අහසේ හිරවුණු ගගනගාමීන් දෙදෙනා



ඇමෙරිකා එක්සත් ජනපදයේ, ‘බෝයිං’ සමාගම වඩාත් ප්‍රකට ගුවන් යානා නිර්මාණකරුවන් ලෙසය. එහෙත්, රොකට් සහ අභ්‍යවකාශ යානා නිර්මාණය ද ‘බෝයිං’ සමාගමට අලු‍ත් දෙයක් නොවෙයි. 1960 දශකයේ, සඳ, එසේත් නැතිනම් චන්ද්‍රයා විද්‍යාඥයන්ට ආගන්තුක වස්තුවක් විය. එදා නිරවි යුද සමයේ ඇමෙරිකාව සහ සෝවියට් රුසියාව තරග කළේ අභ්‍යවකාශය ජය ගනිමින්, සඳ තරණයටය. 

 
ඇමෙරිකාවේ ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් ‘නාසා’ සඳ අධ්‍යයනය කිරීමට හවුල් කර ගත්තේ, බෝයිං’ සමාගමය. ඒ අනුව, ‘බෝයිං’ සමාගම කරළියට පැමිණියේය. නාසා ආයතනයට සහාය වෙමින්, ඔවුන්ගේ උපදෙස් අනුව, ‘බෝයිං’ සමාගම, කක්ෂීය යානා පහක් නිර්මාණය කර දුන්නේය. එම කක්ෂීය යානා  සඳේ කක්ෂයට ගොස් සාර්ථකව සඳ ගවේෂණය කළේය. ඡායාරූපයට නැගුවේය.
 
1969 වසරේ නීල් ආම්ස්ට්රෝං, එඩ්වින් ඕල්ඩ්රින් සහ මයිකල් කොලින්ස් සඳට ගෙන ගියේ ඇපලෝ 11’ යානයයි. මෙම යානය පෘථිවි කක්ෂයට තල්ලු‍ කළ අධි බලැති ‘සැටර්න් 5’ රොකට්ටුවේ එක් කොටසක් නිපදවීම කළේ ද ‘බෝයිං’ සමාගමේ ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ය. සඳ තරණය අවසන් වීමත් සමග ‘බෝයිං’ සමාගම ගුවන් යානා නිෂ්පාදනයට සීමා විය. ගුවන් යානා ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වූ ‘බෝයිං’ සමාගම කෙරෙහි විශ්වාසය පලුඳු වීමට පටන් ගත්තේ, ‘බෝයිං’ ගුවන් යානාවල දෝෂ හටගැනීම සහ ඒවා අනතුරට පත් වී කඩා වැටීම නිසාය. ‘බෝයිං’ සමාගමේ ‘කෙරුවාව’ සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලය හමුවේ විශේෂ විමර්ශන කීපයක් ද පැවැත්විණි. මගී ගුවන් යානා කඩා වැටෙද්දී, ඒවායේ වගකීම බාර ගැනීම ‘බෝයිං’ අදිමදි කිරීම පවා ‘බෝයිං’ සමාගමට අවාසියක් වූ බව රහසක් නොවෙයි.
 
‘බෝයිං’ සමාගම - අභ්‍යවකාශයට ගගනගාමීන් ගෙන යා හැකි විදියේ ගගන කැප්සියුල සහ රොකට් නිෂ්පාදනයට යොමු වූයේ, මෙසේ බාධා එල්ල වෙද්දීය. ‘බෝයිං’ සමාගමේ ‘බෝයිං ස්ටාර්ලයිනර්’ රොකට්ටුව සහ ගගන කැප්සියුලය යනු, ගගනගාමීන් පෘථිවි කක්ෂයට ගෙන ගොස් ආපසු පෘථිවියට ගෙන ඒමට නිපද වූවකි. වසර ගණනක සාර්ථකවීම් සහ අසාර්ථකවීම් මැද ‘බෝයිං ස්ටාර්ලයිනර්’ කැප්සියුලය නිර්මාණය වූ අතර, පසුගිය ජූනි 5 වැනිදා, ‘බෝයිං’ සමාගම, නාසා ආයතනය සමග එක් වී, නාසා ගගනගාමීන් දෙදෙනකු යොදා ගනිමින්, මංගල අභ්‍යවකාශ ගමන ඇරැඹුවේය. ‘බෝයිං ස්ටාර්ලයිනර්’ නිර්මාණය කර ඇත්තේ නාසා ආයතනය සමග හවුලේ, කිලෝ මීටර් 400 ක් පමණ ඉහළ පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගගනගාමීන් රැගෙන යෑම සහ ආපසු රැගෙන ඒමටය. ‘බෝයිං ස්ටාර්ලයිනර්’ එක්තරා ආකාරයක ටැක්සි සේවාවක් වැනිය.
 
පසුගිය ජූනි 5 වැනිදා, නාසා ආයතනය හා සම්බන්ධ ප්‍රවීණ අත්දැකීම්වලින් බහුල ගගනගාමීන් දෙපළක් වන, බුච් විල්මෝර් සහ ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකන් ගගනගාමිනී සුනීතා විලියම්ස් ‘බෝයිං ස්ටාර්ලයිනර්’ කැප්සියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියහ. කැප්සියුලය උඩු ගුවනට තල්ලු‍ කළේ බෝයිං සමාගම නිපද වූ රොකට්ටු  ආධාරයෙනි. පැය 25 ක ගමනකින් පසු ජූනි 6 වැනිදා බුච් විල්මෝර් සහ සුනීතා විලියම්ස් සිටි  ‘බෝයිං ස්ටාර්ලයිනර්’ කැප්සියුලය රොකට්ටුවෙන් මිදී, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ විය. 
 
එහි සිටි ගගනගාමීන්ගෙන් බුච් විල්මෝර් සහ සුනීතා විලියම්ස්ට උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය. මාස කීපයකට වරක්, මාරුවෙන් මාරුවට, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගගනගාමීහු රැඳී සිටිති. විවිධාකාරයේ පර්‌යේෂණ කරති. නැවැතුම්පොළ ඉදි කිරීමේ පුරෝගාමී රටවල් දෙක ඇමෙරිකාව සහ රුසියාවය. නැවැතුම්පොළේ ඇමෙරිකන් ගගනගාමීන් වෙනුවෙන් වෙන් වූ කොටසක් සහ රුසියන් ගගනගාමීන් වෙනුවෙන් වෙන් වූ කොටසක් ඇත.
 
අභ්‍යවකාශයට යන ගගනගාමීන් ආපසු පෘථිවියට පැමිණෙන්නේ, ඔවුන් ගමන් කරන කැප්සියුල ආධාරයෙනි. අධික තාපයට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කළ මෙම කැප්සියුල පොළොවට ළඟා වෙන්නේ පැරෂූට් ආධාරයෙනි. සෙසු ගගනගාමීන් අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් ඇත්තේ, නාසා ආයතනය සමග හවුලේ කටයුතු කරන ‘ස්පේස් එක්ස්’ සමාගමේ කැප්සියුලයෙනි. 
 
 
එම ගගනගාමීන් ආපසු පැමිණෙන්නේ ද එම කැප්සියුලයෙනි. එය නැවැතුම්පොළ හා සම්බන්ධ වී පවතී. බුච් විල්මෝර් සහ සුනීතා විලියම්ස් ආපසු පැමිණිය යුත්තේ, ‘බෝයිං ස්ටාර් ලයිනර්’ කැප්සියුලයෙනි. ආපසු පැමිණීමට නියමිතව තිබුණේ ජූනි 14 වැනිදාය. එය පසුව ජූනි 26 ට කල් දැමුණි. කැප්සියුලයේ ආපසු ගමන ප්‍රමාද වන්නේ එහි දෝෂයක් ඇති බැවින් යැයි අනාවරණය විය. ඒ අනුව, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, බුච් විල්මෝර් සහ සුනීතා විලියම්ස් අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිරවූහ.
 
කැප්සියුලය ආපසු පැමිණෙද්දී, එහි පහළ ‘සේවා මොඩියුලයේ’ තෙරපුම් පද්ධති පණ ගැන්විය යුතුය. තෙරපුම් පද්ධති 28 ක් ඇති අතර, ක්‍රියාත්මක වන්නේ පද්ධති 27 ක් බව අනාවරණය විය. එක් පද්ධතියක් අක්‍රීය වූයේ, හීලියම් කාන්දු වීමක් නිසා බව ‘බෝයිං’ සමාගමත්, නාසා ආයතනයත් පැහැදිලි කර ඇත. හටගත් දෝෂය නිවැරදි කර, බුච් විල්මෝර් සහ සුනීතා විලියම්ස් ආපසු ගෙන්වාගැනීම කරන්නැයි නාසා ආයතනය ‘බෝයිං’ සමාගමට දින 4 ක් ලබා දුන් නමුත්, පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කිරීමට ‘ඔවුන් සමත් වී නැත.
 
 
‘බෝයිං ස්ටාර් ලයිනර්’ කැප්සියුලය එදා ජූනි 5 වැනිදා පෘථිවියෙන් පිටවෙද්දී පවා එම හීලියම් කාන්දුව පැවැති බවත්, තමන් එය දැන සිටි බවත්, එම ‘සමාගම පසුව පැවැසීය. ඒ අනුව, දෝෂයක් ඇති බව දැන දැන, සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් ගගනගාමීන් දෙදෙනාගේ ජීවිත අනතුරේ දැමීමට ‘බෝයිං’ සමාගමත්, නාසා ආයතනයත් කටයුතු කළේදැයි සැක මතු විය.
 
 
ඇමෙරිකාවේ නාසා ආයතනය, එරට පෞද්ගලික අංශය හවුල් කර ගනිමින්, අභ්‍යවකාශ මෙහෙයුම් ආරම්භ කළේ, 2014 වසරේ දීය. ‘බෝයිං’ සහ ‘ස්පේස් එක්ස්’ පෞද්ගලික සමාගම් වෙන වෙනම අභ්‍යවකාශ යානා (කැප්සියුල) නිර්මාණයට සම්බන්ධ විය. 
 
ඒ අතරින්, ගුවන් යානා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සමාගමක් ලෙසත්, අතීතයේ ‘ඇපලෝ’ මෙහෙයුම් සඳහා ද ‘බෝයිං’ සම්බන්ධවීමත් නිසා, ‘බෝයිං’ සමාගමට වැඩි ඉඩක් ලැබුණි. ‘බෝයිං’ සමාගම ඔවුන්ගේ ‘ස්ටාර්ලයිනර්’ නිර්මාණය කිරීම ආරම්භ කළේ, ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් වැය කරමිනි. කෙසේ නමුත්, අවසානයේ ඒ සඳහා ඩොලර් බිලියන 4.5 ක් වැය වූ බව ද පැවැසෙයි.
 
‘ස්පේස් එක්ස්’ සමාගම, පළමුවෙන් ගගනගාමීන් උඩු ගුවනට රැගෙන යෑම සහ ආපසු රැගෙන ඒම සිදු කළේ 2020 දීය. කිසිදු දෝෂයකින් හෝ බාධාවකින් තොරව ‘ස්පේස් එක්ස්’ ගගන මෙහෙයුම් සිදුවෙමින් පවතී. ‘ස්පේක්ස් එක්ස්’ යනු ඇමෙරිකන් බිලියනපති ඉලෝන් මස්ක්ගේ සමාගමය. නාසා ආයතනය යළි සඳ තරණය සඳහා ‘ආටිමිස්’ යනුවෙන් නම් කළ චන්ද්‍ර මෙහෙයුම් සිදු කරන්නේ ද‌, ‘ස්පේස් එක්ස්’ සමාගම හවුල් කර ගනිමිනි. 
 
අභ්‍යවකාශයට යෑම මෙන්ම ආපසු පැමිණීම ද අසීරුය. හිතෙන හිතෙන විදියට, හිතෙන හිතෙන වෙලාවට, අභ්‍යවකාශයට යෑම හෝ ආපසු පැමිණීම හෝ කළ නොහැකිය. විල්මෝර් සහ විලියම්ස් ආපසු ගෙන්වා ගැනීමට තවත් ‘බෝයිං ස්ටාර්ලයිනර්’ කැප්සියුලයක් උඩු ගුවනට යැවීමට බෝයිං’ සමාගමට හැකියාවක් නැත. ‘බෝයිං ස්ටාර්ලයිනර්’ යානයේ දෝෂය නිවැරදි කර ගැනීමේ අසීරු කාර්යය විල්මෝර් සහ විලියම්ස් මත පැවැරී තිබේ. 
 
58 හැවිරිදි සුනීතා විලියම්ස් පළපුරුදු ගගනගාමියෙකි. 61 හැවිරිදි බැරී යූජීන් ‘බුච්’ විලියම්ස් ද එසේය. දෙදෙනා ‘බෝයිං ස්ටාර්ලයිනර්’ කැප්සියුලයේ දෝෂය නිවැරදි කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ‘බෝයිං’ සමාගම පවසා ඇත්තේ, හීලියම් කාන්දු වී එක් පද්ධතියක් අක්‍රිය වී තිබීම, ආපසු පෘථිවිය බලා පැමිණෙන ගමනට බාධාවක් නොවනු ඇති බවය. කෙසේ නමුත් දෝෂය සහිත කැප්සියුලයෙන් ආපසු පෘථිවියට පැමිණෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ එහි ගමන් කරන විල්මෝර් සහ විලියම්ස් බව ‘නාසා’ ආයතනය පෙන්වා දී තිබේ.
 

  • ලු‍සිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි.