හබරණදී මැරුණේ කලාවැව රක්‍ෂිතයෙන් පැන්නූ අලි?


ඇතින්න ඉදිරිපිට යුද හමුදාව පොලීසිය පරීක්ෂණ කරන ආකාරය

 

 

හබරණ හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ වන අලින් ඝාතනය වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙද්දී මෙහි කිසිවකුත් අවධානය යොමු නොකළ දෙසකට ලැබුණු තොරතුරු මත ගවේෂණයක නිරත වෙන්නට අපට හැකි විය. 


හබරණ ප්‍රදේශයේදී ඇතින්නියන් 6 දෙනෙකු සහ එක් අලියෙකු මියගිය බව රටම දන්නා කරුණකි. එහෙත් මෙම ප්‍රදේශයට වන අලින් පැමිණියේ බොහෝ දෙනා, වන ජීවි නිලධාරීන් පවා කියා සිටියේ කලා වැව රක්ෂිතයේ සිට බවය. මෙම වන අලි රංචුව කලාවැවෙන් මරණය සොයා ආ ගමනක් බව බොහෝ දෙනා නොදනිති. මේ මියගිය වන අලින්ගේ සිරුරු පරික්ෂා කිරීමේදී කිසිදු තුවාලයක් සීරීමක් හෝ නොමැත. අඩුම තරමේ වගාබිම්වලට පැනීමේදී පරණ වෙඩි වැදීමේ සලකුණක්ද නැත. මේ සතුන් මියයන්නේ ගම් වැදීමෙන්ද නොවේ. මහා වනයක් මැදය. මේ වනයට සල්ලි සොයා මිනිසුන් පැමිණ ඇත. 


 පසුගිය පහළොස් වැනි දින කලා වැව රක්ෂිතයේ ඉතා සංවිධානාත්මක කණ්ඩායමක්, යුද හමුදාවේ සේවය කරන අයෙකු ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ උපදෙස් පරිදි කලාවැවේ තණ උලා කන වන අලින් අලි වෙඩි ගසා පන්නා දැමීම ආරම්භ කර තිබිණි. එම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කලා වැවේ තණ උලා කමින් සිටි මෙම අසරණ කිරි එරි පැටවුන් සමග සිටි කණ්ඩායමට ඉවක් බවක් නොමැතිව දස අතේ දිවයන්නට සිදු විය. 
අවසානයේ ඔවුන්ට සිදු වූයේ දින කිහිපයක් වෙනත් ප්‍රදේශවල සැරිසරමින් ආහාර ගනිද්දී ජීවිතයෙන් සමුගන්නටය. මහවන මැද තවත් කොපමණ වන අලින් ප්‍රමාණයක් මේ ආකාරයෙන් ජීවිතයෙන් සමුගෙන ඇත්දැයි යන්න කිසිවෙකුටත් කිව නොහැකිව තිබේ. මන්ද සෝදිසි මෙහෙයුම් සිදුකළ ද ඒ සෑම සෝදිසි මෙහෙයුමකටම අපට ද එක් වීමට හැකිවිය. හමුදාව වනජීවී නිලධාරීන් සමඟ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුද මේ සඳහා එක්වූහ. වනය ඇතුළත ඇති අඩිපාරවල් වන අලි ගමන් කළ පාරවල් ඔස්සේ ගමන් කළ ද එහෙත් වනය මැද අතහැරුණු ප්‍රදේශ අනන්ත අප්‍රමාණ විය. මන්ද ඕනෑම අයෙකුට මෙම වනමැද අකුල් අස්සෙන් ගමන් කිරීම දැඩි අසීරු කාර්යයකි. 
පසුගිය 15 වැනි දින කලාවැව ඉස්මත්තට පැමිණෙන කැකිරාව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ප්‍රදේශවාසීන් හා එක්ව මෙම වන අලි ගැටලුවට මැදිහත් වී සිටිය අතර ඔහු කලාවැව ප්‍රදේශවාසීන්ට කියා සිටින්නේ කලාවැවේ වන අලින් බැලීම සඳහා එන ජීප් රථවලට “ගල් පෝරියල්” එකක් ලබාදෙන ලෙසය. ඒ අනුව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් “ගල් පෝරියල්” පමණක් නොව වන රක්ෂිතයේ තණ උලාකමින් සිටි අලින්ට අලි වෙඩි දමා පලවාහැරීම කලාවැව ජාතික උද්‍යානයේ වන අලින් නැරඹීම සඳහා පැමිණි ජීප් රථ වල සිටි පිරිසට බැණ වැදී පහර දෙන්නට උත්සාහ කරමින් හරවා යැවීම, වනජීවී නිලධාරීන්ට පහර දීමට උත්සාහ කිරීම පමණක් නොව කලාවැව ජාතික උද්‍යානය එදින සිට මේ දක්වාම වසා දැමීමට මෙම දේශපාලන බලයට හැකිවීම විශේෂත්වයකි. 


