අඳුර පරදා ලොව දිනු දරුවෝ


දම්සර ජයසිංහ මව හා පියා සමග


හිමාෂා කාවින්ද්‍යා මව සහ සොහොයුරා සමග


දෑස් නොපෙනුණත්  සියලු‍ අභියෝග ඉදිරියේ නොසැලී දිරියෙන් ජීවිතයට මුහුණ දී, පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ 2023 වසරේ උසස් පෙළ විභාගයේ විෂයන් තුනටම ‘‘ඒ’’ සාමාර්ථ ලබාගත් සිසුවියක සහ සිසුවෙකු දෑස් පෙනෙන සුවහසක් සිසු සිසුවියන්ටද කදිම ආදර්ශයක් ලබා දී ඇත.

උපතින්ම දෘශ්‍යාබාධිත හිමාශා කාවින්දි හේරත් සිසුවිය පදිංචිව සිටින්නේ කුරුණෑගල, උහුමීය පිදුරුවැල්ල ප්‍රදේශයේය.

කෙමෙන් කෙමෙන් ඇස් පෙනීම දුර්වල වී ගොස් මීට වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණයෙන්ම දෑස් නොපෙනී ගිය දම්සර ආකාශ්මික ජයසිංහ සිසුවා පදිංචිව සිටින්නේ බිංගිරිය, තාරණ, උඩවෙල ප්‍රදේශයේය.

හිමාශා කාවින්දි හේරත් සිසුවිය අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටිය යුත්තේ මේ වසරේ වුවත් ඇය පෞද්ගලික අයැදුම්කාරියක ලෙස පසුගිය වසරේ විභාගයට පෙනී සිටියාය. තර්ක ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව යන විෂයයන් වලට ඇය ඒ සාමාර්ථ තුනක් ලැබුවාය. මීට පෙර කුරුණෑගල මහින්ද මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට 2021 වසරේ පෙනී සිටි හිමාශා,  විෂයයන් නවයටම ‘‘ඒ’’ සමාර්ථ ලබාගනිමින් විදුහලට ඉමහත් කීර්තියක්ද ලබා දුන්නාය.

භාරත සංගීතය හදාරා ඇති හිමාශා, සංගීත විශාරදවරියක්ද වන්නීය. 2018 වසරේ පැවති සමස්ත ලංකා පාසල් ගායනා තරගයෙන් ඇය දිවයිනෙන්ම ප්‍රථම ස්ථානයට පැමිණියාය. නළාව, තබ්ලාව සහ වයලින්  වාදනයට ද ඇය උපන් හපන්කම් දක්වන්නීය. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ද මනා හැකියාවක් ඇති ඇය, හින්දි සහ ජපන් භාෂාව ද හදාරමින් සිටින සිසුවියකි.

තම ජයග්‍රහණය ගැන දෘශ්‍යාබාධිත සිසුවිය මෙසේ පැවසුවාය.

“අපොස උසස් පෙළ විභාගයට මට පෙනී සිටීමට නියමිතව තිබුණේ මේ වසරේදී වුවත්  පාසල් නොගොස් පාඩම් කරලා අවුරුද්දකට කලින් එම විභාගයට පෙනී සිටියා. කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ තිලෝචනී මිස්, කොතලාවල විද්‍යාලයේ ප්‍රියංගනී මිස් සහ විශ්‍රාමික ගුරුවරයකු වන අනිල් සර්ගෙන් උදාහරණ විෂයයන් මම ඉගෙන ගත්තා. මගේ අම්මාද පාසල් ගුරුවරියක නිසා ඇයද හැම විටම මට උදව් කළා. මම ඉගෙන ගත්තේ බ්‍රේල් ක්‍රමයට.

මම උසස් පෙළ විභාග ප්‍රශ්න පත්තර සියල්ලටම පිළිතුරු ලියද්දී ප්‍රශ්න ටික සේරම මට ඇහෙන්න බොහොම පැහැදිලිව කිව්වේ සඳගල විශේෂ අවශ්‍යතා ඇති පාසලේ රේණුකා මිස්. රේණුකා මිස් ප්‍රශ්න කියවාගෙන යද්දි මම ඒ ප්‍රශ්න හොඳින් අහගෙන ඉඳලා බ්‍රේල් ක්‍රමයට පිළිතුරු ලිව්වා. මගේ එකම අරමුණ නීති පීඨයට ඇතුළත් වෙලා නීතිඥවරියක වීම. මම ඒ අභියෝගයත් ජය ගන්නවා.”

“නංගිලා මල්ලිලා හැම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ කැපවීමකින් උනන්දුවකින් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න කියලයි. පාසලේ කටයුතු එදිනෙදාම කරන්න පුරුදු වෙන්න. හොඳට පොත්පත් කියවන්න. මම දෘශ්‍යාබාධිත වුණයි කියලා නිකම් කල්පනා කර කර කාලය ගත කළේ නැහැ. ඇස් පෙනෙන්නේ නැහැ කියලා කනස්සල්ලට  පත්වුණේ නැහැ. මම ඒ ගැන එච්චර හිතුවෙත් නැහැ. පළවැනි පන්තියේ ඉඳලාම කැපවෙලා ඉගෙනීමේ කටයුතු කරගෙන ගියා’’ යයිද හිමාශා කීවාය.

