අධිතක්සේරුව නොව යථාර්ථයෙන් ක්‍රීඩා කරමු


විස්සයි20 ලෝක කුසලානයේ පළමු සතිය නිමා වෙමින් තිබේ. මේ තරගාවලිය ආරම්භයේ දීම ඇමෙරිකාවේ ඇරන් ජෝන්ස් අපූරු ඉණිමක් ක්‍රීඩා කරමින් ඇමෙරිකාවේ නාමය ක්‍රිකට් පිටියේ රැඳෙව්වේය. එයින් පසුව බොහෝ දෙනා කතා කරන්නට වූයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ගැනයි. මේ තරගයේ දී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන්නේ ඇයි ද යන පැනය බොහෝ ක්‍රිකට් රසිකයන්ගේ සිත් තුළ පමණක් නොව ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන් තුළ ද මතු වූ ප්‍රශ්නයකි. 

සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකයාගේ ප්‍රතිචාරය වූයේ පසුගිය තරග කිහිපයම ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදී ජය ගැනීම නිසා තමන්ගේ පන්දු යවන්නන් ගැන විශ්වාසයක් තිබූ බවයි. ඒ නිසා පළමුව පන්දුවට පහරදීම තෝරා ගත් බව නායකයා කීවේය. 

කාසියේ වාසිය උරගා බැලීමට එන්නේ නායකයා වුවත් මේ තීරණය නායකයාගේ පමණක් නොවන බව ක්‍රිකට් ගැන දන්නා සියලු දෙනා දනිති. ඒ අනුව මෙය සමූහික තීරණයකි. මේ සමූහික තීරණයට හේතුව වී තිබුණේ පසුගිය සමයේ ශ්‍රී ලංකාව විස්සයි20 තරගවලදී පළමුව පන්දු යවා වැඩි තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම යැයි නායකයා කීය. එහෙත් එය විශ්වාස කළ හැකි තත්ත්වයක් ද? කිසිම දිනක තරගයක් පවත්වා නැති එකම එක පුහුණු තරගයක් පමණක් පවත්වා ඇති තණතිල්ලක් දෙස උඩින් බලා තීරණය කරන්නේ කෙසේ ද? එම පුහුණු තරගයේ දීත් ප්‍රබල ඉන්දීය කණ්ඩායම දුර්වල බංග්ලාදේශයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් බවත් අමතක නොකළ යුතුය. එවැනි මෙලෝ හසරක් නොදන්නා තණතිල්ලක අධිවේගී පන්දුයවන්නන් තිදෙනෙකු සහ මඳවේග පන්දු යවන්නෙකු සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කරන “ක්‍රිකට් මොළ” මොනවාදැයි යන්න ගැන පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. උදේ 10.30 ට එස්.එස්.සී පිටියේ දී ක්‍රීඩා කළත් දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායමක් ඉදිරියේ පළමුව පන්දුවට පහර නොදෙන ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරම් ලොකුකමක් ආවේ කෙසේ ද? ශ්‍රී ලංකාව තමන්ට විශ්වාසවන්ත ආකාරයට තරගයට පිවිසුණේ යැයි විස්තර විචාරක රසල් ආනෝල්ඩ් කීය. අනෙක් විචාරකයන් මෙය පුදුමයක් යැයි කියද්දී රසල් තීරණය නිවැරදි යැයි කියන්නට උත්සාහ කළේය. ඒ ඇයිදැයි පුදුමයකි. 

