අපි දෙන්න නිසයි පොඩි ලසීට මේ දේ වුණේ


සංවිධානාත්මක අපරාධකරු පොඩි ලසීගේ මව කියන කතාව

  • මම ළඟ හිටියානම් ගහලා බැණලා හරි හදාගත්න තිබුණා
  • ඔහු නැටුම් කලාවෙන් ඉදිරියට යන්නයි හිටියේ

 

මීටියාගොඩ තෙල්වත්තේ පදිංචි අරුමාහන්දි ජනිත් මදුසංක නොහොත් ‘පොඩි ලැසී’ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ ඔහු කළ හොඳ වැඩ නිසා නම් නොවේ. රට්ටු ඔහු ගැන දැන සිටින්නේ දැවැන්තම සංවිධානාත්මක අපරාධකරුවකු ලෙසය. ඔහු කළා යැයි කියන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන්ය. නැතහොත් හිරේ විලංගුවේ සිට මෙහෙයුවේ යැයි කියන මත් ජාවාරම සම්බන්ධයෙන්ය. 


මේ වනවිට ලංකාවේ සිටින ප්‍රබලම සංවිධානාත්මක අපරාධකාරයකු ලෙස හංවඩු ගැසී සිටින පොඩි ලැසී මේ තත්ත්වයට පත්වූයේ ඇයි? පත් කළේ කවුද? එයට හේතුභූත වූ කරුණු කාරණා මොනවා ද? මේවා බොහෝම අප්‍රකට කරුණුය. බොහෝම රහසිගත කරුණුය. පොඩි ලැසීගේ අපරාධ ගැන රටම දනිතත් ඒ ගැන දන්නා අය රටේ සිටී නම් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවක් යයි අපි හඟිමු.  


මේ ලිපියේ අරමුණ පොඩි ලැසී කළා යයි කියන අපරාධයන් වැසීමට හෝ ඔහුට සුදු හුණු ගෑමට හෝ ඒවා සාධාරණීය කරගැනීමට නම් නොවේ. රටටම වද දෙන රටටම කරදරයක් වූ රටටම පිළිලයක් වූ යැයි කියන පොඩි ලැසීලා තවත් රටේ බිහි නොවීම සඳහා අදාළ බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ අවධානය යොමු කරවා ගැනීමේ ඒකායන අරමුණෙන්ය. 


ඔහු ගැන හොඳින් දත් පොඩි ලැසී මෙලොවට දායාද කළ ඔහුගේ මව වන ඒ.එච්. දිල්හානි තනූජා සම්බන්ධ කරගත්තේ අපිරිමිත වෙහෙසක් දරමිනි. ඇය සිටින ඉසව්ව පිළිබඳව අපිට හෙළි කිරීමට නොහැකිව ඇත්තේ මේ වනවිට ඇයට තිබෙන මරණීය තර්ජන හමුවේය.


මේ පොඩි ලැසී ගැන ඇය සමග අපි කළ සංවාදයකි. 


ඇයි අරමාහන්දි ජනිත් මදුසංකට පොඩි ලැසී කියන්නේ? 


ඒක මාධ්‍යයෙන් දාපු නමක්. එයා පොඩි ලැසී නෙමෙයි. පොඩි ලසිත්. මගේ මහත්තයාට ත්‍රීවීල් එකක් තිබුණා. ඒකට අපේ පුත්තු දෙන්නාට ආදරයට කියන නම් දෙක දැම්මා. ඒ ‘ලොකු ලසිත්’ හා ‘පොඩි ලසිත්’ කියලා. පොඩි ලසිත්ගේ යාළුවෝ එයා හැඳින්වූයේ ‘පොඩි ලසී’ කියලා. පොඩි ලසී කියන නම පොඩි ලැසී කළේ මාධ්‍යයෙන්. එයා පොඩි ලැසී නෙමෙයි පොඩි ලසීයි. මම කැමැති නැහැ මගේ පොඩි පුතාට පොඩි ලැසී කියනවාට. එයාට පොඩි ලසී කියන්න. 


පොඩි ලසී කොහොම ද මෙහෙම සංවිධානාත්මක අපරාධකාරයෙක් වුණේ? 


මහත්තයෝ, මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන අපියි. මමයි මගේ මහත්තයයි. අපි දෙන්නා නිසයි මගේ පොඩි පුතාට මේ දේ වුණේ. ඒ සඳහා තනිකරම වගකියන්න ඕන මමයි මගේ මහත්තයයි (හඬමින්). 
ඒ ඇයි? 


2007 පැරෑලියේදී මටයි මහත්තයාටයි වෙඩි නොවැදුණා නම් මගේ පොඩි පුතාට මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඔහු අදත් අපි ළඟ ඉන්නවා. එදා මමයි මහත්තයයි හික්කඩුවේ ඉඳලා යතුරුපැදියෙන් ගෙදර එමින් සිටියා. පැරෑලිය හන්දියේදී කාර් එකකින් ආපු කට්ටියක් අපිට වෙඩි තිබ්බා. වෙඩි වැදුණු අපි දෙන්නාම බිම වැටුණා. ඉස්පිරිතාලෙට ගෙනියන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. පස්සේ පොඩි පුතාට ආරංචි වෙලා වෑන් එකක් ගෙනැල්ලා අපි දාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා. අපි දෙන්නාගේම ඔළු උකුලේ තියාගෙන අඬ අඬා තමයි ඔහු අපි ඉස්පිරිතාලෙට ගෙනිච්චේ. එහෙම ගෙනියද්දී ඔහුගේ තාත්තාගේ ජීවිතය නැති වුණා.

ඉස්පිරිතාලෙට යනකම්ම පොඩි පුතා මට වතුර පොව පොවා ගියා. එයා හොඳටම අඬ අඬයි අපිව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ. මම දවස් දාහතරක් ඉස්පිරිතාලේ හිටියා. වෙඩි වැදිච්ච බඩට මැහුම් තිස් ගාණක් දැම්මා. මගේ මහත්තයාගේ මළගමටවත් මට එන්න ලැබුණේ නැහැ.


මම ඉස්පිරිතාලෙන් ටිකට් කපලා ටික දවසක් ඉන්නකොට මගේ පොඩි පුතා !සොයාගෙන පොලිසියෙන් ගෙදරට ආවා. මම පොලිසියෙන් ඇහැව්වා ඇයි මගේ පොඩි පුතා හොයන්නේ කියලා. ඒ පාර පොලිසියෙන් කිව්වා එයා මිනිහෙක් මරලා තියෙනවා කියලා. පස්සෙ ආරංචි වුණා මගේ මහත්තයා මැරුව දවසේ ඒ සතුටට කිරිබත් උයපු කෙනාව මරලයි කියලා. මම දන්නේ නැහැ මගේ පොඩි පුතා එය කළා ද කියලා. මේ ​වනවිට එද‌ා මැරුව මගේ මහත්තයාටයි වෙඩි වැදුණු මටයි අදටත් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මගේ පොඩි පුතාට එදා ඉඳලා ක්‍රියාත්මක කෙරෙන නීතිය එදා වෙඩි වැදුණු අපිට ක්‍රියාත්මක වුණේ නැහැ. මගේ මහත්තයා මැරුව දවසේ කිරිබත් උයපු කෙනාව මැරුවා කියලා තමයි මගේ පොඩි පුතා මුලින්ම හිරගෙට යන්නේ. 


ඊට පස්සේ? 


මේ මිනීමැරුම සම්බන්ධයෙන් හිරේට ගිය පොඩි පුතාට ඇප ලැබිලා ගෙදර ආවා. එදා ඉඳලා එයාගේ පස්සෙන් පොලිසිය පැන්නුවා. නොකළ වරදවල් කිය කියා එයා ඇතුළට දාන්නයි පොලිසිය උත්සාහ කළේ. පස්සෙ බේරෙන්නම බැරි තැන පොඩි පුතා රට ගියා. රට ගිහිල්ලා මට කතා කරලා කිව්වා ‘අම්මේ දැන් ප්‍රශ්න ඔක්කෝම ඉවරයි. මම මෙහේ රස්සාවක් කරගෙන ඉන්නවා’ කියලා. ටික කාලයකින් ආයෙත් පොලිසිය අපේ ගෙදරට ආවා. ඇවිල්ලා ඇහුවා පොඩි පුතා කොහේද කියලා. මම පොලිසියෙන් ඇහුවා ඇයි ඔහු හොයන්නේ කියලා. ඒ පාර කිව්වා එයා මිනිහෙක්ව මරලා තියෙනවා කියලා. මම කිව්වා එයා ඉන්නේ රට කියලා. ඇයි දන්නේ නැද්ද එයා ලංකාවට ඇවිත් කියලා පොලිසිය මගෙන් ඇහුවා. කොහොම හරි රට හිටිය පුතා මිනිහෙක් මැරුව කියලා ජාත්‍යන්තර පොලිසිය හරහා ලංකාවට ගෙනැල්ලා ආයෙත් හිරේ දැම්මා. 