හිමාශාගේ මව, ගීතානි ලියනගේ මහත්මිය කුරුණෑගල මහින්ද  විද්‍යාලයේ විද්‍යා විෂයන් උගන්වන ගුරුවරියකි.

ඇය දියණිය ගැන තොරතුරු හෙළි කරමින් පැවසුවේ මෙවැනි කතාවකි.

“අපේ උපන්ගම අනුරාධපුරයේ. මහත්තයා අනුරාධපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. දෑස් නොපෙනෙන මගේ දියණියට කුරුණෑගල සඳගල විශේෂිත පාසලෙන් අධ්‍යාපන කටයුතු කිරීමට අවශ්‍ය නිසා පුතාවයි දුවවයි රැගෙන මම කුරුණෑගල  පදිංචියට ආවා.

 ඉපදිලා මාස දෙක තුනක් විතර යද්දී දවල් කාලයට එයා ඇස් දෙක අත් දෙකෙන් තදකරගෙන ඉන්න පටන් ගත්තා. දුව රාත්‍රී කාලයට කැමතියි වගේ කියා මට තේරුම් ගියා. රාත්‍රී කාලයට නොනිදා ගත කරන බවක්ද මට පෙනී ගියා. මේ  කරුණු කාරණා මත මම හිමාසා දියණියව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් ළඟට රැගෙන ගොස් පෙන්නුවා. විශේෂඥ වෛද්‍යවරිය පරීක්ෂා කර බලා කිව්වා පුංචි දෝණිගේ ඇස් දෙකම පෙනෙන්නේ නැහැ කියලා. මට ඒ වෙලාවේ ඇතිවෙච්ච වේදනාව වචන වලට පෙරළා කියන්න තේරෙන්නේ නැහැ.

මම දෝණිව විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් ළඟට රැගෙන ගිය වාර අනන්තයි. ඒත් ඇස් පෙනීම ලබාගන්න බැරිව ගියා. ඊට පස්සේ මම දෝණිව බොරැල්ල රිජ්වේ ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකට පෙන්නුවාම ඒ වෛද්‍යතුමිය දරුවාව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වෙත යොමු කළා. එම වෛද්‍යවරිය පරීක්ෂා කර බලා කිව්වා, මීට අවුරුදු හයකට විතර කලින් නම් දරුවාට යම් පෙනීමක් ලබාදීමට හැකියාවක් තිබුණු බව. යළි පෙනීම ලබා දීමට අපහසු යැයි කියාද විශේෂඥ වෛද්‍යවරිය මා සමග පැවසුවා.”

“ඉස්සර වගේ නෙවේ, දැන් තාක්ෂණය හරිම දියුණුයි. අනේ මගේ දෝණිට යළි පෙනීම ලබා දෙන්න වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යතුමියක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියා ආයාචනය කරනවා. අපේ තියෙන සේසතම හරි විකුණලා දරුවාගේ ඇස් දෙකේ පෙනීම ලබාගන්න   සූදානම්” යැයිද ගීතානි මහත්මිය හැඬුම් බරව කීවාය.

“නීතිය හදාරන්න දුවට කොළඹට යන්න උනහම මටත් එයා එක්ක ඉන්න කොළඹට යන්න වෙනවා. ඒ නිසා මට කොළඹ ප්‍රදේශයේ පාසලකට ස්ථාන මාරුවීමක් ගන්න අනිවාර්යයෙන්ම සිදුවෙනවා. මගේ දුව ගැන හිතලා මට ස්ථාන මාරුවක් ලබාගන්න අධ්‍යාපන බලධාරීන් උදව් උපකාර කරයි කියා සිතනවා” යැයිද ගීතානි මහත්මිය පැවසුවාය.

දම්සර ආකාශ්මික ජයසිංහ බිංගිරිය, තාරණ, උඩවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ 2023 වසර උසස් පෙළ විභාගයෙන් පෙරදිග සංගීතය, ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය  යන විෂයන් තුනටම ‘‘ඒ’’ සාමාර්ථ ලබාගෙන විශිෂ්ට ලෙස සමත්ව  තිබිණි. බිංගිරිය ශ්‍රී සරණංකර මහා විද්‍යාලයෙන් දම්සර ඉගෙනුම ලැබීය.

දම්සරගේ  පියා ගාමිණී පීරිස් ජයසිංහ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ සේවය කර විශ්‍රාම ලබා සිටින අතර මව නයනා නවෝදනී මහත්මිය ගෘහණියකි. ගාමිණී මහතා මේ වෙනවිට පාසල් තූර්ය වාදක කණ්ඩායම් පුහුණු කිරීමේ උපදේශකවර​ෙයකු ලෙස කටයුතු කරන්නේය.

 “දම්සර පුතාට ඇස් පෙනීම දුර්වල වෙනවා කියා දැනගත්තේ අවුරුදු දහයක විතර වයසේ පසුවෙන කාලයේ තමා. ඔහුට සාමාන්‍ය පෙළ විභාගය ලියනකොටත් තරමක ඇස් පෙනීම තිබුණා. ඒ නිසා සාමාන්‍ය විදිහට විභාගයට ලිව්වා. මීට වසර දෙකකට ඉහතදී සම්පූර්ණයෙන්ම පාහේ ඔහුගේ ඇස් නොපෙනී ගියා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තත් වැඩක් වුණේ නැහැ. පුතා උසස් පෙළට ලිව්වේ දෘෂ්‍යාබාධිත සිසුවෙක් විදිහට” යැයිද දම්සර ගේ පියා සහ මව පැවසූහ.

දම්සර සිසුවා අප සමග මෙසේ පැවසීය.

“මම උසස් පෙළ විභාගයට ලියන්න සූදානම් වෙන කාලයේ ඇස්  දෙකේ පෙනීම නැත්තටම නැතිවෙලා ගිහිල්ලා තිබුණේ. මගේ පන්තියේ යහළුවකු වෙන අනුරුක්ෂණ මට ඇහෙන්න පාඩම් පොත් කියෙව්වා. අහගෙන ඉඳලා හොඳට ධාරණය කරගත්තා. ඒ වෙනුවෙන් ඔහු පුදුම කැපකිරීමක් කළේ. ඒ වගේම ආකාස් සහ නිශාධි කියන මගේ පන්තියේ ම ඉගෙන ගන්න යහළුවා සහ යෙහෙළියත් පාඩම් කරන වැඩකටයුතු වලදී මට හරියට උදව් උපකාර කළා.

මට බ්‍රේල් ක්‍රමයට ලියන්න දන්නේ නැති නිසා විභාග මධ්‍යස්ථානයේ උන්නු ගුරු මහත්මයෙක් සහ ගුරු මහත්මියත් ප්‍රශ්න පත්තර මට ඇහෙන්න කියෙව්වා. මම ඒවාට පිළිතුරු දෙද්දි එම පිළිතුරු රෙකෝඩ් කරගත්තා. දැන් මම බ්‍රේල් ක්‍රමය හදාරමින් සිටිනවා. මම විෂයන් තුනටම ‘‘ඒ’’ සමාර්ථ තුනක් අරගෙන තිබෙනවා කියලා දැනගත්තහම හරිම සතුටක් ඇතිවුණා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයකට ගොස් සංගීතය හැදෑරීමට තමා මම බලාපොරොත්තුවෙන් ඉන්නේ. මට වයලින් එක පවා හොඳට වාදනය කරන්න පුළුවනි.

ඉස්කෝලෙදි මට සංගීත විෂය ඉගැන්වූ කෝකිලා මිස්, නිරන්තරයෙන් මා ගැන සොයා බැලූ ගංගා සහ මිථිලා යන මිස්ලා දෙන්නාවද ගෞරවයෙන්  සිහිපත් කරනවා. සියලු‍ දෙනාගේම නම් මට මෙහිදී කියන්න පුළුවන්කමක් නැති උනත් ආචාර්ය මණ්ඩලයේ අනෙකුත් අයත් පන්තියේ සහෝදර සිසු  සිසුවියන්ද සිහිපත් කළ යුතුම වෙනවා.

මගේ ඇස් දෙක නොපෙනී ගියා යැයි කියා මම අධෛර්යවත් වුණේ නැහැ. ඒ ගැන හිත හිත කල්පනා කළේ නැහැ. ඒ ගැන පසුතැවිලි නොවී, වෙනදාටත් වඩා හොඳින් කැපවීමකින් පාඩම් කටයුතු කරගෙන ගියා. හොඳට ඉගෙන ගෙන උසස් පෙළ විභාගයෙන් ‘‘ඒ’’ තුනක් ගන්නවා යැයි කියන අධිෂ්ඨානය මගේ හිත තුළ දැඩිව තිබුණා. අනාගතයේදී සංගීත ගුරුවරයෙක් වී කටයුතු කරන්න තමා මම ලොකු ආශාවකින් පසු වෙන්නේ.” යැයි දම්සර සිසුවා  පවසයි.

දෑස් නොපෙනුනත් දිරියෙන් ජීවිතය ගොඩ නගාගැනීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන දම්සරට සහ හිමාශාට ඉරිදා ලංකාදීපයේ අපද  ඔවුන්ගේ ඉදිරි අනාගත දියුණුවට සුබ පැතුම් එක් කරන්නෙමු.

(මෙම දෘශ්‍යාබාධිත සිසුවා සහ සිසුවිය ගැන අපට දැනුම් දුන්  ශ්‍රී ලංකා දුෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ  කුරුණෑගල සහ පුත්තලම දෙදිසාවේ සභාපතිනී විශ්‍රාමික ගුරුවරියක වන සුනිලා රත්නායක මෙනෙවියට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය.)


  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය