ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
- ඔස්ට්‍රියාවේ ගම්බද පළාතක දුප්පත් පවුලක කෙනෙක්
- ආණ්ඩුකාර පදවියෙන් පසුව රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට පවා යෝජනා වුණා
ආර්නල්ඩ් ශ්වාසෙනෙගර් නොහොත් ආර්නෝල්ඩ් ශ්වාෂෙනෙගර් යනු කවුරුදැයි බටහිර චිත්‍රපට ලෝලීන් හට අමුතුවෙන් කිව යුතු නොවේ. ක්‍රියාදාම සහ ත්‍රාසය රැගත් චිත්‍රපට නිර්මාණවලට පෙම්බැඳි සිනමා ලෝලීන් හට ආර්නල්ඩ් ශ්වාසෙනෙගර් යනු වීරයෙකි. කායවර්ධන ශූරයකු වීමේ අරමුණ ඇතිව එදා සමාජවාදීව තිබූ ඔස්ට්‍රියාවේ සිට ධනවාදී ඇමෙරිකාව වෙත සංක්‍රමණය වූ ආර්නෝල්ඩ් පසුව ලෝක තරුවක් බවට පත්වූයේ ඇමරිකාව නිජබිම කරගෙනය.
ආර්නෝල්ඩ්ගේ ජීවිත කතාව එකිනෙක අප විශ්මයට පත් කරවන්නකි. ඔහු බටහිර ක්‍රියාදාම වෙතින් ලබා දුන් ත්‍රාසය පිරි රංගනය නිසා අප විස්මයට පත්වූ බව සැබෑය. එහෙත් ඔහුගේ ජීවිත කතාව යනු විස්මයකට එහා ගිය යථාර්ථයකි. සැකෙවින් මෙසේය. ඔහු ඇමෙරිකාවට ආවේ කායවර්ධන ශූරයකු වී ලෝකයේ නමක් සනිටුහන් කර ගැනීමටය. සිහිනයක් නොකළ ඔහු එය සැබෑවක් කර ගත්තේය. ඉන්පසුව ව්‍යාපාර ක්ෂේත්‍රයට එ්ම ඔහුගේ අරමුණ වූ අතර එය ද යථාර්ථයක් කර ගත්තේය. නළුවකු වීමේ සිහිනය ඊළඟට සපුරා ගත් ආර්නෝල්ඩ් ඇමරිකාවේ දේශපාලන චරිතයක් වීමට ඉටා ගත්තේය. ඒ අරමුණ ද ඔහු සඵල කර ගත්තේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා බවට පත්වීමෙනි. සරලව කිවහොත් සතේ අතේ නැතුව ඇමරිකාවට සංක්‍රමණය වූ ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර්, ජීවිතයේ නැගී සිටියේ මිලියනපති චරිතයක් බවට පරිවර්තනය වෙමිනි. කොහොමද එසේ වූවේ? මොනවද ඔහුගේ ව්‍යාපාර? ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ අද අපි ඒ දිරිය ලෝක තරුව ගැන සහ ඔහුගේ ව්‍යාපාර ගැන විස්තර කියවමු.
