පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණය ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසිකය. ඒ කරුණු රාශියක් හේතුවෙනි. ඉන් පළමුවැනි කාරණය මේ මැතිවරණයේදී පළාත් පාලන ආයතන නියෝජිතයන් සංඛ්‍යාව සියයට 90 කින් පමණ වැඩිවී තිබීමය. මේ මැතිවරණයට පෙර මුළු රටේම සිටියේ පළාත් පාලන මන්ත්‍රිවරුන් 4486කි. එහෙත් මේ මැතිවරණයේදී ඒ සංඛ්‍යාව 8556ක් දක්වා ඉහළ ගියේය.
සරල බහුතර හා සමානුපාත යන ක්‍රම දෙකම මිශ්‍ර වූ නව ක්‍රමයක් යටතේ ලංකාවේ පැවැති පළමුවැනි මැතිවරණය මෙයවීම දෙවැනි කාරණයයි. නියෝජිතයන් සංඛ්‍යාව ඉහළ ගියේද ඒ මිශ්‍ර ක්‍රමය හේතුවෙනි. තෙවැනි කරුණ වන්නේ මේ මැතිවරණය නිශ්චිත කාලයේදී නොපැවැත්වූ මැතිවරණයක් වීමය. මේ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2015 මැයි මාසයේදීය. එහෙත් මෙම මැතිවරණය පැවැත්වූයේ අවුරුදු තුනකට ආසන්න කාලයක් පමාවීය.
මේ මැතිවරණය ඓතිහාසිකවීමට බලපාන සිව්වැනි කාරණය වන්නේ බලයේ සිටි ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී පරාජයට පත්වූ පළමුවැනි අවස්ථාව වීමය. ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් තමන් බලයේ සිටියදී තැබූ පළාත් පාලන මැතිවරණයකින් පැරැදී නැත. එහෙත් මෙම මැතිවරණයේදී බලයේ සිටින ආණ්ඩුව සැදුම්ලත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පරාජය විය. එසේ පරාජයට පත්වූයේ දේශපාලන කරළියට අලුතින්ම පිවිසි දේශපාලන පක්ෂයකට වීම මේ මැතිවරණය ඓතිහාසික වන පස්වැනි කාරණයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති දේශපාලන පක්ෂය කරළියට පමුණුවා දැනට අවුරුද්දක්වත් ගෙවී නැත. 1947 පිහිටවූ එක්සත් ජාතික පක්ෂයත් 1952 පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 2004 පිහිටවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් පරාජයට පත්වූයේ ඒ කිරි සප්පයාටය.
ඒ කිරි සප්පයාට නායකත්වය දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. රාජපක්ෂ මහතා පරාජයට පත්වූයේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදීය. ඒ මැතිවරණයේදී ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්ද 62,17,162ක් හිමිවිය. එහි ප්‍රතිශතය 51.28කි. ඒ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට හිමිවූයේ ඡන්ද 57,68,090 කි. එහි ප්‍රතිශතය 47.58කි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී රාජපක්ෂ මහතා නායකත්වය දුන් පොදුජන පෙරමුණට ඡන්ද 49,41,952ක් හිමිවිය. එහි ප්‍රතිශතය 44.65කි. පරාජයට පත්වී අවුරුදු තුනක් ගතවූ තැන හිටපු ජනාධිපතිවරයා වටා ජනතාව ඒ අයුරින් එක් රැස්වීම මේ මැතිවරණය ඓතිහාසික වන හයවැනි කාරණයයි.
ඇතැම් දේශපාලකයන් සේම ඇතැම් දේශපාලන විචාරකයින්ද මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සංසන්දනය කරන්නේ ඒ ජනාධිපතිවරණ ප්‍රතිඵලය සමගය. ඒ ජනාධිපතිවරණයේදී රටේ පැවැතියේ ප්‍රධාන දේශපාලන බල කඳවුරු දෙකකි. එකක් රාජපක්ෂ කඳවුරය. අනෙක රාජපක්ෂ විරෝධි කඳවුරය. එකල රාජපක්ෂ කඳවුර පටු වූ අතර රාජපක්ෂ විරෝධි කඳවුරු පුළුල් එකක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති විශාල බහුතරයක්, මහජන එක්සත් පෙරමුණත්, ලංකා සම සමාජ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් රාජපක්ෂ කඳවුරේ සාමාජිකයෝ වූහ.
එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රීලනිප සුළුතරයකුත් ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත්, දෙමළ ජාතික සන්ධානයත්, උඩරට වතුකරයේ දේශපාලන පක්ෂ කීපයකුත් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයත් ඇතුළු සිවිල් සමාජ සංවිධාන රාශියකුත් එකල සිටියේ රාජපක්ෂ විරෝධි කඳවුරේය. එහෙයින් එය පුළුල් කඳවුරක් විය. 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී ඔවුන් එක කඳවුරක සිටියත් 2015 අගෝස්තුවේ පැවැති මහා මැතිවරණයේදී ඒ කඳවුෙර් සිටි දේශපාලන පක්ෂ ගණනාවක් තරග කළේ වෙන වෙනමය. එහෙයින් මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සංසන්දනය කළ යුත්තේ ඒ මහා මැතිවරණ ප්‍රතිඵලය සමගය.
2015 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළත් මෙවර එහි ජය හිමිවූයේ පොදුජන පෙරමුණටය. මහා මැතිවරණයෙදී එජාපය කොළඹ දිස්ත්‍රික්කය ජය ගත්තේ වැඩි ඡන්ද 1,66,680කිනි. එහෙත් මෙවර එජාපය කොළඹ දිස්ත්‍රික්කයේදී ඡන්ද 66,351කින් පොදුජන පෙරමුණට පැරැදී තිබේ. 2015ට සාපේක්ෂව 2018දී එජාපයට කොළඹ දිස්ත්‍රික්කයෙන් අහිමිවී තිබෙන ඡන්ද සංඛ්‍යාව 2,30,221කි. 2015 මහා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයද ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ වැඩි ඡන්ද 27,046කිනි. එහෙත් මෙවර එජාපය ගම්පහින් පැරැදී ඇත්තේ ඡන්ද 2,60,194කිනි. 2015 සාපේක්ෂව 2018දී එජාපයට ගම්පහින් අහිමිවී තිබෙන ඡන්ද සංඛ්‍යාව 1,81,644කි. 2015 සාපේක්ෂව 2018 දී එජාපය කළුතර දිස්ත්‍රික්කයෙන්ද පල්ලම් බැස සිටී. ඒ ඡන්ද 75,116කිනි. මෙදා කළුතරදි එජාපය සිටින්නේ පොදුජන පෙරමුණට වඩා ඡන්ද 1,15,264කට පසුපසිනි.
කොළඹ සේම එජාපයට වාසිදායක බව කියන මහනුවරින්ද එජාපය මෙදා පල්ලම් බැස තිබේ. ඒ ඡන්ද 1,37,708කිනි. එජාප ඡන්ද සංඛ්‍යාව එසේ අඩුවුවත් එදා සන්ධානය මහනුවරින් ලබා ගත්තාටත් වඩා වැඩියෙන් මෙදා පොදුජන පෙරමුණ මහනුවරින් ඡන්ද හිමිකරගෙන තිබේ. සංඛ්‍යාත්මකව එය 51,580කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් එජාපයට අඩුවී තිබෙන ඡන්ද සංඛ්‍යාව 77,184කි. පොදුජන පෙරමුණද මෙදා මාතලෙන් හිමිකර ගෙන තිබෙන්නේ එදා සන්ධානය මාතලෙන් ලබා ගත්තාට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවකි. ඒ අඩුවීම 40,457කි. එජාපය 2015දී නුවරඑළියෙන් ඡන්ද 2,28920ක් ලබාගත්තත් මෙවර ලැබී ඇත්තේ 1,41,132කි. අඩුවී තිබෙන ඡන්ද සංඛ්‍යාව 87,788කි. එජාපය සේම පොදුජන පෙරමුණද නුවරඑළියෙන් ලබාගෙන තිබෙන්නේ එදා සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා අඩුවෙනි. සංඛ්‍යාත්මකව එය 47,248කි.
