මේජර් ලලිත් බුද්ධදාස (හිස්වැසුම රහිතව දකුණේ සිට දෙවැනියට)
ජූලි මාසය වූ කලී ගත වූ තිස් වසරක යුද්ධය හමුවේ බිහිසුණු හා සංවේදී සිදුවීම් සමුදායක් සිදුවූ මාසයකි. 1990 ජූලි 11 දින සිදුවූ කොකාවිල් ප්‍රහාරයද, 1991 ජූලි මස 14 දින සිදුවු අලිමංකඩ ප්‍රහාරයද, 1996 ජූලි 18 දින සිදුවූ මුලතිව් ප්‍රහාරයද ඊට සාක්ෂි සපයයි. මීට අමතරව තවත් අප්‍රකට සිදුවීම් සමුදායක් ජූලි මාසය තුළ සිදුව ඇත. ජයග්‍රහණ සේම පරාජයන්, පසුබෑම්, අත්වැරදීම් හා වාසනාව, අවාසනාව රුඳි එකී සිදුවීම්වලට කොතරම් කල්ගතව තිබුණද ඒ හරහා උගත් පාඩම් හා පන්නරය අතිමහත්ය.
අලිමංකඩ අවසන් ප්‍රහාරය සිදුවී අදට (2024 ජූලි මස 14 වන දිනට) වසර 33 කි. “අලිමංකඩ” යන නම ඇසූ සැණින් නිතැතින්ම සිහියට එන්නේ හසලක ගාමිණී කුලරත්නගේ නාමයයි. එම කඳවුරට කඩාවැදුණු බුල්ඩෝසරයක් පුපුරවා හරමින් තම සගයින් හා කඳවුර රැකගැනීම උදෙසා දිවි පරදුවට තබා කටයුතු කළ එම අසහාය විරුවා පිළිබඳ නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. සැබැවින්ම එය අලිමංකඩ ප්‍රහාරය හමුවේ සිදුවූ උච්ඡතම සිදුවීම වුවද එම කඳවුරට එල්ල වූ ප්‍රහාරයේ තවත් අප්‍රකට කතා බොහෝ ඉතිරිව ඇත. ඒවාද සමාජයට විවර විය යුතුවා සේම, ඊට මුහුණ දුන් විරුවන්ද ඇගයීමට ලක්විය යුතුය. මන්ද යත්, ඔවුන්ද උකසට තැබුවේ තම ජීවිතයම වන බැවිනි. 1991 වසරේ සිදුවූ අලිමංකඩ අවසන් ප්‍රහාරයට 33 වසක් සපිරෙන අද දින යුද සමයේ සැඟවුණු කතාවක් තුළින් මෙවර ගෙන එනුයේ නිහඬ විරුවෙකු පිළිබඳ කාලයේ වැලිතලාවෙන් වැසීගිය අප්‍රකට සංවේදී කතාවකි.
යුදමය කාලසීමාවේදී අලිමංකඩ මූලෝපායික වශයෙන් අතිශය වැදගත් වූ භූමි ප්‍රදේශයකි. එහි යුද හමුදා කඳවුරක් ඉදිකරනු ලැබූයේ ආරක්‍ෂාව පිණිස වූ වැදගත්කම සලකාය. මේජර් සනත් කරුණාරත්නගේ අණදීමෙන් 6 වෙනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව යටතේ පාලනය වූ එම කඳවුර නිරන්තර ත්‍රස්ත තර්ජනයන්ට ලක්ව හුදකලාව පිහිටා තිබුණි. ගුවනින් පමණක් එහි ක්‍රියාන්විත හා පාලන අවශ්‍යතා සපිරුණු අතර, ඒ සඳහාද බොහෝ සීමා මතුවූයේ ත්‍රස්තවාදීන් කඳවුර වටා සිට ඒ වෙත එල්ල කරන මෝටාර් ඇතුළු බරඅවි ප්‍රහාර හේතුවෙනි. කෙසේ හෝ කුමන දුෂ්කරතා හා අවදානම මධ්‍යයේ වුව එහි භට පිරිස් කඳවුර ආරක්‍ෂා කරගනිමින් ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමට සමත්ව තිබුණේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් යුතුවය.
