සෞදිය මාලදිවයිනේ හදන මෙගා නගරය ආසියාවේ ආර්ථිකය වෙනස් කරයිද ?


 

2013 නොවැම්බරයේ අබ්දුල්ලා යමීන් මාලදිවයිනේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු සෞදි අරාබිය සමඟ පැවති සබඳතා විශාල වශයෙන් වර්ධනය වූයේය. දෙරටේ දූත පිරිස් නිරතුරුවම එම රටවල සංචාරයේ යෙදුණ අතර ඒවා හුදු සුහදතාව මත කෙරුණු සංචාර නොවීය. ඒ සියල්ල ව්‍යාපාරික හා දේශපාලනික සංචාර විය. සෞදි රජයෙන් මෙම සංචාරවලට එක් වූයේ සෞදි රජ පවුලේ සාමාජිකයන්ය. ඔවුහු මාලදිවයිනේ සංචාරය කරමින් එ් රටේ විදේශ ආයෝජන හා ව්‍යාපෘති රැසක් ඇති කිරීමට ඇති අවස්ථාව පිළිබඳව සොයා බැලූහ.

 

මාලදිවයින දූපත් 1190කින් පමණ සමන්විත රාජ්‍යයකි. ඉන් දූපත් 200ක පමණ මාලදිවයින් ජාතිකයන් වාසය කරන අතර තවත් දූපත් 100ක් පමණ සංචාරක නිකේතන සහිත කලාපයක් ලෙසින් පවතී. මාලදිවයි​ෙන් අගනුවර වන මාලේ දිවයිනට නිරිත දිගින් කිලෝමීටර 100ක පමණ ප‍්‍රදේශයක් ආවරණය කෙරෙන හිරිගල් සහිත දූපත් 26ක් පිහිටා තිබේ. මෙම ප‍්‍රදේශය හැඳින්වෙන්නේ ෆාෆු නමිනි. මෙම දූපත් පන්තියට අයත් එක් දූපතක් සාමාන්‍යයෙන් කිලෝමීටර 30ක දිගින් හා කිලෝමීටර 25ක් පමණ පළලින් යුක්තය. එකට ඇමිණූ මුතු පන්තියක් බඳු මෙම දූපත් සමූහය ලොව ධනවත්ම නගරයක් ලෙසට පරිවර්තනය කිරීමට සෞදි අරාබියානු රජය ඩොලර් බිලියන 10ක් ආයෝජනය කිරීමට එකඟත්වය පළකර සිටියේය. සෞදි රජයට අවශ්‍ය වූයේ ෆාෆු නමින් හැඳින්වෙන මාලදිවයිනේ හිරිගල් සහිත දූපත් පන්තිය මිලට ගෙන සංචාරක පාරාදීසයක් බවට පත් කිරීමය. එය සියලූ පහසුකම්වලින් සමන්විත ජාත්‍යන්තර නගරයක් බවට පත් කිරීමටද, මිලියනයක ජනතාවට පහසුකම් සැපයීමද එහි අරමුණ වී තිබේ. ෆාෆු ව්‍යාපෘතිය යටතේ මාලදිවයින් වරාය, ගුවන් තොටුපළ, සුඛෝපභෝගී මහල් නිවාස සහ සංචාරක නිකේතන රැසක් ඉදිකිරීමට නියමිතය. අති විශාල ඉස්ලාමික දේවස්ථාන රැසක් ඉදිකිරීමද, මක්කම සහ මදිනා විශ්වවිද්‍යාලවල ආගමික අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවන අනෙකුත් කාර්යයන්ය. 99 වසරක කාලයක් සඳහා සෞදි රජයට පැවරෙන මෙම දූපත් සමූහයේ ඉදිකෙ​ෙරන නව ව්‍යාපෘතියෙන් 51%ක හිමිකාරිත්වය මාලදිවයිනට පැවරෙන අතර ඉතිරිය සෞදි රජයට හිමි වෙයි.  


මාලදිවයිනට අයත් දූපත් විදේශයකට පැවරීම සඳහා වන අතුරු යෝජනාවක් මාලදිවයින් රජය විසින් සම්මත කර ගැනුණේ 2015දීය. කලින් පැවැති ව්‍යවස්ථාව අනුව මාලදිවයිනට අයත් කිසිදු දූපතක් විදේශයකට පැවරීම තහනම් වී තිබුණද නව අතුරු යෝජනාව මගින් 99 වසරකට බදු දීමට අවසර ලැබිණි.   


