පරණ පුරුදු දිව්‍ය රථයට නැගුණ අවුරුදු කුමාරයා, ලංකාවට ‘‘ලෑන්ඩ්’’ කළේ ‘‘කොළඹ අගනගරයේ කාපට් පාරකටය’’ පාර පෙනි පෙනීම එකපාරටම කළුවර වූයෙන් අවුරුදු කුමාරයා පමණක් නොව දිව්‍ය රථය ඇදගෙන යන අශ්ව ජෝඩුවද තුෂ්ණිම්භූත වූහ.
ඩොග් හඬක් නැගුණු අතර, අවුරුදු කුමාරයා උඩ විසිවිය. යළි බිම පතිත වූයේ දිව්‍ය රථයට නොවේ. මහපාරටය. අශ්වයෙක්ට කෑ ගැසුණේ කකුල නුහුරට තැබුණු නිසාය.
අමාරුවෙන් නැගිට ගත් අවුදුරු කුමාරයා වටපිට බැලුවේය. එහෙත් කළුවර නිසා කිසිවක් පෙනුණේ නැත.
පුංචි ආලෝකයක් දුර සිට තමා වෙත එන හැටි දුටු අවුරුදු කුමාරයාට සතුටක් දැනිණි. ලංකාව ආගන්තුක සත්කාරයට ලැදි සුහදශීලී මිනිසුන්ගෙන් පිරුණු රටක් බව අවුරුදු කුමාරයාට මතක තිබිණි.
අර ආලෝකය මුහුණටම එල්ල විය.
“කෝ ‘‘කර්ෆිව් පාස්?’’ අමුත්තා ඇසුවේය.”
“ඒ කිව්වෙ?” බිම ඇනුණු පස්ස අතගාමින් අවුරුදු කුමාරයා ඇසුවේය.
අර ආලෝකය අවුරුදු කුමාරයාගේ සිරුර පුරා ගියේය. ඊළඟට දිව්‍ය රථයටද ඒ අවට පාරටද එල්ල විය. ටයර් වගයක පිලිස්සුණු කම්බි වළලු මෙන්ම තාර පිලිස්සුණු පාරේ කඩතොලුද අවුරුදු කුමාරයාට ඒ එළියෙන් පෙනිණි. ඒ ළඟම තිබුණු කාඩ්බෝඩ් කැබැල්ලක ‘ගෝටා, ගෝ හෝම්’ යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියා තිබිණි.
‘‘දන්නෙ නැද්ද ඇඳිරි නීතිය දැම්මා කියලා’’ අමුත්තා ඇසුවේය.
ඔහු ශ්‍රී ලංකා පොලිසියේ මහත්තයෙක් බව මේ වන විට අවුරුදු කුමාරයා හඳුනාගෙන තිබිණි.
‘‘ඒකද ආයුබෝවන් මේ කළුවර?’’
අවුරුදු කුමාරයා ඇසූ විට පොලිස් භටයාට සිනා ගියේය.
“කළුවර නම් ලයිට් කැපිල්ල හින්දාා.”
“ඇයි ඉතින් ලයිට් කපන්නෙ?” අවුරුදු කුමාරයා පුදුමයෙන් ඇසුවේය.
“ඩීසල් නැති නිසා.”
“ඇයි ඩීසල් නැත්තෙ?”
“ඩොලර් නැති නිසා.”
“ඇයි ඉතින් ඩොලර් නැත්තේ.”
“ලංකාවෙ තියෙන්නෙ රුපියල් අච්චු ගහන මැෂින්. ඩොලර් අච්චු ගහන මැෂිමක් තිබුණ නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ.”
පොලිස් නිලධාරියා කීවත් අවුරුදු කුමාරයාට ඒ මුකුත්ම තේරුණේ නැත. අවුරුදු කුමාරයා බිම තිබුණු පූවරුව අහුලා ගත්තේය.
“GOTA GO HOME”
“මොනවද මේ? ඇයි මේ පාර පුරා මෙව්වා.” අවුරුදු කුමාරයාට ඔක්කෝම ප්‍රහේලිකාවකි.
“පොඩ්ඩකට කලින් මෙතන මිනිස්සු උද්ඝෝෂණයක් කළා. උන්ට කඳුළු ගෑස් ගහල එලවද්දී තමයි ඕවා බිම දාලා දිව්වෙ.”
“ඇයි ඉතින් මේ ගෙදර යන්න කියන්නෙ. උන්නැහේ ගෙදර යන්නෙ නැතුව කොහෙද ඉන්නෙ?”
අවුරුදු කුමාරයා ඇසුවේ මෙලෝ දෙයක් තේරුම් ගන්නට බැරිවය.
“ඔය අපේ ලොක්කට ගෙදර යන්න කියන පුවරුවනෙ.”
“ඇයි එතුමා ඉන්නෙ ගෙදර නෙවෙයිද?”
“ගෙදර තමා. එතුමා ජනාධිපති වුණා කියලා ජනාධිපති මන්දිරේ පදිංචියට ගියේ නෑ. හිටපු ජනාධිපතිවරු වගේ. රෙට් මහජනතාවගෙ සල්ලි නිරපරාදේ වියදම් වෙන හින්දා එතුමා එතුමාගෙ ගෙදරමයි හිටියෙ. හිටපු ජනාධිපතිල වගේ ලෝකෙ වටේ සවාරි ගියේ නෑ. ගමනක් යනකොට ආරක්ෂක රථ ආරක්‍ෂක භටයො පිරිවරාගෙන ගියෙත් නෑ. ඒ වුණාට රටේ ඩොලර් නැතිවෙලා පෙට්‍රල්, ඩීසල්, ගෑස් හැමදේම නැතිවෙලා. මිනිස්සුන්ට හරියට ප්‍රශ්න ආවා. හෙට අනිද්දට බේත් එහෙමත් නැතිවෙයිලු. ඉතින් මිනිස්සු පාරට බහිනවා, ජනාධිපතිට ගෙදර යන්න කියලා...’’
“එහෙමනම් මේ පාර අවුරුදු තියෙන එකක් නැතිවෙයිද?” අවුරුදු කුමාරයා කල්පනාකාරීව ඇසුවේය. ‘‘අවුරුදු උත්සව අවුරුදු කුමාරි තරග එහෙම?’’
අවුරුදු කුමාරියක් සහේට ගැනීමේ යටි හිතේ ඇති කැමැත්ත සඟවාගත් අවුරුදු කුමාරයා ඇසුවේය.
“කර්ෆිව් දැම්මොත් අවුරුදු උත්සව තියාගන්නත් බැරිවේවි. කරන්ට් එකත් කපයිනේ” පොලිස් භටයා කීවේය.
“අවුරුද්දටත් කර්ෆිව් දායිද ඉතින්?”
“කියන්න බැහැනෙ. ඔය ෆේස් බුක් කාරයො ආයෙමත් පාරට බහින්න ප්ලෑන් කළොත් එහෙම.”
“ෆේස් බුක් කාරයො විතරද මෙහෙ පාරට බහින්නෙ?”
අවුරුදු කුමාරයා නොතේරුම්කමට ඇසුවේය.
“අපෝයි නැහැ. මෙහෙ හැමෝම හැමදාම පාරට බහිනවා. කාලයක් ගුරුවරු හිටියෙම පාරෙ. තව කාලෙකදි හෙදියො පාරෙ. තව කාලෙක ගොවියො පාරෙ. මේ කට්ටියත් එක්ක සජිත්ල අනුරලාත් පාරට බැස්සා. ඒ වුණාට ගණනකටවත් ගත්තෙ නැහැ. මේ ෆේස්බුක් කාරයො පාරට බැහිල්ල තමා අවුල් වුණේ. කර්ෆිව් දාලා කාටවත් පාරට බැහීම තහනම් කළා.”
අවුරුදු කුමාරයාට දැන් ටික ටික තේරෙයි.
“එතකොට මේ මොහොතෙ පාරෙ ඉන්නෙ පොලිසියයි හමුදාවයි විතරද?”
“ඔව්... අපි ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. කාවටත් පාරට බහින්න බැහැ. මාධ්‍යවේදීන්ට හැර. ඔහේට කර්ෆිව් පාස් නැත්තෙ හැබෑටම මොකක් හරි මාධ්‍යයකද වැඩ?”
පොලිස් භටයා ඇසුවේ දිව්‍ය රථයේ ඉදිරියට විදුලි පන්දම එල්ල කරමින් "MEDIA" වචනය සොයමිනි.
‘‘නැහැ. මම අවුරුදු කුමාරයා’’ අවුරුදු කුමාරයා රහසින් කීවේය.
‘‘හැම අවුරුදු කාලෙකම මම ඔහේලගෙ අවුරුදු බලන්න එනවනෙ?’’
පොලිස් භටයා විදුලි පන්දම තව වරක් අවුරුදු කුමාරයාගේ හිසේ සිට පාදාන්තය තෙක්ම අරගෙන ගියේය.
“ඒකතමයි මේ අස්ස කරත්තෙන් නේද?” පොලිස් භටයා ඇසුවේ මද සිනාවකිනි.
‘‘අස්ස කරත්තෙන් ආ එක හොඳයි. නැත්නම් ඉතින් පෙට්‍රල් ඩීසල් නැතුව අවුරුදු කුමාරයාටත් මග රස්තියාදු වෙන්න වෙනවා. ඩීසල් නැතුව මෙහෙ වාහන දවසෙ හමාරෙ ෂෙඩ් ළඟ නැවතිලා...’’
අවුරුදු කුමාරයා හිස සැලුවේය.
‘‘මේ ඒක නෙමෙයි මොනවද ඉතින් අපිට ගෙනා තෑගි භෝග.’’
පොලිස් භටයා කට කන දක්වාම පළල් කළේය. ඔහු දිව්‍ය රථය ළඟට ගොස් එතුළට විදුලි පන්දම එල්ල කළේය.
“තාම මුකුත් ගෙනාවෙ නැහැ. මං ආවෙ ඕනෑ මොනවද කියලා බලන්න. පස්සෙ බඩු ඕඩර් කරනවා” අවුරුදු කුමාරයා කීවේය.
“එතකොට මේ තියෙන්නෙ.”
දිව්‍ය රථයේ තිබූ කටටම පිරුණු ගෝනි දෙස ආශාභරිත බැල්ලමක් හෙලූ පොලිස් භටයා ඇසුවේය.
“ඔය පුන්නක්කු.” අවුරුදු කුමාරයා කීවේය.
“ෂා එහෙනම් මේ දියවන්නාව පැත්තට යන ගමන්?” පොලිස් භටයා හිනැහුණේය.
“නෑ... නෑ... ඔය අශ්වයින්ට.” අවුරුදු කුමරයා ද සිනාසෙමින් කීවේය.
“එහෙනම් ආයුබෝවන් මම යන්නම්. මිනිස්සු මුණගැහිලා අවුරුදු කන හැටි අවුරුද්දට ඕනෑ කරන දේවල් ගැන අහගන්න ඕනෑ.”
“පිස්සුද කුමාරයො. මේ කර්ෆිව් වෙලාවෙ පාරට බහින්න තහනම්. උදේ වෙනතුරු යන්න දෙන්න බැහැ.” පොලිස් භටයා කීවේය.
‘‘ඇරත් කුමාරයා රට පුරා ඇවිද්ද කියල වැඩක් වෙන්නෙ නෑ. මෙදා අවුරුද්ද අපිව කනවා මිස අපිට අවුරුදු කන්න වෙන්නෙ නෑ. මිනිස්සුන්ගෙන් ඇහුවොත් මොනවද ඕනෑ කියලා, කියන්නෙ ගෑස්, ඩීසල්, පැට්‍ර්ල්, භූමිතෙල්, බේත්, කෑම කියලා. ගොවියෙක් නම් රසායනික පෝර කියයි. කොල්ලො, කෙල්ලො නම් සෝෂල් මීඩියා ඕනෑ කියැයි. ‘‘ගෝඨා ගෝ හෝම්’’ කියයි. මුදල් ඇමති හරි ජනාධිපති හරි හම්බවුණොත් ඩොලර් ඕනෑ කියයි. ඔය ටික තමා.’’ පොලිස් භටයා කීවේය.
‘‘ඒ නිසා බොරුවට මහන්සි වෙන්නෙ නැතුව ආපසු දිව්‍ය ලෝකෙට යන්න කුමාරයො, ඒක ශරීර සෞඛ්‍යයටත් හොඳයි. මිනිස්සුන්ගෙන් එක එක එව්වා අහන්න ගිහින් ගුටිකන්න වෙන්නත් බැරි නෑ.”
“එහෙමත් එකක්ද?
අවුරුදු කුමාරයා දිව්‍ය රථයට නැග අසුනේ දිගෑදුනේය. පොලිස් භටයාද ඔහු අසලින්ම වාඩිවිණි.
මොකක්ද ඇත්තටම ලංකාවට වුණේ? පහුගිය අවුරුදුවල මං ලංකාවට එද්දි හැමතැනම රතිඤ්ඤා පත්තුවුණා. කොහා සිංදු කිව්වා. අවුරුදු කුමාරයා මුකුත් හිතාගන්නට බැරිව සිටියේය.
“මටත් හරියටම වැටහීමක් නෑ කුමාරයො. ජනාධිපතිතුමා නම් කිව්වෙ මේ අර්බුදය එතුමා නිර්මාණය කළේ නැහැයි කියලා” පොලිස් භටයා කීවේය.
“ඒ කිව්වට මේක එතුමාගෙ නිර්මාණයක් කියලයි මට නම් හිතෙන්නෙම. ජනාධිපති වුණු ගමන් පහුගිය ආණ්ඩුව අය කරපු බද්දයි වැට් බද්දයි අඩු කළා. උද්ඝෝෂණ කරන මිනිස්සුන්ට ජනාධිපති කාර්යාලෙ ළඟටම එන්න ඉඩ දුන්නා. කඳුළු ගෑස් වතුර ගහන්න එපා කිව්වා? ගම සමඟ පිළිසඳරෙ ගියා. මිනිස්සුන්ගෙ වකුගඩු පරෙස්සම් කරන්න කියලා රසායනික පොහොර තහනම් කළා. ඕවයින් තමා මේ අර්බුද නිර්මාණය වුණේ?”
“එහෙමද?” අවුරුදු කුමාරයා ඇසුවේය.
“එතකොට දැන් ඒ අර්බුද විසඳාගෙනද යන්නෙ?”
“ටික... ටික... ඔන්න දැන් උද්ඝෝෂකයන්ට ගහන්න පටන් ගත්තා. හදිසි නීතිය දැම්මා. අනිත්වත් ඔය විදිහට විසඳගෙන යයි. ඊළඟ ඡන්දෙට තව අවුරුදු තුනක් විතර තියනවනෙ ඉතින්.”
“ඕහ්... එතකොට ඔහේ මට කියන්නෙ ආපහු යන්න කියලා.” අවුරුදු කුමාරයා පොලිස් භටයාගෙන් ඇසුවේය.
“ඔව්... තේරුමක් නෑ. පුළුවන්නම් ගිහින් අපිට ඩොලර් එවන්න. ඒ ටික තමා ඕනෑ.”
“මං ආවෙ අවුරුදු කුමාරියො එහෙමත් තෝරනවනෙ ඉතින්.’’ අවුරුදු කුමාරයා හිතේ කොනක වූ ප්‍රාර්ථනා යාම්තමට හෙළි කළේය.
“දවසකට පැය දොළහක් විතර කරන්ට් කැපුනොත් මොන අවුරුදු උත්සවද කුමාරයො ආයෙ කර්ෆිව් දැම්මොත් එහෙම?” පොලිස් භටයා එවර නැගුවේ සරදම් සිනාවකි.
“එහෙනම් මං ආපහු යනවා.”
අවුරුදු කුමාරයා ඉකුත් ඉරිදා (3) රාත්‍රියේදීම ආපසු දිව්‍ය ලෝකය බලා ගියේය.
ශාන්ත කුමාර විතාන