ඔබ හිතන්නේ ඔබේ පොඩි පුතා වැරැදිකරුවෙක් නෙමෙයි කියලා ද? 


මම කොහොම හිතන්න ද ඒක. එයා මේ වනතෙක් දුම්වැටියක්වත් උරන කෙනෙක් නෙමෙයි. පොඩි කාලේ ඉඳන් එයා නටන්න හරි දක්ෂයි. නැටුමෙන් ගොඩක් දක්ෂතා තියෙන කෙනෙක්. නැටුමෙන් ඉදිරියට යන්නයි එයා බලාපොරොත්තු වුණේ. නමුත් අපේ වැරැද්දෙන් ඔහුට මේ වගේ දුක් විඳින්න වුණා. 


බන්ධනාගාරයේ ඉඳලා පොඩි ලසී මත්කුඩු ජාවාරම ඇතුළු විවිධ අපරාධ කරනවා කියලා චෝදනා තියෙනවා. ඒවා ගැන මොකද කියන්නේ? 


බන්ධනාගරයේ ඉඳලා කරපු දේවල් ගැන මම දන්නේ නැහැ. එතකොට එයා ඉන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ යටතෙනේ. මම ළඟ හිටියා නම් මම ගහලා බැණලා හරි එයා හදාගන්න තිබුණා. දැන් වුණත් එයා සඟවා තියෙනවා යැයි කියන ආයුධ හංගලා තියෙන තැන් ගැන මම දන්නවා නම් මම ඒවා හොයාගන්න උදව් වෙනවා. එයා වරදක් කරලා තියෙනවා නම් එදා අපිට වෙඩි වැදුණු වෙලාවේ ක්‍රියාත්මක නොවුණු නීතිය එයාට ක්‍රියාත්මක කරලා නීතියෙන් දඬුවම් දෙන්න. අපේ වරදින් වන්දි ගෙවන්න සිදු වූ මගේ පොඩි පුතා මහමග මරලා දාන්න එපා. අනේ එයා ඔය තත්ත්වයට පත් වුණේ අපි නිසයි. එදා මටයි මගේ මහත්තයාටයි වෙඩි නොවැදුණා නම් එයාට ඔහොම වෙන්නේ නැහැ. 


මම කොළඹ මාලිගාවක සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් ඉන්නවා කියලා මාව අත්අඩංගුවට ගෙන හිරේට දැම්මා. මම ඒ ගෙදර හිටියේ කුලියට. දැන් මට ඉන්න තැනක් නැහැ. ජීවිත තරජනත් තියෙනවා. 
මම අවසාන වශයෙන් ජනාධිපතිතුමාගෙන්, ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා අපි නිසා මේ අවාසනාවන්ත තත්ත්වයට පත්වෙලා ඉන්න මගේ පොඩි පුතා වරදක් කරලා තියෙනවා නම් ඊට නීතියෙන් දඬුවම් දෙන්න. අනේ මගේ පොඩි පුතා මහ පාරේ මරලා දාන්න එපා. දහස් ගණනින් සිංහල ජීවිත නැති කරපු කොටි සාමාජිකයින්ව පුනරුත්ථාපනය කරලා යහමගට ගත්තා නම් අපේ වැරැද්දෙන් ඔය තත්ත්වයට පත්වුණු මගේ පොඩි පුතාට නීතියෙන් දඬුවම් දෙන්න. අපි කවදාවත්ම ඔහු වරදක් කළා නම් සුද්ධ කරන්න යන්නේ නැහැ. අපිට තියෙන දුක නැටුම් කලාවෙන් ඉදිරියට යන්න සිටි මගේ පොඩි පුතාට මේ ව්‍යසනය වුණේ අපි නිසයි. ඔහුට වූ මේ විපැත්තිය තවත් පුතෙකුට නොවේවායි මවක් වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා. 

 

 

කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත