දෙවැනි ලෝක යුද්ධ සමයේ සිට හටගත් හාල් අර්බුදය නිසා ලංකාවට පිටරටින් හාල් ගෙන්වන්නට සිදුවිය. මෙම සහල් ජනතාව අතර බෙදා දුන්නේ සෑම පවුලකටම කූපන් පොතක් ලබාදී සලාක ක්‍රමය මගිනි.
සහල් මිල ඉහළ දැමීමට විරෝධය පාමින් ප්‍රථමයෙන්ම ඉල්ලා අස්වූ ඇමැතිවරයා මෛත්‍රීපාල සේනානායක මහතාය. 1952 සැප්තැම්බර් 3 දා ඔහු ඉල්ලා අස්විය. ඩඩ්ලි සේනානායක මහතාගේ දෙවැනි කැබිනට් මණ්ඩලයේ (1952 ජූනි 15) මෛත්‍රීපාල සේනානායක මහතා ස්වදේශ කටයුතු ඇමැතිවරයා විය.
1953 දී ජේ.ආර්. ලෝක බැංකුවේ උපදෙස් මත අයවැයෙන් හාල් මිල වැඩි කිරීම නිසා රට පුරාම හර්තාලයක් ඇති විය. හර්තාලය මර්දනය කිරීමේදී නව දෙනකු වෙඩි වැදී මිය ගියේය. රටේ අගමැති ඉල්ලා අස්වී ගෙදර ගියේය. ඡන්දයේදී ආණ්ඩුව පරාජයට පත්වූහ.
නැවත දේශපාලනයට ආ ඩඩ්ලි සේනානායක 1960 අප්‍රේල් 06 දා පිහිටවූ ආණ්ඩුවේ රාජාසන කතාවේදී හාල් සලාක පොතට සේරුව සත 25 බැගින් ලබා දුන්නේය. පසු කලෙක සේරුවක් නොමිලේ ලබා දුන්නේය. එහෙත් ඊළඟ මැතිවරණයේදී ඔහු පැරදුණේය.
හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා යැයි කියමින් පොරොන්දු දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වගා සංග්‍රාමයක් ඇතිකොට වවාගෙන කාපල්ලා යැයි කීවාය. හාල් දීම කෙසේ වෙතත් සතියේ දින කීපයක් හෝටල්වල බත් කෑම තහනම් විය. රටේ ජනතාව හාල් පොත් උගසට තබන කාලයක් උදාවිය. පාන් පෝලිම් රට පුරා දක්නට ලැබුණි. තමාගේ කුඹුරේ අස්වැන්නවත් එහා මෙහා ගෙනයාම තහනම් විය. ජේ.ආර්. ජයවර්ධන සෑම පුරවැසියකුටම ධාන්‍ය රාත්තල් අටක් ලබා දෙන බව කියමින් ඊළඟ ඡන්දය දිනා ගත්තේය. විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කළ ඔහු රට රටවලින් ඕනෑ තරම් බඩු ගෙන්වීමට අවසර ලබා දුන්නේය. ඇට අට අමතක වූ මිනිස්සු රට බඩු පසුපස ගියෝය.
බටහිර ජාතීන්ගේ පැමිණීම
එදා ලංකාවේ දේශගුණික හා භූ විෂමතාවන් අනුව අපේ මුතුන් මිත්තෝ පුරුදුව සිටියේ කෘෂිකාර්මික ආර්ථික ක්‍රමයකටය. ඒ අනුව සහල් පිටරට යැවීමට තරම් හැකියාවක් ඔවුන්ට තිබුණි. සිංහල රජ දවස තිබූ ශක්තිමත්, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය ප්‍රථමයෙන්ම බිඳ වැටුණේ අධිරාජ්‍යවාදීන්ගේ වාණිජ වැවිලි ව්‍යාපාරය පැතිර යාම නිසාය.