දකුණු පළාතේ ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවලින්ද එජාපයට හිමිවී ඇත්තේ පරාජයකි. ගාල්ලේ එජාප ඡන්ද සංඛ්‍යාව 95,946කින්ද මාතර ඡන්ද ගණන 51,003කින්ද හම්බන්තොට ඡන්ද සංඛ්‍යාව 28,731කින්ද අඩුවී තිබේ. පොදුජන පෙරමුණත් ගාල්ලෙන් ලබාගෙන තිබෙන්නේ එදා සන්ධානය ගාල්ලෙන් ලබාගත්තාට වඩා ඡන්ද 416ක් අඩුවෙනි. එහෙත් මාතරින් හා හම්බන්තොටින් එදා සන්ධානය ලබාගත්තාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ මෙදා ලබාගෙන තිබේ. එජාපයට වඩා පොදුජන පෙරමුණ ගාල්ල වැඩි ඡන්ද 1,42,868කින්ද මාතර වැඩි ඡන්ද 1,40,095කින්ද, හම්බන්තොට වැඩි ඡන්ද 97,316කින්ද ජයග්‍රහණය කර තිබේ.
පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික්කයේදී එජාපය පරාජය කර තිබෙන්නේ වැඩි ඡන්ද 1,63,766කිනි. එජාපය පුත්තලම දිස්ත්‍රික්කයේදී පොදුජන පෙරමුණට පැරැදී තිබෙන්නේ ඡන්ද 31,394කිනි. පොදුජන පෙරමුණ අනුරාධපුරයේදී වැඩි ඡන්ද 90,504කින් එජාපය පරාජය කර තිබෙන අතර පොළොන්නරුවෙදි පරාජය කර තිබෙන්නේ වැඩි ඡන්ද 24,662කිනි. පොළොන්නරුව ජනාධිපතිවරයාගේ ගම් ප්‍රදේශයයි. ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ලැබූ නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට තරග කළ අතර දිස්ත්‍රික්කයෙන්ම ශ්‍රීලනිපයට හිමිවූයේ ඡන්ද 89,005කි. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු පොදුජන පෙරමුණට පොළොන්නරුවෙන් ඡන්ද 94,136ක් හිමිවිය. එජාපයට හිමිවූයේ 69,474කි. ඒ අනුව පොදුජන පෙරමුණ ශ්‍රීලනිපයට වඩා වැඩි ඡන්ද 5,131ක් ලබා ගනිමින් පොළොන්නරුවේ ජයග්‍රහණය හිමිකර ගත්තේය. පොළොන්නරුවේදී එජාපයට වඩා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 24,662කි.
බදුල්ලේ එජාප ඡන්ද සංඛ්‍යාව 1,06,673කින්ද මොනරාගල එජාප ඡන්ද ගණන 25,076කින්ද අඩුවී තිබේ. එහෙත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජය හිමිවී ඇත්තේ එජාපයටය. ඒ වැඩි ඡන්ද 6,651කිනි. මොනරාගල දිස්ත්‍රික්කයේදී එජාපය පොදුජන පෙරමුණට පැරැදී තිබෙන්නේ ඡන්ද 78,999ක් අඩුවෙන් ලබා ගැනීම හේතුවෙනි. රත්නපුර දිස්ත්‍රික්කයේ එජාප ඡන්ද සංඛ්‍යාවද 55,569කින් අඩුවී තිබේ. රත්නපුරේදී එජාපය පොදුජන පෙරමුණට පැරැදී තිබෙන්නේ ඡන්ද 1,56,073කිනි. කෑගල්ලේ එජාප ඡන්ද සංඛ්‍යාවද 75,894කින් අඩුවී තිබේ. කෑගල්ලේදී පොදුජන පෙරමුණ එජාපය පරාජය කර තිබෙන්නේ වැඩි ඡන්ද 77,858ක් ලබා ගනිමිනි. දිගාමඩුල්ලේදී එජාපය වැඩි ඡන්ද 37,586කින් පොදුජන පෙරමුණ පරාජය කර තිබේ. ත්‍රිකුණාමලයේ එජාප ඡන්ද සංඛ්‍යාවද 47,902කින් අඩුවී ඇත. පොදුජන පෙරමුණද ත්‍රිකුණාමලයෙන් ලබාගෙන ඇත්තේ 2015 දී සන්ධානය ලබාගත්තාට වඩා ඡන්ද 825ක් අඩුවෙනි.
මඩකළපුව, යාපනය හා වන්නි දිස්ත්‍රික්කවල එජාප ඡන්ද සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන අතර පොදුජන පෙරමුණ ඒ දිස්ත්‍රික්ක තුනේදීම ලබාගෙන තිබෙන්නේ 2015දී සන්ධානය ලබා ගත්තාට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවකි. පාර්ලිමේන්තු මහා මැතිවරණවලදී යාපනය හා කිළිනොච්චිය යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකම එක් ඡන්ද කොට්ඨාසයක් ලෙස සැළකෙන අතර වව්නියාව, මන්නාරම හා මුලතිව් යන පරිපාලන දිස්ත්‍රික්ක තුනම වන්නි නමින් එක් මැතිවරණ කොට්ඨාසයක් ලෙස සැලකෙයි. ඒ අනුව මෙම වගුවෙහි 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සඳහන් කර ඇත්තේ අදාළ දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිඵල එකතු කිරීමෙනි.
මේ පළාත් පාලන මැතිවරණයේ අවසාන ජයග්‍රාහකයා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 49,41,952කි. ප්‍රතිශතයක් ලෙස සියයට 44.65කි. දෙවැනි තැන හිමිවූයේ එක්සත් ජාතික පක්ෂයටයි. එය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36,12,259කි. එහි ප්‍රතිශතය 32.63කි. තෙවැනි තැන හිමිවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. එහි ඡන්ද සංඛ්‍යාව 9,89,821ක් වන අතර ප්‍රතිශතය 8.94කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 4,91,835ක් ලබාගනිමින් (4.44%) සිව්වැනි ස්ථානය හිමි කරගෙන සිටී. ඡන්ද 6,93,875ක් (6.27%) ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ පස්වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ජවිපෙ ඡන්ද සංඛ්‍යාව 2015ට වඩා 2018 දී 1,49,931කින් වැඩිවී තිබේ. ජවිපෙ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අඩුවී තිබෙන්නේ මාතලේ, පුත්තලම සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් පමණකි.
මේ පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද 14,81,656 පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද ගොඩට එකතු කළහොත් එහි එකතුව 64,23,608ක් දක්වා ඉහළ යයි. එය 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා 2,06,446ක වර්ධනයකි. එසේම එජාප ඡන්ද ගොඩට මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ වෙන වෙනම තරග කර ලබාගත් ඡන්ද සංඛ්‍යාවද එකතු විය යුත්තේය. එහෙත් බැලූ බැල්මට පෙනී යන්නේ එජාප ඡන්ද සංඛ්‍යාව 14,86,657කින් අඩුවී තිබෙන බවය. එසේම පොදුජන පෙරමුණ තනිවම තරග කර 2015 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත්තාට වඩා ඡන්ද 2,09,288ක් ලබාගෙන තිබෙන බවය. 2015 අගෝස්තු මස පැවැති මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට නායකත්වය සැපයුවේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. වර්තමාන යහපාලන රජයේ සමාජ සුබ සාධන, සමාජ සවිබල ගැන්වීම් සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙබරවාරි 13 වැනිදා ලංකාදීපයට කියා තිබෙන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පුංචි ආණ්ඩු ඡන්දයේදී කර තිබෙන්නේ වත්මන් ජනපති හා අගමැති භීතියට පත් කිරීමකි. ඒ භීතිය කොහෙන් කෙළවර වෙයිද?
ගුණසිංහ හේරත්