ආර්නෝල්ඩ් ඇලෝයිස් ශ්වාසෙනෙගර් උපත ලැබුවේ 1947 ජූලි 30 දා ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයට නුදුරින් පිහිටි තාල් හිදීය. එය ඔස්ට්‍රියාවේ දෙවන විශාලතම නගරය වන ඉහත සඳහන් ග්‍රාස් නගරයට කිලෝමීටර් හතරක පමණ දුරින් පිහිටි ගම්මානයකි. 1947 සිට 1966 දක්වා වයස අවුරුදු 19 ක කාලය දක්වා ආර්නෝල්ඩ් ජීවත් වූයේ මෙම පළාතේදීය. ගුස්ටාෆ් ශ්වාසෙනෙගර් සහ ඔරේලියා යුවළගේ දෙවැනි පුතු ආර්නෝල්ඩ්ය. ඔහුගේ මව මෙන්ම පිය පාර්ශ්වය ද ‘චෙක්’ හෙවත් චෙක් ජනරජයේ සම්භවය ඇති අය වේ. ‘ශ්වාසෙනෙගර්’ යන පෙළපත් නාමය ආර්නෝල්ඩ් හට ලැබී ඇත්තේ ඔහුගේ සීයාගේ මවගේ පෙළපත් නාමයට අනුවය. සීයාගේ මුල් නම වී තිබුණේ ‘කාල් මාක්’ යනුවෙනි. නමුදු ඔහුගේ මව කාල්මාක් වෙනුවට ‘ශ්වාසෙනෙගර්’ යන නම යොදා ගන්නැයි ඉල්ලා සිටියාය. ආර්නෝල්ඩ්ගේ සීයා වූ වෙන්සල් කාල්මක්’ වෙන්සල් ශ්වාසෙනෙගර් වූවේ ඉන් පසුවය. ආර්නෝල්ඩ්ගේ පියා එරට පොලිසියේ නිලධාරියකු ලෙස කටයුතු කළේය. දෙවැනි ලෝක යුධ සමය එළැඹීමට පෙර සිටම ඔස්ට්‍රියාව ‘නාසී’වාදීන්ට නතු වී ‘නාසිකරණයේ’ යටත් රාජ්‍යයක් බවට එක්ව තිබිණි. ඒ නිසාම ආර්නෝල්ඩ්ගේ පියා නාසි කඳවුරේ සාමාජිකයකු බවට පත්විය. පසුව ඔහු මිලිටරි පොලිසියේ සේවකයකු ලෙස ද සේවය කළේය. ආර්නෝල්ඩ්ගේ පියා මෙන් මව ද ඉතා දැඩි චරිත වූවේ යැයි සඳහන් වේ. දරුවන් අකීකරු වුවහොත් හෝ ගෙදර නීති රීති අනුගමනය නොකළහොත්, පියා කළේ ඔහුගේ සැරයටිය කැඩෙනතුරු ආර්නෝල්ඩ් හට පහරදීමය. ඒ හැරත් ගුස්ටාෆ් තමාගේ වැඩිමහල් දරුවා හට වැඩි ප්‍රියතාවයක් දැක්විය. මෙවැනි දේ නිසා පදනම් විරහිත වූ අනුමාන සිතිවිල්ලක් ආර්නෝල්ඩ් හට ඇතිවිය. ‘මෙයා මගේම පියා ද’ යන්න ඒ සිතිවිල්ලය.’ ඔහු විශ්වාස කළේ පියා, ඔහුගේම සැබෑ පියා නොවන බවය. එහෙත් එය පදනම් විරහිත වූවාක්ම විය. කෙසේ වුවද ආර්නෝල්ඩ් හට මව සමග තිබුණේ ශක්තිමත් බැඳීමකි. ඒ බැඳීම ආදරය, ගෞරවය ඇය මියෙනතුරුම ආර්නෝල්ඩ් පුතු ඇය හට දැක්වූවේය. එකල ඒ පළාතේ හැටියට ශ්වාසෙනෙගර් පවුල දුප්පත් පවුලක් විය. නිවසට ශීතකරණයක්, ගෙනා දවස ඔහු හට ගෙන දුන්නේ වඩා සතුටකි. දුප්පත් පවුලකට එය ලොකු භාණ්ඩයක් වුණි. කොහොමටත් ඒ ගමේ සියලු දෙනා හට තිබුණේ දුප්පත්කම මුල් වූ ජන ජීවිතයකි. ඒ නිසා තමුන් දුප්පත් යැයි ආර්නෝල්ඩ් හට අමුතුවෙන් සිතීමට තරම් එය අමුතු දෙයක් නොවුණි. පාසලේදී ඔහු වඩා උද්යෝගිමත් දරුවකු විය. ඔහුගේ පියා එකල මලල ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළ අයෙකු වූ බැවින් තම පුතුන් ද ක්‍රීඩා අංශයට යොමු කරවීම ඔහුගේ අභිප්‍රාය විය. ආර්නෝල්ඩ් පාසලේදී අනෙකුත් ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩා සඳහා අත්පොළසන් දුන් චරිතයක් වුවද ක්‍රීඩාවට සක්‍රිය වූ චරිතයක් නොවීම නිසා ‘තමුසෙ කොල්ලෙක් නේද?’ ක්‍රීඩා කරනවකො කියා පියා ඔහුට කියා සිටියේය. 1960 දී පමණ ඔහුගේ පාපන්දු පුහුණුකරු විසින් ආර්නෝල්ඩ්ව බර ඉසිලීමේ කටයුතු සඳහා යොමු කරවීය. හරියටම කිව්වොත් ආර්නෝල්ඩ් බර ඉසිලීමේ කටයුතු පුහුණු වීමට පැමිණියේ වයස අවුරුදු 15 දී පමණය. ඒ වන විට පාපන්දු ක්‍රීඩකයකු ලෙස ඔහු කටයුතු කරමින් සිටියේය. බර ඉසිලීමේ කටයුතු කරගෙන ගිය ද ආර්නෝල්ඩ්ගේ පියා කියා සිටියේ ඔහු මෙන් තමාට ද පොලිස් නිලධාරියකු වීමට යැයි අතීතය ආවර්ජනය කරමින් ආර්නෝල්ඩ් පවසා තිබේ. ඔහුගේ මවට ඕනෑ වී තිබුණේ පුතු වාණිජ පාසලකට යැවීමේ අරමුණය. වයස 17 නව යොවුන් තරුණයෙකුව සිටි ආර්නෝල්ඩ් ඩෑන් ෆාමර් යටතේ පුහුණුවීම් අරඹා සිටි අතර, ක්‍රීඩාවට අවශ්‍ය මානසික උපදේශනය ද ඔහු යටතේ ලබා ගත්තේය. ‘ඇත්තම කිව්වොත් මට කායවර්ධන ශූරයකු වීම සහ බර ඉසිලීමේ ශූරයකු වී ඔලිම්පික් මට්ටම දක්වා යා හැකි යැයි යන ඉලක්කය ඇතිවූයේ වයස අවුරුදු 14 දී වගේ’ යැයි ආර්නෝල්ඩ් අතීතාවර්ජනය කරමින් කියා සිටී.
ආර්නෝල්ඩ් ඔස්ට්‍රියාවෙන් ඇමෙරිකාවට
පාසල් අධ්‍යාපනය ලබමින් සිටි අතරේ ශ්වාසෙනෙගර් ප්‍රවීණ කායවර්ධන උපදේශකවරුන් යටතේ නිරන්තර පුහුණුව ලැබීය. පුහුණුවීම් ශාලා වසා තැබූ දිනවල පවා ඔහු ඒ ස්ථාන වෙත ගොස් පුහුණුවීම් කළේ අනාගත ඒකායන අභිප්‍රායක් දරාගෙනය. වයස 18 ට පෙරදී එරට හමුදාවේ වසරක පුහුණුව හෙවත් සේවය ලබා දුන්නේ, එරට සෑම තරුණයකු හට එය අනිවාර්යයව තිබූ බැවිනි. එම සේවා කාලය නිම වීමටත් පෙර කනිෂ්ඨ යුරෝපීය කිරුළ දිනා ගත්තේ ඔහු විසිනි. ඉනික්බිතිව ‘ග්‍රාස්හි’ පැවැති තවත් තරගයකදී ඔහු දෙවැනියා වුවද හොඳින් කාය වර්ධනය කරගත් පුද්ගලයා ලෙස යුරෝපය පුරා ඔහුගේ නාමය ප්‍රචලිත වීමට එය හේතුවක් විණි. ලෝක ශූරයා වීම සහ පොහොසතකු වීමේ ප්‍රධාන ඉලක්කයට ඔහු පැමිණියේ ඒ සමගය. 1966 දී ඒ ලන්ඩනය බලා තවත් ශූරතා තරගයක් වෙනුවෙන් යාමට අවස්ථාව ලබාගත් ශ්වාසෙනෙගර් ස්වකීය ප්‍රථම ගුවන් ගමනේ යෙදුණේ එදාය. එම ලෝක ශූරතා තරගයේදී ඔහුට ලැබුණේ දෙවැනි ස්ථානයයි. චාල්ස් බෙනට් පුහුණුකරුගේ හිත ශ්වසෙනෙගර් හට යොමුවුණේ ඒ සමගය. ‘මේ කොල්ලා තව ටික දිනකින් මුළු ලෝකයම හොල්ලාවි’ යන දැක්ම ඔහුට තිබිණි. ඒ නිසා ශ්වාසෙනෙගර් හට පුහුණුව ලබා දීමට පමණක් නොව ලන්ඩනයේදී ඔහුට නවාතැන් දීමට පවා ඉදිරිපත් විය. නිකම්ම කළු ගලක් මෙන් තිබූ ශ්වාසෙනෙගර්ගේ සිරුර කැටයම් කරුවකු විසින් ප්‍රතිමාවක් අඹන්නාක් මෙන් බෙනට් ‘ආර්නෝල්ඩ්’ නමැති කායවර්ධන ශූරයාගේ ප්‍රතිමාව මැව්වේය. එපමණක් නොවී ඉංග්‍රීසි භාෂාව ගැන ද වැටහීමක් ලබා ගැනීමට ආර්නෝල්ඩ් උනන්දු විය. ලන්ඩනයේ සිටියදී බෙනට් නිසා කුඩා කාලයේ සිට ශ්වාසෙනෙගර්ගේ වීරයකු වූ ‘රෙග් පාක්’ ශූරයා හඳුනා ගැනීමට හැකි විය. එය මිත්‍රත්වයකට පෙරළුණ අතර 1967 දී ශ්වාසෙනෙගර්ගේ, විප්ලවීය ගමන සනිටුහන් වූයේ වයස 20 දී ‘ලෝක ශූරයා’ ලෙස කිරුළ දරමිනි. ලෝක අයෝමය පුරුෂයා තරග ඉතිහාසයේ අඩුම වයසින් එම කිරුළට හිමිකම් කී යෝධ අයෝමය පුරුෂයා ලෙස ඔහුගේ නාමය ඉතිහාස ගත විය. පසුව ඔහු මෙම ලෝක ශුරතාව අවස්ථා තුනකදීම ලබා ගැනීමට සමත් විය. පළමුව ලෝක ශූරතා දිනාගත් ආර්නෝල්ඩ් ජර්මනියේ මියුනිච් වෙත ගොස් ව්‍යාපාර අධ්‍යාපනය ලබාගත හැකි පාසලකට ඇතුළත් විණි. ඊට අමතරව ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක සේවය කළේ මුදලක් උපයා ගැනීම වෙනුවෙනි. 1968 දී ලන්ඩන්හි පැවැති ඊළඟ ලෝක අයෝම පුරුෂයා ඉසව්වෙන් කිරුළ දැරුවේ ඒ අතරවාරයේදීය. රොජර් සී ෆීල්ඩ් නමැති පුහුණුකරු හට ඔහු කියා සිටියේ ‘මගේ මීළඟ අරමුණු ලෝකයේ මහා නළුවකු වීම යන්නය.’ මට මතකයි. එදා මම ඔස්ට්‍රියාවේ සිටියදී තාත්තා මාව ෆිල්ම්ස් බලන්න එක්කගෙන ගියා. ඒ ඔස්සේ කවදාහරි නළුවකු වීමේ සිහිනය මට එන්න ඇති.’ නළුවකු වීමට වූ ආසාව ගැන පසු කලෙක ඔහු හෙළි කළේ එලෙසිනි. ඒ වගේම ඔහුගේ සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන් ඇමරිකාවට යාමට සිහින මැව්වේ වයස 10 සිට යැයි ද ඔහු සිහිපත් කරයි. 1968 ඔක්තෝබරය එළැඹිණි. යාන්තමට ඉංග්‍රීසි ටිකක් කතා කිරීමට පුළුවන්කම තිබූ ශ්වාසෙනෙගර් ඒ සිහින ගමනාන්තය කරා පියාඹා ගියේ සිහින සැබෑ කර ගැනීමට මිස ඒවා සිහින ලෙස දියකර හැරීමට නොවීය. කෙසේ වෙතත් සංක්‍රමණ නීති උල්ලංඝනය කළ අයෙකු ලෙස එදා ඔහු ගැන සඳහන් වුණි. එහෙත් පසු කලෙක ඇමෙරිකාවට මේ අසහාය චරිතය අත්‍යාවශ්‍ය වූවේ හොලිවුඩ් සිනමාව හරහා මහා ධනස්කන්ධයක් රටට ගෙන දෙන තරු උල්පතක් වූ බැවිනි.
මිස්ටර් ඔලිම්පියා
ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර් යනු හොලිවුඩය හෙල්ලූ නළුවකු ලෙස සමාජගත වීමට පෙර බර ඉසිලීමේ ලෝක ශූරයා ලෙස ඔලිම්පික් පදක්කම් දිනූ ක්‍රීඩා තරුවකි. මිස්ටර් ඔලිම්පියා ලෝක ශූරතාවයේදී ආයෝමය පුරුෂයා ලෙස වයස 23 දී එම ශූරතාවය දිනූ නිසාත් තවත් ජයග්‍රහණ රැසක් අත්කරගත් නිසා ‘මිස්ටර් ඔලිම්පියා’ ලෙස ඔහුට නම් පට බැඳුණි. සය වතාවකදීම එම ශූරතාව දිනා ගැනීම නිසා එසේ ඔහු හට ඒ නම ලැබිණි. බර ඉසිලීම සහ අයෝමය පුරුෂයා ලෙස ලැබූ ජයග්‍රහණ අසමසම වාර්තා ලෙස සනිටුහන්ව තිබේ.
