අගමැතිවරයා ලෙස කටයුතු කරමින්
- අගමැතිකමින් පැරදිලා ගෙදර ඇවිත් බස් එකේ නැගලා වටවන්දනාවේ ගියා.
- ආණ්ඩුවට කලින් මැයි දිනය නිවාඩු දිනයක් කළේ දහනායකයි. ඒ ගාල්ල නගර සභාවෙන්
ගාල්ලේ විජයානන්ද දහනායක කියන්නේ අපූරු චරිතයකි. දේශපාලන පොර පිටියේ විවාදාත්මක චරිතයක් වූ දහනායක පිළිබඳ බොහෝ මතකයන් අදටත් ජනතාව අතර පවතී. හිරගෙදරත්, රජ ගෙදරත් එක සේ හුරුපුරුදු විජයානන්ද දහනායක මෙරට පාර්ලිමේන්තුවට අමුඩයකින් සැරසී ගොස් අපූරු වාර්තාවක් ද පිහිටවූයේය. එමෙන්ම කිසිම නීතිඥ සහායක් නොමැතිව තමන් ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමින් එය ජයගෙන යළි අතුරු මැතිවරණයකින් පාර්ලිමේන්තු පිවිසීමට ද හෙතෙම සමත් වූයේය.
1970 දී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල ආසනය ජයගෙන පාර්ලිමේන්තුවට ගිය විජයානන්ද දහනායක මාස කිහිපයකට පසු ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පත්ව කියා සිටියේ “ගාල්ලේ කුරුල්ලා නිදහසේ ඉගිල ගියා” යනුවෙනි.
එදා නිදහසේ ඉගිළ ගිය ගාල්ලේ කුරුල්ලා අද ජීවතුන් අතර නැත. නමුත් ඔහු කළ කී දෑ පිළිබඳ මතකය අදටත් බොහෝ දෙනකු සතුව තිබේ.
1902 ඔක්තෝබර් දෙවැනි දා ඔහු තවත් නිවුන් සොහොයුරකු සමඟ මෙලොව උපත ලබන විට ඔහුගේ පියා දහනායක මුදලි සිටියේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම සමඟ එක්ව විජයානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අභිනව දාගැබේ ඉදිකිරීම් කටයුතුවලට සහභාගි වෙමින්. තම බිරිඳට පුතුන් දෙදෙනකු ලැබී ඇතැයි දැනගත් ඔහු පැමිණ වැඩිමහල් පුතාට විජයානන්ද පිරිවෙන සිහිවන පරිදි විජයානන්ද ලෙසත් බාලයාට කල්‍යාණප්‍රිය ලෙසත් නම් තැබුවේය.
දහනායක පරපුරේ වත්මන් පුරුකක් වූ ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක ඒ කතාව අපට කීවේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“අපේ සීයා ඒ කියන්නේ මුහන්දිරම් දහනායක තනිකරම සිංහල බෞද්ධ පුනරුදය වෙනුවෙන් වෙහෙස වූ කෙනෙක්. ඉතින් එදා ඔහුට ඕනෑ වුණේ තමන්ගේ සියලු දරුවන් බෞද්ධ ක්‍රමයට හැඩගස්වන්න.” පරාක්‍රම දහනායක කීවේය.
බෞද්ධ ක්‍රමයට හැඩගැසුණු විජයානන්ද දහනායක පළමුවෙන් පාසල් ගියේ ගාල්ලේ රිපන් බාලිකා විද්‍යාලයටය. එකල ප්‍රාථමික අංශයේ දරුවන් බාලිකා පාසලකට යාම අරුමයක් වූයේ නැත.
අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී වරක් රිපන් බාලිකා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වූ විජයානන්ද දහනායක ඒ කුඩා කාලය සිහිපත් කරමින් කීවේ “මම මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්” යනුවෙනි. පාසල් සිසුවියෝ සිනාසුනහ. බොහෝ දෙනකුට සිතුණේ දහනායක වරද්දා ගත් බවයි. නමුත් ඔහු කීවේ සත්‍යයකි. රිපන් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවකු වූයේය.
1935 වර්ෂයේ දී ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වූ විජයානන්ද දහනායක 1939 දී ගාල්ල මහනගර සභාවේ ප්‍රථම නගරාධිපතිවරයා බවට පත්වූයේය. එම තනතුරේ සිටිය දී සුවිශේෂී කාර්යයක් කර තිබේ. ඒ ගැන පරාක්‍රම දහනායක මෙසේ කීවේය.
“ඔහු නිතරම කම්කරුවන් සමඟ සිටියා. කම්කරු අරගලවලට පවා නායකත්වය දීම නිසා බන්ධනාගාරගත වීමට පවා සිදු වුණා. මේ රටේ මුල් වරට මැයි දිනය නිවාඩු දිනයක් කළේ ගාල්ල මහ නගර සභාවෙන්. දහනායක මැයි දිනය දා ගාල්ල මහ නගර සභාවට නිවාඩු දීම ආරම්භ කර වසර 15කට පසු මෙරට මැයි දිනය දා නිවාඩු දිනයක් බවට පත්කිරීම විශේෂත්වයක්.”
නිවුන් සොහොයුරු කල්‍යාණප්‍රිය සමඟ
1942 දී වැඩ වර්ජනයකට නායකත්වය දීම හේතුවෙන් වැඩ වර්ජන සහ හිර අඩස්සි පනත යටතේ අත්අඩංගුවට පත්වූ දහනායක බෝගම්බර හිර ගෙදරට යැවිණි. ඒ වනවිට එහි නිත්‍ය සිරකරුවන් බවට පත්ව සිටි කොල්වින් ආර්. ද සිල්වා, ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන යන අය ඇසුරු කරමින් දේශපාලන පන්නරය ලබාගත් දහනායක 1943 රාජ්‍ය මන්ත්‍රණ සභාවට බිබිල ආසනයෙන් තරග කළ ද අත්වූයේ පරාජයකි.
නමුත් එදා ජයගත් එස්.ඒ. පීරිස්ට එරෙහිව ඡන්ද පෙත්සමක් ගොනුකර ඉන් ජය ලැබුවේය.
ඒ හේතුවෙන් 1944 ඔක්තෝබර් 02 වැනි දා බිබිල ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්විණි. ගාල්ලේ නගරාධිපති දහනායක එම මැතිවරණයෙන් ජය ගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූයේය. එදා දහනායක පවුලට සුවිශේෂී දිනයක් විය. ඒ, ඡන්දය පැවැති දිනයේම විජයානන්ද දහනායකගේ වැඩිමල් සොයුරු පේමානන්ද දහනායකගේ බිරිඳ දරුවකු බිහි කිරීමයි. ඡන්දය පැවැති දිනයේ උපන් මේ බිළිඳාට චන්ද කුමාරයයි නම් තැබිණි. ඔහු චන්ද කුමාර සේපාල පණ්ඩිත දහනායක ලෙස හැඳින්වේ.
1947 මෙරට පැවැති පළමු පාර්ලිමේන්තු මැතිවරණයට ලංකා සම සමාජ පක්ෂයෙන් ගාල්ලට තරග කළ දහනායකගේ ප්‍රතිවාදියා වූයේ ප්‍රකට ධනපතියකු වූ එච්.ඩබ්ලිව්. අමරසූරිය මහතායි.
“මම සල්ලි ගහක් හොලවනවා. ඒවා එකතු කරගෙන මට ඡන්දය දෙන්න.” යැයි දහනායක කීවේය. මැතිවරණය වෙනුවෙන් දහනායක මුදල් වියදම් කළේ සුළු ප්‍රමාණයකි. නමුත් අමරසූරිය අත දිගහැර වියදම් කළේය. දහනායක සල්ලි ගස සෙළවුව ද ඔහු පරාජය කරමින් අමරසූරිය පාර්ලිමේන්තුවට පත්වූවේය.