අනාදිමත් කාලයක් තිස්සේ ගොවියාගේ අතට හුරු පුරුදුව තිබුණ උදැල්ල අතහැර කෝපි වත්තේ, තේ වත්තේ, රබර් වත්තේ කම්කරුවකු බවට පත්විය. කුඹුරු හේන් අඩකින් පාළුවට ගියේය. පාරම්පරික උරුමයන් අමතකකොට ආහාර සෙවීම නොව මුදල් සෙවීමට පටන් ගත්හ. කුඹුරු ගොවිතැන් අඩුවීමේ පාඩුව වඩාත්ම දැනුනේ ලෝක මහා යුද්ධවලදීය. දෙවැනි ලෝක යුද්ධය අවසන් ෙවනවාත් සමගම ලංකාවේ ආහාර හිඟය උග්‍රවන්නට පටන් ගත්තේය.
දෙවැනි ලෝක යුද සමයේ බුරුමයෙන් ලංකාවට ලැබෙන්නට නියමිතව තිබුණ හාල් ටොන් පන් ලක්ෂය නොලැබී යාම නිසා මේ තත්ත්වය උදාවූ බව 1947 ජූලි මාසයේ යටත් විජිත මහලේකම් කාර්යාලයේ ආහර උපදේශක ඩබ්.එම්. ක්ලයිඩ් වාර්තාවක් එළි දක්වමින් සඳහන්කොට තිබුණි. ලාංකික ජනතාව කුසගින්නේ මියයාමට තිබූ ඉඩකඩ ඇහිරී ගියේ ඕස්ට්‍රේලියාව නිසි වේලාවට ඉදිරිපත් වූ නිසාය.
බ්‍රිතාන්‍යයේ විගණකාධිපතිවරයකු ලංකාවට පැමිණ ලංකාවේ පවත්නා උග්‍ර ආහාර ගැටලුවට ආධාර ඉල්ලන්නට මූල්‍ය ලේකම් ලෙස ඔලිවර් ගුණතිලක මහතා වොෂින්ටනයට යැව්වේය.
ලංකාවේ ප්‍රථම වරට හාල් ඉල්ලා පිටරටකට ගිය ප්‍රථම නියෝජිතයා ඔලිවර් ගුණතිලක මහතාය. ඒ නිදහස ලැබෙන්නට පෙර යටත් විජිත සමයේ සුද්දාගේ නියෝජිතයකු වශයෙනි. එහෙත් ඇමෙරිකාව සහල් ආධාර ලබා දුන්නේ නැත. ඔවුන් කියා සිටියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තමන්ගේ යටත් විජිතවලට දක්වන සැලකිල්ල මදි බවයි. මේ කාලයේ ලංකාවේ ජනගහනය හැටහය ලක්ෂ පනස්දහස් අටසිය විසිපහකි (1946 මාර්තු සංගණනය) ආතර් වී දියෙස් මහතා තම කොස් වගාව ගැන රට පුරාම ප්‍රචාරය කරන්නට පටන් ගත්තේ මේ කාලයේදීය.
1948 ජනවාරි නව වැනිදා බුරුමයේ නිදහස් උළෙලට පාර්ලිමේන්තු සභා නායක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් සයිමන් අබේවික්‍රම මහතාත් සහභාගි වූහ. එහිදී ලංකාවට අවශ්‍ය සහල් ලබාදීමට බුරුම රජය එකඟ විය. ලංකාවේ දෙවැනි වරට සහල් ඉල්ලා පිටරටට ගියේ බණ්ඩාරනායක මහතාය. එහෙත් ඔහු ඒ ගමන ගියේ බුරුමයේ නිදහස් උළෙලට සහභාගිෙවන මුවාවෙන්ය.
චීන ලංකා සහල්, රබර් ගිවිසුම
1953 සිට ඉස්තරම්ම හාල්වලින් ටොන් 300,000 ක් ලංකාව චීනයෙන් මිලදී ගැනීමටත්, චීනය ලංකාවෙන් වසරකට ෂීට් රබර් ටොන් 50,000ක් මිලදී ගැනීමටත් දෙරට අතර ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගත්තේය. 1952 ඔක්තෝබර් 05 දා පීකිං වලදී චීන සහල් හා ලංකා රබර් ගිවිසුම පිළිගත්තේය. මෙය ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් විය.
