ලාල් කුලරත්න
දශක කීපයක සිට වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය රංගනයන් ඔස්සේ චරිතාංග රංගනයෙන් අපට හමුවන, ලාල් කුලරත්න ප්‍රවීණයා ගැන මේ දිනවල බොහෝ දෙනා කතාවන්නේ සුපුන් රත්නායකගේ ‘‘ලලයි - ලිලයි - ලයි’’ නාට්‍යයේ පානම් බොක්කේ රටේ රාල නමින් රඟපාන චරිතය නිසයි. සැබෑ ජීවිතයේදී නිහතමානී කලාකරුවකු වන ලාල් කුලරත්න ප්‍රවීණයා පානම්බොක්කේ රටේ රාල ගැන අතිශය ප්‍රථම වතාවට අපට කියන්නෙ මොනව ද බලමු.
- එක එක කාලයට ඔබ එක එක නම්වලින් කොහොමද මේ දිනවල ‘‘පානම් බොක්කෙ රටේ රාල’’ කියලා අමතන්න ද?
කැමති දෙයක් කියන්න. මේ දිනවල මම මගේ ජීවිත කතාව ලියාගෙන යනවා. ඒක නම් කරලා තියෙන්නෙ ‘‘අදිරියන්ගෙ හුට්ටප්පර’’ කියලයි. ‘බට්ටි නාට්‍යයේ චරිතය තමයි අදිරියන්. ලාල් කුලරත්න කිව්වාම මා ගැන දන්නෙ සියයට දෙකක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි. ඒ හැර චරිතවලින් තමයි දන්නෙ. ලියනමහත්තයා (එතුමා) සහ දැන් පානම් බොක්කේ රටේ රාල.
- බිරිඳ කතා කරන්නෙ කොහොම ද?
ලාල් කියනවා, මහත්තයා කියලත් කියනවා.
- ඇය මොනවද කරන්නෙ?
ඇය ගෘහණියක්. බිරිඳක්, මවක්, ගුණයහපත් කාන්තාවක්.
- යාළු - මිත්‍රයින් කොහොමද කතා කරන්නෙ?
ලාල් කියලා තමයි. මගේ ජීවිතයේ මම මුලින්ම ගුරුවරයෙක්, ඊළඟට පළාත් සභා මන්ත්‍රී කෙනෙක්. ඒ වගේ විවිධ අවස්ථාවලදී කළ රැකියා එක්ක ඒවාට අදාළව කතා කළ නම් තිබුණා.
ලාල් කුලරත්න සිය පවුල සමඟින්
- ‘‘ලාල් කුලරත්න’’ නමැති ගුරුවරයාට මොකද වුණේ?
2004දී ඒ ගුරුවරයා අතුරුදන් වුණා. 1980 මහා වැඩවර්ජනයට එක්වූ නිසා අවුරුදු පහක් විතර ගෙදර හිටියේ. මගේ විෂය වුණේ වාණිජ විද්‍යාව. නමුත් ආයෙත් රස්සාව ලැබුණාම මාව දැම්මෙ ප්‍රාථමික පංතිවලට. ඒ අතරෙදි නාට්‍ය රඟදැක්වීමට යුරෝපයට ගියා. මාසයක නිවාඩු අරගෙන ගියේ. එනකොට මාස තුන වුණා. එහෙමම ජොබ් එකත් නැතිව ගියා. ‘‘ප්‍රින්සිපල් ලෙටර් එකක් යවා තිබුණෙ ‘‘මේ ගුරුවරයා අතුරුදන්’’ කියලයි. ඉතින් එදා ඉඳලා ‘‘ගුරුවරයා’’ රැකියාව අතුරුදන් වුණා.
- එතකොට පළාත් සභා මන්ත්‍රීට හෙවත් පළා බබාට මොකද වුණේ?
අයියෝ ඒක තමයි මගේ ජීවිතේ මම කළ ලොකුම මෝඩකම. කිසිම වැඩක් නොකරන, වැඩක් කරන්න බැරි සුදු අලියෙක් වගේ තැනක්. සුදු අලියකු කියලා වෙස්සන්තර රජුටත් කරන නිගාවක්. මම සිටි අවුරුදු පහට මෙලෝ වැඩක් කරන්න තරම් ප්‍රතිපාදනවත් තිබුණෙ නැහැ. මම වැඩක් කළේ වෙන වෙන අයගෙන් අනුග්‍රහය ලබාගෙන. සාහිත්‍ය රසවින්දනය සහ ගර්භණී මාතාවන් උදෙසා වූ වැඩසටහනක් කළා. ගුරුවරයකු ලෙස අත්දැකීම් තිබූ මම පිළිගත් කිසිදු උපදෙසක් එයාලා පිළිගත්තෙ නැහැ. ඒ නිසා විමල්ට කියලා මම අයින් වුණා.
- වේදිකාවේ රඟපාන්න ආවේ?
මුල්ම කාලයේදීම මම ඉගෙන ගත්තෙ හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාල පීඨයෙන්. මගේ සමකාලීනයන් වන්නේ ඩග්ලස් සිරිවර්ධන, ධර්මසිරි බණ්ඩාරනායක, අපට වඩා ජ්‍යෙෂ්ඨ වූ හේමසිරි ලියනගේ ප්‍රවීණයින්. මාත් නාට්‍යකරුවකු වුණේ ‘‘විද්‍යාරත්න’’ භූමියට ගිය නිසයි. ජීවිතය පිළිවෙළකට පටන් ගත්තෙ විද්‍යාරත්නයෙන්. කුඩාම කාලයේදී මම හිටියෙ බාප්පා ළඟ. විවිධ අත්කම් නිර්මාණ ඇතුළු දේ කරන්න බාප්පා මට ඉගැන්නුවා. ඇත්තටම මම බාප්පා ළඟට ගියේ, ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදා වූ නිසයි.
- ඒ කිව්වෙ?
අපෙ අම්මා මියගියාම, තාත්තා කුඩම්මා කෙනෙක් ගෙනාවා. ඒ කුඩම්මා නමැති සංකල්පයේ ඇති භයානක දේ සම්පූර්ණයෙන් මට අත්විඳින්න සිද්ධවුණා. ඒ නිසා බැරිම තැන තමයි බාප්පා ළඟට ගියේ. බාප්පා නිසා බොහෝ නිර්මාණශීලී දේ මට ඉගෙන ගන්න ලැබුණා. අමතර වැඩවලට මුදල් හොයාගත්තෙ ඒ විදියට කළ නිර්මාණවලින්. ගෙදරින් ගිය නිසා ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව මට ආවා. ඒ නිසා ස්වාධීනව නැගී සිටීමට ශක්තියක් ලැබුණා. ඒ විදියට ආ ගමන පටන් ගත්තෙ වේදිකාවෙන්.
- ඒ විදියට යද්දි, ‘‘ලාල්’’ට අතිශ්‍ය ප්‍රථම වතාවට ප්‍රේමය මුණ ගැහෙන්නෙ?
පාසල් කාලයේදී ප්‍රථම ප්‍රේමය තිබුණා. පසුව කැම්පස් කාලයේදිත් ප්‍රේමයක් තිබුණා. විවාහය දක්වා ආ ප්‍රේමය ඇතිවුණේ හේමසිරි ලියනගේ මහත්තයා කළ ‘‘නරියා සහ කේජු’’ නාට්‍යයේ රඟපාන්න ගොස් සිටියදියි. ඒ නාට්‍යයේ රඟපාන්න දේවිකා මිහිරානි ආවා. එයාගේ තනියට එයාගේ අක්කා ශ්‍රියානි පෙරේරා ආවා. ‘‘නරියා සහ කේජු කෑල්ල’’ නාට්‍යයේ කේජු කෑලි දෙකයි තිබුණෙ. එකක් මම ගත්තා. අනෙක විජය නන්දසිරි ගත්තා. විජය – දේවිකාව විවාහ කර ගත්තා. මම ශ්‍රියානිව විවාහ කර ගත්තා.
- ඒ කියන්නෙ විජය නන්දසිරි සහ ඔබ මස්සිනාලා?
ඔව් මස්සිනාලා.
- අපි දැන් ‘‘ලලයි ලිලයි ලයි’’ ගැන කතා කරමු? ‘‘අතිශය ප්‍රථම වතාවට’’ කියන ‘‘දෙබස’’ ගෙනාවෙ ඔබම ද?
මෙහි පිටපත ලියන්නෙ රසික සුරවීරආරච්චි. අධ්‍යක්ෂ සුපුන් රත්නායක. ඉතින් ඒ දෙන්නා තමයි ‘‘අතිශය ප්‍රථම වතාවට’’ ගෙනාවෙ. මුල් කොටසේ සිට ඒ දෙබස ඇතුළත් වුණා. ඒ වගේ කිසිම දෙබසක් මම දාපු ඒවා නෙවෙයි. ඒ දෙබසට අනුව මම වචන උච්චාරණය කරමින් රඟපෑම් ඉදිරිපත් කළා. ඒ විදිය සමාජගත කරන්න රඟපෑ චරිත අනුව හැකි වෙන්න ඇති.