සිහින සැබෑ කර ගැනීම
ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර් හට සිහින 4 ක් හෙවත් ඉටුකර ගැනීමට ප්‍රධාන ඉලක්ක 4 ක් තිබිණි. අයෝමය පුරුෂයකු වීම, ප්‍රකෝටිපතියකු වීම, හොලිවුඩ් තරුවක් වීම සහ ආණ්ඩුකාරවරයකු වීම යනු එකී ඉලක්කය. ලෝක අයෝම පුරුෂයා, බර ඉසිලීමේ ශූරයා වූ පසු දෙවැනියට ව්‍යාපාර අංශයට අත ගැසුවේය. මහල් නිවාස හෙවත් එපාර්ට්මන්ට් ඉදිකිරීමේ ව්‍යාපාරය ඔහු ඇරඹියේ ඉතා සුළුවෙනි. එක් මහල් නිවසක තමුන් ජීවත් වූ අතර ඉන්පසු තැනූ හතර කුලී පදනමට ලබා දීමට කටයුතු කළේය. මේ දේපළ වෙෙළඳාම සරුවට කළ ඔහු සුපිරි නිවාස සංකීර්ණ 36 ක හිමිකරුවකු බවට පත්විය. ඒ නිසා මිලියනපතියකු බවට පත්වූයේ නළුකමට ඒමට පෙරදීය. ආර්නෝල්ඩ්ගේ සිනමා ගමන ආරම්භ වූවේ ආතර් ඇලන් සීඩ්ල්මන්ගේ ‘හර්කියුලීස් ඉන් ද නිව්ෙයා්ර්ක්’ චිත්‍රපටයේ රඟපාමින්ය. ඉන්පසුව තවත් චිත්‍රපට 4 ක රඟපෑමෙන් අනතුරුව ජේම්ස් කැමරුන් ලෝ ප්‍රකට සිනමාකරුවාගේ ‘ද ටර්මිනේටර්’ චිත්‍රපට මාලාවේ රඟපෑමට ලැබීමත් සමඟ මිලියනපති ශ්වාසෙනෙගර් හට තව තවත් මුදල් සම්භාරයක් ගලා ආවේ නිකම්ම නොවේ. ලෝක සිනමා ප්‍රේක්ෂකයින්ගේ ද ආදරය ලබමිනි.
කැලිෆෝර්නියාවේ ආණ්ඩුකාරවරයා වීම
‘රිපබ්ලිකන්’ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනයට අවතීර්ණ වී සිටි මේ අයෝමය මිනිසා ඇමරිකාවේ තමා ජීවත් වන කැලිෆෝර්නියාවේ ආණ්ඩුකාරවරයා බවට පත්වූයේ 2003 වසරේදීය. ඇමරිකානු ජනතාව ඔහු ගැන විශ්වාසය තැබුවේ ඔහු සැබෑ ලෙසට ඇමරිකාවට සහ එරට ජනතාවට ආදරය කරන චරිතයක් ලෙස ඔවුනට දැණුන නිසාය. එකී දේශපාලන ගමන, ඔහ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස පෙළඹවීම දක්වා ඉදිරියට ඇදී ගියේය.
‘ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර්’ මෙලෙසින් ආ ගමන අප සඳහන් කරන්නේ සංක්ෂිප්ත වශයෙනි. එකී ගමනේදී ඔහු විඳි දුක් ගැහැට ගැන වෙනම පරිච්ඡේද ගණනාවක් ලිවිය හැකිය. එදා දේපොළ වෙෙළඳාම ආරම්භ කළ සමයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ භූ කම්පනය නිසා සියල්ල විනාශයට පත්වුණි. ඒ සුන්බුන් මතින් ඔහු නැගී සිටියේ පෙරටත් වඩා ශක්තිවන්ත මිනිසකු ලෙස, ෆ්‍රැන්කෝ කලම්බු සමග අත්වැල් බැඳගෙනය.