නමුත් 1952 මහ මැතිවරණයෙන් ගාල්ල ආසනය ජයගත් දහනායක යළි පාර්ලිමේන්තුවට ගියේය.
මේ පාර්ලිමේන්තුවේ සිදුවූ අපූරු සිදුවීමක් චන්ද කුමාර සේපාල පණ්ඩිත දහනායක මෙසේ විස්තර කළේය.
“මේක සිදුවෙලා තියෙන්නේ 1955 අප්‍රේල් මාසයේ දී. ඇල්බට් ඇෆ්. පීරිස් කතානායකවරයා කැස්බෑව මන්ත්‍රීවරයා වූ සෝමවීර චන්ද්‍රසිරි සභාවෙන් ඉවත් කරන ලෙස පවසමින් ඉවත්ව ගිහින් තියෙනවා. මේ වෙලාවේ විජයානන්ද දහනායක නැගිටලා දෙහිඕවිට මන්ත්‍රී එඩ්මන්ඩ් සමරක්කොඩි මහතා මුලසුනට යෝජනා කරලා. රොබට් ගුණවර්ධන ඒක ස්ථිර කරලා. සමරක්කොඩි මන්ත්‍රීතුමා මුලසුන දරමින් පාර්ලිමේන්තු කටයුතු කරලා. චන්ද්‍රසිරි මන්ත්‍රීතුමා දිගටම කතා කරලා අන්තිමේ දී පොලිසිය ඇවිත් ඔවුන් ඉවත් කරලා තියෙන්නේ. මේ සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණයටත් වාර්තා කරලා. නමුත් එහි නිගමනය වෙලා තියෙන්නේ මෙය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධීක්ෂණය යටතට ගැනෙන නිසා වගඋත්තරකරුවන් හැටියට නම් කළ දහනායකට සහ රොබට් ගුණවර්ධනටත් මුලසුනට පත් වූ සමරක්කොඩි මන්ත්‍රීතුමාටත් නොතීසි නිකුත් කරන්න බැරි බව. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඔවුන් නිදහස් වුණා.”
1956 මහ මැතිවරණයෙන් බලයට පත්වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජයේ අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත්වූ දහනායක ඇමෙරිකාවේ කෙයාර් සංවිධානයේ අනුග්‍රහයෙන් පාසල් ළමුන් සඳහා බනිස් ගෙඩියක් හා කිරි වීදුරුවක් දීමට කටයුතු කිරීම හේතුවෙන් “බනිස් මාමා” යැයි අන්වර්ථ නාමයක් ලැබුවේය.
බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය වීමෙන් පසු අගමැති ධුරයට පත්වූ දහනායක සම්බන්ධයෙන් අගමැති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් “අරලිය ගහ මැදුරේ ස්පන්දනය” නමැති කෘතියේ විශේෂ සටහන් කිහිපයක්ම තබා තිබේ. අගමැති නිල නිවසට තම සූට් කේසය ද රැගෙන ගිය නව අගමැතිවරයා “මට මේ නිදන කාමරය හුඟක් ලොකුයි. මට නිදාගන්න බෑ. පොඩි කාමරයක් හොයා දෙන්න.” යැයි කීවේලු.
අවසානයේ ඔහුගේ නිදන කාමරය ලෑලි ගසා කුඩා කාමරයක් බවට පත්කර දීමට අගමැති ලේකම්වරයාට සිදුවිය.
සූට් කේසයක ඇඳුම් කිහිපයක් රැගෙන අගමැති නිල නිවසට ආ දහනායක 1960 මාර්තු මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් නව පක්ෂයකින් තරග කළද පරාජයට පත්වූයේය.
බ්‍රැඩ්මන් වීරකෝන් තම ග්‍රන්ථයේ සටහන් කර ඇත්තේ පරාජයට පත්වූ අගමැතිවරයා අගමැති නිල නිවසට පැමිණි ආකාරයටම තම ඇඳුම් කිහිපය සූට් කේසයේ අසුරාගෙන පුටුවකට බර දී “බ්‍රැඩ්මන් මට ගාල්ලට යන්න ටැක්සියක් හොයා දෙන්න පුළුවන්ද?” යනුවෙන් විමසූ බවයි.
අගමැති ලේකම්වරයා ඒ මොහොතේම ඔහුට කාර්යාල වාහනයක් ලබාදී තිබිණි.
එලෙස ගෙදර ආ දහනායක කළ අපූරු දෙයක් ගැන අපට කීවේ අගමැති දහනායකගේ නිවුන් සොහොයුරු කල්‍යාණප්‍රිය දහනායකගේ පුතකු වූ චන්ද්‍රගුප්ත දහනායකයි.
“ලොකු තාත්තාට පරාජය කනස්සල්ලට හේතුවක් වෙලා තිබුණා. අගමැතිකම අතඇරලා ගෙදර ඇවිත් නිතර නිතර කල්පනා කර කර ඉඳලා දවසක් සූට් කේස් එකකට ඇඳුම් ටිකකුයි තව පොත්පත් ටිකකුයි දාගෙන ගෙදරින් එළියට බැස්සා. අපිට කිව්වා මට මිනිස්සු නිවාඩු දුන්න නිසා මම ලංකාව වටේ වන්දනාවක යනවා කියලා. මේ හිටපු අගමැතිවරයා ලංකාවේ සියලු සිද්ධස්ථාන වැඳ පුදා ගන්න කියලා වන්දනාවේ ගියේ බස්වලින් සහ කෝච්චියේ.”
ඔහු යළි පැමිණ ඇත්තේ මාස දෙකකට පසුවය. නිවසට පැමිණ ටික දිනකින් ඩඩ්ලි සේනානායක රජය බිඳ වැටිණි. ඒ අනුව 1960 ජූලි මැතිවරණයෙන් යළි ගාල්ල ආසනය ජයගෙන පාර්ලිමේන්තුවට පත්වූ දහනායක, රජය විසින් චීත්ත රෙදි යාරයක මිල ශත 10කින් වැඩි කිරීමට විරෝධය දක්වමින් අමුඩයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණියේය. නමුත් ඔහුට පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළුවීමට ඉඩ ලැබුණේ නැත.
1964 දී රජය කෙරෙහි විශ්වාසයක් නැතැයි ගෙන ආ යෝජනාවක් එක් වැඩි ඡන්දයකින් සම්මත වූ බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අග්‍රාණ්ඩුකාරවරයා එවකට අගමැති සිරිමා බණ්ඩාරනායකට උපදෙස් දී තිබිණි.
ඔහුගේ නිවස
“1970 දී එතුමා ගාල්ල ආසනයට තරග කළේ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයෙන්. එක්සත් ජාතික පක්ෂයත් සහාය දුන්නා. පහසුවෙන්ම ගාල්ල ආසනය ජයගත් ඔහුට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ලැබුණා. නමුත් 1977 දී ඔහු නැවත පරාජයට පත්වුණා. මේ වෙලාවේ ආසනය ජයගත් ඇල්බට් සිල්වාට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරලා කිසිදු නීතිඥයකුගේ සහයක් නැතිව අධිකරණයේ පෙනී සිටියා. ඒ වෙලාවේ විරුද්ධ පාර්ශ්වය හිනා වුණා. ඔය වයසක මනුස්සයට පුළුවන්ද නීතිඥයන් එක්ක හැප්පෙන්න කියලා. ඒත් අවසානයේ ඔහුගේ තර්ක ජයගත්තා. ඇල්බට් සිල්වාට මන්ත්‍රී ධුරය අහිමි වුණා. 1979 දෙසැම්බර් පැවැත්වූ අතුරු මැතිවරණයෙන් දහනායක මහත්මයා එදා ඇල්බට් සිල්වා සිටි එක්සත් ජාතික පක්ෂයෙන්ම නාමයෝජනා අරගෙන යළි පාර්ලිමේන්තුවට ගියා.” යැයි චන්ද්‍ර කුමාර සේපාල පණ්ඩිත දහනායක මහතා සිහිපත් කළේය.