මෙිජර් ජෙනරාල් සනත් කරුණාරත්න (එවකට 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අණදෙන නිලධාරි)
|
1991 ජූලි 09 වන දින අලිමංකඩ කඳවුරෙහි රාත්‍රිය වෙනදාට වඩා දිගු වූ සෙයකි. කෑලි කැපිය හැකි තරම් අන්ධකාරයක් පැවතුණ ද අනතුරක් පිළිබඳ කිසිදු සලකුණක් අවටින් පෙනෙන්නට නොවීය. එසේම, බුද්ධි තොරතුරු මගින් ද ඒ වෙනවිට කඳවුරට එල්ල විය හැකි සතුරු ප්‍රහාරයක් පිළිබඳ තොරතුරක් වාර්තා වී නොතිබිණ. කෙසේ වුවද, අඳුරට විවර වූ දෑස් හා අමෝරාගත් අවි ආරක්‍ෂක වළල්ලෙන් පිටතට එල්ල වෙද්දී කඳවුර තුළ සිටි සෑම අයෙකුම පසුවූයේ ඕනෑම මොහොතක එල්ල විය හැකි අවදානමකට සූදානම්වය.
උදාවන සෑම රාත්‍රියකම අලුයම 1-2 වෙන තෙක් නිදිවර්ජිතව සිටීම ඒ වෙනවිට අණදෙන නිලධාරීගේ පුරුද්දකි. ඔහු සමග ඒකක මූලස්ථානයේ සෙසු නිලධාරීහු ද නොවැරදීම ඔහු හා එක්වූහ. විශේෂයෙන්ම මැදියමෙහි අවදානමක් මතුවිය හැකි එම අපහසු කාලසීමාව පසුකිරීම ඔවුනට කිසියම් අස්වැසිල්ලකි. එනිසාම රාත්‍රියේ කාඩ් සෙල්ලම් කිරීම අණදෙන නිලධාරී ඇතුළු එහි නිලධාරීන් කිහිපදෙනකු සිදුකරන ලද්දේ විනෝදාංශයකටත් වඩා අවදියෙන් සිටීමේ උපක්‍රමයක් ලෙසය. ඒ සඳහා ක්‍රියාන්විත මැදිරිය යොදාගැනුණු අතර, එහි සිට හදිසි අවස්ථාවකදී කඳවුරේ සියලු ප්‍රදේශ සමග සංඥා සබඳතා පවත්වා ගැනීම පහසුවීම ඊට හේතුව විය. ඒකක දෙවන අණදෙන නිලධාරී මේජර් ලලිත් බුද්ධදාස, විධායක අධිකාරී ලුතිනන් රමේෂ් ප්‍රනාන්දු කඳවුරේ 120 පප කාලතුවක්කු බතරොයි භාර කපිතාන් ධම්ම මුදුන්කොටුව, ඔහුගේ සහායක ලුතිනන් කීර්ති ගුණසෝම ඇතුළු නිලධාරීහු ඒ අතර වූහ.
කාඩ් සෙල්ලම් කරන අතරේ වුව විධායක අධිකාරි තමා සමීපයේ පණිවුඩ හුවමාරු යන්ත්‍රයක් තබා ගනිමින් එමගින් ඒ ඒ කණ්ඩායම් බලප්‍රදේශයේ සිදුවන සිදුවීම් පිළිබඳ නිරන්තරව අවදියෙන් හිඳිමින් ඒ පිළිබඳ අණදෙන නිලධාරී දැනුම්වත් කරන්නට ද වගබලා ගත්තේය. එහිදී, එදින ඔවුන් අලුයම 01.30 පමණ වෙනතෙක් එම කාඩ් ක්‍රීඩාවල නියැළුණු අතර, එහිදී සෑම අයෙකුටම කෝපි කෝප්පයක් ද වැරදුණේ නැත. එසේම, වැඩිදෙනකුගේ මුවෙහි සිගරට් දැල්වී තිබුණු වාර ද බොහෝය. එහිදී, සිගරට් පත්තු කිරීම සඳහා දල්වන ලද දිග ලණුවක් ද ඒ ආසන්නයේ තැනක නිරන්තරව එල්ලා තිබිණි. එලෙස එදින ඔවුන් කාඩ් ක්‍රීඩාව නිමකොට විසිරෙන ලද්දේ සුපුරුදු ලෙසම අලුයම 01.30 පමණ වූ පසුවය. අනතුරුව එකිනෙකා තම බලප්‍රදේශ කරා නික්ම යද්දී අණදෙන නිලධාරී එම ක්‍රියාන්විත මැදිරියේම ඔහු වෙනුවෙන් වෙන්කොට තිබූ කුටියේ විවේක ගන්නට වූයේ කඳවුරේ ආරක්‍ෂක වළල්ලේ ස්ථාපිත සියලු කණ්ඩායම් බලප්‍රදේශය තුළ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව අවසන් වතාවට ද සොයාබැලීමෙන් අනතුරුවය. එසේම, කාලතුවක්කු බතරොයිය භාර නිලධාරීන් ද රුඳුණේ එම අවි ස්ථාපිත තැනමය. දෙවන අණදෙන නිලධාරී මේජර් ලලිත් බුද්ධදාස සිය නවාතැන කොටගෙන තිබුණේ කඳවුරෙන් කිලිනොච්චි දෙසට වන දකුණු සීමාවේ ආරක්ෂක වළල්ල ආසන්න තැනක්ය. ඔහුද විවේක ගැනීමට මත්තෙන් එහි වූ බංකර් පරීක්ෂා කරමින් එම සීමාවේ තවත් මොහොතක් රැඳී සිටින්නට වූයේ එය ඔහුගේ දින චර්යාවේම කොටසක් ලෙසය. ඔහු ඒකක දෙවන අණදෙන නිලධාරී වුවද ක්‍රියාන්විත කටයුතුවලදී හෙතෙම කණ්ඩායම් භාර නිලධාරියෙකු තරමටම ක්‍රියාන්විත කටයුතු පවා සොයා බලන්නට පෙලඹුණේ ආරක්‍ෂාවේ කිසිදු හිඩසක් ඇති නොවන්නට වගබලා ගනිමිනි. පැවති අවදානම් සහගත වටපිටාව පිළිබඳ අවබෝධයෙන් සිටි හෙතෙම භට පිරිස්වලට නිරන්තරව ශක්තිය ලබාදුන්නේය.
6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු |
මෙලෙස කාලය තවත් පැය කිහිපයක් ගෙවෙන්නට විය. ඒ අතරතුර කඳවුර තුළ පැවතියේ දැඩි නිහඬතාවකි. විශේෂයෙන්ම අලුයමට එළැඹ තිබූ නිසාම රාත්‍රියේ අවදානම පහවෙමින් ඇති බවක් පෙනෙන්නට විය. නමුත් සිදුවූයේ අනෙකකි. එක්වරම කඳවුරට දකුණු දෙසින් කිලිනොච්චි පරන්තන් ප්‍රදේශයෙන් එල්ලවන්නට වූයේ නොසිතූ ත්‍රස්ත ප්‍රහාරයකි. කිලිනොච්චි දෙසින් වූ එම ප්‍රහාරය සෘජුවම එල්ල වන්නට වූයේ දෙවන අණදෙන නිලධාරී සිටි ප්‍රදේශයටය. කපිතාන් ලක්සිරි වඩුගේ අණදුන් ඒකක ආධාරක කණ්ඩායම ස්ථාපිතව තිබූ බලප්‍රදේශය වූයේ එයයි. මේ අතර අනපේක්ෂිතව එල්ල වෙන වෙඩි හා මෝටාර් ප්‍රහාර හඬට එතෙක් නින්දේ පසුවූ අණදෙන නිලධාරී මේජර් සනත් කරුණාරත්න අවදිවූයේ තැතිගැන්මෙන් යුතුවය. මැදියමෙහි ත්‍රස්ත ප්‍රහාර සිදුවීමේ සම්භාවිතාවක් පැවතිය ද මෙලෙස අලුයම් කාලයේ එවැනි ප්‍රහාරයක් එල්ලවෙන්නට වීම පිළිබඳ හෙතෙම පුදුමයට පත්විය. එහිදී, වහාම සංඥා මැදිරියට පිවිසි ඔහු තම කණ්ඩායම් භාර නිලධාරීන් හා සම්බන්ධ වෙමින් සියලු තතු විමසමින් ඔවුනට අවැසි ක්ෂණික උපදෙස් ලබාදෙන්නට විය. එසේම ඉහළ මූලස්ථාන සමග සම්බන්ධ වෙමින් අවශ්‍ය කාලතුවක්කු හා ගුවන් සහාය ලබාගැනීම පිණිස ද කටයුතු කරන ලද්දේ මොහොතක් හෝ අපතේ නොයවමිනි.
