(නිශාන්ත කුමාර)
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයා ගේ මළ සිරුර මිහිදන් කළ ඔහුගේ නිවසට යාබද සුසානභුමියට ඊයේ (09) රාත්‍රියේ සිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (09)පැවැති නඩුවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් මිය ගිය සත්සර නිමේෂ්ගේ මෘත දේහය යළි ගොඩ ගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් යළි පවත්වන ලෙස දුන් තීන්දුවක් අනුව මරණයට අවශ්‍ය ආරක්ෂාව සැපයීම සඳහා මෙලෙස පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි කන්දකැටිය පොලීසිය කියයි.
බදුල්ල මීගහකිවුල පදිංචි නිමේෂ් සත්සර නමැති මෙම තරුණයා අප්‍රේල් මස 01 දින වැලිකඩ පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවලට ලක්ව මිය ගොස් ඇති බවට ඔහුගේ මව වන ලේකම් වසම් ලියනගේ සමන්ති මහත්මිය කරන ලද පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය කරන ලද විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.