එලෙස පාර්ලිමේන්තුවට යළි පත්ව ආ විජයානන්ද දහනායක 1989 පාර්ලිමේන්තුව විසුරුවා හරින විට සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
දහනායකගේ අවමංගල්‍යය
මැතිවරණ 11ක් තරග කළ විජයානන්ද දහනායක ඉන් ඡන්ද 08ක්ම ජයගෙන තිබේ.
මැතිවරණවලදී ඔහුට සහය වන ප්‍රභූ පැලැන්තියක් ගාල්ලේ සිටිය ද ඔහු තම අවශ්‍යතා ඉටු කරගෙන ඇත්තේ මන්ත්‍රී වැටුපෙන් හා දීමනාවලිනි. පාර්ලිමේන්තුවට පවා බසයෙන් හා දුම්රියෙන් ගමන් කළ ඔහු දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයෙන් බොහෝ ප්‍රයෝජන ගත් අයෙකි.
ගාල්ල එස්.එච්. දහනායක මාවතේ නිවසේ ඉදිරිපස කාමරයේ ජීවත් වූ ඔහු මහජන හමු පවත්වා ඇත්තේ ද අපූරු ආකාරයටය.
කුඩා ටීපෝවක් නිවසේ සාලයට පිවිසෙන දොරටුව අසලින් තබා ගන්නා ඔහු එහි යන එන සියලු දෙනා සමඟ සතුටු සාමීචියේ යෙදෙයි. ඔවුන්ට අවශ්‍ය ලිපි සියල්ල දහනායක මහතා සිය අත්අකුරින්ම ලියයි. ලේකම්වරුන් හෝ වෙනත් අයකු හෝ ලිපි ලියා දෙනවට දහනායක කැමති නැත. කටු පෑනෙන් ලිපිය ලියා තීන්ත වේලීමට බ්ලොටින් පේපර් එකක් තබයි. ඉන් පසු එය ලියුම් කවරයක බහා ලිපිනය ද ඔහු විසින්ම ලියයි. මෙරට සියලු මැති ඇමැතිවරු දහනායකගේ අකුරු හඳුනති.
මුල් කාලයේ කොළඹ ගිය විට නිව් කොලෝනියල් හෝටලයේ නවාතැන් ගැනීමට පුරුදුව සිටි දහනායක ශාවස්ත්‍රි මන්දිරය පසුව තම ලැඟුම්හල කරගත්තේය. අැමැතිවරයකුව සිටියදී පවා ඔහු ඇමැති නිල නිවසක් භාවිත නොකර ශාවස්ත්‍රි මන්දිරයේ සිටීම විශේෂත්වයකි.
1989 දී දේශපාලන දිවියෙන් සමුගත් විජයානන්ද දහනායක හිටපු අගමැතිවරයා තම ජීවිතයේ අවසන් කාලය ගත කළේ ගාල්ලේ නිවසේය.
දිනපතාම නිවසේ ඉදිරිපස කොටසට වී පුවත්පත් බලමින් කාලය ගත කළ දහනායක දේශපාලනයෙන් විශ්‍රාම ගෙන තිබූ අවසන් වසර කිහිපයේ දී තමන් හමුවට එන පැරණි හිතවතුන් සමඟ අතීත රස කතා කියමින් සතුට වූවේය.
වසර 95ක් ආයු වැළඳූ විජයානන්ද දහනායක 1997 මැයි 04 වැනි දා මෙලොව හැරගියේ මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන මතකයක් ඉතිරි කරමිනි.
සටහන සහ ඡායාරූප :
සජීව විජේවීර