ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි මේ.
අනියම් ඇසුරින් දිවි අහිමිවූ මුව ඝාතකයා
සත්ව ඝාතනය එලොවදී හෝ මෙලොවදී පලදෙන පාපයක් බවත් එයින් මිදීමට සාමාන්‍ය අයකුට නොහැකි බවත් අපි දනිමු. සතුන් මැරීම පාපයක් වන අතර එසේ මැරීමට වංචා සහගත විධි අනුගමනය කිරීම තවත් පාපයකි. තිරිසන් සතුන්ට බුද්ධියක් නොමැති නිසා උන් පහසුවෙන් මිනිසාගේ උපක්‍රමවලට හසුවෙති. එසේ උපක්‍රමවලින් මැරීම ප්‍රාණඝාතයට වඩා බලවත් පාප කර්මයකි. කාමයෙන් මුසපත් වූ විට මිනිසා මෙන්ම තිරිසනාද පහසුවෙන් මේ උගුල්වලට හසුවෙති. එසේ උපක්‍රම යොදා පසුව සතුන් මරණයට පත්කළ පාපතරයකුගේ කතාවෙකි මේ.
මෙය පනහෙ දශකයේ අවසාන භාගයේ පමණ රජරට රුවන්මැලි සෑ රදුන්ගේ කොත් කැරැල්ල දිස්වෙන ශ්‍රී මහ බෝ සමිඳුගේ සිහිල ලබන සුළඟ වැදෙන ප්‍රදේශයේ පිහිටි සුන්දර ගම්මානයක සිදුවූ දෙයකි.
පියසේන යනුවෙන් මොහු හඳුන්වමි. පියසේන ගමේ සාමාන්‍ය සිල්ලර කඩයක් හිමි ගොවියකුගේ පුතෙකි. පියසේනගේ පියා ගොවිතැන් කළ ද පියසේන කය වෙහෙසා වැඩකිරීමට අකමැති නිසා සිල්ලර කඩය භාරව කටයුතු කළේය. ප්‍රසිද්ධ පාරක් අයිනේ කඩය පිහිටි නිසා පියසේන එයටම ආපනශාලාවක් ද යා කළේ ව්‍යාපාරය දියුණු කරගැනීමේ අදහසිනි.
තරුණ වයසේ සිටිය ද ඔහු මත්වතුරට ඇබ්බැහි වී සිටි නිසා ඔහුට සහකාරියක් සොයාගැනීම අපහසු විය. පියසේන දඩයමේ ගිය දිනයක මුව දෙනත් මරා මුව පැටියා නොමරා අල්වාගෙන ආවේය. මුව පැටියා ගැහැනු සතෙකි. පියසේනගේ නිවසේ මුව පැටියා ඇති දැඩිවිය. ගමේ කවුරුත් ඇයට ආදරය කළහ. කුඩා මිනිගෙඩියක් ගෙලෙහි බැඳ තිබූ නිසා කාටත් ඌ හඳුනාගත හැකිවිය.
තරුණ වියට එළඹුණ විට මිනිසාට මෙන්ම තිරිසනාටද ලිංගික ප්‍රේරණය හටගනී. මේ මුව නෑම්බියද ටිකෙන් ටික කැලයට පුරුදු වූවාය. කොතැනක ගියත් සවසට අැයට වෙන්කළ මඩුවට පැමිණීම ඇයගේ සිරිතය. දිනක් ඇයගේ පසුපසින් මුව නාම්බෙක්ද පැමිණියේය.
එකල මුවෝ ගෝන්නු රජරට කැලයේ හිඟ නොවූහ. පැමිණි මුව නාම්බා පියසේනගේ ගොදුරක් බවට පත්විය. නිතර නිතර කැලයට යන මේ මුව නෑම්බියගේ පසුපසින් එන මුව නාම්බෝ පියසේනගේ මස් ජාවාරම සරුකරන්නට සමත්වූහ. ඒ නිසාම මුව මස් සඳහා පියසේනගේ වෙළෙඳසල ප්‍රසිද්ධ විය.
අද මෙන් වනජීවී අංශයක් හෝ පොලිස් පරිසර අංශයක් නොවූයෙන් පියසේනගේ අතමිට සරුවිය.
ගමේ රූමත් කාන්තාවන්ට නොයෙක් විදියේ තෑගි බෝගදී තමාගේ සිතැඟි ඉටුකර ගැනීමටද පියසේන පුරුදු විය. සැමියන් නිවසේ නැති අතර නිවෙස්වලට රිංගා ගැනීමේදී පියසේනට රෑ දවල් වෙනසක් නොවීය.
