ෆේස්බුක් සාදවලට තරුණයන් ඇදීයන රහස


 

​මේ දිනවල වැඩිපුරම අසන්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳවය. ඒ පිළිබඳව කතා කරන විට ෆේ‍ස් බුක් සාද යන මාතෘකාවද අත්හළ නොහැකි වෙයි. මක්නිසාද යත් විවිධ වූ ප්‍රදේශවල තරුණ තරුණියන් මුහුණු පොත හරහා හඳුනාගන්නා පිරිස සමග මිතුරු වී යම් යම් ස්ථානවල උපන් දින පාටි හෝ වෙනත් විනෝදකාමී උත්සව පැවැත්වීමට ඒකරාශී වෙන බැවින් හා ඒවා මත්ද්‍රව්‍ය සමග පැවැත්වෙන බැවිනි. එනම් පසුගිය කාල සීමාව තුළ වාර්තා වූ පුවත් අනුව විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන්, පෙම්වතුන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන්, ගැබිනි කාන්තාවන්, පියවරුන් හා රංගන ශිල්පීන් ආදී විවිධ වූ ක්ෂේත්‍රවල විවිධ වූ තත්ත්වයන් දරන අය මෙවන් වූ ෆේස් බුක් සාදවලට සහභාගී වී තිබුණහ.   


එහිදී මත්ද්‍රව්‍ය වර්ග භාවිතා කිරීම, විකෘති ලිංගික හැසිරීම් ආදී බොහෝ දේ සිදුව ඇති අතර බොහෝ පිරිස් නීතියේ රැහැනටද හසුවූහ.   


විශේෂයෙන්ම කිසිදු තොරතුරක් නොදැන එම අවස්ථාවන්ට සහභාගී වී අරමුණකින් තොරව මත්ද්‍රව්‍ය භාවිත කළ පිරිස් ද ඒ ස්ථානවල සිට ඇත.   


තවද නිසි ලෙස තොරතුරු නොදැන පැමිණි එවන් වූ තරුණ තරුණියන් හට පොලිසිය විසින් අවවාද කර මුදා හළ අවස්ථා ද තිබේ.   


සැබැවින්ම මාර්ක් සකර්බර්ග් විසින් ෆේස් බුක් හෙවත් මුහුණු පොත නිර්මාණය කරන ලද්දේ ​තොරතුරු හුවමාරුව සඳහාය. සිය නිර්මාණ එළිදැක්වීමට, දැනුම හුවමාරු කර ගැනීමට දුර සිටින ඥාතීන් මිත්‍රයන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමට ​ෙහාඳ තෝතැන්නකි. එහෙත් වත්මනෙහි එය වඳුරාට කණ්ණාඩිය ලැබුණ සේ ක්‍රියාවලියකට බඳුන් වී ඇත. එනම් ඇතැම් තරුණ තරුණියන් මුහුණුපොත හරහා ගණිකා ව්‍යාපාර පැතිරවීම, මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා තරුණ තරුණියන් නොමඟ යවා අපචාරයන්ට ගොදුරු කිරීම ආදී අනර්ථකාරී දේ සඳහා භාවිතයට ගැනීම සිදු කරයි.   


මෙවැනි පසුබිමක් නිසා උගත් නූගත් තාරුණ්‍ය අරමුණකින් තොරව මෙවැනි හිස් දේවල් සඳහා ඇදී යන්නේ ඇයි යන ගැටලුව සාකච්ඡා කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා සම්බන්ධ කර ගත්තෙමු.   


මේ ගැටලුව දිහා බලපුවාම අපට ළමයෙක් පවුල තුළ හැදීමේ කාර්යයේ සිට සමාජයට අනුගත කිරීම, පාසල තුළ අධ්‍යාපනය ලබාදීම යන සියලු ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරන්නට සිදුවෙනවා.   


විශේෂයෙන් පවුල් පරිසරයේ ඇති නොසන්සුන්කාරී බව පාසල් පද්ධතියේ ඇති නොසන්සුන්කාරි බව විශ්ව විද්‍යාල පද්ධතියේ ඇති ​ෙනාසන්සුන්කාරී බව හේතු කොට ගෙන තරුණ තරුණියන්ගේ හැසිරීම් රටා එකිනෙකාට වෙනස් වෙනවා. ඔවුන් වර්තමාන ලෝකයත් සමග ගනුදෙනු කරන්නේ වෙනස්ම ආකාරයකට. නවීන සන්නිවේදන උපකරණවලට ඇබ්බැහිවීමකුයි තිබෙන්නේ. නිතරම ඒ තුළ සැරිසැරීම නිසා යථාර්ථයෙන් ඉවත්වීමයි සිදුවන්නේ.   


නොපෙනෙන නොදන්න ලෝකයක් සමගයි ඔවුන් අදහස් හුවමාරු කර ගන්නේ. ඒ තුළ සිටයි සම්බන්ධතා ගොඩනගා ගන්නේ. පියවි ලොවින් ඈත් වූ කෘත්‍රිම ලෝකයක් එය.   
ඒ තුළ සැරිසැරීම දවසින් දවස වැඩි වෙනවා. බස් එකක් එතනත් හිටියත් දුම්රියේ යද්දීත් කාර්යාලයේදීත් ඇත්තෙත් නැති නැත්තෙත් නැති මේ කෘත්‍රීම ලෝකයට ඇතුළුවීම සිදු කරනවා. එයට අතේ තිබෙන කුඩා ජංගම දුරකථනය භාවිත කරනවා.   


මේ සන්නිවේදන තාක්ෂණය ලංකාවට සීමා වූ එකක් නොවේ. එය රටින් රටට වෙනස් වෙනවා. එක් රටක පවතින සමාජ ආර්ථික, දේශපාලන, සංස්කෘතික වටපිටාව අනුවයි නවීන සන්නිවේදන තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ.   


ඒ වගේම මේ පසුබිම් සාධක අනුවයි අර්බුදකාරී තත්ත්වයන් ඇති වන්නේ. මේ නිසා මිනිස් ජීවිත ක්‍රමානුකූලව ගොඩ නගා ගැනීමේ ප්‍රවණතාව අද වන විට නැති​ වෙලා තිබෙනවා.   
උදාහරණයකට පවුල් සංස්ථාව ගත්තොත් මේ වගේ අවධාරණයක් කරන්න පුළුවන්.   


පවුලක කුඩා ළමයෙක් ඉන්න විට ළමයා හදා වඩා ගැනීම සිදු වන්නේ පවුලේ පසුබිම අනුවයි. එය ශාරීරික, මානසික, භෞතික ආදී ලෙස සිදු වෙනවා. අද පවුල් සංස්ථාව විශාල අර්බුදවලට මැදිවෙලා තිබෙනවා. ප්‍රථම හේතුව ආර්ථික සමාජ ගැටලු. ඇතැම් පවුල්වල දරුවන්ට මව්පිය රැකවරණය ලැබෙන්නේ නෑ. මව්පියෝ පිටරටවල එහෙම නැත්නම් දුර ප්‍රදේශවල. දරුවෝ හැදෙන්නේ එක්කෝ ඥාතියෝ ළඟා නැත්නම් නේවාසිකාගාරවල.   


දරුවෝ ඇති දැඩි වන්නේ හුදකලාවෙලා. හොඳ නරක කියලා දෙන්න කෙනෙක් නෑ. ප්‍රශ්න ගැටලු අහන්න කෙනෙක් නෑ. ආදරය, රැකවරණය දෙන්න කෙනෙක් නෑ. මේ හුදකලාවීම තුළ දරුවෝ මිත්‍යාවන් ඇස්බැන්දුම් පසුපස යනවා. එතනදීම පවුල් ඒකකයේ වගකීම් යුතුකම් බිඳවැටෙනවා.   


හේතුව මෙවැනි පවුල්වල මව්පියන් හිතන ප්‍රාථමික කාරණාව කෙසේ හෝ ආර්ථිකය ගොඩ නගා ගැනීම. ඔවුන් දරුවන් හදා වඩා ගැනීම තමන්ගේ දෙවැනි තැනක. මව්පියන්ගේ අරමුණ දරුවන්ගේ අනාගතය සුබවාදි කිරීම සඳහා ආර්ථිකය ගොඩ නගා ගැනීම වුවත් මව්පියන් හා දරුවන් දුරස් වී ඉන්නා කාලය නිසා එම අරමුණට ළඟා වීමට නොහැකි වෙනවා. විශේෂයෙන්ම මව්පියන් ආර්ථිකය ශක්තිමත් කරගෙන දරුවන්ට යුතුකම් ඉටු කිරීමට කටයුතු කරන විට දරුවන් ඔවුන්ගෙන් අතෑරිලා බොහෝ දුරකට ගිහින්. ඔවුන් තමන්ගේ සමීපතමයින් කරගෙන ඉන්නේ ජංගම දුරකථනය හා සම්බන්ධ වෙන මායා ලෝකය. ඒ තුළින් තමයි ඔවුන් හුදකලාව පළවා හැරින්නේ. යහළු මිත්‍රයන් හොයා ගන්නේ. විනෝදාංශ හොයා ගන්නේ. එහි අවසානය තමයි ඇතැම් පිරිස් විපතට පත් වීම.   