1952 මහ මැතිවරණයේදී ජයග්‍රහණය කළ ඩඩ්ලි සේනානායක මහතාගේ දෙවැනි කැබිනට් මණ්ඩලය 1952 ජුනි 19 වැනිදා දිවුරුම් දී වැඩ බාර ගත්හ. එහි වානිජ හා වෙළෙඳ ඇමැති වූයේ ආර්.ජී. සේනානායක මහතාය. ගිවිසුම අත්සන් කිරීමට ගියේ ආර්.ජී. සේනානායක ලංකාව උග්‍ර සහල් හිඟයකින් පෙළුන විටකදීය.
ගිවිසුමේ සාරාංශය මෙසේ විය.
ගිවිසුමේ කාලය වසර පහක් විය යුතුය. අවුරුද්දකට වරක් ඒ වසරේ සහල් මිල ගණන් චීනයත් ලංකාවත් නියම කරනු ඇත. මේ අතරතුර කාලය තුළ රබර් මිල සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ලංකාණ්ඩුව ඉල්ලීමක් කළහොත් හාල් සම්බන්ධයෙන් චීනය කරන ඉල්ලීම ද සලකා බලන්නට ලංකාණ්ඩුව එකඟ විය යුතුය.
දෙරට ආණ්ඩු විසින් මිල සම්බන්ධයෙන් තීරණය කිරීමෙන් පසු ඇරඹෙන පළමුවැනි වසරේ හාල් මිල චීන වරායේදී ටොන් එකකට පවුම් පනස් හයක් (රුපියල් 760ක්) පමණ විය යුතුය.
රබර් යෝජනා වශයෙන් 1953 වර්ෂයේ පටන් පස් වර්ෂයක් තුළ වසරකට ෂීට් රබර් ටොන් 50,000 බැගින් ලංකාවෙන් මිලයට ගැනීමට චීනය එකඟවන අතර මේ ප්‍රමාණය පැටවීමට ලංකාණ්ඩුව බලය දීමට එකඟ විය යුතුය. ෂීට් රබර් සිංගප්පූරුවේ විකුණන සාමාන්‍ය ගණනට වැඩි මුදලක් ගෙවීමට චීන ආණ්ඩුව එකඟ වෙයි.
අවුරුද්දකට වරක් ඒ අවුරුද්දේදීද මිල ගණන් චීන ආණ්ඩුවත්, ලංකාණ්ඩුවත් මිල නියම කරනු ඇත. මේ අතරතුර ලෝක වෙළෙඳපොළේ (එනම් සිංගප්පූරුවේ) නියම කර ගන්නා මිලට වඩා වැඩි වුවහොත් ෂීට් රබර් සඳහා අලුත් මිලක් නියම කර ගැනීම සඳහා චීන ආණ්ඩුව එකඟ විය යුතුය. මෙසේ දෙවනුව ඒ ගැන සලකා බලන්නේ ලංකාණ්ඩුව ඒ පිළිබඳ ඉල්ලීමක් කළොත් පමණි.
දෙරට ආණ්ඩු දෙක විසින් රබර් ෂීට් පිළිබඳ ගිවිසුම වලංගුවන දිනයේ පටන් ඇරඹෙන වර්ෂයේ ෂීට් රබර් මිල කොළඹදී රාත්තලක් පැන්ස 32ක් (රුපියල් 1.75ක් පමණ) ගෙවිය යුතුය.
එවකට කැබිනට් මණ්ඩලයේ ළාබාලම ඇමැතිවරයකු නිසා චීන ලංකා දූත ගමනක් යැවීමට ආර්.ජී. මෝරා නැතැයි කැබිනට් මණ්ඩලයේ වැඩිහිටියෝ කීවෝය. දකුණු අතින් හැරමිටිය ඇන ඇන නොන්ඩි ගසමින් ආර්.ජී.ගේ නායකත්වයෙන් යුත් ලංකා නියෝජිත පිරිස ආපසු ආවේ ලංකාවේ හාල් හිඟය සම්පූර්ණයෙන්ම තුරන් කරමිනි. බුරුමයෙත් සහල් නොතිබුණ නිසා ඊළඟ මාසයේ සිට ලංකාවට හාල් ලැබෙන්නට විය.
