හිටපු මහ බැංකු නි.අධිපති ඩොලර් හොයන හැටි කියයි


 

වත්මන් ආර්ථික අර්බුදය හා එයින් ගොඩ ඒමට ගත යුතු පියවර පිළිබඳ විමසමින් ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි.   

 

පවතින ආර්ථික අර්බුදයේ ස්වභාවය හා එය ඇති වූ ආකාරය නිවැරදිව හඳුනා නොගෙන ඊට විසඳුම් යෙදිය නොහැකිය. ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ ප්‍රකාශය විමසීමේදී පෙනී යන්නේ මේ අර්බුදයේ දිග පළල ඔහු වටහා ගෙන නැති බවය. ඔහුගේ උපදේශකයන් මේ අර්බුදයේ සැබෑ ස්වභාවය තේරුම් නොගෙන ඇති බව හෝ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබෙන්නේ අර්ධ වශයෙන් බව හෝ එයින් ගම්‍ය වෙයි. අර්බුදය බැරෑරුම්ව ගෙන ඇති බවක්ද ඒ කතාවෙන් විද්‍යමාන වූයේ නැත. 1962 වසරේදී ද ශ්‍රී ලංකාව මේ ආකාරයේ දරුණු අර්බුදයකට මුහුණ දුන්නේය. එවක අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකිකයන් ලෙස අප වාඩි වී සිටින්නේ ගිනි කන්දක් මත බවත් එය ඕනෑම මොහොතක පුපුරා යා හැකි බවත් එසේ වුවහොත් සියලු දෙනාම විනාශ වන බවත්ය. එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට නම් සියලු ශ්‍රී ලාංකිකයන් දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බවද ඇය එහිදී අවධාරණය කළාය.   


වත්මන් ජනාධිපතිවරයාගේ කතාවේදී ඒ ආකාරයේ පුළුල් දැක්මකින් යුතුව ප්‍රශ්නය ආමන්ත්‍රණය කරනු අපි නුදුටුවෙමු. සෘණ බවට පත්ව ඇති මෙරට විදේශ වත්කම් ධන බවට 2022 වසරේදී පත් කළ යුතු යැයි ජනාධිපතිවරයා සිය කතාවේදී කීවේය. එම තත්ත්වය ළඟා කර ගැනීමට නම් 2022 දී ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති විය යුතුය. එහෙත් ජනාධිපතිවරයාගේ උපදේශකයන් ඔහුට ලබා දී ඇති දත්තවලට අනුව අදාළ වසරේදී මෙරට ගෙවුම් ශේෂයේ ඇති වන්නේ හිඟයකි. ඩොලර් බිලියන 2.4 ක් ලෙස එය නිරූපිත විය හැකිය. එසේ වුවහොත් ගෙවුම් ශේෂයේ සෘණ අගය තවත් ඉහළ යනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ වත්කම් තවදුරටත් ක්ෂය වී ආර්ථික අර්බුදය තීව්‍ර වනු ඇත.   


අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීමට අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා සිය කතාවේදී පවසනු ඇතැයි අප අපේක්ෂා කළද එවැන්නක් සිදු නොවීය. මෙරට විදේශ ණය තවදුරටත් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එම අරමුදලෙන් තාක්ෂණික සහාය ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන බව පෙනෙයි. එය ප්‍රමාණවත් නොවේ. මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් ලංකාව එම අරමුදලෙන් ඩොලර් මිලියන 4000 ක පමණ විශාල ණය මුදලක් ලබා ගත යුතුය. එමගින් මේ වසර අගදී විදේශ වත්කම් ගොඩනැගීමත් රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමත් කළ හැකිය.   


විදේශ විනිමය හිඟය යනු අපේ ආර්ථික අර්බුදයේ එක් පැතිකඩක් පමණි. සමස්ත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගත් විට ආහාර නිෂ්පාදනය සියයට 30 කින් පමණ කඩා වැටී තිබේ. ඊට හේතු වූයේ එක් රැයකින් ලංකාවේ කෘෂිකර්මය කාබනික වගාවට යොමු කිරීමට ගත් ක්‍රියාමාර්ගයයි. එම තීරණය නිසා ආහාර හා වැවිලි භෝගවලට අවශ්‍ය වන රසායනික පොහොර හා පළිබෝධ නාශකවල හිඟයක් ඇති වූවා පමණක් නොව ඒවායෙහි වෙළෙඳපොළ මිල ගණන් ද වේගයෙන් ඉහළ ගියේය.   