ඒ වෙනවිට යක්ෂයාගේ හෝරාව ඇරඹී තිබූ සෙයකි. කඳවුර සිසාරා වෙඩි වරුසා ඇදී යන්නට වූයේ අකුණු එළි පරිද්දෙනි. පතිත වන මෝටාර් බෝම්බ හේතුවෙන් සංග්‍රාමයේ රිද්මය අඛණ්ඩව පවත්වාගෙන යන්නා සේය. මියෙන තුවාල ලබන පිරිස පිළිබඳ සොයන්නට එහි කිසිවෙකුට අවකාශ නොවීය. උණ්ඩයට උණ්ඩය, ලෙයට ලෙය මිස අන් යමක් එහි නොවීය. කෙසේ වුවද, සැලසුම් හා පෙරහුරු මත ප්‍රහාරය එල්ල වූ බලප්‍රදේශයේ භට පිරිස් තම සීමාව රැකගනිමින් හුදෙකලා සටන්වල නිරත වූයේ කිසි විටෙක පසුනොබසිමිනි. මෙලෙස සටන තවදුරටත් තීව්‍ර වෙද්දී දෙවන අණදෙන නිලධාරී එහි වූ RCL අවිය සවිකරන ජීප්රථයේ නැගී ආරක්‍ෂක වළල්ල දෙසට ගමන් කරන්නට වූයේ තවදුරටත් භට පිරිස් වෙත සවියක් වීමේ අදහසනි. ඒ අනුව අඳුරේම මඳ දුරක් ගිය ඔහු එක්තරා තැනකදී ජීප් රථයෙන් බසින්නට වූයේ තම ගුවන්විදුලි ක්‍රියාකරු හා සහායක සෙබළෙකුද සමගිනි. නමුත්, එහිදී ඔහුට ඉදිරියට යාමට ඉඩ ලැබුණේ පියවර කිහිපයක් පමණි. අඳුර කපා ගුවනින් ඇදී ආ මෝටාර් උණ්ඩයක් ඔහු අසලම පතිත වූයේ සියල්ල කණපිට හරවමිනි. එහිදී, සිය උදරය හරහා ඇතුළු වූ මෝටාර් කැබැල්ලක් හේතුවෙන් ඔහු එහි ඇදවැටුණේ ගුවන්විදුලි ක්‍රියාකරුගේ දෑස් ඉදිරිපිටදීමය. තුවාල සිදුවීම හරහා ඒ මොහොතේ ඔහුට බරපතළ තත්ත්වයක් ඇති නොවූවද උදරය පුරා ලේ වැගිරෙන්නට වූයේ නොසිතූ ලෙසනි. හෙතෙම අපහසුතා මධ්‍යයේ වුව සිය උදරය අතින් තදකර ගනිමින් අවධානය දෙන්නට වූයේ සටන පිළිබඳවය.
මේ අතර අණදෙන නිලධාරී වෙත ගුවන්විදුලි පණිඩිව හුවමාරුව ඔස්සේ කිසිවෙකු කතා කරන්නට වූයේය. එය දෙවන අණදෙන නිලධාරීගේ සංඥා ක්‍රියාකරුගේ හඬය. ඔහු එහිදී කියා සිටියේ මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් දෙවන අණදෙන නිලධාරී තුවාල ලබා ඇති බවකි. එම අනපේක්ෂිත පුවත සැලවීමත් සමග අණදෙන නිලධාරී තුළ ඇතිවූයේ ඉමහත් කම්පනයකි. සටන ඇරඹී එතරම් වෙලා ගත නොවූ තත්ත්වයක් තුළ ඔහු එලෙස තුවාල ලැබීම එම ප්‍රදේශයේ සටනට දැනෙන තරමේ බලපෑමක් සිදුවිය හැකි බවද ඔහුට වැටහිණ. ඒ වෙනවිටත් අඛණ්ඩව සටන පැවතීම හේතුවෙන් මේජර් බුද්ධදාස පිළිබඳ සොයාබලන අතර ප්‍රදේශයේ අන් ස්ථානවල තත්ත්වය සොයාබැලීම සඳහාද ඔහු වෙත පැවරී තිබුණේ දැඩි වගකීමකි.
ඉතිරි කොටස ලබන සතියේ