ රටින් ගෙනා බඩඉරිඟු ඇටවලින්ද ?


 

නොසන්සිඳෙන කුසගින්නකින් පෙළීමත් එක වර බිත්තර දෙසීයක් පමණ බිහිකිරීමට ඇති හැකියාවත් මෙන්ම සේනා දළඹුවාගෙන් බිහිවන සලබයාට දිනකට කිලෝමීටර් සියයක් පමණ සුළඟ ඇදෙන දිශාවට අනුව පියඹා යෑමේ හැකියාවත් නිසා සේනා දළඹු ආක්‍රමණය මේ වෙනවිට අපේ රටේ ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල කොට ඇත. බඩඉරිඟු වගා කර ඇති සමස්ත හෙක්ටයාර අසූ දහසෙන් සියයට විසිපහකට සේනා දළඹු ආක්‍රමණය එල්ල වී ඇති බවට කෘෂිකර්ම අංශ අනාවරණය කර ඇත. සේනා දළඹු ආක්‍රමණය වී වගාව, වට්ටක්කා, බණ්ඩක්කා මෙන්ම තල, කුරක්කන් වගාවලට ද බෝවිය හැකි බව ද පලතුරු වර්ග සඳහා ද මෙම උවදුර බලපානු ඇතැයි සැක ඵල වේ.  


අමෙරිකාව, අප්‍රිකන් කලාපයේ රටවල් මෙන්ම පසුකාලීනව බංගලාදේශය ඉන්දියාව වැනි රටවල් කරා ද ව්‍යාප්ත වූ මෙම දළඹු උවදුර ලංකාවට පැමිණියේ යම් කිසි විදේශ මැදිහත්වීමකින් බවට පැවසේ. ඒ සමග රජයට එල්ලවෙන චෝදනාව වෙන්නේ බීජ ආනයනයේ දී නිසි පරීක්ෂාවකින් තොරව බඩඉරිඟු බීජ ගෙන්වා ඇති බවටය. ආනයනික බඩඉරිඟු ව්‍යාප්ත කිරීමේ අදහසින් මෙරට බඩඉරිඟු වගා කිරීම නැවැත්වීමට කුමන්ත්‍රණයක් කර ඇති බවට ද තවදුරටත් චෝදනා එල්ල වේ. කෙසේ වෙතත් මේ වෙනවිට සේනා දළඹු ආක්‍රමණයෙන් හානි වූ බඩඉරිඟු වගා සඳහා වන්දි ගෙවීමට රජය සූදානමින් සිටින බව විෂයභාර අමාත්‍යවරයා ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය. සේනා දළඹු ආක්‍රමණය සිදුවූයේ කෙසේද? ඒ පසුපස යම් කුමන්ත්‍රණයක් තිබේද? යනාදිය සම්බන්ධයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බලධාරීන් හා ගොවි සංගම් දැක් වූ අදහස් මෙසේ පෙළ ගැසේ.  
ආචාර්ය 


ඩබ්ලිව්.එම්.ආර්.ටී. වික්‍රමාරච්චි  


අතිරේක අධ්‍යක්‍ෂ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවා අංශය.  


බඩඉරිඟු ආනයනය කිරීමේ දී අවශ්‍යතා තුනක් යටතේ එම ආනයන සිදුවෙනවා. සත්ත්ව ආහාර සඳහා ගෙන එන බඩඉරිඟු, පොප් කෝන්, ස්වීට් කෝන් සෑදීම සඳහා බඩඉරිඟු හා සාමාන්‍ය වගා කිරීම් සඳහා යොදා ගන්නා බඩඉරිඟු බීජ වශයෙන් එම අවශ්‍යතා දැක්විය හැකියි.   


වසරකට ටොන් එක්දහස් පන්සියයක් පමණ වගා කිරීම සඳහා ගෙන්වනවා. සත්ත්ව ආහාර සඳහා ටොන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ ඉකුත් වසරේ රටට ආනයනය කර තිබෙනවා. පෝප් කෝන් - ස්වීට් කෝන් ආදිය සෑදීමටත් සුළු ප්‍රමාණ වශයෙන් ගෙන්වනවා. මෙම සියලුම ආනයනයන් සඳහා රජයෙන් බලපත්‍රයක් ලබාගත යුතුයි.  


ශාක නිරෝධායන ආයතනය මගින් නිකුත් කෙරෙන බලපත්‍රයට අනුව ආනයනය කරන රට හා බඩඉරිඟු ආනයනයට අදාළ කොන්දේසි එම බලපත්‍රයේ දක්වා තිබෙනවා. රෝග පළිබෝධවලින් තොරවීම, බීජවල ප්‍රමිතිය ආදිය එහිදී සලකා බැලෙනවා. එහිදී බඩඉරිඟු ඉල්ලුම් කරන රටින් එම රටේ පිහිටා ඇති ශාක නිරෝධායන කාර්යාලය මගින් සහතික කොට මෙරටට ආනයනය සිදුකෙරෙනවා. එම සහතිකයෙන් තොරව රටට බඩඉරිඟු ආනයනය කිරීමේ හැකියාවක් නැහැ.   


​ෙකසේ වෙතත් වරායෙන් ගොඩබාන බඩඉරිඟු තොග අප ආයතනය මගින් පරීක්ෂා කිරීම සිදුවෙනවා. එහිදී නියමිත ප්‍රමිතියට අනුගත නොවුනොත් බඩඉරිඟු ආපසු හරවා යැවීමේ අයිතිය අපට හිමි වෙනවා. නොඑසේ නම් ඒවා රට තුළදීම විනාශ කිරීමත් සිදුවෙනවා. අප එසේ සිදුකළ අවස්ථා කිහිපයක් තිබෙනවා.  


බීජ සඳහා ගෙන්වන බඩඉරිඟු බහුලව ගෙන්වන්නේ තායිලන්තය ඉන්දුනීසියාව වැනි රටවලින්. සත්ත්ව ආහාර සඳහා ගෙන්වන බඩඉරිඟු බහුලව ඉන්දියාවෙන් ආනයනය සිදුවෙනවා. ඒ හැරුණු විට බ්‍රසීලය, රුසියාව වැනි රටවලින් ද සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු ගෙන්වනවා.  


කුමන ආකාරයකින් ගෙන්වූවත් ශාක නිරෝධායන අනුමැතියෙන් තොරව ඒවා රටට මුදාහැරීම සිදුවෙන්නේ නැහැ. ලෝකයේ රටවල් එකසිය දහනවයක් ශාක නිරෝධායතනය සම්බන්ධ සම්මුතියකට එළඹී සිටිනවා. ඒ අනුව කිසිදු ආකාරයකින් හානිකර වෙන ආකාරයට භෝග ගෙන්වීම සිදුවෙන්නේ නැහැ.  


සේනා දළඹුවා බිහිකරන සලබයාට එක රැයකට කිලෝමීටර් සිය ගණනක් පියඹා යෑමේ හැකියාව තිබෙනවා. වරාය, ගුවන් තොටුපොළ කෙතරම් සම්බාධක තිබුණත් දළඹුවා පැමිණීම අපට වැළැක්වීමේ හැකියාවක් නැහැ. අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව වැනි රටවල සිට මේ වෙනවිට ලංකාව කරා සේනා දළඹුවා පැමිණ තිබෙනවා. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන දුර කිලෝ මීටර් විස්සක තිහක අගයක් ගැනෙනවා. මේ හේතුව නිසා දළඹුවාගේ පැමිණීම ස්වභාවිකව පැමිණි උවදුරක් බවට අප දැනට විශ්වාස කරනවා. ලංකාවට සේනා දළඹුවා අාක්‍රමණය වීමට පෙර ඒ පිළිබඳව අවදානම් තත්ත්වයක් අප වෙත දැනුම් දී තිබුණා. ඒ අවස්ථාවේදීම පියවර ගෙන අවශ්‍ය කටයුතු යෙදීමේ හැකියාව අපට තිබුණා. ශාක නිරෝධායනය හරහා එන ආනයනය වෙන බඩඉරිඟු ගැන අප වගකීමෙන් බැඳී සිටිනවා.  


නිරෝධායන බලපත්‍රයක් සහිතව වසරකට මෙවැනි විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් අප විසින් අානයනය කෙරෙනවා.  

 


වසරකට නැව් මගින් අානයනය කෙරෙන ශාක ආශ්‍රිත ද්‍රව්‍ය සඳහා බලපත්‍ර හතළිස් දහසක් හා ගුවන් මගින් කෙරෙන අානයන සඳහා බලපත්‍ර හැට දහසක් පමණ ශාක නිරෝධායන සේවාව මගින් නිකුත් කෙරෙනවා. අප මෙන්ම ලෝකයේ අනෙක් රටවල් ද පිරිසිදු ආහාර අපට ලබාදීමට බැඳී සිටින බැවින් ආනයනයේ දී යම් දෝෂයක් වූ බව පැවසිය නොහැකියි.  


ශාක නිරෝධායන සේවාවේ අති​ෙර්ක අධ්‍යක්ෂක වික්‍රමාරච්චි මහතා එසේ සඳහන් කළේය.  


සේනා දළඹුවා සුළඟ මගින් ව්‍යාප්ත වෙන බවත් ඕනෑම පරිසර තත්ත්වයකට අනුගත වීමේ හැකියාවක් තිබීමත් ළපටි පැළ කරල් කෑම වැඩි වශයෙන් ප්‍රිය කිරීම නිසාත් මේ දිනවල සේනා දළඹු ව්‍යාප්තිය වැඩි වී තිබෙන බවත් සේනා දළඹු ආක්‍රමණය පිළිබඳව ජාත්‍යන්තරය වාර්තා කළ තැන් සිට මෙරටට පැමිණෙන බඩඉරිඟු පිළිබඳව ශාක නිරෝධායන සේවාව අප අවධානයෙන් පසු වූ බවත් වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේය.  


සනත් එම්. බණ්‍ඩාර 


සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය ගන්නෝරුව.


බඩඉරිඟු අපගේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රධාන භෝගයක් වුවද තවමත් අප එයින් ස්වයංපෝෂිත තත්ත්වයකට පත් වී නැහැ. එම හේතුව නිසා අපට පිටරටින් බඩඉරිඟු ගෙන්වීමට සිදුවෙනවා. වැඩි අස්වැන්නක් ලැබිය හැකි ගුණාත්මක බීජ තවමත් අප රට තුළ නිෂ්‍පාදනය වෙන්නේ නැහැ. දෙමුහුන් බඩඉරිඟු බීජ යම් ප්‍රමාණයක් රට තුළ නිෂ්‍පාදනය වුවත් ගොවීන්ගේ අවශ්‍යතා සඳහා එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ප්‍රමාණවත් තරම් බීජ බඩඉරිඟු නිෂ්‍පාදනයට තාක්ෂණය සකස් කරගන්නා තුරු තවදුරටත් අපට බඩඉරිඟු ආනයනය කිරීමට සිදුවෙනවා.  


​ෙස්නා දළඹුවා ගේ සලබ අවස්ථාවේ දී එක් වතාවකට එම සලබයෙක් බිත්තර දෙසීයක් පමණ මුදාහැරීම සිදුකරනවා. දවස් දහයක් ජීවත් වන සලබයා මුළු ජීවිත කාලයේ දී බිත්තර දහසක් පමණ මුදාහැරීම සිදු වෙනවා. බිත්තරයක් පිපිරීමට දවස් තුනක් ගත වෙනවා. මෙම ව්‍යාප්තිය තුළ සේනා දළඹුවා බිහිවීම ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමක් සිදුවෙනවා.  
බීජ ඇසුරුමක් තුළ සලබයෙක් බහා එවීමට බැහැ. බිත්තරයක් හෝ එවනවා නම් එය සුරක්ෂිතව සිදුවිය යුතුයි. අබ ඇටක් හා සමාන බිත්තර පොහොර සමග මිශ්‍ර කර එවීමේ හැකියාවක් නැහැ. දවස් තුනක් ඇතුළත දළඹුවා බිහිවෙන නිසා පොහොර ඇසුරුම් බීජ ඇසුරුම් තුළ බහා මෙම උවදුර රටට ගෙන ආ බවට පැවසීම විද්‍යානුකූල නැහැ.  
සලබයාගේ පියඹා යාමේ හැකියාව කිසිදු අයුරකින් අවතක්සේරු කිරීමට හැකියාවක් නැහැ. සේනා දළඹුවා මුල් වරට ප්‍රභවය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දීයි. මේ වෙනවිට දීර්ඝ ව්‍යාප්තියක් දක්වා එය වර්ධනය වී තිබෙනවා. රටවල් හතළිස් හතරක් කිලෝමීටර් මිලියන විසිදෙකක් දක්වා මේ වනවිට දළඹුවා ව්‍යාප්ත වී තිබෙනවා.  
සේනා දළඹු ව්‍යාප්තිය අප කළමනාකරණය කරගත යුතුයි. ඒ හැරුණු විට දළඹුවා සමූල ඝාතනය කිරීමේ හැකියාවක් නැහැ. සියලු සතුන් මරා ගිනිදැමුවත් නැවත දවසක් උදාවන විට සේනා දළඹුවන් බිහි වී සිටීම වැළැක්විය හැකි වන්නේ නැහැ.  


දේශපාලනික අරමුණු සඳහා හෝ වෙනයම් කරුණු මත පදනම්ව සේනා මැඩපැවැත්වීමට හැකියාවක් නැහැ. ​ෙඩංගු මැලේරියාව වැනි රෝග මෙන්ම සේනා උවදුරටත් සම්පූර්ණ වශයෙන් මර්දනය කිරීමේ හැකියාවක් නැහැ. ඉන්දියාවෙන් සතුන් පැමිණීම වැළැක්විය හැකිවන්නේ නැහැ.  


සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

 

 

සටහන : සමන්තිකා මාධවී