ආර්ථික වර්ධන වේගය පහළ වැටෙන විට ජනතාවගේ ආදායම්ද අඩු වෙයි. එවැනි තත්ත්වයක අයවැය හිඟය පියවීමට ආණ්ඩුව මුදල් සැපයුම වැඩි කිරීම නිසා (මුදල් අච්චු ගැසීම) උද්ධමනය ඉහළ යමින් තිබේ. මේ වසරේ පෙබරවාරි මස අග වන විට ජාතික උද්ධමන ප්‍රතිශතය දැක්වුණේ සියයට 17 ක් ලෙසය. ආහාර උද්ධමනය සියයට 25 ක් පමණ විය. උද්ධමනය ඉහළ යෑම නිසා ජනතාව නොසන්සුන් වෙයි. දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇත.   


රුපියලේ පාලනය අත්හැරීමෙන් පසු ඩොලරයේ රුපියල් අගය මෙන්ම භාණ්ඩ හා සේවාවල මිල ගණන්ද ඉහළ ගියේය. මහ බැංකුවට මේ තත්ත්වය කළමනාකරණය කිරීම අපහසු වී තිබේ. එය සරුංගලයක් ඇසුරින් පැහැදිලි කරන්නේ නම් සරුංගලයක් ගුවන්ගත කළ අයකුට එහි නූල තවදුරටත් අල්ලා ගෙන සිටිය නොහැකි වුවහොත් නූල අත්හැරීමට සිදු වෙයි. එවිට සිදු වන්නේ සරුංගලය ඔහේ පාවී යෑමය. කවර දිශාවකට එය පතිත වනු ඇත්දැයි නිශ්චිතව කිව නොහැකිය. මහ බැංකුව මුහුණ දී සිටින්නේත් එවැනි තත්ත්වයකටය. මහ බැංකුව කළ යුතුව තිබුණේ 2021 වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රමයෙන් රුපියල අවප්‍රමාණය කිරීමය. එසේ කළේ නම් ආර්ථිකය අල්ලා ගෙන සිටීමට අවශ්‍ය ශක්තිය ලැබේ.   


වර්ෂ 2001 දී ද ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙවැනි තත්ත්වයක් ඇති විය. එවකට මහ බැංකු අධිපතිවරයාව සිටි ඒ.එස්. ජයවර්ධන මහතා එම වසරේ ජනවාරි මාසයේදී රුපියල පා කර හැරීමට තීරණය කළේය. එහෙත් ඊට පෙර ඔහු තවත් කර්තව්‍ය රැසක් සිදු කළේය. පළමුවැනුව එවක ජනාධිපති මෙන්ම මුදල් අමාත්‍යවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දැනුම්වත් කළේය. දෙවැනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. තුන්වැනුව රුපියල පා කිරීමෙන් ඇති වන අහිතකර ප්‍රතිවිපාක ගැන අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් රජය දැනුම්වත් කළේය. වරෙක හිටපු ජනාධිපතිනිය මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ රුපියල පා කිරීම පමා කරන්නේ ඇයිද කියාය. එවිට ඔහුගේ ප්‍රතිචාරය වූයේ වාහනයක තිරිංග පරීක්ෂා කිරීමකින් තොරව එය මාර්ගයට දැමිය නොහැකි බවය. එයින් අදහස් කළේ රුපියල පා කිරීමෙන් ඇති වන අනර්ථකාරී ප්‍රතිඵල අධ්‍යයනය නොකර එය ක්‍රියාවේ යෙදවිය නොහැකි බවය. වාහනය යම් හෙයකින් හෙළකට ගමන් කළහොත් එය වැළැක්වීම සඳහා වාහනය හේත්තු කිරීමට ගසක් තමන්ට හමු වූ බවත් එය නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල බවත් ඔහු ප්‍රකාශ කර ඇත. එසේම රුපියල පා කිරීමේ තීරණයට පෙර සියයට 16 හා 17 අගයන්වල පැවති මහ බැංකුවේ පොලී අනුපාතය සියයට 25 දක්වා ඔහු ඉහළ නැංවීය. 2001 වසරේ ජනවාරි මස 23 වැනි දින රුපියල පා කළ පසු එවක පැවති විනිමය අනුපාතිකය ක්ෂණයෙන් රුපියල් 80 සිට 90 දක්වා වැඩි විය. එම අවස්ථාවේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රුපියල පා කර හැරීමට ගත් තීරණය සුදුසු එකක් බවත් තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවත්ය. ඒත් සමගම විදේශ ආයෝජකයන්ට මෙන්ම එතෙර රටවල සිටි ශ්‍රී ලාංකිකයන්ට මෙරටේ ආර්ථිකය ගැන විශාල විශ්වාසයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු ලංකාවට විදේශ විනිමය ගෙන ආහ. අදාළ තීරණය ගෙන සති දෙකක් ගත වූ පසු 98 දක්වා ඉහළ ගොස් තිබූ රුපියලේ වටිනාකම 88 දක්වා පහළ ගියේය.   


