ඇමරිකන් තාරුණ්‍යය යලිත් පොත අතට ගනී



පොත්වලට ආදරය කරන සැමට සැප්තැම්බර්ය සුවිශේෂී වෙයි. සැප්තැම්බරය සැලකෙන්නේ ‘සාහිත්‍ය මාසය’ යනුවෙනි. පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන්, සාහිත්‍ය නිර්මාණ ඇගයීමට ලක්වන්නේත්, විශිෂ්ට නිර්මාණකරුවන්ගේ හැකියාවන් කරළියට රැගෙන එන්නේත් සාහිත්‍ය මාසයේ යැයි කීවොත් එය වැරදි නොවෙයි. රාජ්‍යය සාහිත්‍ය උලෙළ, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ, ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ එවැනි සාහිත්‍ය උත්සව අතර ප්‍රමුඛත්වයක් ගනී. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය කේන්ද්‍ර කොට ගනිමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ද සාහිත්‍ය මාසයේ කැපී පෙනෙන අංගයයි. 

නවකතා, කෙටිකතා, ගද්‍ය පද්‍ය ඇතුළු නිර්මාණ කලඑළි බසින්නේ ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීවය. ඩිජිටල්කරණයට ලක් වුණු සහ තව තවත් ඩිජිටල්කරණයට ලක්වෙමින් පවතින ලෝකයක ජීවත් වන අපට ‘සාහිත්‍ය මාසය’ වෙනුවෙන් මාසයක් වෙන් කර තිබීම ඇත්තටම ප්‍රශංසනීය ය. ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන කියමන, තාක්ෂණයට ඇලී ගැලී සිටින අප මතු පරපුරට යම්තාක් දුරකට ඒත්තු ගැනීමට ‘සාහිත්‍ය මාසය’ එක් සාධකයක් වෙයි. අද වන විට පොතපත් මිල ගණන් දැරිය නොහැකි තත්ත්වයක පැවැතියත්, අවුරුද්ද පුරා පරිස්සමට වෙන්කර ඉතිරි කළ මුදලින්, එකම හිස් ගොඩක් වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණ, විවිධ ප්‍රකාශන කුටි සොයමින් ගොස්, පොත්පත් මිලදී ගන්නා පොඩිහිටියන් සහ වැඩිහිටියන් බොහෝය. කොතරම් ඩිජිටල්කරණයට ලක්වුවත්, ජංගම දුරකතනයට ඇලී ගැලී සිටියත්, සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වුවත්, මෙරට තරුණ පරපුර, යම්තාක් දුරකට හෝ තවමත් පොත්පත්වලට යොමු වීම ඇත්තටම සතුටට කාරණාවකි.
ලෝකය ඩිජිටල්කරණය වෙද්දී, මිනිසා කෙමෙන් කෙමෙන් පොත්පත්වලින් ඈත්වන්නට විය. නමුත් පොත්පත්, සඟරා ආදී සියල්ල මිනිසාගෙන් ඈත් වූයේ නැත. ස්මාට් ‍ෆෝන්, පරිගණක සහ ටැබ් හරහා අන්තර් ජාලය ඔස්සේ මිනිසාට සමීප වී අවසන්ය. මුද්‍රණය වන පොත්පත් ද ස්මාට් ෆෝන්, පරිගණක සහ ටැබ් හරහා කියවීමට ඉඩ සලසා දී ඇත. පොත් කියවීමට කම්මැලි නම්, පොත් කියවා දෙන හඬපටවල සවන් දිය හැකිය. අලු‍ත් පොත් මුදල් ගෙවීමකින් ද පැරැණි පොත් මුදල් ගෙවීමකින් තොරව ද එසේ සවන් දීම කළ හැකිය. පොත් කියවීම, මෙය සමාජ මාධ්‍ය හරහා ද සිදුවෙයි. ෆෙස්බුක් සමාජ මාධ්‍ය හරහා පළ වන තරුණ ලේඛක ලේඛිකාවන්ගේ පොත්පත් මුද්‍රණයවීමක් ද සිදුවෙයි. ඒ ජනප්‍රියත්වය නිසාමය. අද වන විට දියුණු රටවල මුද්‍රණාල බොහොමයක් වසා දමා ඇත. පුවත්පත් කන්තෝරු වසා දමා ඇත. හේතුව ඩිජිටල්කරණයයි. පුවත්පතකින් ඔබට ලැබෙන පුවත් එසැණින් අන්තර්ජාලයෙන් ලැබෙනවා නම්, පුවත්පත් මිලදී ගන්නේ ඇයි? මේ නිසාම, අද බටහිර රටවල මුද්‍රණය සිදුවන්නේ පුවත්පත් සහ සඟරා අතළොස්සකි. එසේ කරන්නේ, එදා සිට අද දක්වා එම පුවත්පත් සහ සඟරා සමඟ සිටි අතළොස්සක් වූ පාඨකයන් වෙනුවෙන් පමණි. 

ඇමෙරිකාවේ ද තත්ත්වය මෙසේය. මුද්‍රණ ක්ෂේත්‍රය කෙමෙන් කෙමෙන් අභාවයට යන්නේ ඩයිනසෝරයන් වඳවී ගිය ලෙසිනි. පුවත්පත් කන්තෝරු බොහොමයක් වසා දමා ඇත. පොත් කියවීම ද පසුගිය වසර ගණනාවක් තිස්සේ කැපී පෙනෙන ආකාරයකින් අඩුවිය. එහෙත්, පසුගිය 2023 වසරේ තත්ත්වය හිටිහැටියේ වෙනස් විය. අද තරුණ පරපුර, විශේෂයෙන් 2000 න් පසු උපන් තරුණ පරපුරේ සිතුම් පැතුම් වෙනස්ය. ඇමෙරිකානු පුස්තකාල සංසදය American Library Association (ALA) සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ පොත්පත් ප්‍රතික්ෂේප වන යුගයක, නව තරුණ පරපුර කෙමෙන් කෙමෙන් පොත්පත් කෙරෙහි යොමු වී ඇති බවය. 

ඇමෙරිකානු පුස්තකාල සංසදය ඔවුන්ගේ මෙම සමීක්ෂණය සමස්ත එක්සත් ජනපදයම ආවරණය වන සේ සිදු කළ අතර තරුණ තරුණියන් රට පුරා ඇති මහජන පුස්තකාලවලට ගොස් පොත්පත් භාවිතයට සහ ඩිජිටල් ක්‍රමයට පොත් පත් කියවීමට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව එයින් අනාවරණය විය. පෝට්ලන්ඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් වන කැතී ඉන්මාන් බර්න්ස් සහ රේචල් නෝඩා මෙම සමීක්ෂණය මෙහෙයවූ අතර, ඩිජිටල් ආකාරයට පොත්පත් කියවන තරුණ තරුණියන්ට වඩා පුස්තකාලවලට ගොස් පොතපත තෝරාගෙන ඒවා පරිශීලනය කරන තරුණ තරුණියන් ගණන වැඩි බව මෙම සමීක්ෂණයෙන් වැඩි දුරටත් අනාවරණය වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 54 කි. 

“මෙය ඇත්තටම සාධනීය ලක්ෂණයක්. අලු‍ත් පරම්පරාව පොත් කියවනවා. පොත් මිලදී ගන්නවා. පුස්තකාලවලට යනවා. පුස්තකාලවල ගැවසෙනවා. දවස තිස්සේ පරිගණකවල එල්ලීගෙන පරිගණක ක්‍රීඩාවල නියැළුණු තරුණ තරුණියන් ද මේ අතරේ ඉන්නවා. ඒක සතුටට කරුණක්” යැයි මහාචාර්ය කැතී ඉන්මාන් බර්න්ස් පවසන්නීය.

අන්තර්ජාලය හරහා වෙබ් අඩවි ඔස්සේ ඔබටත් ඊ බුක්ස් (e-books) බා ගත කර ගැනීමටත්, කියවීමටත් පුළුවන. නිදසුන් වශයෙන් ඇමසන් (Amason), ගුඩ්රීඩ්ස් (goodreads) වැනි වෙබ් අඩවි දැක්විය හැකිය. අන්තර්ජාලයේ ඊ බුක්ස් යටතේ ඇති ඇතැම් පොත් සම්පූර්ණයෙන් ම නොමිලයේ කියවිය හැකිය. මෙසේ නොමිලයේ කියවිය හැකි පොත් රැසක් ඇමසන් පොත් ගොනුවේ තිබේ. ලොව පොත් අලෙවි සමාගම්වල බොහෝ පොත්වලට මිල අය කිරීමක් සිදුවේ. සමහර විට මිල අය කරන පොතක මුල පිටු 50ක් පමණ නොමිලයේ කියවිය හැකිය. ඉන්පසු ඔබට අවශ්‍ය නම් පොත මිල දී ගත හැකිය. සිංහල භාෂාවෙන් ද ‘ඊ බුක්ස්’ යටතේ පොත් කියවීමේ පහසුව ඔබට අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි ය. 

ගුඩ්රීඩ්ස් වෙබ් අඩවියෙන් ඔබට ඉදිරිපත් කෙරෙන පොත් අතර, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අපේ ගම, උපන්දා සිට, ගම්පෙරළිය, යුගාන්තය, විරාගය, මඩොල් දූව, කරුවල ගෙදර ආදියත්, කුමාරතුංග මුනිදාසයන්ගේ හත්පණ, මඟු‍ල් කෑම, හීන් සැරය ආදියත් කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත, ටී. බී. ඉලංගරත්නගේ අඹ යහළුවෝ, තිලක, හපනා, ආදියත් කේ. ජයතිලකයන්ගේ චරිත තුනක්, ඩබ්ලිව්. ඒ. සිල්වාගේ විජයබාකොල්ලය, මහගම සේකර‍ගේ තුංමංහන්දිය, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං, මානික්කාවත මෙන් ම චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක්හෝම්ස් කතා ආදියත් ඇතුළු අලු‍ත් හා පැරණි පොත්පත් රාශියක් ඔබේ කියවීම පිණිස පෙළගස්වා තිබේ. මෙම සැප්තැම්බර් මාසය තුළ විශේෂ පහසුකම් සපයා ඇති බව ඔවුන්ගේ වෙබ් අඩවිවල දක්වා තිබේ. ගුණසේන සමාගම ද ඔවුන්ගේ ප්‍රකාශන ඊ බුක්ස් ක්‍රමයට ලබා දීමට පහසුකම් සලසා ඇති අතර ඒවාට ගෙවිය යුත්තේ මුද්‍රිත පොතකට වඩා බොහෝසේ අඩු මුදලකි. 

මේ ඊ-පොත් ඔබේ පරිගණකයට හෝ ස්මාට් ෆෝනයට හෝ ඒ සඳහා විශේෂ Kindle E-reader ටැබ් එකකට බා ගත කර ගන්න පුළුවන. පොත්පත් රාක්කවල තබා ගැනීමේ අපහසුව නිසාත් යන ඕනෑම තැනකට අවශ්‍ය පොත් ගෙන යාමේ පහසුව නිසාත් මේ කින්ඩ්ල් ඊ කියවනය ලොව පුරා ඉතා ජනප්‍රිය ය. මේ සාමාන්‍ය පොතක් තරම් වූ මේ ටැබ් කියවනයක පොත් දහස් ගණනක් ගබඩා කර ගත හැකිය. මේ පොත් කියවනයක් භාවිත කරමින් මාස් පතා සාමාජික මුදලක් ගෙවා ඔබට ඇමසන් වෙතින් පොත් ලබාගෙන කියවිය හැකිය. 


ලු‍සිත ජයමාන්න