හාල් මිල වැඩි කිරීම හා හර්තාලය
පියාගේ ඇවෑමෙන් අගමැති පදවියට පත්වූ ඩඩ්ලි සේනානායක මහතා 1952 අප්‍රේල් 08 දා මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුකාරවරයාට උපදෙස් දුන්නේය. 1952 මැයි පැවැති මැතිවරණයෙන් එජාපය ආසන 54ක් දිනා ගත්තේය. 1952 ජූනි 19 දා දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමැති වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාය.
මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය සකස් කළේ ලෝක බැංකුවේ පාලකව සිටි ඇමෙරිකන් ජාතික ජෝන් ඇක්ස්ටර් මහතාගේ උපදෙස් මතය.
මේ අයවැය ලේඛනයෙන් එදා සත විසිපහට තිබූ හාල් සේරුව සත 70 දක්වා වැඩි විය. තැපැල් මුද්දර ගාස්තු, දුම්රිය බස් රිය ප්‍රවාහන ගාස්තු වැඩි විය. පාසල් සිසුන්ගේ නොමිලේ දිවා ආහාරය නතර කිරීම සිදුවිය. වාමාංශික පක්ෂ විසින් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා හර්තාලයක් සංවිධානය කරන ලදී. සම සමාජ පක්ෂය මුල් පියවර තැබුවේය. ලංකා කොමියුනිස්ට් පක්ෂය, විල්පවවාදී සමසමාජ පක්ෂයද හර්තාලයට එක්වූහ.
ගස් කපා පාරවලට දැමීමෙන් ගම්බද පවා ගමනාගමනය ඇණහිටියේය. ඇතැම් ප්‍රදේශයන්හි මහාමාර්ගවල ගමනාගමනයට ඉඩ නොදී මහ පාරේ පිරිස් පැදුරු එළා ලිප් බැඳ බත් උයා කමින්, රබන් ගසමින්, සැණකෙළි පැවැත්වූහ. කඩසාප්පු, කර්මාන්ත ශාලා, කොම්පැණි, රජයේ ආයතන ඉබේම වැසී ගියේය. දුම්රිය මාර්ගවල රේල් පීලි ගලවා දමා තිබුණි. රට පුරාම කළුකොඩි විය. ජනතා රැස්වීම්, පෙළපාළි පවත්වමින් ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් 1953 අගෝස්තු 12, 13 දෙදිනම හර්තාල් පැවැත්වූහ. හර්තාල් දිනයට කලින් අගෝස්තු 10, 11 දිනවල කොළඹ ගාල්ල, අම්බලන්ගොඩ, කළුතර, රත්නපුරය, බදුල්ල යන ප්‍රධාන නගරවල හර්තාල් රැස්වීම් පැවැත්වුණි.
සවුත්වෙස්ටන්, ලංකාමාතා, පී.එම්.ටී. මූණගම, අකුර, හයිලෙවල් බස්, ගාමිණි යන බස් සමාගම් සේවකයෝ වැඩ වර්ජනය කළෝය. රික්ෂෝ සහ කරත්ත කරුවෝ සේවයෙන් ඉවත් වූහ. ට්‍රෑම් හා ට්‍රොලි බස්, දුම්රිය සේවාද නතර විය.
රජය වහාම ක්‍රියාත්මක වන අයුරින් හදිසි නීතියත් ඇඳිරි නීතියත් පනවා හර්තාලය මර්දනය කළේය. මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක විය.
හර්තාලයට සම්බන්ධ වූ කම්කරුවන් නව දෙනකු පොලිසියේ හා යුද හමුදාවේ වෙඩි පහරට බිලිවූහ. පිටකොටුවේ එඩ්වින්, රත්ගම ඇල්බදුගේ අල්විස්, ඌරාගහ එස්.එම්. රූබල්, දොඩන්දූවේ ටී.එම්. පනාගොඩ, දොම්පේ ඇන්.කේ.ඒ. ජයසේන, ඇස්.කේ.ඒ. වික්‍රමසිංහ, කේ.ඒ. මැන්දිස්, මෝදර ඩග්ලස් නිකුලස්, කිරුළපන ටී. සිරිසේන යන අය හර්තාලයට දිවිදුන් වීරයන් ලෙස ඉතිහාසයට එක්වූහ.
හර්තාල් නඩු 96ක් විභාග කෙරුණි. ඒවා අවසන් වූයේ 1955 ජුනි 16 දාය. මේ නඩු සියල්ලටම කොල්වින්ගේ අධීක්ෂණයෙන් ඔහු හා පක්ෂයේ නීතිඥයෝ නොමිලේ පෙනී සිටියෝය.
අර්බුදකාරී තත්ත්වය යටපත් වුවද හර්තාලයේ දෝංකාරයෙන් රජය දෙදරා ගියේය. විරුද්ධ පක්ෂයට මුහුණදීමට පවා ඩඩ්ලි සේනානායක මහතා අපොහොසත් විය. මියගිය අය පිළිබඳ කම්පනය සේනානායක මහතාට දැරිය නොහැකි විය. ඩඩ්ලි කල්පනා කළේ සියලු මරණවලට තමා වගකිව යුතු බවයි. 1953 සැප්. 10 ඔහු ඉල්ල අස්විය.
ඩඩ්ලිගෙ නොමිලේ සේරුව හා මැතිනිගේ හඳෙන් හාල් ගෙනදීම
1964 දෙසැම්බර් අවසානය වනවිට ලංකාවේ එක් පුද්ගලයකුට සහල් සලාකයක් ලෙස සත විසි පහ බැගින් හාල් සේරු දෙක බැගින් ලබාදෙමින් තිබුණි. 1965 මාර්තු 27 දා පිහිටුවා ගන්නා ලද ඩඩ්ලි සේනානායක රජයෙන් එක් පුද්ගලයකුට නොමිලේ හාල් සේරුවක් බැගින් දීමට කටයුතු කළේය. මෙයින් සහල් සහනාධාරය යම් දුරකට කප්පාදු කිරීමක් සිදුවිය. එසේ කටයුතු කළේ ලංකාවට සහල් ගෙන්වනු ලැබූ චීනය, තායිලන්තය, බුරුමය යන රටවල වී අස්වැන්න දරුණු ලෙස පහත වැටීම හේතුවෙන් ලෝකයේම දැඩි සහල් හිඟයක් ඇති වූ නිසාය.
ආණ්ඩුවට පහර ගසන්නට හේතු සොයමින් සිටි විපක්ෂයට මෙය කදිම තුරුම්පුවක් විය. විපක්ෂය ප්‍රකාශ කර සිටියේ ඔවුන්ට බලය ලබාදුනහොත් හාල් සේරු දෙකම නොමිලේ ලබාදෙන බවයි. 70 මැතිවරණ වේදිකාවේ සමගි පෙරමුණු රජයේ සටන් පාඨය වූයේ හාල් සේරු දෙකයි. සමගි පෙරමුණට නොමිලේ හාල් සේරු දෙකක් දෙන්නට කිසිදු වැඩපිළිවෙළක් තිබුණේ නැත. එහෙත් සිරිමාවෝ මැතිනිය මෙය නිතරම රැස්වීම්වල ප්‍රකාශ කළාය.
ලේක්හවුස් පත්‍ර කතුවරයකු වූ ශ්‍රීලාල් හික්කඩුවේ ලියනගේ සිරිමාවෝ මැතිනියගේ ඉතා කිට්ටුවන්තයෙකි. 64 ආණ්ඩු පෙරළියෙන් පසු ඔහු නිතරම රොස්මීඩ් පෙදෙසට ගොස් මැතිනිය හමු වුණේය. එතුමියට දේශපාලන උපදෙස් දුන්නේය. 70 මැතිවරණ ව්‍යාපාරයේදීත් එසේමය.
“නොමිලේ හාල් සේරු දෙකම දෙනවා කීවට කමක් නෑ. දෙන හැටිත් කියන්න ඕනෑ. බැරිනම් හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කියන්න...” ශ්‍රීලාල් ලියනගේ මහතා මැතිනියට උපදෙස් දුන්නේය. මැතිනිය එදා පටන් “අපි දිනපු ගමන් හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා...” යැයි කීවාය. ඩඩ්ලි සේනානායක මහතා නොමිලේ හාල් දුන්නත් ජනතාව ඔහුට ඡන්දය දුන්නේ නැත. එහෙත් ඔහු මියගිය පසු ඩඩ්ලිට ‘බත් දුන් පියා’ යැයි කියමින් උපහාර දැක්වූහ.
සිරිමාවෝ මැතිනිය 1970 මැයි 31 දිවුරුම් දී අගමැතිනිය වූ නමුත් නොමිලේ හාල් සේරු දෙක දීම වෙනුවට සතියට දෙනු ලැබූ හාල් සේරු දෙක සහල් සලාකයෙන් දෙවැනි සේරුව සඳහා මිල වැඩිකරන ලදී. කවදාවත් නොතිබූ සීනි සලාක ක්‍රමයක් හඳුන්වා සලාකයෙන් පිට සීනිවල මිල ඉතා විශාල ලෙස වැඩිකරනු ලැබීය. පාන් පිටිවල මෙන්ම පාන්වලද මිල වැඩි විය. පාන් සඳහාද සලාකයක් හඳුන්වා දෙන ලදී. විශාල වශයෙන් බඩු මිල ඉහළ නැංගේය. මහජනයාට උම්බලකඩ හා කරවල පවා ලබාගැනීමට හැකිවූයේ කූපන් පොතටය. ගමක් ගමක් පාසාත් නගරයේත් සමුපකාර කඩවල පෝලිම් දක්නට ලැබුණි. හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කී මැතිනියගේ රජයෙන් අන්තිමට සිදුවුණේ තමාගේ කුඹුරේ හාල් ටිකවත් පාරේ ගෙන යාමත් තහනම් කිරීමයි. රට පුරා හාල් පොලු දැම්මේය. හෝටල්වල බත් විකිණීමට අවසර දුන්නේ සතියේ දවස් දෙකක් පමණි. රටවැසියන්ගේ ආහාරය අල, බතල, මඤ්ඤොක්කා විය. ප්‍රතිඵලය වුණේ කලින් ජයගත් ආසන 90 අටට බැසීමයි.
ජේ.ආර්. බලයට ආවේ රටේ සහල් හිඟය නැතිකොට සෑම පුරවැසියකුටම ධාන්‍ය රාත්තල් අටක් ලබා දෙන බව පවසමිනි. රටේ විවෘත ආර්ථික ක්‍රමය ඇති කිරීම නිසා රට බඩු රට පුරාම ගලා එන්නට විය. රජයට මෙන්ම ජනතාවටද ඇට අට අවශ්‍ය නොවීය.
මේ අනුව බලනවිට හාල් ප්‍රශ්නයෙන් මුලින්ම බැට කෑ නායකයා ඩඩ්ලි සේනානායක මහතාය. එමෙන්ම නොමිලේ හාල් දීම නිසා ‘බත් දුන් පියා’ වීමේ ගෞරවය ලැබුවේත් ඔහුමය. වගා සංග්‍රාමයක් ඇතිකොට පිටරටින් හාල් ගෙන්වීම නැවැත්වීමෙන් ඇතිවූ හාල් හිඟය නිසා ආණ්ඩුවත් පැරදී ගෙදර ගිය දෙවැන්නා බණ්ඩාරනායක මැතිනියයි.
පී.ඇම්. සේනාරත්න