ඒ කාලයේ ගම්බද බොහෝ නිවෙස් කටුමැටි ගසා පිදුරු හෝ පොල් අතු සෙවිලි කළ ඒවා විය. හරිහැටි වැසීමට දොර ජනෙල් නොවීය. පොල් අතු පැළැල්ලක් දොර ලෙස භාවිත කෙරිණ. හොරුන්ට ගැනීමට දෙයක් මොවුන් ළඟ නොවූ නිසා හොරුද නැත. පිරිමි අය රාත්‍රියට පැලට ගොස් උදේ නිවසට පැමිණ ආහාර ගෙන නැවත හේනට හෝ කුඹුරුවලට යාම සිරිතකි. ලිංගික අවශ්‍යතාවක් වූ විට දොරකඩට කුල්ලක් හේත්තු කර ඇතුළේදී එම කාර්යය කරගනී.
නිවසට කිසිවකු පැමිණියහොත් කුල්ල තබා ඇති නිසා එයින් කියන පණිවුඩය තේරුම් ගන්නා අය ආපසු යති. මෙය ‘කුල්ල පේ කිරීම’ නමින් එදා හැඳින්වුණි. දොරකඩ කුල්ලක් හේත්තු කර තිබුණොත් එයින් කියන්නේ නිවෙස තුළ යකෙකු හෝ භයානක සත්වයකු සිටින බවත් ඒ නිසා වහාම ආපසු හැරී එන ලෙසටත් වැඩිහිටියන් ළමුන්ට කියාදී තිබුණ නිසා ළමෝ එවන් නිවෙස් වෙත නොගියහ.
දිනක් සැමියා හේනට ගිය අතරෙ පියසේන එම ගෙයට රිංගා ගත්තේය. ළමුන්ද පාසල් ගොස් සිටියහ. පියසේන එම නිවසට ගිය පසු ‘කුල්ල පේ කිරීම’ සිදු කළ ගෙහිමි කාන්තාව පියසේනගේ මනදොළ ඉටු කිරීමේ යෙදුණාය. හදිසියේ එම නිවසට ඇගේ බාල සහෝදරයෙක් පැමිණියේය. ඔහු නිවසට එන අතරමගදී කාන්තාවගේ සැමිය වන ඔහුගේ මස්සිනා හේනට යන පාරෙදි ඔහුට මුණ ගැසුණි. කුල්ල පේ කර තිබුණත් එහි යම්කිසි රහසක් ඇතැයි සිතූ සහෝදරයා ගෙට කඩාවැදුණේය.
ඔහු හැඩි දැඩි අයකු වූ නිසා හොඳ හැටි පියසේනට තඩි බෑවේය. ගම මැදට ඇදගෙන ගොස් ගමේ තරුණයන් සමග තවත් පහරදී ඔහු ගමෙන් පලාගියේය. ගැමියෝ ඔහුව රෝහලට ගෙන ගියහ. තදබල ලෙස කකුල්වලට පහරදීමෙන් ඇට කැඩී ඇවිද යාමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබිණ. සුවය ලබා රෝහලින් ගියේ හිතවතකුගේ කරමතිනි. ලජ්ජාව හා වේදනාව ඉවසිය නොහැකි තැන පියසේන වස බී දිවිනසා ගත් බව පසුව සැලවිය.
බිංගිරිය ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි මේ.
සත්ව ඝාතක පිය පුතුන්ට සොබාදහමින් දඬුවම්
දැනට වර්ෂ කිහිපයකට පෙර වයඹ පළාතේ කැලෑබද ගම්මානයක ජීවත්වූ මෙම පිය පුතු දෙපළ හරමානිස් හා සිරිපාලය. සිරිපාල මලපත අකුරක්වත් නොදත් අතර පියාවූ හරමානිස් කුඩා කල සිටම ෙනායෙකුත් දුෂ්චරිත ක්‍රියාවලට ඇබ්බැහිවූවෙකි. සතුන් මරා මස් පිණිස ගැනීම හා විකිණීම ඔහුගේ ජීවනෝපාය විය. මුවන්, ගෝනුන්, ඉත්තෑවුන් ඇතුළු වෙනත් කැලෑ සතුන් උගුල් අටවා මරා එම දඩමස් අලෙවි කරමින් ජීවනෝපාය කරගත්තේය.
දැඩි ලෙස මත්පැනටද ඇබ්බැහිවූ මොහුට තුන්වේලටම මස් මාංශ අවශ්‍ය විය. හරමානිස්ගේ පුතාද හරමානිස් අනුව යමින් දඩමස් සෙවීමේ කාර්යයෙහි නිරත විය. පියා වන හරමානිස්ට ඔහු අත්වැල සැපයීය.
මොර සූරන වැසි සහිත කාලයක එක් දිනක සවස් යාමයේ මෙම පිය පුතු දෙපළ අසල කැලෑවට පිවිස මරුවැලක් අටවා ගෙදර පැමිණියේ කුමන සතෙකු හෝ අසුවේයැයි යන හැඟීමෙනි. පසුදා හිමිදිරියේම තම මරු වැලට අසුවී ඇති සතා මරාගෙන ඒමේ අදහසින් නිවසින් එළියට බට පිය පුතු දෙපළ කැලෑවට වැදී මරුවැල අසලට සේන්දු වූවෝය.
එහිදී ඔවුනට දැකගත හැකි වූයේ සෑහෙන මස් ඇති මුව නාම්බෙක් තම උගුලට අසුවී ඇති බවය. මරු විකල්ලෙන් ඒ මේ අත දඟලන මුව පොව්වාට මුගුරුවලින් දැඩි ලෙස පහරදී මරා දැමූ පිය පුතු දෙපළ මරුවැලට පැටලී සිටින මුව පැටවා ඉන් මුදවා ගැනීමට උත්සාහ කරත්ම මඳ වැස්ස සමගින් මහ හඬින් අහසින් පාත්වූ අකුණු සැර වැදීමෙන් ඔවුන් දෙපලම එතැනම මියැදුණේ කිසිදු හාවක් හූවක් නොමැතිවය.
මොවුන් දෙදෙනා සෙවීමට කැලයට වැදුණු අසල්වැසි දෙදෙනකුට දැකගත හැකි වූයේ ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මයට’ හසුව මුව පැටියාත් සමගින් එකතැනම වැටී මැරී සිටි පිය පුතු දෙපළය. එතැනම පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ දරුණු ලෙස අකුණු සැර වැදීමෙන් මෙම මරණ සිදුවී ඇති බවය.
කිතුල්ගල දික්හේන එච්.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය.
ගඟ ළඟ මානිස් ගඟටම බිලිවූ හැටි
වසර හතළිහකට පමණ පෙර කැලණිගඟ ඉහළ ප්‍රදේශයේ ගඟ සමීපවම තිබූ නිවසක සිටි ඔහු නමින් මානිස්ය. හෙතෙම දරු තිදෙනකුගේ පියෙක් ද වූ අතරම ජීවන උපාය ලෙසින් කිතුල් මල් කැපීමද හේන් ගොවිතැන් කටයුතුවලද නියැළී සිටි නමුත් දවසේ ප්‍රධානම කාර්ය වූයේ ගංගාවේ මාළුන් ඇල්ලීමය.
වැසි සමයේදී දෙගොඩතලා යන ගඟ දියේ දැල් ගසා මාලුන් ඇල්ලීමද වැසි පායන නියං සමයේදී ගඟේ දියඇලිවල අතුඉති කපා කණු සිටුවා බැමි බැඳ වැටි වශයෙන් අසුරා තැනින් තැන කපොලු ඉතිරි කර ඒ තැන්වල කොටු සාදා මාළුන් සිරකර කෙමන් යන කූඩා අසුරා අටවා තැබීමද එයින් විශාල මාළු තොග එකතු කර විකිණීමද කරමින් සෙසු වැඩ අතපසු වුවත් මාළු රැකියාව දිගටම කරගෙන ගියේය.
මීට අමතරව බිලී ලනුවට කටු අමුණා ඇම දැවටීමෙන්ද බිලීපිත්තෙන් මාළු බෑමද කූඩාවලින් ඉස්සන් ඇල්ලීමද මේ එකක් හැර එකක් හෝ එකක් දෙකක් හෝ කුමකින් නමුදු ගඟේ මාළුන්ට නිදහසේ සිටීමට ඉඩකඩ නොතබාම දිගටම මාළු බෑම කරගෙන ගියේ උදේ දහවල් රාත්‍රීයේද වෙනසක් නොමැතිවමය.