මේ තරගයට පෙර ගෙවුණ වසරක කාලයේ දී ශ්‍රී ලංකාව විස්සයි20 තරග 10 කට ක්‍රීඩා කළේය. මෙයින් එක් තරගයක් අත්හැරිය යුත්තේ එය ආසියානු ක්‍රීඩා උළෙලේ තරගයක් වූ බැවිනි. මේ අනුව තරග 9 ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6 ක් ජයගෙන 3 ක් පරාජය වූයේය. මෙයින් තරග 4 ක් පළමුව පන්දුවට පහරදී ලබාගත් ජයග්‍රහණ විය. එහෙත් අමතක නොකළ යුත්තේ, පරාජයට පත්වූ තරග 3 න් 2 ක්ද පළමුව පන්දුවට පහරදී විඳගත් පරාජයන් බවය. මෙහි තවත් වැදගත් කරුණක් වෙන්නේ මේ තරග කොළඹ, දඹුල්ල සහ සිල්හෙට් හි පැවති තරග බවයි. මේ තණතිලි ගැන අපි නොදන්නේ නැත. පළමුව පහරදීමට විශාල චකිතයක් ඒ අනුව නැත. 

 එසේ තිබියදීත් අප පළමුව පන්දුවට පහරදුන් තරග හයම අප කාසියේ වාසිය පරාජය වීම නිසා ප්‍රතිවාදියා විසින් අපට පන්දුවට පහරදීමට ආරාධනා කළ අවස්ථාය. අමතක නොකළ යුත්තේ, අප කාසියේ වාසිය දිනා පන්දු රැකීම තෝරා ගත් තරග තුනකින් දෙකක් ජය ගැනීමට සමත්ව ඇති බවය. මේ සම්බන්ධයෙන් වසර දෙකක කාලයක තොරතුරු සොයා ගියහොත් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අවස්ථා 2 කින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක්වරක් පමණි. කාසියේ වාසිය දිනා තරග 9 කදී පන්දු රැක ඇති අතර එහිදී තරග 6 ක් ජයගෙන තිබේ. ප්‍රතිවාදියා විසින් පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කිරීම නිසා තරග 16 කදී ජයග්‍රහණ 7 ක් පමණක් ලබා ඇත. 

මේ සියල්ල සලකා බලන විට පළමුව පන්දුවට පහරදීමේ ප්‍රාතිහාර්යයක් ශ්‍රී ලංකාව පා නැත. එහෙත් කාගේ හෝ ඔළුව ලොකු වී මොළය කුඩා වීම නිසා මේ අර්බුදයට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේය. තරගය මැද හරියේදී ලකුණු 120 ක් ඇති යැයි හැඟෙන විටත් එයට ගමන් කිරීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවෙන් දිස් වූයේ නැත. ඒ වෙනුවට නොපෙ​ෙනන විශාල ලකුණු ගණනකට යෑමේ උත්සාහයක් දැක ගත හැකි විය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකයා මාධ්‍ය හමුවේ දී පවසා සිටියේ තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩාගාරයෙන් කිසිදු පණිවුඩයක් පැමිණියේ නැති බවයි. එය එසේ නම් විශාල වරදකි. 

අනෙක් අතින් අප ලකුණු 120 ක් ඇති කියන්නේ දකුණු අප්‍රිකාව සෙමින් පන්දුවට පහරදීම නිසාය. ඔවුන්ට ඉලක්කය වැඩි වූවා නම් වේගය වැඩි වෙන්නට තිබුණි. ස්ටබ්ස් ගේ උඩපන්දුව මෙන්ඩිස් අල්ලා ගත්තා නම් ක්ලාසන් පැමිණ ඕවර 10 කින් තරගය අවසන් කරන්නටද ඉඩ තිබුණි. 

එහෙත් කිසිදු දෙයක් නොදන්නා තණතිල්ලේ පහරදීම දකුණු අප්‍රිකාවට පැවරුවේනම් ඔවුන් ලබාගන්නා ලකුණු 120 හඹා යෑමේ දී මීට වඩා ධනාත්මක වෙන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණි. මෙන්ඩිස්, සමරවික්‍රම, පැතුම් සහ ශානක පහර දුන් ආකාරය අනුව නම් 120ක් ලබා ගැනීම ශ්‍රී ලංකාවට අසීරු විය හැකිව තිබූ බව අපේ අදහසයි. කෙසේ හෝ වේවා මේ ආකාරයෙන් දැඩි පසුබෑමක් ලබන්නේ නැත. එයට හේතුව, තණතිල්ල ගැන චකිතයක් නොමැතිවීමයි. නොදන්නා තණතිල්ලක දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් මෙල්ල කළ හැකි යැයි අපේ පිතිකරුවන් අධිතක්සේරු කළ මේ වැරදි තීරණයෙන් සිදුවූයේ බංග්ලාදේශය සමග තරගයට දැඩි පීඩනයක් දමාගැනීමයි. දැන් එය ජයගත යුතුම තරගයක් බවට පත්ව හමාරය. 