මීළඟට මම දකින දෙවැනි කාරණය තමයි සැරිසැරීම. සමහර තැන්වල මව්පියන් දෙදෙනාම රැකියා කරනවා. එතකොට දරුවන්ගේ කුඩා කාලය ගෙවෙන්නේ තවත් පිරිසක් සමඟ. මව්පියන්ගෙන් ලැබෙන සෙනෙහස රැකවරණය ඔවුන්ට දැනෙන්නේ නෑ. මුදල පදනම් වූ ස්ථානවල ඇති බැඳීම කෘත්‍රිමයි. එයත් දරුවන් සජීවී ලෝකයෙන් ඉවත් වී කටයුතු කිරීමට හේතුවක් වෙනවා.   


මීළඟට අපි පාසල් පරිසරය ගෙන බලමු. පාසල් පද්ධතිය අද සම්පූර්ණයෙන්ම දෙදරා ගිහින් තියෙනවා.   


අතීතයේ මෙරට ගොඩ නගා තිබූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති බිඳ වැටිලා තිබෙනවා. ඉස්සර ළමයින්ට ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම සඳහා ගමේ පාසලක් තිබුණා. ඊළඟ අධ්‍යාපනය සඳහා ද්විතික පාසලක් තිබුණා. මේ නිසා ඔවුන්ට කිලෝ මීටර් ගණන් දුර යන්න අවශ්‍ය වුණේ නෑ. එදා කන්නන්ගර මහතා හඳුන්වා දුන් ඒ නිදහස් අධ්‍යාපන පිළිවෙත අද සම්පූර්ණයෙන් වියවුල් වෙලා ති​ෙබනවා. එනම් අද වෙන කොට ඒ රාමුව දෙදරා ගිහින් විශාල ගැටලු ඇති වී තිබෙනවා. ඒකට එක් හේතුවක් පෞද්ගලික පන්ති. එය අද පිළිලයක් වෙලා තිබෙනවා.   


එ් වගේම අධ්‍යාපනයට වින කරපු මිනිස්සු අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ වෙලා තියෙනවා. අධ්‍යාපනය මුදල් හම්බ කර ගැනීමේ මාධ්‍යයක් කරගෙන තිබෙනවා. අද ඉංග්‍රීසි මූලික වෙච්ච ජාත්‍යන්තර පාසල් ක්‍රමයක් මුල්වෙලා තිබෙනවා.   


එදා අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසල්වලින් නෙවෙයි. අපේ ගම්වල පාසල් ගුරුවරු අපට හොඳින් ඉගැන්නුවා. අද ගුරුවරුන් ටියුෂන් කඩදාලා තිබෙනවා. මේ ආකාරයට අධ්‍යාපන රටාවත් ළමයි අගාධයකට තල්ලු කරලා තිබෙනවා.   


ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවක් තිබෙනවා අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්න.   


හැබැයි අධ්‍යාපනය පිළිබඳ තීරණ ගන්නේ මැති ඇමතිවරු. මේ වියවුල් සහගත තත්ත්වය තුළදීයි ළමයි වල්මත් වෙන්නේ.   


අද මව්පියෝ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ගොඩාක් දුක් වෙනවා. විවිධ දේ කරලා ගොඩක් මහන්සිවෙලා ජනප්‍රිය පාසල්වලට දාපු දරුවෝ පාසල් යන්නේ නෑ කියලා මව්පියෝම විඳවනවා. ළමයි පාසල් යන්නේ නැතිව යන්නේ ටියුෂන් පන්තිවලට. මෙතනදී ළමයා පාසල් සමාජයේ සමාජානුයෝජනයක් වන්නේ නෑ. සදාචාරය, විනය පිරිහීම එහි ප්‍රතිඵල. ඒ වගේම පෞරුෂ වර්ධනයක් සිදු වන්නෙත් නෑ. මේ නිසාත් ගැටලු රාශියක් ඇති වෙනවා.   


මීළඟ ගැටලුව තරුණයන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය. මෙයත් නොවිසඳුණු අර්බුදකාරි ගැටලුවක්. පාසලෙන් ලැබෙන අධ්‍යාපනය, මඟපෙන්වීම නැතිවීම තුළ ළමයින්ගේ ජීවිත වල්මත් වෙනවා. ප්‍රධාන පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් පාසල් අල්ලාගෙන විවිධ ලාභ ප්‍රයෝජන අනුව ළමයි ඇතුළත් කර ගැනීම් කරනවා. පගාව දේශපාලන බලපෑම බලය අනුවයි ළමයි ගන්නේ. මේ හැමදේම ළමයි දකිනවා. අවුරුදු 15 ක 16 ක ළමයි මොනවද මේ ගැන හිතන්නේ   
 මේ වගේ පසුබිමක ඉඳලා විශාල අභියෝගවලට මුහුණ දීලයි ළමයෙක් විශ්වවිද්‍යාලයට එන්නේ.   


විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් ඇතිව තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයක්. එදා තිබුණු ප්‍රබුද්ධ පරිසරයයි අද තිබෙන තත්ත්වයයි මොන වගේ ද කියන එක කතා නොකර සිටීමයි හොඳ?   
මෙවැනි පසුබිමකදී ළමයින්​ෙග් අනාගතය පිළිබඳ ගැටලු මතුවෙනවා. අද විශාල ආර්ථික අර්බුදයක් පවතිනවා. එය විකෘති ආර්ථිකයක්. කෘෂිකාර්මික, කාර්මික, සේවා අංශ අතර කිසිම සමතුලනයක් නෑ. කොළඹ අවට තිබෙන්නේ ​ගොඩනැගිලි හැදීම යාන වාහන ගෙන්වීම ආදි තත්ත්වයන්. මූල්‍ය ආයතන මුදල් මවනවා. ඒත් රැකියා උත්පාදන ඝෘණාත්මකයි. මෙවැනි තත්ත්වයකදී ඇතැම් මිනිස්සු රැකියා උත්පාදන රටවලට යනවා. උදාහරණයට කිව්වොත් මේ රටේ ඇඟළුම් කර්මාන්තය බංග්ලාදේශයට ගියා. හැබැයි අපේ රටේ නායකයන්ට එය ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි මේ රටේ ඉඳලා සේවය කළ මිනිස්සු දැන් දරු පවුල් තනි කරලා ඒ රටේ රැකියාවට යනවා. එයත් අපේ රටේ නායකයන්ට ප්‍රශ්නයක් නොවෙයි. අද කර්මාන්ත තිබෙන රටවල් තමයි කොරියාව, මැලේසියාව, තායිලන්තය ආදිය.   


අපේ අය ඒ රටවලට ගිහින් මුදල් හම්බකරලා එව්වාම එහි වාසිය කාටද?   
මෙවැනි තත්ත්වයකදී රැකියා උත්පාදනයක් සිදුවන්නේ නෑ. එතනදී තරුණ ප්‍රජාව විශාල මානසික අර්බුදයකට ලක්වෙනවා. පහුගිය කාලයේ උපාධිධාරීන්ට රැකියා මවලා දුන්නා. අද ඒවායින් නිසි ඵලදායිතාවයක් තිබෙනවාද? අද ඉන්න වගා නිලධාරින්, සංවර්ධන නිලධාරීන් ඇත්තටම උගත් දැනුම ප්‍රයෝජනයට ගන්නවාද? ඔවුන්ට ලබා දුන් රැකියාවල අරමුණ ඔවුන්ගෙන් ඉටුවෙනවාද? හැම අංශයක්ම මේ වගෙයි. ඵලදායිතාවය අවමයි.   


හැම ගැටලුවකටම දේශපාලන විසඳුම් ලැබුණත් ඒවා යථාර්ථවාදී නෑ.   


​ෙම් පරිසරය තුළයි අපි මුලින් කතා බහට ගන්න ගැටලුව නිර්මාණය වෙන්නේ. මේ විකෘති රටේ නැති වුණොත් තමයි පුදුම. අද වන විට අපි අතීතයේ ප්‍රතික්ෂේප කරපු බොහෝ දේ සාමාන්‍ය දේවල් වෙලා තිබෙනවා.   


සදාචාරය අද සම්පූර්ණ ප්‍රශ්නයක්. අසීලාචාරයයි සාමාන්‍යකරණය වී ඇත්තේ. ධර්මය අද ප්‍රශ්නයක්. සාමාන්‍යකරණය වී ඇත්තේ අධර්මයට අනුව ජීවත්වීම.   


අද සමහර හාමුදුරුවන්ගේ චර්යාවන් බලන්න. බුදු දහමේ හරයට පටහැනි දේවල් දකින්න ලැබෙන්නේ. අන්ධ විශ්වාසය බුදුදහමට පටහැනියි. ඒත් සමාජගත වන්නේ මිථ්‍යවන්. මහජනතාවත් ඒවා අැදහීමට ඇබ්බැහි වෙලා. හේතුව පවුල් පද්ධතිය, පාසල් පද්ධතිය, ජනමාධ්‍ය ඔවුන්ගේ ඔළුගෙඩිවලට දීලා තිබෙන්නේ මිථ්‍යාව.   


මේ රට නවීන සමාජයක් කරනවා වෙනුවට පසුගාමී විකෘති සමාජයක් බවට පත් කරලා තිබෙනවා. දැනුම සොයා යාමට තිබුණ ආශාව තරුණයන්ගෙන් ගිලිහිලා තිබෙනවා. පුස්තකාල මැස්සෝ ඉහි​ෙරන තැන් වෙලා තිබෙනවා. අපේ කාලයේ පුස්තකාලය කියන්නේ වාඩි වෙන්න තැනක් හොයා ගන්න බැරි තැනක්.   


මේ තත්ත්වය තුළ සමාජයේ ප්‍රබල මාතෘකා වෙලා තිබෙනවා මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය. මත්පැන්, මත්ද්‍රව්‍ය හරහා හොරකම නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම යම් පිරිස් මේවා ආදායම් මාර්ග කරගෙන තිබෙනවා. ඔවුන් පිටුපස අපේ ප්‍රශ්න විසඳීම සඳහා අපේ ඡන්දයෙන් පත් කරලා දේශපාලන පුටුවලට යවන චරිත ඉන්නවා. 

 
රට හදන්න අපේ ඡන්දයෙන් යවන අය ඔවුන්ගේ සහචරයන් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය, මත් පැන් භාවිතය ව්‍යාප්ත කරනවා. මේ පසුබිම තමයි ෆේස් බුක් සාදවල පාදක වූ කතාව.   
කිසි දෙයක් අහම්බෙන් සිදුවන්නේ නෑ. ඕනෑම දෙයක් සිදුවීමට හේතුවක් තිබෙනවා. ඒ හේතුව බොහොම සංකීර්ණයි. එය තමයි මම ඉහතින් සාකච්ඡා කළේ.   
ඉහත කී හේතු සාධක නිසා වල්මත් වූ තත්ත්වයකටයි තරුණ තරුණියන් පත්ව ඇත්තේ.   


එක පැත්තකින් ජනමාධ්‍ය මිථ්‍යාව වපුරනවා.   


අාදර්ශයක් ගත හැකි පුද්ගලයන් පිළිබඳ කරන වැඩසටහන් මොනවාද? ආගමික වැඩ සටහන්වලින් සිදු කරන දේ යථාර්ථවාදීද? අපරාධ වාර්තාකරණය තුළින් මාධ්‍ය වගකීම් ඉටුවෙනවාද? වැරදි දේ සාමාන්‍යකරණය කිරීම නිසා මිනිසුන් අදහන්නේ එය නොවේද?   
කියවීම පූර්ණ මිනිසෙකු කරයි කියලා කියමනක් තිබෙනවා. ඒත් අද ළමයින්ට කියවන්න වේලාවක් තිබෙනවාද? පීඩාකාරී අධ්‍යාපන රටාව තුළ ළමයි මානසික පීඩාවට පත් වෙනවා.   


හිරගෙදරට ගිහින් ඉන්න වැරදිකරුවන් වූ පුද්ගලයන්ගේ ජීවිත ගෙන බලන්න. ඔවුන් සාමාන්‍ය පවුල් ජීවිතයෙන් මිදුණු ගැටුම්කාරී තත්ත්ව මත ජීවත් වූ අයයි. පාසල පවුල ළමයින්ගේ පෞරුෂය හදන තැන්. ආදර්ශමත් චරිතයි දකින්න ඕනෑ. එය නැති තැන යහපත් පෞරුෂයක් සහිත දරුවෙක් නිර්මාණය වෙන්නේ නෑ. හරි වැරැද්ද පහදා ගන්න බැරි, හොඳ නරක හඳුනාගන්න බැරි මිනිස්සු නිර්මාණයවීම එහි ප්‍රතිඵලයයි.   


මෙවැනි හේතු නිසා ඇත්තෙත් නැත්තෙත් නැති ෆේස්බුක් අඩවියක් සමග තරුණ තරුණියන් වැඩිහිටියන් සම්බන්ධ වෙන්නේ. 

 
අපේ ජීවිත කාලය පුරාවටම පවතින සම්බන්ධතා තමයි අපි ප්‍රාථමික සම්බන්ධතා කියන්නේ. ඒවා ශක්තිමත් නොවන විටයි බාහිර සම්බන්ධතා වන ද්විතීක සම්බන්ධතා මූලික කරගන්න මිනිස්සු ක්‍රියා කරන්නේ. අද ෆේස්බුක්වලට මිනිස්සු ඇදී යන්නේ ප්‍රාථමික සම්බන්ධතා බිඳවැටුණු මට්ටමක පවතින නිසයි.   


තමන්ගේ ප්‍රශ්න කියන්නේ තමන්ගේ දුක කියන්නේ හැඟීම් බෙදාගන්නේ මුහුණු පොත හරහා අඳුනාගත්තු දන්න හෝ නොදන්න වඩාත්ම තාවකාලික ද්විතීක සම්බන්ධතා සලසා දෙන ෆේස් බුක් සාමාජිකයන්ට. එතන දී තාරුණ්‍යයට ලැබෙන්නේ ආකර්ෂණීය පිළිතුරු. ඇස පිනවන, කන පිනවන, මනස පිනවන ලෝකයක් පෙන්වන්නේ. ඔවුන් විශ්වාස කරන්නේ ඒ දේවල්. ඔවුන් අදහන්නේ ඒ මිතුරු මිතුරියන්. එහි ප්‍රතිඵලයක් තමයි ​නොදන්නා මිතුරන් සැලසුම් කරන සාද සඳහා විවිධ තරාතිරම්වල විවිධ වයස් කණ්ඩායම්වල පුද්ගලයන් පිළිබඳ හරි විමසීමක්වත් නොකර විවිධ පළාත්වල සිට සහභාගී වීම. 

 
මොවුන් ජීවත්වෙන්නේ සිහින ලෝකයක. ඒ නිසයි ඒ පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කරන්නේ. මූලික මානව අවශ්‍යතාවයක් මානව සම්බන්ධතා.   


​ෙමාවුන් එම අවශ්‍යතා ඉටුකරගන්න යන්නේ නොදන්න සමාජයකට. මිථ්‍යාව, ඇසත් මනසත් මුලාවට පත් කරලා. මුළු ලෝකෙම යාළුවෝ ඉන්නවා කියන ආඩම්බරයක් ඔවුන්ට තිබෙනවා.   


බොහෝ අවස්ථාවල ඒ හැඟීමම තමයි ඔවුන් ෆේස් බුක් සාදවලට රැගෙන යන්නේ. ඒ සාද සැලසුම් කරන්නේ අරමුණ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නම් ඔවුන් අපූරුවට ෆේස් බුක් මාධ්‍ය හරහා එය ඉටු කර තිබෙනවා. තරුණයන්ගේ සිහින ලෝකය ඔවුන් නොදැනුවත්වම එම කූඨ පුද්ගලයන්ට අලෙවි කර තිබෙනවා.   


එ් නිසයි පසුගිය කාලයේ විවිධ ප්‍රදේශවල සිට පැමිණිලා ෆේස් බුක් සාද පවත්වා මත් ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයන් නීතියට හසු වූ පුවත් අසන්නට ලැබුණේ.   


මේ තත්ත්වයන් අව​බෝධ කර ගත යුතුයි. පවුලේ වටිනාකම් වගකීම්, පාසලේ වටිනාකම් අගනාකම් අවබෝධ කර ගත යුතුයි. ඒ වගේම එය රාජ්‍යය දක්වා වර්ධනය කර ගත යුතුයි. අනාගත පරපුර බේරා ගැනීමට නම් මේ දේශපාලන ප්‍රශ්නය බුද්ධිමත්ව විසඳාගත යුතුයි. එයට ප්‍රබුද්ධ නායකත්වයක් අවශ්‍යයි.

සටහන 
කුමාරි හේරත්