ආර්නෝල්ඩ්ගේ තරම
ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර් උසින් අඩි 6 ක් සහ අඟල් 2 කින් යුතුය. බර කිලෝග්‍රෑම් 116 කි. පපු පෙදෙසෙ පළල අඟල් 57 කි. ඒ යෝධ මිනිසා, 1969 දී මුලින්ම පෙම් සබඳතාවයක් පටන් ගත්තේ ගුරුවරියක වූ බාබරා අවුට්ලැන්ඩ් සමගය. දෙදෙනාගේ එක්ව ජීවත්වීමේ කාලය පැවතියේ 1974 දක්වා පමණකි. ඇය ඇයගේ පැරණි පෙම්වතා ගැන තවදුරටත් හිතන බව ශ්වාසෙනෙගර් හට අවබෝධ විණි. කෙසේ වෙතත්, එය කඩදාසියක අත්සනකට සීමා නොවූ විවෘත සබඳතාවයක් විය. නීත්‍යානුකූලව ශ්වාසෙනෙගර් විවාහ වූයේ කෙනඩි පවුලේ සාමාජිකාවක මෙන්ම ඇමරිකානු මාධ්‍යවේදිනියක, ගත්කතුවරියක වන මරියා ඕවින්ග්ස් ශ්‍රීවර් සමගය. එම විවාහයෙන් ලද දරුවන් ගණන සතර දෙනෙකි. එහෙත් එම විවාහයෙන්ද ශ්වාසෙනෙගර් දික්කසාද වූයේ 2011 වසරේදීය. එය 25 වසරක දිගු විවාහ ජීවිතයක් විය. ඉනික්බිතිව තව තවත් සබඳතා දික්කසාද, නඩු හබ ඔස්සේ විවාහ ජීවිතයේ බොහෝ දේට මුහුණ දීමට ආර්නෝල්ඩ් හට සිදුවිය.
මේ අතරේදී විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දුන් මේ අයෝමය පුරුෂයා හට ශල්‍යකර්මයකට පවා මුහුණ දීමට සිදුවිය. එම සිදුවීමෙන් අනතුරුව නැවත ජීවිතයට පණ දෙමින් සිටි මේ යෝධ නළුවා, ලොස් ඇන්ජලීස් හිදී මෝටර්සයිකල් අනතුරකට පත්ව ඉල ඇට හයක් බිඳී ගියේය. ඒ 2001 වසරේදීය. 2004 දී හවායි හි නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටි ශ්වාසෙනෙගර් දියේ ගිලුණු අතර නැවත වතාවක් ඔහු දිවි ගලවා ගත්තේ තවත් මිනිසකු හට පිංසිදු වන්නටය. එසේ වූවා යැයි කියා ඔහු ජීවිතයේ නතර වූයේ නැත. පුතු සමග හාලි ඩේවිඩ්සන් යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් මැහුම් 15 ක් ඔහුගේ මුහුණට දැමීමට සිදුවිණි. ඉනික්බිතිව ද තවත් අනතුරු කීපයකට මුහුණ දුන් ශ්වාසෙනෙගර් ඒවායින්ද දිවි ගලවා ගත්තේය. ඔහු නොවන්නට වෙනත් සාමාන්‍ය මිනිහකු හට එසේ අනතුරු සිදුවී නම් නිසැකවම ඒ මිනිසා මියයනු ඇත.
මහා වීරයින්, මහා මානවවාදීන් ලෙස පෙනී සිටින සමහර මිනිසුන්ට වඩා, ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර් පරිසරයට ආදරය කරන, ප්‍රජාවට ආදරය කරන පරිත්‍යාගශීලි මිනිසකු බවට පත්වූයේ සමාජ සේවා කටයුතු වෙනුවෙන් ක්‍රියාශීලි වූ චරිතයක් ලෙසය. ඔහු ඔහුගේ සිරුර පමණක් ශක්තිමත් කරගත් පුද්ගලයකු නොවේ. ඊට වඩා ඔහු මනසින් ශක්තිමත් සහ මනසින් විශාල චරිතයකි. එසේ නොවන්නට එදා හිස් අතින් ඇමරිකාවට ගිය ඔහු ඇමෙරිකානු ප්‍රජාවේ දේශපාලන චරිතයක් බවට පත්වන්නේ නැත. කොහොමද කෙතෙක් ජීවිතය දිනන්නෙ? ඒකට ඔහු ලබා දෙන පිළිතුර වන්නේ ‘කැපවීම’ යනුවෙනි.
පරිවර්තන සටහන :
සඳුන් ගමගේ
[email protected]