මේ තරගයෙන් පසුව හෙළි වූ ප්‍රධානම කරුණ වෙන්නේ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට දී ඇති තරග සැලැස්ම අපට අතිශය අහිතකර බවය. මහීෂ් තීක්ෂණ මෙය අනාවරණය කළේය. ඒ අනුව පළමු තරගයට පෙර කණ්ඩායම පුහුණු වීමක් හෝ සිදු කර නොමැත. එපමණක් නොව, පළමු තරගය හමාර වූ සැණින් ශ්‍රී ලංකාව ටෙක්සාස් බලා යා යුතුව තිබුණි. එම තරගය නිමා වූ පසුව ෆ්ලොරිඩා වෙත යා යුතුව තිබේ. එම තරගයෙන් පසුව කොදෙව් දූපත් හි ශාන්ත ලුසියා වෙත යා යුතුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු වටයේ තමන් සහභාගී වෙන තරග 4 ක්‍රීඩා පිටි 4 ක ක්‍රීඩා කරයි. එමෙන්ම ඒවා ඇත්තේ කොළඹ සිට ගාල්ල වැනි දුර ප්‍රමාණවලින් නොවේ. කිලෝ මීටර දහස් ගණනක් දුරිනි. මෙවර තරගාවලියේ දී මේ අසාධාරණයට ගොදුරු වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය පමණි. නවසීලන්තය, උගන්ඩාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව එකම ක්‍රීඩා පිටියේ තරග 3 බැගින් ක්‍රීඩා කරයි. අනෙක් සියලු කණ්ඩායම්වලට අවම වශයෙන් එක පිටියක තරග දෙකක් ලැබී තිබේ. ශ්‍රී ලංකාව වැනි ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයකට අයි.සී.සී.ය මෙසේ සැලකුවේ ඇයිදැයි යන්න සොයා බැලිය යුතුය. එසේම නිව්යෝර්ක් හි අපට ලැගුම් ගැනීමට ලබා දී ඇති හෝටලයද ක්‍රීඩා පිටියට බොහෝ දුරින් පිහිටා ඇතැයි කියවුණි.

මෙය සම්පූර්ණයෙන්ම ක්‍රිකට් කළමනාකාර වරයාගේ සහ ප්‍රධාන විධායක සහ ඔවුන්ගේ කාර්යමණ්ඩලවල වගකීමකි. අපට ලැබෙන තොරතුරුවලට, අනුව බංග්ලාදේශය අයි.සී.සීය විසින් ලබාදුන් නවාතැන් ක්‍රීඩා පිටියට දුර බැව් තේරුම් ගෙන ඒවා වෙනස් කරගෙන ඇත්තේ මීට මාස 3 කට පෙරය. බංග්ලාදේශයට එසේ හැකි නම් ශ්‍රී ලංකාවට කළ නොහැක්කේ කෙසේ ද? ක්‍රිකට් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නවාතැන් ගැනීමට ඇති ස්ථාන පමණක් නොව තරග කාලසටහන ගැනද ඇස්කන් පියාගෙන සිටියේ ඇයි ? ප්‍රධාන ටෙස්ට් රටවල් සියල්ලට පමණක් නොව අර්ධ සාමාජිකයන්ටද තරග 4 ක් ක්‍රීඩා කිරීමේ දී අවම වශයෙන් එකම ක්‍රීඩා පිටි 3 ක් ක්‍රීඩා කරන්නට දෙද්දී අපට පමණක් එය නොමැතිවෙන්නේ ඇයිදැයි ඇසිය යුතුව තිබුණි. පුහුණ තරග ක්‍රීඩා කළ ක්‍රීඩා පිටිය තරගයක් සඳහා ලබා දී ඇතත් තරග වෙනුවෙන් ගුවනින් යා යුතු කාලය ගැන ඇති අදහස කුමක්ද? අනෙක් අතින්, ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකම ක්‍රීඩා කළ ෆ්ලොරිඩා හිදී මුහුණ දෙන්නේ නේපාලයටයි. අවම වශයෙන් හුරු පුරුදු ක්‍රීඩා පිටියේ දී බංග්ලාදේශය මුණගැසීමේ වාසිය හෝ ශ්‍රී ලංකාවට අත් විය යුතු නොවේ ද? මේ කිසිවක් කළමනාකරණයේ ඉහළින්ම සිටින සියලු දෙනා සොයා නොබැලුවේ ද? ක්‍රිකට් ආයතනය කළමනාකරණය කරන පිරිසට විශාල වැටුප් ගෙවන්නේ මෙවැනි තීරණාත්මක අවස්ථාවලදී ඉතා ඉක්මනින් මැදිහත් වී ඒවා විසඳීමට නොවේ ද? යම් හෙයකින් ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක් දක්වා ශ්‍රී ලංකාව පැමිණියහොත් මේ සියලු වැරදි අමතක වෙන නිසා දැන්ම ඒවා ගැන පැහැදිලි ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ. 

පසුගිය සතියේදී පැපුවානිව්ගිනියා සහ නේපාල කණ්ඩායම් ඉතාම හොඳින් තරග කරනු දැක ගත හැකිවිය. විශේෂයෙන්ම පැපුවානිව්ගිනියා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව දියත් කළේ සුවිශේෂ තරගයකි. අත්දැකීම් තිබුණා නම් එය ජයගැනීමට තිබූ තරගයකි. අනෙක් අතින්, නේපාලය නෙදර්ලන්තය හමුවේ හොඳ තරගයක් දුන්නේය. අප විශ්වාස කළ අයුරින්ම ඕමානය සහ නැමීබියාව අතර තරගය අතිශය තිබුණු එකක් බවට පත්විය. ඇමෙරිකාව සහ කැනඩාව අතර තරගයද ඒ ආකාරයෙන්ම විය.

ඉරිදා පැවැත්වෙන පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය මේ තරගාවලියේ සුවිශේෂ එකක් වෙනු ඇත. එය ක්‍රිකට් ලෝකයම බලා සිටින තරගයයි. එහෙත් එදිනම පැවැත්වෙන ඕමානය සහ ස්කොට්ලන්තය අතර තරගයද ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය තරම් තියුණු විය හැකි තරගයක් බව අමතක නොකළ යුතුය. 

මේ සතියේ දී ශ්‍රී ලංකාවට වැදගත් වෙන තරගය සඳුදා පැවැත්වෙන දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගයයි. ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජයට පත්කර ඇත්නම් අවශ්‍ය වෙන්නේ දකුණු අප්‍රිකාව හමුවේද බංග්ලාදේශය පරාජයට පත්වීමයි. කෙසේ වුවද බංග්ලාදේශයට ඩැලස් හි සිට කෙළින්ම පැමිණ මේ තරගයට සහභාගීවීමට සිදුවීම නිසා ඔවුන් පරාජයට පත්වීමට වැඩි ඉඩක් නැතුවා නොවේ. 

බදාදා ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය පැවැත්වෙයි. ඉතා විශ්වාසයෙන් පන්දු යවන හොඳ පන්දු රැකීමක යෙදෙන නේපාලය හමුවේ ශ්‍රී ලංකාව පහසු ජයක් ලබනු ඇතැයි විශ්වාසය වුවද එය සැබෑවක් කර ගැනීමට ශ්‍රී ලංකාවට සෑහෙන මහන්සි විය යුතු බව පැහැදිලිව පෙනේ. නේපාලයේ ප්‍රශ්නය පිතිකරුවන්ගේ අසාර්ථකත්වයයි. සොම්පල් කමි, කේසී කරන් යන වේග පන්දු යවන්නන් දෙදෙනා ඉතාම හොඳින් පන්දු යවන බව පෙනේ. මෙය ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. 

 එසේම දකුණු අප්‍රිකාව සමග තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගත් ආකාරයට නොව බංග්ලාදේශය සහ නේපාලයට එරෙහිව දුෂ්මන්ත චමීර කණ්ඩායමට පැමිණිය යුතු බව අපේ අදහසයි. එසේම කමිදු මෙන්ඩිස් සහ සමරවික්‍රම යන දෙදෙනාම ක්‍රීඩා කළ යුතු නැතැයි යන්න අපි විශ්වාස කරමු. අනෙක් අතින්, ඩැලස් හි මෙතෙක් පැවති තරගවලදී වේග පන්දු යවන්නන්ට සහායක් ලැබෙන බවද පෙනෙන්නට තිබේ. මේ නිසා සෙනසුරාදා තරගයේ දී දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇතැයි අපේ විශ්වාසයයි. නේපාලයට එරෙහිවද ඔහුගේ සහාය අවශ්‍යය. 

බ්‍රහස්පතින්දා දිනයේ දී ‘‘සී’’ කාණ්ඩයේ තීරණාත්මක තරගය පැවැත්වෙයි. ඒ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතරය. මේ තරගය මෙන්ම එදිනම පැවැත්වෙන නෙදර්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගය ඔබ නැරඹිය යුතුම තරගයක් ලෙස දැක්විය හැකිය. 

බොහෝ විට මේ සතිය අවසන් වෙනවිට අවසන් අට දෙනා කවුදැයි යන්නට ගැන අදහසක් ඔබට ලබා ගත හැකි වෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. ස්කොට්ලන්තයට එරෙහි තරගයේ දී එක් ලකුණක් ලැබීම එංගලන්තයට ‘‘බී’’ කොටසේ ඉහළට පැමිණීමේ මාර්ගය අවහිර කිරීමක් වෙනු ඇත. මෙය ඔස්ට්‍රේලියාවට වාසියකි. තත්ත්වය මෙසේ වෙද්දී අප පෙරදී මතක් කළ ඇමෙරිකාවේ ඇරන් ජෝන්ස් මෙන්ම නෙදර්ලන්තයේ මයිකල් ලෙවිට්, කැනඩාවේ නිකලස් ක්‍රිටන්, නේපාලයේ කුෂාල් මල්ලා සේම ස්කොට්ලන්තයේ මයිකල් ජෝන්ස් ගැනද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ක්‍රිකට් ප්‍රේමීන්ට අවබෝධ වී ඇතුවාට සැක නැත. එසේ කියන්නේ, මේ ක්‍රීඩකයන් නිතර ජාත්‍යන්තර තරගවලදී අපට දැක ගැනීමට අවස්ථාවක් නොලැබෙන නිසාය. 

ඔබ මේ සටහන කියවන සෙනසුරාදා දිනයේ දී ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ ඉදිරියට යනවා ද නැද්ද යන ප්‍රශ්නය විසඳෙනු ඇත. මෙය ශ්‍රී ලංකාව පීඩනයක් යටතේ තරග වදින අවස්ථාවකි. මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවෙන් උපරිමය එළියට එන බව අපේ අත්දැකීමයි. මේ තරගය වෙනුවෙන් උපරිමයටත් මඳක් වැඩියෙන් අවශ්‍ය කර තිබේ. ගෙවුණු සඳුදා දිනයේ ගත් වැරදි තීරණ අමතක කර, එළැඹෙන සතියේත් ලෝක කුසලානය තුළ රැඳී සිටින කණ්ඩායමක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබේවා! 


  • කාංචන දසනායක