මේ අතීත අත්දැකීම හා සැසඳීමේදී වත්මන් මහ බැංකු පරිපාලනය ගත් තීරණය දෝෂසහගත බැව් පෙනේ. එනම් රුපියල පා කිරීමට පෙර පොලී අනුපාත ඉහළ නැංවූයේවත් ණය මුදලක් ගැනීම සඳහා මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළේවත් නැත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ගන්නා බව ජනාධිපතිවරයා සෘජුව කීවේ ද නැත. ඒ වෙනුවට වාසි අවාසි දෙපැත්තම අධ්‍යයනය කර තීරණයක් ගන්නා බව පමණක් පැවසීය. එහෙත් එවිට ප්‍රමාද වැඩිය. එම අරමුදලට අදම යා යුතුය. එහි යෑමෙන් ඇති වන වාසි අවාසි සලකා බැලීමෙන් ඵලක් නැත.   


නාස්තිකාර වියදම් සීමා කිරීම අත්‍යවශ්‍යය. 1962 වසරේදී ආර්ථික අර්බුදයක් ඇති වූ අවස්ථාවේ එවක අගමැතිනිය පුරවැසියන් සිටින්නේ ගිනිකන්දක් මත බව කියමින් පවතින අර්බුදයේ ස්වභාවය ජනතාවට දැනුම් දුන්නාය. එයින්ද නොනැවතී ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් අඩු කළාය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද සිය කතාවේදී අප සිටින්නේ ගිනි කන්දක් මත බව පවසා සියලු දෙනාම කැපවීමෙන් යුතුව මේ අසීරු අවස්ථාවේ කටයුතු කළ යුතු යැයි ප්‍රකාශ කළේ නම් එය වඩාත් හොඳය. නාස්තිකාර වියදම් වංචා දූෂණ අවම කර ආර්ථික අභියෝගය ජය ගැනීම පිණිස වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.   


මේ අවස්ථාවේ ලංකාව සිටින්නේ හිඟන්නකුගේ මට්ටමේය. එවැනි තත්ත්වයක අපට කවුරුන් හෝ ආධාර කිරීමට ඉදිරිපත් වන්නේ නම් සහ අප ඒවා පිළිගන්නේ නම් ණය දෙන්නේ කවුරුන්ද යන්න එතරම් වැදගත් නොවේ. ඉන්දියාවෙන් ලැබෙන සියලුම ණය ආධාර කෙටි කාලීන ඒවාය. නිදසුනක් ලෙස ඛනිජ තෙල් ආනයනය කිරීමට දුන් ඩොලර් මිලියන 500 ක ණය මුදල වසරක් ඇතුළත ගෙවිය යුතුය. එසේම එම කෙටි කාලීන ණය මුදල් නැවත පියවීමේදී යළිත් වරක් ණය උගුලක පැටලීමට ඇති හැකියාවද ඉහළය. එවැනි කෙටි කාලීන ණය හරහා මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ලංකාවට ගොඩ ඒමට නොහැකිය. මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 4000 ක් වැනි විශාල ණය මුදලක් ලබා ගත හැකි නම් එය ප්‍රයෝජනවත්ය. වසර 7 ක් 8 ක් වැනි කාලයකදී ඒවා කල්පිරෙන අතර පොලී අනුපාතය සියයට 3.5 ක් වැනි ඉතා අඩු මට්ටමක පවතියි. එහෙයින් අප මේ අවස්ථාවේ කළ යුත්තේ ඉන්දියාවෙන් කෙටි කාලීන ණය මුදල් ගැනීම වෙනුවට මූල්‍ය අරමුදල හා වෙනත් රටවල් සමග සාකච්ඡා කර දිගු කාලීන හා අඩු පොලී අනුපාත සහිත ණය ගැනීමට යොමු වීමය. එමෙන්ම මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කර ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර නැවත ගෙවීම කල්දමා ගැනීම සඳහා පියවර ගත යුතුය.   


ජාතික ආර්ථික කවුන්සලයක් පිහිටුවා තිබේ. එහි කාර්යභාරය වන්නේ අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම රජයට යෝජනා කිරීමය. රුපියල පා කිරීමත් සමග 2022 වසරේදී අපනයන ආදායම් ඩොලර් බිලියන 12 සිට 13 දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කළේය. එහෙත් එය ප්‍රමාණවත් නැත. 2022 සිට 2030 දක්වා කාලය ඇතුළත අපේ භාණ්ඩ හා සේවා අපනයන වැඩි කරන්නේ කෙසේද ඒ වෙනුවෙන් භාවිත කරන උපක්‍රම කවරේද යන්න සඳහන් සැලැස්මක් අප සකස් කළ යුතුය. හදිසි කටයුත්තක් සේ සලකා ජාතික ආර්ථික කවුන්සලය ඊට මුලපිරිය යුතුය.   

 

 

 

සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