මෙම සති අන්තයේදීත් අපේ මාතෘකාව වන්නේ දිනේෂ් ප්‍රියන්ත හේරත් ය. දිනේෂ් ප්‍රියන්ත ගැන අද රටේ නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. සමිත දුලාන් කොඩිතුවක්කුගේ තත්ත්වයත් එසේමය. මේ දෙදෙනා ඉරිදා (5) ටෝකියෝ නුවරදී නිමාවට පත්වූ ගිම්හාන පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකාවේ කීර්තිය ඉහළටම ඔසවා තැබීය.
දිනේෂ් ප්‍රියන්ත එහිදී වඩාත්ම අවධානය දිනා ගත්තේ ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වීමෙනි. මේ දෙදෙනාම හෙල්ල විසිකිරීමේ ශූරයෝ වෙති.
මේ වනවිට ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී මීටර් 67.79ක් වන දිනේෂ් ප්‍රියන්තගේ හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාවක් වන දුරට රුපියල් කෝටි 10ක් තරම් වන වටිනාකමක් ලැබී තිබේ. එම අගය තවත් ඉහළ යමින් පවතින තත්ත්වයත් තුළ මෙය සටහන් කෙරුණි.
දිනේෂ්ගේ හා සමිතගේ තරම අඟහරුවාදා (7) වනවිට කැබිනට් මණ්ඩලයට තදින් දැනී තිබුණි. ඒ අනුව කැබිනට් මණ්‍ඩලය ඔවුන් ඇතුළු ටෝකියෝ පැරාලිම්පික් ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට රුපියල් කෝටි 10කට වැඩි මුදලක් ත්‍යාග ලෙස අනුමත කර තිබුණි.
කැබිනට් මණ්‍ඩලය අඟහරුවාදා නිවේදනය කළේ ටෝකියෝ පැරාලිම්පික් ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් රුපියල් මිලියන 106කට වැඩි මුදලක් බෙදා දීමට අනුමත කළ බවයි. ඉන් රුපියල් කෝටි හයක්ම රන් පදක්කම්ලාභී දිනේෂ් ඉන්දිකටය. එයින් එක් කෝටියක් ඔහුගේ ලෝක වාර්තාවට කෙරෙන විශේෂ ගෙවීමක්ය. මෙම ප්‍රදානයන්ට අනුව ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කුට කැබිනට් මණ්ඩලය රුපියල් කෝටියක මුදලක ත්‍යාගයක් අනුමත කර තිබේ.
මෙම මුදල් අනුමත කළ දිනම එනම් පසුගිය අඟහරුවාදා පස්වරු 4.20 වනවිට මෙම පදක්කම්ලාභී ක්‍රීඩකයන් දෙදෙනා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 13 දෙනකුගේ කණ්ඩායමක් ටෝකියෝ නුවර සිට පෙරළා දිවයිනට ළඟා විය. එහිදී පදක්කම්ලාභීන් රාජ්‍ය ගෞරව සහිතව කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ ප්‍රභූ පර්යන්තයේදී රතු පලස එළා පිළිගැනීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළේය. මෙම ගෞරවය මීට පෙර ලබාගත් අය අතර වසර 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා පැමිණි සුසන්තිකා ජයසිංහ මෙන්ම 1996 දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද වේ.
35 හැවිරිදි වියේ පසුවන දිනේෂ් ටෝකියෝ පැරාලිම්පික් උළෙලට දිවයිනෙන් පිටත්ව ගියේත් පැරාලිම්පික් පදක්කම්ලාභියකු ලෙසිනි. එහිදී වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ වසර හතරකට පසුව ඔහු වයසින් ද ඉක්මවා ගිය පසුව ඉසව්වේ ඔහු ඉහළම දක්ෂතා අතරට පැමිණීමයි.
වසර 2016 රියෝ පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත මෙවර එය රන් පදක්කමකට එහා ගිය ලෝක වාර්තාවක් පිහිටුවීම දක්වා වන දස්කමකට හැරැවීම ඔහුගේ විශිෂ්ටතම හැකියාව ප්‍රදර්ශනය කළ අවස්ථාවක් බවට දැන් හැරී තිබේ.
යුද හමුදාවේ ‘ගජබා’ රෙජිමේන්තුවේ සෙබළකු ලෙස වෘත්තිය ඇරැඹූ දිනේෂ්, වසර 2002 දී කිලිනොච්චියේදී ක්‍රියාන්විත රාජකාරියේදී අතකට වෙඩි වැදී තුවාල ලබයි. මෙය ඔහුගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි ඔහු වුව ද නොසිතුවා විය හැකිය.
