අඹකදවිල වෙරළේ පුහුණුවිම් වල නිරත පාරමි
‘‘අනේ මේ සේරම මට දුන්නේ මගේ තාත්තා. එයා ධීවර රස්සාවට ගිහින් අන්දමන් දූපත් වල සිර වෙලා එන්න විදිහක් නැති වෙලා. එයාව ලංකාවට ගෙනත් දෙන්න. මට වෙන මොනවත් ඒපා’’ යැයි යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාවක වන පාරමී වසන්ති මාරිස්ටෙලා දැරිය දෙනෙතේ කඳුළු ගුලි කරමින් මහත් වේදනාවෙන් බලධාරීන්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටින්නීය.
ඇය දැඩි දුෂ්කරතා මැද තම පියාගේ ධෛර්යයෙන් දිගු ගමනක් පැමිණ තිබුණේ අනාගත ඉලක්ක ජය ගැනීමට වෙර දරමිනි.
ඈ ආ මග කටුකය. බාධක එමටය. නමුත් ඇය මහත් කැපවීමකින් තම අරමුණ කරා ගමන් කරමින් ඇත.
කෙසේ නමුත් මේ සියල්ල හමුවේ පාරමී මේ දිනවල දැවැන්ත කම්පනයකට පත්වී සිටියි. ඒ මෙයට මාස 7 කට පමණ පෙර බහුදින යාත්‍රාවකින් මුහුදු ගිය තම පියා රැකියාවේ නිරත වූ යාත්‍රාව මියන්මාර් මුහුදු ආරක්ෂකයින් යටතට පත් වීමත් සමගය.
මියන්මාර් අත්අඩංගුවෙන් නිදහස් ව අන්දමන් දූපත් වෙත එවා මාසයකට වැඩි කාලයක් ගතව ඇතත්, තවමත් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශ්‍රී ලංකා බලධාරීන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීමත් සමග, පාරමීගේ පියා ඇතුළු ධීවරයෝ පිරිස අන්දමන් දූපතේ අන්ත අසරණ වී සිටිති.
මේ සියල්ල හමුවේ පාරමීගේ පවුලේ බර කරට ගැනීමට ඇගේ මවට සිදුව ඇත්තේ රෑ මැදියම තෙප්පමක නැගී ගොස් කළපුවේ දැල් එළමින්, මසුන් අල්ලා ගනිමින් එයින් ලැබෙන සොච්චම් මුදලින් පාරමීගේ හා සොහොයුරියගේ කුස පිරවීමට කටයුතු කිරීමටය.
පාරමි තම මව හා සොහොයුරිය සමග දැල් සකසමින්
පාරමීගේ අලුත් තොරතුරු සොයා ඇගේ නිවසට යන විටත් පාරමීගේ මවත්, සරසවි ශිෂ්‍යාවක වන සොයුරියත් අලුයම කළපු රැකියාවට රැගෙන ගිය දැල් වල රැඳී තිබූ දෑ ඉවත් කරමින් සිටිනු දැක ගත හැකි විය.
එහිදී හඬ අවදි කළ පාරමීගේ මව රීටා මාග්‍රට් සිල්වා මහත්මිය මෙසේ පැවසුවාය.
“පාරමී යොවුන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කරලා රටට එද්දී වාහන පෝලිම්වල දිග දැක්කාම, පොරොන්දු දුන්න පිරිස දැක්කාම මම හිතුවා පාරමී ආරක්ෂා කරගන්න ලොකු පිරිසක් ඉන්නවා කියලා.
ඒ නිසා අපිට ලොකු ශක්තියක් වුණා කියලා අපි හැම තිස්සේම හිතුවා. නමුත් පාරමී වෙනුවෙන් දුන්න කිසිම පොරොන්දුවක් අද වෙනකම් ඉටු කළේ නැහැ.
අඩුම තරමින් පාරමීගේ පෝෂණය වෙනුවෙන් කිරි පැකට් එකත් ලැබෙන්නේ නැහැ.
එ්ත් එක්කම නිවසක් ලබා දෙනවා කියලා දුන්න යතුර තිබුණ බෝඩ් එක විතරක් අපි ගාව තියෙනවා.
මේ තමා පාරමීට සලකපු විදිහ. පාරමීගේ තාත්තා මේ අවුරුද්දේ ජනවාරි 4 වැනිදා මාළු රස්සාවට යද්දී බහුදින යාත්‍රාවේ ඇන්ජීම නැවතිලා වෙන සීමාවකට ඇදගෙන ගිහින් තිබුණා.
එදා ඉඳලා දැන් මාස හතයි. කියන්න පුළුවන් හැම තැනකටම කීවා, අද වෙනකම් කවුරුත් බැලුවේ නැහැ. කියන්න දුකයි, මේ තමයි පාරමීට සලකන විදිහ. පාරමී මේ පාර උසස් පෙළට ලියනවා. තාත්තා ළඟ නැති එක එයාට ලොකු හිත් වේදනාවක්. පාරමී වෙනුවෙන් කරන්න පුළුවන් එකම උදව්ව තමා එයාගේ තාත්තා කොහොම හරි ගෙනත් දෙන එක.’’
සබරගමුව සරසවියේ ක්‍රීඩා කළමනාකරණය සඳහා අධ්‍යයන කටයුතු වල නිරතව සිටින පාරමීගේ සෙහොයුරිය නිශාන්ති දිල්හානි ප්‍රනාන්දු මෙසේ කීවාය.
“අපේ තාත්තා නැතුව අපි අසරණ වෙලා ඉන්නේ. කිසිම කෙනෙකු අපි කෑවාද කියලා අහන්නේ නැහැ. හරිම දුකයි. නමුත් අපි කෙහොම හරි ඉස්සරහට යනවා’’ යැයි ඇය කීවාය.
සියල්ල හමුවේ ඔලිම්පික් පදක්කම රටට ගෙන ඒමට පාරමීගේ සිත තුළ ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. මේ ඇය හඬ අවදි කළ අයුරුයි.
“මම මුලින්ම පාසල් ගියේ අඹකඳවිල ශාන්ත රෝගුස් විදුහලට. ඒ 8 ශ්‍රේණිය දක්වා. ඉන් පස්සේ කුලියාපිටිය මැදි මහ විදුහලේ මේ වනතුරු අධ්‍යාපනය හදාරණවා. මෙවර මම උසස් පෙළට කළා අංශයෙන් පෙනී සිටීමට සුදානමින් තමා ඉන්නේ . ක්‍රීඩාව පැත්තෙන් කතා කරද්දී මම මේ වනවිට මට ලංකාවට ගෞරවයක් අරන් එන්න පුළුවන් අවස්ථා කීපයක් උදාවුණා.
එයින් 2018 අවුරුද්ද මට අමතක කරන්න බැහැ. ඒ තුන් වැනි යොවුන් ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් මීටර් 3000 බාධක දිවීම ඉසව්ව වෙනුවෙන් ලබා ගත් ලෝකඩ පදක්කම.
ඒ නිසාම මා දිහා ශ්‍රී ලංකාවම බලා ඉන්නවා කියලා මම තේරුම් ගත්තා. නමුත් දුක හිතෙන සිදුවීම් ගොඩක් එක්ක තමයි මේ ගමන යන්නේ.
ඒ එක්කම මම මීටර් 800, 1500, 400 තමා වැඩිපුර තෝරා ගන්නේ. එයට අමතරව මීටර් 3000 මගේ ලොකු ඉලක්කයක් එක්ක යන ගමනක්.
මේ වනවිට මම ලෝකය පුරා පැවැත්වුණ තරග රැසකට එක්වෙලා තියෙනවා. එයින් 2016 දී රුසියාවේ පැවැති මීටර් 2000 තරගයෙන් රිදී පදක්කමත්, 2018 ජපානයේ පැවැති 18 වැනි කණිෂ්ඨ ආසියානු තරගාවලියෙන් රන් පදක්කමත්, 2018 තායිලන්තයේ පැවැති යොවුන් ඔලිම්පික් තේරීම් මීටර් 2000 බාධක දිවීමේ තරගයෙන් රන් පදක්කමත් එක්කම, පින්ලන්තයේ පැවැති තරගාවලියෙන් ලෝකඩ පදක්කමත්, 2018 ආජන්ටිනාවේ පැවැති තරගයෙන් ලෝකඩ පදක්කමත් ඇතුළු තරග රැසකින් ජය අරන් තිබෙනවා.
නමුත් මේ සියල්ලටම මගේ පිටුපස හිටපු තාත්තා දැන් මාස හතක් තිස්සේ මුහුදු ගිහින් මේ වනවිට අන්දමන් දූපතේ හිරවෙලා දුක් විඳිනවා.
මේ නිසා මගේ ජීවිතය දැන් කඩා වැටිලා. මම වැඳලා ඉල්ලන්නේ අනේ මගේ තාත්තා ගෙනත් දෙන්න කියලා.
එයා තමයි අපිව ජීවත් කළේ. මම මොන දෙවල් කළත් තාත්තා ළඟ හිටියා. අද එයා නැතිව මට ගමන යන්න අමාරු වෙලා’’ යැයි ඇය වේදනාවෙන් පැවසුවාය.
මේ ආයාචනාත්මක ඉල්ලීම පාරමී වෙනුවෙන් නොව, අනාගතය වෙනුවෙනි. බලධාරීන් මේ සඳහා මැදිහත් වනු ඇතැයි අපි බලා ඉන්නෙමු.
සටහන ඡායාරූප
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