වැඩිපුරම ගඟදෑලේ සැරි සැරුවේද මාළු කොටුවල සිටින මාළුන් පිරිසක් විසින් සොරකම් කරගෙන යෑම වළක්වා ගැනීමටය. ගඟ ඉවුරේම තැනූ කුඩා පැලක්ද කුඩා ඔරුවක්ද ඔහු සතුව තිබිණ. මෙයද මාළු ඇල්ලීමට දැල් එළීමට උපයෝගී කර ගත්තේය. දිනපතාම තමන්ගේ පරිහරණයටද අවට අයගේ අවශ්‍යතා සඳහාද මගුල් ගෙවල් ඇතුළු උත්සව අවස්ථාවන් සඳහාද මොහුට ඇණවුම් නිරන්තරයෙන්ම ලැබේ. ඒ නොපිරිහෙළා ඉටු කර අවශ්‍යතා සපුරාදෙන බැවින්ය.
එමෙන්ම එකල අද මෙන් මුහුදු මාළු ගම්වලට ගෙන ඒමේ ක්‍රමවේදයක් තිබුණේද ඉතා අඩුවෙන් බැවින් ගෙඟ් මාළුන්ට තිබුණේ විශාල ඉල්ලුමකි. මානිස් මේ මගින් විශාල ආදායමක් ලැබූ අතර ගෝල බාලයන් කීපදෙනෙක්ද මොහුට උදව්වට ළඟින්ම සිටියේය.
අවට ගම්වලටද ඉතිරිවන මාළු ගෙන ගොස් විකුණා මොහුට සහයෝගය ලබාදීමට පෙලඹිණ. ඔහු තම නිවසේ සිටින වේලාවක් ඇත්තේම නැති තරම්ය. නිවසේ අයද ඒ පිළිබඳ නොසොයන්නේ ඔහු ගඟටම කැපවී වැඩි වේලාවක් ගඟේම සිටින නිසාවෙන්ය. මගුරා, අංකුට්ටා, ලූලා, ආඳා, පෙතියා, තෙලියා, ගඟේ ඉස්සා ආදී මාළු නිරන්තරවම ඔහුගේ ඇම ගිලදා ඔහුගේ මාළු ගොඩටම එක්වූහ.
නිතරම අමුඩ කෙටියකින් සැරසීගෙන හිසට කම්බි ලේන්සු ජටාවක් බැඳගෙන සිටින මානිස්ගේ අඩුම කුඩුම මල්ල තුළ බුලත් විට හැඹිලිය, කළු සුරුට්ටු මිටිය වරදින්නේම නැත. රෑට භාවිත කරන ලන්තෑරුම, කෑලි පහේ විදුලි පන්දමද දැල් ආම්පන්න බිලීකටු බිලී ලණු ද කූඩා සහ අතංගුව නමින් හඳුන්වන කුඩා දැල් කෑලි අමුණා සෑදු වට්ටි ද සෙසු පරිහරණ භාණ්ඩද වේ. ගඟේ ගැඹුරු දියේ පිහිනීමට ගල්පර ඇතුළටම පිවිසීමටද ඔහුට ආවේණිකවූ පළපුරුද්දක් ඒ කොලු කාලයේ සිට මැදිවිය ගෙවීයන මේ සමය දක්වාම යෙදුණු ගඟ දිය ඇසුර නිසාවෙනි.
එදින රැය පහන්වී හිමිදිරිය ළඟාවූවා පමණි. ගඟ ඉවුරෙන් නැගී ආවේ අඳෝනාවකි. කෑමොර දීමකි. නිවසෙහි සිටි මානිස්ගේ බිරිඳ දරුවන් නිදි පැදුරෙන් අවදිව දිව්වේ ගඟ දෙසටය. වක්කලමේ රැඳුණු මිනිස් සිරුරක් ගඟ දිය මතින් මෙගොඩට ඇදගෙන අාවේ අවට සිටි ගම්වැසියන් කීපදෙනෙකි.
ඒ මියගොස් සිටි මානිස්ගේ සිරුරය. රැයේ ගඟට වැටී මොහු මියගියේ කුමක් නිසාවෙන්ද යන්න අදටත් අපැහැදිලිය. නින්දේ සිටි මොහු නින්දෙන්ම ගඟට ගෙන ගොස් කළු වැද්දා විසින් ගඟට තල්ලු කර ඇති බව ඇතැමුන්ගේ මතය විය.
(කළු වැද්දා යනු ඇළට දොළට ගංගාවට අරක්ගත් යක්ෂ අවතාරයක් යැයි විශ්වාස කෙරෙන්නකි.) එහෙත් වැඩිදෙනෙකුගේ මතය වූයේ වසර ගණනක් පුරාවට මාළුන් මැරූ පාපය මෙලොවදීම ඵලදුන් බවත් එය බුදු දහමෙහි හරය පසක් කර ඇති බවත්ය.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්