ලාන්ස් කෝප්‍රල්, සාජන් තනතුරු දැරූ දිනේෂ් ඉන්දික පසුගිය අගෝස්තු 30 වැනිදා ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී එක් අතක් වැළමිටට පහළින් හෝ ඉහළින් අහිමි කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීම ලෝක වාර්තා පොතට එක් කරන අතර, ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු බලලත් නිලධාරි - I තනතුරට උසස් කළ බවයි.
ඒ අනුව, ටෝකියෝ නුවර බලා සති දෙකකට ඉහතදී පිටත්ව ගිය දිනේෂ් ප්‍රියන්ත හේරත් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වෙනස්ම පුද්ගලයකු හැටියටය. ඔහු නැවත දිවයිනට ළඟාවන්නේ කෝටිපතියකු ලෙසය.
ඔහු මෙරටින් බිහි වූ තක්කඩි කෝටිපතියකු නොව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කෙළිබිමේ ඉහළටම ඔසවා තැබූ විශිෂ්ටතම අවස්ථාවක් සටහන් කරදුන් කෝටිපතියෙකි. ඊට අවධානය යොමු නොකර සිටීමට කැබිනට් මණ්ඩලයට පවා නොහැකි විය. එපමණක් ද නොව ටෝකියෝ නුවරදී එරට ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළම හරසර විඳි මෙම ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්‍රීඩකයන් දෙදෙනාම එරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් සුසිකි ඇල්ටෝ මෝටර් රථයක් හා නිශාන් ෆෝඩ් මෝටර් රථයක් ටෝකියෝ නුවරදී ප්‍රදානය කිරීමට කටයුතු කළේය.
වාර්තා වන පරිදි එරට ශ්‍රී ලාංකික සුබපතන්නන් මෙන්ම ශ්‍රී ලංකා සංවිධාන ද මෙම පදක්කම්ලාභීන් දෙදෙනාට තවත් ත්‍යාග රැසක් ප්‍රදානය කර තිබේ. ඒ අතර ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස හිමියෝ ද වෙති. බානගල උපතිස්ස හිමි වැඩ වසන ටෝකියෝ නුවර විහාරස්ථානයට ගොස් තෙරුවන් ආශිර්වාද ලබාගැනීමට ද ශ්‍රී ලාංකික මෙම පදක්කම්ලාභියෝ අමතක නොකළහ.
කැබිනට් මණ්ඩලයට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් කෝටි පහක් හා රුපියල් කෝටි දෙකක මුදලක් සුපිරි ත්‍යාග ලෙස මෙම ක්‍රීඩකයන් දෙදෙනාට අනුමත කළේය. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබුණි. මෙරට ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලාංකිකයකුට ප්‍රදානය කෙරුණු ඉහළම ත්‍යාග මුදල් එකතුව ලෙස දිනේෂ් ප්‍රියන්ත හේරත්ට ප්‍රදානය වුණු ත්‍යාග මුදල සැලකිය හැකිය. මීට පෙර වඩාත් සුපිරි මුදල් ත්‍යාගයක් ලබාගත්තේ සුසන්තිකා ජයසිංහ විසිනි.
එහිදී වඩාත්ම වැදගත් කරුණ වන්නේ ඔලිම්පික් දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකිකයකු තනි ක්‍රීඩා ඉසව්වක් සඳහා එම අවස්ථාව උදා කරගැනීමය. ඉදිරියේදී දිනේෂ් ප්‍රියන්ත වඩාත් කාර්ය බහුල තත්ත්වයක් උසුලනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ මෙරට ක්‍රීඩා උත්සව ගණනාවක ඔහු ප්‍රධාන ආරාධිතයා කරගැනීමට සංවිධායකයන් දරන උත්සාහයන් තුළය. මෙම පදක්කම්ලාභී ක්‍රීඩකයන් දෙදෙනාගේම පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 17කට ආසන්න මුදලක් හිමි කරගන්නා අතර, කැබිනට් මණ්ඩලය ටෝකියෝ පැරාලිම්පික් ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු කාර්ය මණ්ඩලය සඳහාත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අනුමත කර තිබේ.
මෙම ගෙවීම් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග මුදල් හිමි වීම කැපී පෙනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුබපතන්නන් අතරට එක්වෙමින් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටියක මුදලක් අනුමත කිරීම මෙහිලා සිහිපත් කළ යුතුය. තත්ත්වය මෙසේ වන අතර මෙම ත්‍යාග මුදල් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වෙනත් කතාවකුත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැතර ගොස් තිබේ.
ඒ සමහරු නම් කියන්නේ පැරාලිම්පික් පදක්කම්ලාභීන්ට මෙතෙක් අනුමත කර ඇති ත්‍යාග මුදල් සීමාව ඉක්මවා ගොස් තිබෙන තරම් බවයි. මෙම සිදුවීමේදී බාහිර පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මොවුන්ට රුපියල් කෝටියක් ලබාදීමට ගත් තීරණය ද සාකච්ඡා වී තිබේ. “ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ලකුණු ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ට මීට වඩා වැඩ තිබෙනවා. එය දිනේෂ්ලාට දුන්න කෝටියෙන් ඈත පළාත්වල දුප්පත් ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් උපකරණ ටිකක් බෙදා දුන්නා නම් ඔවුන්ගේ පැත්තෙන් මීටත් වඩා පලදායි කියලා අපි හිතනවා.”
මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ නමක් ගත් ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවකු විසිනි. මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙන් ඇසෙන්නේ මෙවන් කතාවකි.
“සුසන්තිකා ජයසිංහ එදා මීටර් 200 (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ රටවල් 206ක් එක්ක තරග කරලයි. ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වක් බෙදෙන්නේ කාන්තා හා පිරිමි කාණ්ඩ දෙකක් පමණයි. නමුත් පැරාලිම්පික් උළෙලකදී හෙල්ල විසිකිරීම ඉසව්වෙන්ම කාන්තා හා පිරිමි උප කාණ්ඩ 13ක් යටතේ ඉසව් පැවැත්වුණා. දිනේෂ්ට ගෞරවය ලබාදෙන අතර මේ ගැනත් අපි හිතන්න ඕනෑ.”
මේ ප්‍රවීණ මලල ක්‍රීඩිකාවකගේ අදහසකි.
කෙසේ වුවත් දිනේෂ් ප්‍රියන්ත ඉතිහාසගත වන්නේ මෙතෙක් ශ්‍රී ලාංකිකයකු විසින් මලල ක්‍රීඩා කෙළිබිමේ පිහිටුවූ පළමු ලෝක වාර්තාව ද වීමෙනි. දිනේෂ් ප්‍රියන්ත, සමිත දුලාන් ඇතුළු ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගි වූ මෙම කීර්තිමත් ශ්‍රී ලාංකිකයන්ගේ මීළඟ අපේක්ෂාව ලබන වසරේදී පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙන්ම පැරාලිම්පික් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීත් රන් පදක්කම් දිනා ගැනීමයි.
අවසන් වරට පැවැති 2018 ජකර්තා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදීත් මීටර් 61.84කට රන් පදක්කම දිනා ඇත්තේ දිනේෂ් ප්‍රියන්ත විසිනි. රියෝ පැරාලිම්පික් උළෙලේදී සිය කේවල ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ලද දිනේෂ්, ඉන් නොනැවතී එහිදී සිව්වැනි තැනට පත් මීටර් 4x100 ශ්‍රී ලංකා කණ්ඩායමට (පිරිමි එක් අතක් වැලමිටෙන් පහළ හෝ ඉහළින් අහිමි කාණ්ඩයට) ඇතුළත් වෙමින් තරග වැදීම කැපී පෙනේ.
මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකු, පුහුණුකරුවන් හය දෙනකු හා පරිවාර නිලධාරීන් සිව් දෙනකු ඇතුළත් විය. ප්‍රදීප් නිශාන්ත, හරිජින් රත්නායක, සජිත් ජයලාල්, ජගත් වැලිකල, ලසන්ත වැලිකල, මේජර් ජනරාල් රජිව් වික්‍රමසිංහ යන මහත්වරු ටෝකියෝ පැරාලිම්පික් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට ඇතුළත් විය.
කැබිනට් මණ්ඩලය ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගි වූ
ශ්‍රී ලංකා කණ්ඩායමට අනුමත කළ මුදල් ත්‍යාග
රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කෝටි පහක්
ඔහුගේ ලෝක වාර්තාවට රුපියල් කෝටියක්
ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටියක්
ඉසව් සිව්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා වන ස්ථානයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට රුපියල් ලක්ෂ 25 බැගින්
ඉසව් 9 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා වන ස්ථානයක් ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට රුපියල් මිලියනයක් බැගින්
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න ගෙවීමක්
නාමල් පතිරගේ