සෞදි රජය මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියකට ආයෝජනය කිරීමේ අරමුණ මාලදිවයිනට වැඩි අතපෙවීමක් කළ හැකි මඟක් සෙවීම විය හැකි යැයි දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. සෞදි අරාබිය ප‍්‍රකටව ඇත්තේ තෙල් නිපදවන රාජ්‍යයක් වශයෙනි. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ ආසියාවේ ආර්ථික බලවතකු බවට පත්වීමටය. සෞදි අරාබිය මාලදිවයිනට මෙතරම් ඇල්මක් දැක්වීමට ප‍්‍රධානම සාධකය වනුයේ මෙම අවශ්‍යතාව මුදුන් පමුණුවා ගැනීම විය හැකිය. එමෙන්ම ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් දිවයින්වල තම බලය තහවුරු කර ගැනීම විය හැකිය.  


පසුගිය වසරේ සෞදි රජය නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් පිළිබඳව අනාවරණය කළේය. ඔවුන් එම වැඩපිළිවෙළ නම් කර තිබුණේ ‘2030 දැක්ම‘ නොහොත් ‘විෂන් 2030’ යනුවෙනි. එහි අරමුණ බටහිර ආසියාවේ ශක්තිමත් ආර්ථික සන්ධානයක් ගොඩනගා ගැනීමය. ඩොලර් බිලියන 10ක් ආයෝජනය කරමින් ෆාෆු හිරිගල් දදූපත් සමූහය සංවර්ධනය කිරීම එම වැඩපිළිවෙළේ ප‍්‍රථම පියවර වශයෙන් හැඳින්විණි.  

 


මාලදිවයින එහි ව්‍යවස්ථාව අනුව ඉස්ලාම් රාජ්‍යයකි. එහි වැසියන්ගෙන් වැඩි පිරිසක් සුන්නි මුස්ලිම්වරුය. එතෙක් දැඩි ආගමික පාලනයකට නතු නොවුණු මාලදිවයින අබ්දුල්ලා යමීන් බලයට පත්වීමෙන් පසු ඉස්ලාම් දහම රාජ්‍යත්වයට පත්වූයේය. සෞදි අරාබියේ පවතින්නේද මෙවැනි තත්ත්වයකි. සෞදි අරාබිය සුන්නි මුස්ලිම්වරුන් බහුලව සිටින රාජ්‍යයන්ට මෙන්ම ඔවුන් වාසය කරන මුස්ලිම් නොවන රාජ්‍යයන්ටද සහය දක්වයි. එහි යටි අරමුණ වී ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් බහුල ඉරානයට බටහිර ආසියාවේ තම බලය ව්‍යාප්ත කිරීම වළක්වාලීමය.  


2015 නොවැම්බරයේදී සෞදිය හා මාලදිවයින අතර ආගමික සහයෝගීතාව වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසට මාලදිවයින් ජනාධිපතිවරයා සෞදි රජයේ ඉස්ලාම් කටයුතු භාර ඇමැති සාලෙ බින් අබ්දුල් අසීස්ගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව මාලදිවයිනට සකාට් නමින් හැඳින්වෙන ඉස්ලාමීය බදු අයකිරීමටද, ඉස්ලාම් ග‍්‍රන්ථ ඉංග්‍රීසි පරිවර්තනය කිරීමටද, මාලදිවයින් විද්වතුන්ට ඉස්ලාම් ධර්ම ප‍්‍රචාරක කටයුතුවල නිරත වීමටද අවශ්‍ය සහය ලබාදීමටද පොරොන්දු විය. සෞදි රජය මාලදිවයිනට ආධාර කිරීමට කෙතරම් කඩිනම් වූවාද කිවහොත් නොබෝ දිනකින්ම රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් එහි එවීමටද පියවර ගත්තේය. 2016 සෞදි ෂුරා කවුන්සිලයේ ඉබ‍්‍රාහිම් අල් ෂෙයික් මාලදිවයිනට පැමිණි අතර මාලදිවයිනේ ඉස්ලාමික විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා ඩොලර් 100,000 මුදලක් පරිත්‍යාග කළේය.  


සෞදි අරාබිය මාලදිවයිනේ ආගමික පුනරුදයක් ඇතිකිරීමට මෙතරම් උත්සුක වන්නේ වහ්හබිසම් නොහොත් සියවස් දෙකකට අධික කාලයක් මුළුල්ලේ සෞදි රාජ්‍යයේ ප‍්‍රචලිත ආගමික විශ්වාසය කලාපයේ අනෙකුත් රටවලද ප‍්‍රචලිත කිරීමට බැව් දේශපාලන නිරීක්ෂකයන්ගේ මතයයි.   


සෞදි අරාබිය මෙන්ම චීනයද ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් දිවයින්වලට ඇසගසා සිටිනු දැකිය හැකිය. 2014දී චීන ජනාධිපති ෂි ජින් පිං මාලදිවයිනේ සංචාරයක නිරත වූ අතර මාලේ නුවර නැගෙනහිර අන්තයේ සිට එහි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිහිටා ඇති හුලූලේ දිවයිනේ බටහිර කොටස යා කෙරෙන ‘මිතුරු පාලමක්’ ඇමෙරිකානු ඩොලර් මිලියන 210ක් වැය කොට ඉදිකිරීමට තමන් සූද‌ානම් බැව් එහිදී සඳහන් කළේය. එමෙන්ම ලාමු සහ ෆාෆු දිවයින් අතර නව ගුවන් පථයක් ඉදිකිරීමටද ඔහු කැමැත්ත පළ කොට තිබිණි. මෙලෙස මාලදිවයිනේ විවිධ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට ගන්නා උත්සාහය හමුද‌ා කඳවුරු පිහිටුවීම සඳහා වන සැලසුමක් විය හැකි බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. චීනය මෙම දූපත් පද්ධතිය දකින්නේ හූයක ඇමිණූ මුතු පෙළක් ලෙසිනි. එය තම වෙළෙඳ කටයුතු සඳහා කදිම වරාය පද්ධතියක් බැව් ඔවුන්ගේ අදහසයි.

ඔවුන්ගේ නව සේද මාවත සංකල්පය අනුව චීනයේ සිට මැදපෙරදිග දක්වා සිදුකිරීමට නියමිත වෙළෙඳ ප‍්‍රවර්ධන කාර්යයේදී මාලදිවයිනට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. චීනය ක‍්‍රමිකව ඉන්දියානු සාගරයට ප‍්‍රවිශ්ට වෙමින් සිටී. මාලදිවයිනේ යමීන් පාලනය සමඟ අත්වැල් බැඳ ගැනීමට ඔවුන් ඉදිරිපත් වී සිටින්නේ එහි එක් පියවරක් ලෙසිනි.  

 


මාලදිවයිනට අයත් භූමිය විදේශිකයන්ට පැවරීමට මාලදිවයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සහ අද‌ාලත් පක්ෂය දැඩි විරෝධයක් පළ කළහ. එම පක්ෂ මගින් විවිධ විරෝධතා රට පුරා පැවැත්වීමට ක්‍රියා කළ අතර මාලදිවයිනේ සෞදි තානාපති කාර්යාලය ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සෞදි රජයට කිසිදු භූමියක් අත්පත් කර ගැනීමට අවශ්‍ය නොවන බවයි. හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඩ් පවසා ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමට සහ තම ජනතාවගේ දිළිඳුභාවයට චීන සහ සෞදියේ අත පෙවීමද බලපා ඇති බවය. ‘ඔවුනට අවශ්‍ය වී ඇත්තේ ඔවුන්ගේ තෙල් මාර්ග සහ ආරක්ෂිත වෙළෙඳ කටයුතු සඳහා මෙන්ම නව වෙළෙඳපොළ සොයා ගැනීම සඳහා මාලදිවයින භාවිත කිරීමටයි’ යනුවෙන් ඔහු ප‍්‍රකාශ කරයි.  


මාලදිවයින් භූමිය විදේශයනට විකුණා දමන බවට විරුද්ධ පක්ෂ නගන චෝදනා ප‍්‍රතික්ෂේප කළ ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දෙල් ගයුම්, මාලදිවයිනේ බිම් අඟලක් හෝ විදේශයකට අලෙවි නොකරන බවත්, මෙය සෞදි රජයේ සහයෙන් ජනාවාසවලින් තොර දූපත් සංවර්ධනය කර විශාල නගරයක් බවට පත් කිරීමට ගන්නා උත්සහයක් පමණක් බවත් කියා සිටී.   