කලාවැව අවට රක්ෂිත සියල්ල මේ වනවිට ජනතාව අත්පත් කරගෙන ගොවිතැන් කරති. මේ කාලාන්තරයක් සිටි වන අලින්ගේ වාසස්ථාන සියල්ල දැන් ජලයෙන් ද යටකර මිනිස්සු හා වන අලින් අතර තරහක් නිර්මාණය වී හමාරය . 
අවසානයේදී සිදුවූයේ හැමදාමත් කලාවැවේ තණ උලා කමින් සිටි මෙම වන අලි රංචුවෙන් කොටසක් කලා වැව රක්ෂිතයේ සිට කිලෝමීටර් විසිපහකට පමණ ඈතින් පිහිටි තුන්බිකුලම රක්ෂිතය ප්‍රදේශයට ගොස් තම ජීවිත පූජා කරන්නටය. 
මෙම වන අලින් මිය ගිය ප්‍රදේශ තුළ මහලොකු ගොවිතැන් දක්නට නොලැබිණි. කරත්ත, සෆාරි, විදේශිකයන්ට ආහාර දීම ආදී වෙනත් ක්‍රියාකාරකමක් එහි දක්නට විය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් එම භූමි ප්‍රදේශය මේ වන විටත් සංචාරක කර්මාන්තය සඳහා ජනතාව අත්පත් කරගෙන හමාරය. කිසිදු ඉවක් බවක් නැතිව සැලසුම් ක්‍රමවේදයක් නොමැතිව ජනතාව සිය ජීවන උපාය ලෙස කරත්ත සෆාරි ඔරු, සෆාරි සහ ග්‍රාමීය ආහාර පාන විදේශිකයන්ට ලබා දීම මහ වන මැද වන අලින් පෙන්වීම ආදී ක්‍රියාකාරකම් මෙම කැලෑව මැද සිදුවන බව අනාවරණය වෙන්නේ ද මෙම වන අලින් ජීවිතක්ෂයට පත්වූ සිද්ධියත් සමගය. 
එම රක්ෂිතවල ජීවත්වන ජනතාව හැඬූ කඳුළින් කියා සිටියේද මේ ප්‍රදේශයේ අලින් කීපදෙනකු සැරිසැරුවද එකවරම විශාල අලි රංචුවක් පැමිණි බවය. කිසිදු දිනයක තම ප්‍රදේශයේ අලියකු මරා දමා නැති බවය. අලින් නිසා හබරණ ප්‍රදේශයේම බහුතර ජනතාවක් ජීවත්වෙන බවය. දරුවන්ට කන්නට දෙන බවය. 
කලා වැවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සහ “ගල් පෝරියල්” ලබාදීමේ මෙම සිද්ධිය ඇත්තද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළෙමු. 


