ආදිවාසීන්ට පන්සලක් හදා දුන් ආදිවාසී නායකයා


 

 

ඉතිහාසයේ සඳහන් වන අන්දමට අපේ රටේ වෙහෙර විහාර ඉඳිකරවා ඇත්තේ රට පාලනය කළ රජවරුන් විසිනි.   


ඓතිහාසික මහියංගණය සෑය අපේ රටේ චෛත්‍ය අතර සුවිශේෂි තැනක් හිමිකර ගන්නේ එය ආසියාවේ ප්‍රථම චෛත්‍ය වීම මෙන්ම බුදුන් වහන්සේගේ කේෂ ධාතුව හා ග්‍රීව ධාතුව නිධන් කර ඉදිකර ඇති චෛත්‍යය නිසාය.   


ඒ ඉතිහාස කතාවේ එදා වැද්දන් ලෙස හැඳින් වූ අද ආදිවාසීන් ලෙස හඳුන්වන යක්ෂ ගෝත්‍රිකයන් මහියංගණයේ පමණක් නොව අපේ රටේ විසූ ආදිතම මිනිසුන්ය.   


එම පරපුරෙන් පැවත එන ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් ද රැහේ අයට මෙන්ම කැලෑ පෝජ්ජට රජ කෙනෙකි.   
‘‘වනස්පති’’ යැයි ගෞරව නාම ලබා ඇත්තේ ද ඒ නිසාය.   


විශ්ව කීර්ති වනස්පති මේ රජාණෝ ද අපේ රටේ වෙහෙ‍ර විහාස්ථාන ඉදිකළ රජවරුන් මෙන් විහාරස්ථානයක් ඉඳිකර වූ සම්භාවනීයන්ගේ නාමාවලියට ඇතුළත් වී සිටියි.   
සිය රාජධානිය වන දඹානට ගොස් කටුමැටි මන්දිරයේ දී මම මේ වනස්පති හමු වීමි.   
‘‘ඇත්තද පන්සලක් හැදුව කියන්නේ’’ මම විමසුවෙමි.   


‘‘ඔව් පාලිත හූරා.... මේක මගේ හිතේ තිබුණ ලොකු ආශාවක්. අප්පිල ඇත්තෝ බුදු දහමට බොහොම ලැදියි.’’ අප්පිල ඇත්තෝ තමයි රැහේ උරුමයක් වූ මාවරාගල ගල් ලෙන් බුද්ධ ශාසනයට පූජා කරල තියෙන්නේ.   
ඉස්සර මේ ගල් ලෙන්වල ජීවත්වෙලා තියෙන්නේ රැහේ අය. අලු‍ගල් ගේ කියන ගල්ගුහාව එදා අපේ ඇත්තෝ දඩයම් කළ සතුන් පුච්චපු තැන.   


මේ සියල්ල අද භික්ෂූන් වහන්සේලා වැඩ සිටින, උන් වහන්සේලා භාවනා කරන කුටි බවට පත්වෙලා.   
අප්පිලා ඇත්තෝ තමයි මාවරාගල කුඩාවැල්ලේ ධම්මපාල නමැති හාමුරුවන්ට පූජා කළේ. එ් විතරක් නොවෙයි මගේ මල්ලි කෙනෙකුත් ශාසනයට පූජා කළා.   
මේ පන්සල ඉදිකරන්න කලින් මට ලොකු ආශාවක් තිබුණා මැරෙන්න කළින් බුදුපිළිමයක් කරවන්න ඕනෑ කියලා.   


මාවරගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති ධුරය දරන්නේත් මම. ඉතින් මම මාවරාගල හාමුරුවන්ට කිව්වා මගේ හිතේ තියෙන අදහස. එතකොට හාමුරුවොත් කිව්වා උන්වහන්සේත් අපවත් වෙන්න කලින් මේක පටන් ගන්න කියලා. ඒ අනුව කලු‍ගලෙන් බුදුපිළිමයක් නිර්මාණ කළා .   
විශාල පිරිසක් මේ සඳහා උදව් කළා . 

 
ඔහොම ඉන්නකොට තමයි මට හිතුනේ අපේ රැහේ ඇත්තන් සඳහාම පන්සලක් හදන්න ඕනෑ කියලා.   
දඹානේ ගුරුකුඹුර මේ සඳහා තෝරාගත්තේ මගේ බෑනා ‍කෙනෙකුගේ අදහසක් අනුව. එයා ගුරුකුඹුර ඉස්කෝලේ විදුහල්පතිවෙලත් හිටියා.   


එයත් නිතරම කිව්ව දෙයක් තමයි රැහේ ඇත්තන්ගේ අනාගත පරපුර වෙනුවෙන් පන්සලක අවශ්‍යතාව තියෙනව කියල. 

 
මෙම මේ අදහස ගැන මහියංගණය අවට පන්සල්වලට ගිහින් කතා කළා.   
එම විහාරවාසී හාමුරුවන්ගේ ආශීර්වා ද ලබා ගත්තා .   
මම ගිහින් මල්වත්තේ නායක හාමුරුවන් බැහැ දැකලා මේ අදහස ගැන කිව්වම උන් වහන්සේ බොහොම කැමති වුණා.. උදව් කරන්නම් කියලත් කිව්වා.   
අනුරාධපුර රුවන්වැලි සෑයේ ආගමික වැඩසටහනකට ගිය වෙලාවේ මට කුලසේකර කියන මහත්තයා මුණ ගැසුනා... රේගුවේ විධායක නිලධාරියෙක් වන ආනන්ද කුලසේකර මහත්තයා එක්ක කතා කර කර ඉන්න කොට මම කිව්වා මගේ හිතේ තියෙන අදහස.   
එතුමා බොහෝම සතුටුවෙලා උදව්කරන්න පොරොන්දු වුණා.   
ඒ උදව් ඇතිව පන්සල හදන්න පටන් ගත්තා.   


මුලින්ම හැදුවෙ බුදුමැදුර. ඊට පස්සේ ජය ශ්‍රී මහා බෝධින්වහන්සේගේ අංකුරයක් වැඩම කරවලා රෝපණය කළා. අත්තනගල්ල පන්නිල නායක හාමුරුවොත් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙ ලේකම්තුමත් ඒ සඳහා උදව් කළා.   


ඊට පස්සේ දළදා මාළිගාවේ මීපැණි පූජාවට ගිය අවස්ථාවේ නෙල්ලිගල නායක හාමුදුරුවන් හමුවුණා.   
උන්වහන්සේටත් මේ පන්සල ගැන කියලා චෛත්‍යයක අවශ්‍යතාවයත් කිව්වා. උන්වහන්සේ මාස්ටර් ගයිඩ් නමැති ආයතනයේ අධිපතිනි දිස්නා වනිගසේකර මහත්මිය හඳුන්වා දීලා මේ චෛත්‍යය හදන්න අනුශාසනා කළා.   


ඒ අනුව එතුමියගේ ධන පරිත්‍යාගයෙන් චෛත්‍යය ඉදි කළා. අපි මේ චෛත්‍යය සීවලි සෑය නමින් හඳුන්වා තිබෙනවා යැයි ද පැවසු ආදිවාසිනායකතුමා ඒ පිළිබඳව මුව නොසෑහෙනසේ එතුමියට ස්තුති කරන්නට අමතක නොකළේය .   


ආදිවාසි නායකතුමාන් කැටුව මම වාහනය කොටබකිනිය ගුරුපාරට පදවන විටම පෙනුනේ පාලු‍වට ගිය දඹානය .   


ලීකෝටුවලින් සැකසූ මැසි මත තබාගෙන මීපැණි හා වනයෙන් අහුලාගත් ස්වාභාවික ඇටවර්ගවලින් නිර්මාණය කළ මාල මුදු මාල, දුන්න ඊතලය අලෙවි කළ ස්ථානය ද ජන ශූන්‍ය වී තිබිණ. ඒ කොරෝනා උවදුර නිසාය   


ගුරුකුඹුර මාර්ගයෙන් ආදිවාසී ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයට හැරෙන ස්ථානයේ එම නාමපුවරුවකි අපි ඒ දෙසට හැරුනෙමු .   
දුර සිටම නව චෛත්‍යය දිස්වන්නේ කැලෑරොදට ඉහළිනි .   
මෙම චෛත්‍යයේ උස රියන් 80 ක් බව වන්නියලැඇත්තෝ පැවසූහ .   
එහි මෙවන විට නිධන්වස්තු තැන්පත් කර අවසන්ය .   
නිධන් වස්තු තැන්පත් කළ දිනයේ සාක්කි කරුවෙක් වූ මට එදා දුටු සුවිශේෂි දසුනක් කිසි දිනක අමතක නොවන්නේය .   
ධාතුන් වහන්සේලා සහිත කරඬුව සිය දෝතින් තැන්පත් කරද්දී ආදිවාසි නායකතුමා කඳුළු වැගුරුවේය .ඉන්පසු සිය කතාවේදිද කඳුළු පිස දැම්මේය   
ඇයි එදා හැඩුවේ, මම ඇසුවෙමි .   
අනේ ..පාලිත හූරා මට සතුට දරාගන්න බැරි වුණා. මට නොදැනිම කඳුළු වැටුනා, යැයි ඔහු පැවසුවේ හැගුම් බරවය . 

 
මහියංගනය නගරයේ ඉදිකළ සමාධි පිළිම වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාවට ආදිවාසි නායකතුමා ප්‍රධාන ආරාධිතයෙක්සේ සහභාගි වූ දසුන ද මගේ මතකයට නැගිණ.   
අපි වාහනයෙන් බැස්සෙමු. ඉදිරියෙන්ම ඇත්තේ අනුරාධපුරයේ සමාධි පිළිමයේ අනුරුවක් වන සමාධි බුදු පිළිමයයි.   
ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරක් වන බෝරුක ඊට පිටුපසිනි. ඒ වටා රන්වැටකි.   
අහස දෙසට නැගි රියන් 80 චෛත්‍යය සොබාවික පරිසරය මැද විරාජමානව වැඩ වසන්නේය .   
මේ සියල්ල ඉදිරියේ සංඝාවාසයකි. ඊට නුදුරින් දහම් පාසල් ගොඩනැගිල්ලය.   
ආදිවාසී දරුවන් 80 දෙනෙක් මෙම දහම් පාසලේ දහම් දැනුම ලබන බව දැනගන්නට ලැබිණ.   
ඊට මඳක් දුරින් ඉදිකරමින් පැවති විශාල ළිදකි. එය ජලයෙන් පිරී තිබුණේය .   
මහියංගන විහාරය හදන කාලේ බුලතා යෝධයා සොරබොර වැව හැදුවා වගේ මේ චෛත්‍ය කර්මාන්තය සිහිවෙන්න මේ විශාල ළිඳ හැදුවා යැයි වන්නියලැ ඇත්තන් පැවසුවේ සිනා සෙමිනි.   
සීවලී සෑයේ කොත් පැළදවීම උත්සවාකාරයෙන් සිදුකරන්නට ආදිවාසී නායකතුමා තුළ ඇත්තේ ලොකු ආශාවකි .   
එම කටයුත්ත කොරෝනා උවදුර නිසා දිනෙන් දින කල් යමින් තිබේ.   
මේ අනුව වෙසක් වලට බැරිඋනත් පොසොන් පෝයටවත් එම පින්කම සිදුකිරීමට අදහස් කරගෙන සිටින බව පැවසීය .   


මගේ හිතේ පැලපදියම් වූ ප්‍රශ්න කීපයක් මුදාහළෙමි .   
ආදිවාසීන් කෙහොමද බුදු දහමට නැඹුරු වුණේ? මම ඇසුවෙමි.   
ඒක ලොකු කතාවක් . බුදුන් වහන්සේ මහියංගනයේ නාගවනයට වැඩම කළේ යක්කු දමනය කරන්න කියල බෞද්ධ සාහිත්‍යයේ සඳහන්කර තිබෙනවා .   
ඒකට හරියන්න යක්කු දරුණු විදියට විහාර කර්මාන්තවල අඹලා තියෙනවා   
ඇත්ත ඒක නොවෙයි . අමානුෂික ගති ඇති යක්කු නොවෙයි අපේ මුතුන් මිත්තො යක්ෂ ගෝත්‍රිකයන් .   
බොහොම බුද්ධිමත් පිරිසක් .ඒ නිසා තමයි බුදුන් වහන්සේ ගේ ධර්මය තේරුම් ගන්න සමත් පිරිසක් නිසා තමයි බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කළේ .   
එහෙනම් ඇයි බුදුන් වහන්සේට හිරිහැර කළේ ?   
අපෝ නැහැ. ඒක අමූලික බොරුවක්. හැබැයි තමන්ගේ ඉසව්වට ආගන්තුකගෙන් ආපු නිසා වරිගේ ක්‍රම සහ විධි අනුව විරෝධය පෑවා .   


පස්සේ මේ උත්තමයා හඳුනාගැනීමෙන් පසු සිත් පැහැදිළා බුදු බණ අහලා මහවැලි ගඟෙන් එතෙර වී කැලෑ වැදුනා. ඒකයි ඇත්ත.   


ආදිවාසීන් බුදු දහමට අනුව ජීවත් වෙනවාද ?   
ඔව්, මම නම් පන්සිල් පද පහම රකින හොඳ බෞද්ධයෙක්. මස් මාලු‍වත් කන්නේ නැහැ. අපේ අනෙක් අයත් සොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ . කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ . . සුරාබොන්නෙත් නැහැ . . දැන්නම් සතුන් මරන්නෙත් නැහැ .   
නමුත් දඹානට පැමිණෙන බාහිර සමාජයේ ඇතැමුන් නිසා අපේ ඇත්තන් ද ගැටලුකාරි තත්ත්වයකට පත්ව ඇති අවස්ථා තිබෙනවා .   
වැදිබණ කියල දෙයක් තියෙනවා ද ?   
ඔව් වැදිබණ කියන්නේ අපි නෙවෙයි .   
වැදි බණ කියන්නේ කව්ද කියල දන්නවනේ දැයි විමසමින් මහ හඩින් සිනාසුනේය. 

 

 

සටහන හා ඡයාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