- කොහොම ද දැන් පානම් බොක්කෙ ‘‘රටේ රාලට’’ ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර හොඳයි. ඒ වගේ ප්‍රතිචාර මට අමුතුත් නැහැ. වේදිකා නාට්‍ය බොහොමයකට වගේම විවිධ චරිතවලට ඒ වගේ ලැබිලා තියෙනවා. අද ‘‘අතිශය ප්‍රථම වතාවට’’ ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඒ දෙබස ‘‘වයිරල්’’ වෙලා තියෙන්නෙ.
- මේ නාට්‍යයේ රඟපාද්දි ඔබට දැනෙන හැඟෙන විදිය මොන වගේ ද?
මෙහි මා දකින හොඳම දේ පිටපත. රසික සුරවීරආරච්චිගෙ පිටපත සරලව පෙනෙන නමුත් ගැඹුරක් තියෙනවා. සුපුන් රත්නායක එය සූක්ෂමව අධ්‍යක්ෂණය කරනවා. විශේෂයෙන්ම මේ නාට්‍යයේ රඟපාන රන්දික ගුණතිලකගෙ රංගනය දිහා බැලුවාම, එයා අති දක්ෂයෙක්. මම විශ්වාස කරන විදිහට ‘‘ප්‍රහසන’’ කියන දේ ලෙහෙසියෙන් රඟපාන්න බැහැ. විශේෂයෙන් පිටපතකට අනුව රඟපෑම ඉතා අසීරුයි. ප්‍රහසනාත්මකව රංගනයේ යෙදෙන එක හරි අමාරුයි. සියලුම ස්තරවල සිටින අය මේ නාට්‍ය නරඹන්නෙ ඒ වගේ සියලු දේ නිසා වෙන්නැති.
ඔබ නව පරපුර ගැන සුබවාදීව සහ යහපත් විදියට කතා කළත්, නව පරපුරේ සමහර අය මාධ්‍ය සමග එතරම් බැඳීමක් ගරුත්වයක් නැති ගානයි.
මෙහෙමයි, එක එක ස්වභාවයන් නිසා ඒ විදිය බලපානවා ඇති. අද සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ මාධ්‍ය පුළුල් වෙලා. ඉතින් ඒ නිසා සමහර විට පුවත්පත් මාධ්‍ය එහෙම අවශ්‍ය නැතුව ඇති. ඒ වගේම ලැබෙන ජනප්‍රියත්වය දරා ගන්න බැරිකම නිසා එහෙම වෙනවත් ඇති. ඒ සියල්ල වෙන්නෙ තම තම අධ්‍යාපනය සහ දැනුම මතනෙ. ඒ ඒ චරිත ස්වභාවයෙන් සහ එයාලා ආ අතීත ගමන දෙස බැලුවොත්, චරිත ස්වභාවය මැන ගන්න පුළුවනි. ඒ වගේම අද ඉස්සර වගේ සම්පූර්ණ පිටපතක් ලැබෙන්නෙ නැහැනෙ. ඉස්සර අපි රඟපාන්න ගියේ පිටපත අධ්‍යයනය කරලා. අද ලොකේෂන් එකට ගියාම තමයි පිටපත් කෑල්ලක් ලැබෙන්නෙ. ඒ නිසා චරිත රඟපෑම කළත්, පරිචය ලබන්න තියෙන අවස්ථා අඩුයි.
- මේ විදියට අදහස් දක්වන ආදරණීය ලාල් හෙවත් කුලේගේ ගෙදර ජීවිතය ගැන කියමු?
බිරිඳයි, මමයි දරුවො හතර දෙනයි. පුතාලා දෙන්නයි. දූලා දෙන්නයි. ලොකු දුව කාලයක් එයාගේ සැමියා එක්ක විදෙස්ගතව සිටියෙ. අද ඇයගෙ සැමියා සමග ව්‍යාපාරික කටයුතුවල නියැළෙනවා. (ඉංජිනේරු අංශයේ) දෙවැනි පුතා නිවාස අමාත්‍යාංශයේ සහ තෙවැනි පුතා සමාගමක රැකියාව කරනවා. එයාලා විවාහකයි. හතරවැනි දියණිය ඕස්ට්‍රේලියාවේ ඩිකින් කැම්පස් එකේ ශිෂ්‍යත්වයක් ලැබිලා එහේ ගිහින් ඉගෙන ගෙන දැන් එහි සිට ජීවිතය ගෙවනවා.
- ලාල් ජීවිතය සතුටින් ද?
සතුටින්. දරාගැනීමේ හැකියාව තමයි මිනිසකුට සතුට ඇති කරවන්නෙ. දුක-සැප යන-එන ජනප්‍රියත්වය ආදී සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන කටයුතු කළොත් නිහතමානී වුණොත් ‘‘සතුට’’ ජීවිතවල තියේවි.
සඳුන් ගමගේ