ඒ මහතා හැසිරෙන ආකාරය සංචාරකයන්ට ගල් පෝරියල් දෙන ලෙස අණකිරීම ආදී වීඩියෝ පට හා හඬ පට රැසක් මේ වෙනවිට පරිසර සංවිධාන කීපයක් එක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට සුදානම් කරමින් සිටින අතර ඒවා මාධ්‍ය වෙතද නිකුත්කර තිබේ. 
අප කළ විමසීමේදී චන්දිම ගමගේ මහතා මෙසේද පැවසීය. 
 “ඔය අලි මැරිච්ච සිද්ධියට මගේ කිසිම සම්බන්ධතාවක් නෑ. ඕන්නං පරීක්ෂණයක් කරලා බලන්ඩ. එක එක එන්.ජී.ඕ කාරයෝ තමයි මේවා කියන්නේ සල්ලිවලට වැඩකරන අය හැබැයි ගමේ මිනිස්සු මට ඇවිල්ලා කිව්වා අලි වැටවල් කඩලා ජීප්රථ දාලා අලි පෙන්නනවා කියලා වනජීවි එකේ අයත් එක්ක එකතු වෙලා. එතකොට ගමේ මිනිස්සුන්ට ඉන්න විදිහක් නෑ. අලි ගම් වදිනවා. ඒ අයගේ ගොවිතැන් විනාස කරනවා. ගෙවල් කඩලා දානවා. එතකොට පාරම්පරිකව හිටපු සියල්ල අහිමි වෙලා ගිහිල්ල තියනව. ඒ නිසා තමයි මම මිනිස්සුන්ට කිව්වේ මේකෙ බේරුමක් නැති තැන. මොකද විශාල කුඹුරු ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ තියෙනවා. ඒව කාලා ගියාම මිනිසුන්ට පිටරටින් කන්නද කියන්නේ. ඒ නිසා මේක මහා විනාසයක්. කලාවැව ජාතික උද්‍යානයට වාහන දාල වැට කඩලා. අලි වෙඩි ටික හරියට දෙන්නේ නෑ. ඒ නිසා මම වයඹ වනජීවී අධ්‍යක්ෂකවරයාට කතා කරලා කිව්වා අලි වෙඩි ටික පොලීසියට බාරදීලා පොලීසියෙන් බෙදන්න කියලා. මේ සම්බන්ධයෙන් මගේ කිසිම සම්බන්ධතාවයක් නෑ. ඕන පරීක්ෂණයක් කරල බලන්න රාජ්ය නොවන සංවිධාන අයට ඕන චෝදනාවක් කරන්න පුළුවන්. සල්ලි වලට පිටරට සල්ලි වලට තමයි වැඩ කරන්නේ හැබැයි අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. මේ අලි මිය ගිහිල්ලා තියෙන්නෙ කොහොමද කියලා ඕන පරීක්ෂණයක් කරලා බලන්න එක වරම සත්තු මැරිලා තියෙන්නේ හරියට සයිනයිට් දුන්න වගේ කියල තමයි ආරංචිය තියෙන්නේ එතකොට ඒව තියෙන්නෙ අපි ළඟද? කොහොමද මිනිස්සු හොයාගන්නේ අහිංසක මිනිස්සු ඒවා දැකලත් නැහැ. මේවා රටේ ප්‍රශ්න ඇතිකරන්න සැලසුම් කරන දේවල්. ඉතාමත් සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්.” 


කලාවැව ඉස්මත්තේ නිරන්තරයෙන්ම වන අලින් සමග ජීවත්වන අනුර කුමාර නොහොත් “අලි කුමාර” නමින් හඳුන්වන මහතා අප සමග මෙසේ පැවසීය. 
 “කලාවැව ජාතික උද්‍යානය ආසන්නයේම අපි ඉන්නේ වසර ගණනාවක ඉඳලා. මේක ඉතාමත් සැලසුම් සහගතව උද්‍යානය වහලා දාන්න කරන කුමන්ත්‍රණයක්. මොකද මම එහෙම කියන්නේ දැන් මාස ගණනාවක් ඉඳලා කලාවැව සම්පූර්ණයෙන්ම ඉබ්බංකටුව ජලාශයෙන් වතුර ගෙනල්ල පුරවනවා. එදා තණ බිමේ උලා කකා හිටපු අලින්ට ඉන්න තැනක් නැති වුනා. කන්න දෙයක් නැති වුණා. අදටත් හිතාගන්න බැරි විදිහට කලාවැව සම්පූර්ණයෙන් පුරවල තියෙන්නේ. ඉබ්බංකටුව ජලාශයේ විදුලි උත්පාදනය කිරීම සඳහා කියලා රෑ වතුර දෙනවා. ඒ වතුර ඔක්කොම එන්නේ කලාවැවට, බළලුවැවට. හැබැයි මෙයාල කවදාවත් හිතන්නේ නෑ අලින් තුන්සියයකට පමණ ආසන්න පිරිසක් මේකේ ජීවත් වෙනවා කියලා අද වන විට අඩුම තරමේ අලි බලන්න එන සෆාරි ජීප් රථයකට කලාවැවේ ගමන් කරන්න බැරි තත්ත්වෙටම වතුර පිරෙව්වා. මේක කිසිම කෙනෙක් හොයල බලන්නෙ නැති එකක්. මේ අහිංසක සත්තුන්ට කන්න නැතිවෙනකොට කොහේ හරි ගිහිල්ලා කන්න හොයාගෙන යනවා හැබැයි අවසානයේදී වහ කාලා මේ අහිංසක සද්දන්තයෝ මැරෙනවා. මේක තමයි තිත්ත උනත් ඇත්ත.” 
කලාවැව ජාතික උද්‍යානය දැනට වසාදමා ඇතිබව වනජීවි රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ මහතාවත් නොදන්නා බව අප සමග පැවසීය. එමෙන්ම මේ අලින් මියයාමේ සිද්ධිය ද දින කීපයක් ගතවනතුරු ජනමාධ්‍ය මගින් දැනගන්නා තුරු ඇමැතිවරයා හෝ තමන්ව දැනුම්වත් නොකර සිටීමට වනජීවි අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස පියවර ගෙන තිබුණු බවද ඒ මහතා පැවසීය. 
කලාවැව ජාතික උද්‍යානය දැනට වසාදමා තිබීම ගැන අප විමසීමක් කළේ වයඹ කලාප භාර වනජීවී අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. වේරගම මහතාගෙනි. 
 “එතන ගැටුමක් ඇතිවෙලා තියෙන නිසාත් වැවට වතුර පිරිලා තියන නිසා තමයි තාවකාලිකව වසා දැම්මේ. අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ උපදෙස් පරිදි. මට ඉන් එහාට දෙයක් කියන්න බැහැ මම අසනීපෙන් ප්‍රතිකාර කරන්න ඇවිත් ඉන්නේ.” 


අලි මරණවල පරීක්ෂණ තත්ත්වය සහ ගතවූ දිනවල සිදුවූ ක්‍රියාකාරකම් 
 28 වැනි දින වන විට ඇතින්නියන් හය දෙනෙකුගේත් එක පිරිමි සතෙකුගේත් මළ සිරුරු හබරණ තුම්බිකුලම රක්ෂිතය පුරා විසිරී තිබියදී සොයා ගැනීමට යුද හමුදාව, වනජීවී නිලධාරීන්, හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන්ට හැකිවී තිබිණි. 
මෙම ඇතින්නියන් යම්කිසි විසක් රසායනික ද්‍රව්‍යක් ශරීර ගත වීමෙන් මියගිය බවට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බවත් එහෙත් නිශ්චිත වශයෙන්ම කුමන විසක් ශරීරගත වුණේ ද?, කුමන ආකාරයෙන් මෙම විස ශරීර ගත වුණේ ද? එසේත් නොමැති නම් මෙම ඇතින්නියන් ගේම සිරුරෙන් විසක් ග්‍රහණය වුණේ ද? යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බව සීගිරිය වනජීවි අඩවි ආරක්ෂක චන්ද්‍රා බණ්ඩාරනායක මහතා කියා සිටියේය. 
මෙම සිද්ධිය පසුගිය 27 වැනිදා සැලවීමත් සමඟ වනජීවී නිලධාරීන් සමග වනයට මාධ්‍යවේදීන් කණ්ඩායමට ද ගමන් කිරීමට හැකිවිණි. හබරණ නගරයට කිලෝ මීටරයක් පමණ දඹුල්ල දෙසින් හිරිවඩුන්න වැව පිහිටා තිබේ. මෑත කාලයේ හිරිවඩුන්න වැව සහ තුන්බිකුලම රක්ෂිතයේ විශාල වශයෙන් විදේශීය සංචාරකයන් ගැවසෙන ප්‍රදේශයක් බවට පත් වී තිබේ. කරත්ත සෆාරි ගමන් කිරීම හිරිවඩුන්න වැවේ ඔරු පැදීම රක්ෂිතය තුළ කූඩාරම් අට්ටාල ගසා ඒවායේ සංචාරකයන් ලැගුම් ගැනීම බහුලව ක්‍රියාත්මක වේ. එමගින් විශාල ජනතාවක් සිය ජීවන වෘත්තිය ද සිදුකර ගෙන යති. 

මියගිය ඇතින්නියක් දෙස දැඩි කම්පාවෙන් යුතුව බලා සිටින ගම්මුන් පිරිසක්

 මියගොස් වැටී සිටියදී සොයාගත් තවත් මව් ඇතින්නක් 

 


මෙම ප්‍රදේශයට යන විට ඇතින්නියන් මියගොස් තිබූ ආකාරය දැක ගැනීමට හැකි විය. තවදුරටත් මාධ්‍යවේදීන් කණ්ඩායමට නිරීක්ෂණය කිරීමේදී දැකගැනීමට හැකිවූයේ මෙම ඇතින්නියන් බොහෝ දෙනෙකුගේ වලිගේ අග කොටසේ තිබූ කෙඳි කොටස් යම්කිසි පිරිසක් හෝ පුද්ගලයෙකු ගලවාගෙන ගොස් තිබෙන ආකාරයයි. 
සීගිරිය වනජීවි අඩවි ආරක්ෂක චන්ද්‍රා බණ්ඩාරනායක මහතා මේ අලි මරණ ගැන වනජීවි දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමත් සමග ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව තවත් වනජීවි කණ්ඩායම් යුද හමුදාවේ පොලිසියේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව 28 දින ද මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට වූහ. 
එහිදී බොහෝ දෙනෙකුගේ හද කම්පාවන දර්ශනය බවට පත්වූයේ කුඩා, වයස අවුරුදු හතරක් පමණ වූ අලි පැටවෙකු මිය ගිය සිය අම්මා අසල රැඳී සිටිමින් සිය මව නැගිට්ට වීම සඳහා දරන උත්සාහයයි. මෙම පැටවා තණකොළ කැබලි රැගෙනවිත් මවට කැවීමට උත්සාහ කිරීම මියගිය මවගේ කිරි උරාබීම මවගේ සිරුරට පහරදෙමින් නැගිට්ටවීම සඳහා උත්සාහ කිරීම එමෙන්ම ඇතින්න ළඟට කිසිවෙකුටත් ළඟා වීමට ඉඩ ලබා නොදී පහරදීමට උත්සාහ කරමින් සිටීම බොහෝ දෙනකුගේ අවධානයට යොමු විය. 
එම ස්ථානයට පැමිණි වනජීවි පශු වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය දිනුෂා ද සිල්වා මෙනවිය වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කරද්දී ද හමුදාව ප්‍රදේශවාසීන් වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් පහකට බෙදී රක්ෂිතයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. 
පොළොන්නරුව කලාප භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.පී. වික්‍රමසිංහ මහතා ඉදිරි පරීක්ෂණ ගැන දැක්වූයේ මෙවන් අදහසකි. 


“අපට එක පාරටම කියන්න බැහැ මොකද්ද සිද්ධවෙලා තියෙන්නෙ කියලා. මෙවැනි සිද්ධියක් මීට පෙර ලංකාවේ වාර්තා වෙලා නැහැ. වස විස දීලා අලින් මැරිච්ච සිද්ධීන් වාර්තා වෙලා තිබුණත් අබිරහස් ලෙස මේ ආකාරයෙන් ඇතින්නියන්ම පමණක් මියගොස් තිබෙන සිද්ධි වාර්තා වෙලා නැහැ. කෙසේ වෙතත් අපි අංශ කිහිපයකින් මේ ගැන පරීක්ෂණ ආරම්භකරනවා. මරණ පරීක්ෂණය පවත්වන්න කියලා වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දුන්නා ඒ අය ශරීර කොටස් ​මේ වන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට තිබෙනවා. අපි එම වාර්තාව ලැබුණහම තීරණය කරනවා ඒ ඉදිරි කටයුතු මොකද්ද කරන්නෙ කියලා. එතෙක් අපි අංශ කිහිපයකින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යනවා. පොලිසියේත් යුද හමුදාවේත් සහයෝගය ලබාගන්නවා.” 


පරිසරවේදී සුජීව ජාසිංහ මහතා කියා සිටියේ බොහෝදුරට වන අලින් සැරිසරද්දී රංචු පිටින් සැරිසරනු ලබන්නේ ඇතින්නියන් පමණක් බවය. ඔවුන් පැටවුන් සමග එක රංචුවට සිටින බවත් බොහෝ දුරට පිරිමි අලින් එම රංචුවේ නොසිටින බවය. වර්ගයා බෝ කරන කාලයට පිරිමි සතුන් කිහිප දෙනෙකු එම රංචුවට පැමිණෙන බවත් පසුව පිරිමි සතුන් රංචුවෙන් වෙන් වී යාම අලින් පිළිබඳව සිදුකරන නිරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය. ඇතැම්විට මෙම රංචුවේ ඇතින්නියන් පමණක් සිටීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය. 
මෙම ඇතින්නියන් ඝාතනය වුණා ද එසේත් නොමැති නම් යම් කිසි ස්වභාවික අනතුරකට පත් වුණාද එසේ නොමැතිනම් කුමන ආකාරයකට මිය ගියාද යන්න ගැන දැනගැනීමට අද මුළු රටම බලා සිටිති . 

 

 

සටහන - ඡායාරූප දඹුල්ල 
කාංචන කුමාර ආරියදාස