මාලදිවයිනේ දූපත් සමූහය සංවර්ධනය කිරීමේ මුවාවෙන් සෞදි අරාබිය සහ චීනය එහි හමුද‌ා කඳවුරු ඇති කිරීමට පියවර ගනු ඇතැයි කලාපයේ තවත් බලවතකු වන ඉන්දියාව බිය පළ කරයි. යමීන් පාලනය ඉන්දියාව සමඟ මෙතෙක් යහපත් සබඳතාවක් ගොඩ නඟා ගෙන නොමැත. සෞදි රජය විදේශ ආයෝජන යටතේ ප‍්‍රථමයෙන්ම ආරම්භ කරන ලද ව්‍යාපෘතිය වූයේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළට නව පර්යන්තයක් ඉදිකිරීමය. එම ව්‍යාපෘතිය හිමි වූයේ ඔසාමා බින් ලාඩන්ගේ පියා විසින් ආරම්භ කරන ලද බින් ලාඩින් සමූහ ව්‍යාපාරයටය. නෂීඩ් රජය පැවැති සමයේ මෙම ව්‍යාපෘතිය ලබාදීමට නියමිතව තිබුණේ එම්.ජී.ආර්. නමැති ඉන්දියානු ඉදිකිරීම් සමාගමටය.  


ඉන්දියානු බුද්ධි අංශවලට අනුව මාලදිවයින් වැසියන් සිය ගණනක් අයි.එස්. ත‍්‍රස්තවාදී කණ්ඩායම හා එක් වී ඇතැයි පැවසේ. පසුගිය පෙබරවාරියේ ආසියානු කලාපයේ රටවල් කිහිපයක මාසයක පමණ කාලයක් සංචාරයේ යෙදුණු සෞදියේ සල්මාන් රජු අවසානයේ පැමිණීමට නියමිතව සිටියේ මාලදිවයින වෙතය. දේශපාලනික හා ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම සහ කලාපීය මුස්ලිම් රටවල් අතර සබඳතා තවදුරටත් ශක්තිමක් කර ගැනීම මෙම නිල සංචාරයේ අරමුණ විය. එහෙත් අවසාන මොහොතේ එම තීරණය වෙනස් කෙරුණේ මාලදිවයිනේ සූකර උණ පැතිර ඇතැයි යන රාවයක් පැතිර ගිය බැවිනි. එහෙත් එය අසත්‍යයක් බවද ත‍්‍රස්ත බියක් හේතුවෙන් සල්මාන් රජු තම සංචාරය අවලංගු කළ බවද ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. යෙමානි ජාතිකයකු වූ යසිර් යහියා නමැති පුද්ගලයකු ත‍්‍රස්තවාදී චෝදනා යටතේ මාලදිවයින් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. ඔහු අත්අඩංගුවට ගැනුණේ සෞදි අරාබියානු රහස් ඔත්තු ඒජන්සියේ ඉල්ලීම මත යැයි රාවයක් පැතිර ගියේය. යහියා අත්අඩංගුවට ගැනුණේ ත‍්‍රස්ත සංවිධාන සඳහා මාලේ ජාතිකයන් බඳවා ගැනීමට කටයුතු කළ බැවින් යැයි පැවසූ මාලේ පොලිසිය ඔහු සෞදි අරාබියට පිටුවහල් කිරීමට පියවර ගත්තේය.  


සෞදි රජය මාලදිවයිනට මෙතරම් සහයක් දැක්වීමට ඉදිරිපත් වූයේ ඉතිහාසයේ පළමු වතාවටය. මෙම එකමුතුව සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර පවතින භේදය තවදුරටත් ව්‍යාප්ත කරවීමට සමත් වනු ඇත. ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානය සමඟ පැවැති තානාපති සබඳතා අත්හරින ලද පළමු ආසියානු රාජ්‍යය වන්නේ මාලදිවයිනය. වසර 41ක් පුරා පැවැති තානාපති සබඳතා කිසිදු පදනමකින් තොරව 2016 මැයි මාසයේදී අත්හැර දැමීමට මාලදිවයින කටයුතු කළේ සෞදි අරාබිය ජනවාරි මාසයේ ඉරානය සමඟ පැවැති සියලූ තානාපති සබඳතා අත්හැරීමේ ක්‍රියාවලිය අනුගමනය කරමිනි.  


මාලදිවයින, සෞදි රජයේ මූලිකත්වයෙන් පිහිටුවා ගන්නා ලද රටවල් 34කින් සමන්විත ත‍්‍රස්තවාදය පිටුදැකීමේ හමුද‌ා සන්ධානයට අයත් එක් රාජ්‍යයකි. එහෙත් එම සන්ධානයේ ෂියා මුස්ලිම්වරුන් බහුල රාජ්‍යය වන ඉරානය, සිරියාව හා ඉරාකය යන රටවලට ස්ථානයක් හිමිවී නොමැත. මුස්ලිම් ලෝකයේ ආධිපත්‍යය හා ඒවා අතර ඇති අර්බුදය මෙයින් ප‍්‍රකට කෙරෙන අතර ආසියානු රටවල තම ආධිපත්‍යය ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවද පෙනී යන්නකි. 

සටහන
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා