මිනිස් ජීවිත දෙකක් බිලිගත් වන අලියෙකු මෙල්ල කර ගැනීමට නොහැකිවූ විට එම අලියා පොලිස් වෙඩි පහරට ලක්ව මියගිය සිද්ධියක් දැනට දහසය වසරකට පෙර අම්පාර නගරයේ මිහිඳුපුරදී සිදුවූ බව නගරවාසීන්ට පසුගියදා යළිත් ආවර්ජනය විය.
එයට හේතුව වූයේ නැවතත් එම පරිසරයේදීම එවැනි සිදුවීමක් පසුගිය උදෑසන සිදුවන්නට ගොස් එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට වනජීවී නිලධාරීහු සමත්වූ සිද්ධියක් නිසාය.
වන අලියෙකු අහඹු ලෙස මිනිසුන් ගැවසෙන නාගරික පරිසරයකට හෝ මිනිසුන් සිටින ස්ථානයකට පැමිණි විට බියට පත්වන ජනතාව ඉවක් බවක් නැතිව කෑකෝ ගසමින් එම අලියා එලවා දමන්නට උත්සාහ කිරීම සාමාන්‍ය සිද්ධියකි. එසේම අලියා දැක බලා ගැනීමටද උනන්දු වෙති.
අම්පාර දිස්ත්‍රික්කයේ සෑම වගා කන්නයකදීම ගොයම් කපා අවසන් වනවිට ඉපනැල්ල හරහා ආහාර සොයා ගම් වදින අලි ගෙවතුවලට පිවිසෙති.
එහිදී නිවෙස්වල ගබඩා කරගෙන තිබෙන වී කෑමට නිවෙස්වලට පහර දෙන ඒ අලි බිත්ති පෙරළා වී උරාබොන සිද්ධි වාර්ෂිකව සුලබව සිදුවෙයි. ඉකුත් 26 දින ගොනාගොල්ල ගොවිජනපදයේ 31/1 නිවසට අලියෙකු පහර දීමෙන් එහි ආසන්නතම සිද්ධියක් වාර්තා විය.
මේ වන විට අම්පාරේ 2021 යල් කන්නයේ වී අස්වනු නෙළීම අවසන් අදියරේ පවතින බැවින් බුද්ධංගල වනෝද්‍යානයේ සහ කණ්නිඅම්බඅඩි ගඟ පෙදෙසේ දිවා කාලයේ රැඳී සිටින අලි ගම් වැදීමට පටන්ගෙන ඇත. පසුගිය සතිය තුළ එවැනි සිද්ධීන් රැසක් උහන වම් ඉවුරේ ගොවි ජනපද වලින් වාර්තා විය.
මෙලෙස පසුගිය 24 දින අළුයම කාලයේ පැමිණි අලි දෙදෙනෙක් අම්පාර නගරයේ මිහිඳුපුර දිය බෙදුම අසලින් ගමට පැමිණ ඇති අතර, ගම්වාසීන් එම අලි එලවන විට එක් අලියෙක් බුද්ධංගල අභයභූමිය දෙසට පලාගොස් ඇත. එහෙත් අනෙක් අලියා වනසංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයට කඩාවැදුණේය. එළිවන යාමයේ මෙම අලියා දුටු මිහිඳුපුර ගමේ පිරිසක් කෑ කෝ ගසා ඌ එලවීමට උත්සහ කළ විට ප්‍රධාන මාර්ගය හරහා පැනගොස් පැරණි ඇඟලුම් කම්හල් ඉඩමේ ළඳු කැලෑවක සැඟවීමට උත්සාහ කළේය.
එවිට මෙම අලියා පලවා හැරීමේ මෙහෙයුමට පැමිණි වනජීවී නිලධාරීන්ට සුපරීක්ෂාකාරීව එම අභියෝගයට මුහුණදීමට සිදුවිය. එහෙත් ඒ බව නොදත් නගරවාසීහු තැන් තැන්වලට වී අලියා දැක බලා ගැනීමට පාරට පැමිණියහ. ඒ වනවිට අම්පාර අලි පාලන ඒකකයේ ස්ථානභාර අඩිවි ආරක්ෂක ඩබ්.ජී. කිත්සිරිමෙවන් මහතා අම්පාර මූලස්ථාන පොලිසිය දැනුම්වත් කිරීමට පියවරගෙන තිබිණි.
එහිදී විශේෂත්වයක් වූයේ වසර දහසයකට පෙර පළමු සිද්ධිය සිදුවන අවස්ථාවේ එවකට අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ජයන්ත රත්නායක මහතා මේ වනවිට අම්පාර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරමින් වත්මන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩල්ගේ මහතා ඇතුළු නිලධාරීන්ට මෙම මෙහෙයුම් සඳහා උපදෙස් ලබාදීමය.
ඒ අනුව අලියා දැක බලා ගැනීමට මාර්ගයට පැමිණි මහජනතාව වහා හසුරුවා ගැනීමට පොලීසිය මැදිහත් විය.
එයට සමගාමීව අලියා එලවීම බරපතළ ගැටලුවක් වූයෙන් අම්පාර අලි පාලන ඒකකය විසින් සමන්තුර, ගලපිටගල, සඳනදපුර යන ප්‍රදේශවල පිහිටි බීට්ටු කාර්යාලවලට දැනුම්දී 20 දෙනෙකුට ආසන්න නියාමක පිරිසක් අම්පාරට කැඳවා තිබිණි.
එම නිසා අම්පාර පශුවෛද්‍ය සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් අලියා රැඳී සිටි ස්ථානයට කැඳවා තිබිණි.
යම් හෙයකින් මෙම අලියා ඇඟලුම් කම්හල් පරිශ්‍රයෙන් එළියට පිවිස නගරය දෙසට ගියහොත් ජීවිත හානි සිදුවන්නට ඉඩ ඇති බැවින් එයට කලින් අලියා නිර්වින්දනය කිරීමට ඔවුන් සැළසුම් කර තිබිණි.
එම බිහිසුණු තත්ත්වය උදාවන්නට පෙර නිර්වින්දන අවිය ක්‍රියාත්මක වූයෙන් අලියා අප්‍රානික වී ළඳු කැළෑව මත ඇදවැටුණ ස්ථානයට අපට ළඟාවීමට හැකිවිය.
නියමිත නිර්වින්දන කාලයෙන් පසුව අලියා නැවත පියවි සිහිය ලබනතුරු පැය නවයකට ආසන්න කාලයක් ගතව යද්දී අඳුරු කාලගුණය සහිත පරිසරය නිර්මාණය වී තිබිණි. වෙලාව රාත්‍රි නවයට පමණ විය.
එහෙත් එම අවස්ථාවේ වනසත්ව අඩවි භාර නිලධාරීන් අඩවි සහකාර නිලධාරීන් වනසත්ව නියාමකවරුන් සහ සිවිල් ආරක්ෂක භට පිරිස්ද සීරුවෙන් ස්ථානගත කර තිබිණි.
රාත්‍රී නවයට පමණ කිසිදු කරදරයකින් තොරව සංසුන්ව සිටි අලියාගේ සුපුරුදු පරිසරය වන බුද්ධංගල අභය භූමිය වෙත යොමු කිරීමට හැකි විය.
වනජීවී සහකාර අධ්යක්ෂ ජී.යූ. සාරංග මහතාගේ අධීක්ෂණය මත මෙවර සිදුකළ මෙහෙයුමේදී අලියාට හෝ මිනිසුන්ට කිසිම හානියක් නැතිව එය නිම කරන්නට වනජීවී නියාමකයින්ට හැකි වීම විශේෂත්වයකි.
මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට දායකවූ අම්පාර මූලස්ථාන පොලීසිය ඇතුළු ඍජු දායකත්වය දැක්වූ සැමට තම දෙපාර්තමේන්තුවේ ස්තුතිය පුද කරන බව අඩවි ආරක්ෂක ඩබ්.ජී. කිත්සිරිමෙවන් මහතා පැවසීය.
සටහන/සේයාරූ හිඟුරානේ -
නවරත්න සමරතුංග