ඇමැතිවරුනි මේ අහන්න අවුරුදු කන හැටි කියන්න


 

  • මුංඇට කිලෝව අටසීය පැනලා
  • හාල් කිලෝවක් රුපියල් සීයයි
  • පොල්තෙල් විෂ නිසා කැවුම් උයන්නත් බයයි

 

 

සිංහලයන්ගේ ප්‍රධානතම ජාතික උත්සවය සිංහල අලුත් අවුරුද්දයි. වසර ගණනාවක සිට මෙම උත්සවය සැමරීම සඳහා සිංහල ජනතාව මහත් උනන්දුවක් දක්වයි. වසරේ අටුකොටු පුරවා තම උත්සාහයෙන් වගා කළ බව භෝගවලින් ලැබෙන අස්වැන්න ප්‍රථමයෙන් බුදුන්ට පූජා කිරීම අතීතයේ සිට පැවැත ආ චාරිත්‍රයකි. ඊටපසු ඉතිරි අස්වැන්න සිංහල අවුරුද්දේ කැවුම් කිරිබතක් සකස් කිරීමට සැදී පැහැදී සිටියි.   


 සිංහල අවුරුද්ද එන බව අපිට මුලින්ම දැනුම් දෙන්නේ කොහාගේ නාදයත් සමගයි. එහෙත් අද වෙන විට සියලු දේ නාගරීකරණය වී ඇති නිසා කොවුල් නාදය අසන්නට නැත. සිංහල අවුරුදු සමය ළංවන විට ගහකොළ පළ බරින් නැහැවෙයි. කෙසේ වෙතත් අද ඒ සියලු දේ වෙනස් වෙමින් පවතියි.   


අවුරුද්දට ඉදෙන කිරිබත 

 
සිංහල අවුරුද්දේ සෑම ගෙදරකම පාහේ කිරිබතක් ඉදීම චාරිත්‍රයකි. කෘෂි කර්මාන්තය මූලික කරගත් අපේ ගොවි ජනතාව සිය අස්වැන්නෙන් කොටසක් නව වසරේ කිරිබතක් පිළියෙල කිරීම සඳහා වෙන්කොට තබා ගනියි. ග්‍රාමීය ප්‍රදේශවල එසේ කුඹුරු කර ලබාගත් අස්වැන්න වෙන්කර තැබුව ද නාගරික ජනතාවට එසේ කිරීමට පුළුවන්කමක් නැත. නාගරිකව ජීවත්වෙන ජනතාව සියලුම දේ සපයා ගන්නේ වෙළෙඳ පොළෙනි. එහෙත් අද වෙළෙඳපොළේ සියලු භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇත. මධ්‍යම පාන්තික ජනතාව කෙසේ හෝ අතේ ඇති මුදලට භාණ්ඩ මිල දී ගත්ත ද එදිනෙද‌ා දෛනිකව කීයක් හරි උපයා ගන්නා ජනතාවට ලෙහෙසියෙන් බඩුමුට්ටු මිල දී ගැනීමට පුළුවන් කමක් නැත.   


පස්දෙනෙකු සිටින පවුලක අවුරුදු චාරිත්‍රවල දී කිරිබතක් සකසා ගැනීමට අඩුම තරමේ සහල් කිලෝග්‍රෑමයක්වත් අවශ්‍ය වෙයි. කිරිබත සඳහා පොල් ගෙඩියක පමණ කිරි අවශ්‍ය වෙයි. සහල් කිලෝග්‍රෑමයක් රුපියල් සියයකට ආසන්නය. පොල් ගෙඩියක් රුපියල් 90 ක් 100 ක් අතර මිලකට අලෙවි වෙයි. ඒ අනුව අඩුම තරමින් කිරිබතක් පිළියෙල කිරීම සඳහා රුපියල් දෙසීයක් පමණ වැය කිරීමට සිදුවෙයි. ඒත් කිරිබත් පමණක් ආහාරයට ගත නොහැක. ඒ සඳහා අඩුම තරමේ කට්ට සම්බෝලයක් හෝ ලුණුමිරිසක් සාද‌ා ගත යුතුය. කට්ට සම්බෝලය රසවත් කිරීම සඳහා උම්බලකඩ භාවිත කරයි. එහෙත් අද වෙළෙඳපොළේ උම්බලකඩවල ගණන් ඇසූ විට තරු විසිවෙයි.  


සිංහල අවුරුද්ද අපි හැමෝටම විශේෂ වූ ජාතික උත්සවයකි. එකම වේලාවක් තුළ සියලු සිංහලයන් එකම නැකතකට ආහාර අනුභව කිරීම සිදුකරයි. එකම වෙලාවක ලිප ගිනි මෙලවීම ද සිංහල අවුරුද්දේ කෙරෙන ප්‍රධාන චාරිත්‍රයකි. එකම වේලාවක, මෙම චාරිත්‍ර සිදුකරන ලොව වෙනත් රටක් නැත. එය සිංහලයන්ට පමණක් ආවේනික වූ චාරිත්‍රයකි.  


අවුරුදු කෑම මේසය  


අවුරුදු කෑම මේසය අලුත් අවුරුද්දේ ප්‍රධාන තැනක් ගනියි. සිංහලයන්ට ආවේනික වූ කැවුම්, කොකිස්, මුංකැවුම්, අතිරහ, මුංගුලි එයින් ප්‍රධාන තැනක් ගනියි. කෙසේ හෝ තමන්ට හැකි පමණින් අපේ ජනයා මෙම ආහාර සැකසීමට පුරුදුව සිටිති. එහෙත් අද මෙම කැවිලි සැකසීම සඳහා අමුද්‍රව්‍ය වෙළෙඳපොළෙන් ලබා ගැනීම ගැටලුවක් වී තිබේ. ඒ සියලු අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති නිසාය. ඇතැම් අමුද්‍රව්‍යවල හිඟයක් වෙළෙඳපළේ පවතියි.  


මුංඇට, උඳුපිටි, කහ සහ පොල් පැණි මෙම කැවිලි වර්ග ස‌ාද‌ා ගැනීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය අතර වෙයි. එහෙත් අද මුංඇට කිලෝග්‍රෑමයක මිල රුපියල් අටසියය සහ ද‌ාහ අතරය. පොල් පැණි බෝතලයක් සොයා ගැනීමට නොහැක. එයට සීනි හෝ වෙනත් දෑ කළවම් කර අලෙවි කරයි. විශේෂයෙන් අවුරුදු කෑම මේසය සරසවන රසවත් කෑමක් වන උඳු වළලු සෑදීමට පිළිවන් කමක් නැත. එයට හේතුව වෙළෙඳපොළේ අද උඳු හිඟයක් පවතින නිසාය. අද වෙළෙඳපළේ උඳු කිලෝග්‍රෑමයක් රුපියල් 1800 ක් වැනි මිලකට අලෙවි වෙයි. වෙළෙඳපොළේ කහ හිඟයක් පැවතුන ද ඇතැම් වෙළෙඳසැල්වල කහ ග්‍රෑම් පනහක මිල රුපියල් 300 ඉක්මවයි. මෙම සියලු ආහාර වර්ග සකසා ගැනීම සඳහාත් රසකාරක වශයෙන් කරාබු හා කරඳමුංගු අතීතයේ සිට අපේ ගෘහණියෝ භාවිතා කළහ. එහෙත් අද කරඳමුංගු ග්‍රෑම් දහයක් රුපියල් දෙසීයක් වෙයි.   


කැවිලි වර්ග සෑදීමේ දී ගැටලුවක්  


ඉස්සර ගම්වල කිහිප දෙනෙකු එකතු වී මුංඇට, උඳු, සහල් වංගෙඩියේ දමා කොටා පෙනේරයකින් හළාගෙන අවුරුද්දට අවශ්‍ය කෑම බීම පිළියෙල කිරීමට සූද‌ානම් වෙති. එහෙත් අද මහල් නිවාසවල වෙසෙන ජනතාවට වංගෙඩියක් මෝල් ගහක් පාවිච්චි කිරීමට සීමා පනවා ඇත. ඒ නිසා බොහෝ දෙනෙකු පුරුදුව සිටින්නේ වෙළෙඳසල්වලින් අවුරුදු ආහාර වර්ග මිල දී ගැනීමයි. එහෙත් අද වෙළෙඳපොළේ කැවුම් ගෙඩියක් රුපියල් 50කට පමණ අලෙවි වෙයි. මුංඇටවල මිල ඉහළ ගොස් ඇති නිසා මුංකැවුමක මිල රුපියල් 50ක් පමණ වෙයි. කොකිසයක මිල රුපියල් 20කට පමණ අලෙවි වෙයි. මේ නිසා වෙළෙඳ පොළෙන් මේවා මිල දී ගැනීමේ දී අධික මුදලක් වැය කිරීමට සිදුවෙයි. යහමින් මුදල් ගැවසෙන අයට නම් එහි ගැටලුවක් නැත. එහෙත් දවසේ කුලියට දෛනිකව වැටුප් ලබන අයට මෙය දරා ගැනීමට පුළුවන්කමක් නැත.  


 රජයේ හෝ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියා කරන අයට මාස් පතා වැටුපක් හිමිවෙයි. ඇතැම් අයට මාසිකව සුළු මුදලක් අයකර ගැනීමේ පදනම මත උත්සව අතිකාරමක් ලබා දෙයි. එය ඔවුනට විශාල සහනයකි. නමුත් කුලී වැඩ හෝ දෛනිකව සේවය කරන අයට ඒ පහසුකම නැත. ඒ නිසා මෙවර අවුරුදු සැමරීමේ දී එවැනි පිරිස් දැඩි ලෙස අපහසුතාවට පත්වෙති. ඔවුන්ට ණය මුදලක් හෝ ඉල්ලා ගැනීමට හැකියාවක් නැත. ඔවුන්ගේ සේවය ස්ථිර නොමැති නිසා ණය මුදලක් ලබා ගැනීම ද පහසු කටයුත්තක් නොවේ.  


අවුරුදු කෑම පිළියෙල කිරීමේ දී පොල්තෙල් ගැටලුව  


පසුගිය සිංහල අවුරුද්ද සැමරීමට බාධාවක් වූයේ කොරෝනා වසංගතය පැතිරයාමයි. තවමත් ඒ අවද‌ානම පහව ගොස් නැතත් මෙවරත් අවුරුදු සැමරීමට සිදුවී ඇත්තේ අද‌ාළ සෞඛ්‍ය නීතිරීතිවලට යටත්වයි. ඒ අතරතුර පැනනැගුනු ප්‍රධාන ගැටලුවක් වූයේ පොල්තෙල් ප්‍රශ්නයයි. පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය පොල්තෙල්වලට එකතු වී ඇති බවට පසුගියද‌ා අනාවරණය විය. මෙය ඉතා විශාල බරපතළ තත්ත්වයක් ලෙස සමාජය තුළ කතාබහට ලක්විය. පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු ද නැද්ද යන්න පිළිබඳ ජනතාවට අවබෝධයක් නැත. ඒ සඳහා පරික්ෂණ පැවැත්වීමට ද පාරිභෝගික ජනතාවට හැකියාවක් නැත. ඒ නිසා මෙවර අවුරුදු කෑම වර්ග සැකසීමේ දී ජනතාව කොරෝනාවටත් වඩා භයානක තත්ත්වයකට මුහුණ දී සිටී. ඒ නිසා මෙවර අවුරුදු කෑම සකස් කිරීමේ දී ජනතාවට දෙපාරක් සිතීමට සිදුවී තිබේ.  


 ඇතැම් පිරිස් සිතන්නේ සල්ලි දීලා ලෙඩ හද‌ාගන්නේ මොකටද කියායි. ඒ නිසා අවුරුද්දට ආවේනික කෑම බීම මෙවර අවුරුදු මේසයේ දකින්නට ලැබේද යන්න ප්‍රශ්නයකි. බොහෝ දෙනෙකු එවැනි ආහාර සකස් කරන අයගෙන් මිල දී ගැනීමට තීරණය කළ ද පොල්තෙල් පිළිබඳ පැන නැගුනු ප්‍රශ්නය නිසා ඒවා මිල දී ගන්නේ ද නැද්ද යන්න පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුය. ඒ නිසා බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ සල්ලි දීලා ලෙඩ හද‌ාගන්නවාට වඩා කෑම බීම මිල දී ගැනීම සුදුසු නොවන බවයි.  


පොල්තෙල් නිසා කැවිලි නිෂ්පාදකයන් අමාරුවේ.  


සිංහල අවුරුද්ද ළංවෙන විට බොහෝ දෙනෙකු තම පහසුව තකා අලුත් අවුරුද්දට අවශ්‍ය ඊට ආවේනික වූ කෑම වර්ග වෙළෙඳ පොළෙන් මිල දී ගැනීමට පෙළඹෙති. එම කෑම වර්ග සැකසීම සඳහා වෙනමම පිරිසක් කාලයක සිට සූද‌ානම් වෙයි. එහෙත් මෙවර ඔවුන් ද දැඩි අපහසුතාවකට පත්ව සිටිති. එයට හේතුව වෙළෙඳපොළේ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමයි. එසේ මිල අධික අමුද්‍රව්‍ය ලබාගෙන සකස් කෙරෙන කෑම වර්ග වෙළෙඳපොළේ අලෙවි කිරීමට පුළුවන්කමක් නැත. ඒ සඳහා වැයවෙන මිල හා ලාභයක් ලබාගෙන අලෙවි කළ ද මිල අධික නිසා පාරිභෝගිකයන් ඒවා මිල දී ගන්නේ නැත. ඇතැම් පාරිභෝගිකයන් ප්‍රමිතියෙන් යුත් තෙල් වර්ගවලින් අද‌ාළ ආහාර සකස් කර තිබේද යන්න වෙළෙඳුන්ගෙන් ප්‍රශ්න කරති. එහෙත් එය තහවුරු කිරීමට වෙළෙඳුන් සතුව තාක්ෂණික ක්‍රමවේදයක් නැත. මේ නිසා තමන් එම ව්‍යාපාරයෙන් බැහැර වී සිටින්නට තීරණය කළ බව ඔවුහු සඳහන් කරති. අධික පිරිවැයක් යොද‌ා ආහාර සැකසුව ද ඒවා මිල දී ගැනීමට පාරිභෝගිකයන් පැමිණෙන්නේ නැතිනම් එම නිෂ්පාදන අපතේ යන නිසා ඔවුන් එම ආහාර සැකසීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.  


 දැනට පවතින මෙම තත්ත්වය පිළිබඳව අප පාරිභෝගික කටයුතු සුරැකීමේ නිර්මාතෘ, ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාගෙන් විමසීමක් කළෙමු.  
‘අපි මේ තත්ත්වය දකින්නේ ආණ්ඩුවල තිබෙන වරදක් හැටියට නොවෙයි. මේ ආණ්ඩු බලයට පත්වුණාට පස්සේ ඔවුන්ගෙන් සේවාවක් ලැබෙන මේ රටේ මහජනතාවට ඒ සේවාවන් නිසි ආකාරයෙන් ලැබෙනවා ද ඊට අවශ්‍ය අණපනත්, නීතිරීති මේ කාලයට ඔබිනවද කියලා මේ ආණ්ඩු පසු විපරමක් නොකරපු නිසා තමයි මේ ආහාර පිළිබඳ ගැටලුව මතු වී තිබෙන්නේ.  
මේ ප්‍රශ්නය පිළිබඳ මුලින්ම මම ආපනශාලා හිමියන්ගේ සංගමය හැටියට පෙන්වලා දුන්නා. එද‌ා මේ ප්‍රශ්නයට විසඳුම් සෙව්ව නම් අද මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ පිළිබඳ අපි එද‌ා ඉඳලා පෙන්වලා දුන්නා. නමුත් පාලකයන් අවධානය යොමු කළෙත් නැහැ. අද‌ාළ නිලධාරීන් අවධානය යොමු කළේ නැහැ. ඒ අනුව මෙහි සම්පූර්ණ වගකීම බාර ගන්න ඕනෑ මේ රටේ දේශපාලනඥයින් සහ මේ රටේ නිලධාරීන්. 

 
ආහාර පාන පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණික ආයතනය, ප්‍රමිති ආයතනය තමන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉෂ්ඨ කළා නම් අද මේ තත්ත්වයට අපිට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් පාරිභෝගික අධිකාරිය නිසි ආකාරයෙන් ක්‍රියා කළා නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ. ඔවුන්ට පැවැරිලා තිබෙන වගකීම තමයි වෙළෙඳපළේ ඇති භාණ්ඩවල මිල නියාමනය කිරීම, කල්ඉකුත්වීමේ දින සොයා බැලීම සහ භාණ්ඩවල ප්‍රමිතිය සොයා බැලීම.  


මේ සිංහල අවුරුද්ද කියන්නේ ආදි කාලයේ ඉඳලා අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ ඉඳලා අපේ ජාතියේ ප්‍රෞඪ ඉතිහාසයක විදහාපාන සංස්කෘතික අංගයක්. ලෝකයේ බොහෝ රටවල ජනවාරි පළමුවැනිද‌ා අලුත් අවුරුද්ද ලෙස පිළිගත්තත් අපේ අවුරුද්ද තමයි අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල අලුත් අවුරුද්ද. එකම වෙලාවක කෑම කන්න, ලිප ගිනි මොලවන්න, හිසතෙල් ගාන්න මේ සියලු දේවල් එකම මොහොතක සිද්ධ වෙන්නේ. මේක දුර්ලභ ගණයේ අවස්ථාවක්.  


 මෙවර සිංහල අවුරුද්දේ දී බලපාන ප්‍රධාන කාරණයක් තමයි මේ තෙල් ප්‍රශ්නය. සිංහල අවුරුද්ද ආදරයෙන් වැළඳගෙන ඉන්න සිංහල ජනතාව මේ තෙල් ගැටලුව නිසා අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. මොකද නි​ෙවසක කෑම මේසයක, ඉඳුල් කිරීම ඒ වගේම කිරි උතුරවන්න යන ක්‍රියාවලි හරියට කෙරෙන්න නම් ගෙදරක කැවිලි පෙවිලි ටික හරියට කෙරෙන්න ඕනෑ. මේ කැවිලි පෙවිලි ටික හද‌ාගන්න බැහැ මේ තෙල් ප්‍රශ්නය නිසා අනියත බියක් ඇතිවෙලා තිබෙනවා. එක පාරටම රටේ පොල් තෙල් නිෂ්පාදනය වැඩි කරන්න බැහැ. රටේ පොල්තෙල් දේශීය නිෂ්පාදනය කරන්නේ 30%ක් වගේ ප්‍රමාණයක්. අනිත් සියල්ලම ආනයනික තෙල්. තෙල් ආනයනය නතර කළාට පස්සේ මෙය විශාල ලෙස බලපානවා.  
 එක පැත්තකින් සහල් නැහැ. සිංහල අලුත් අවුරුද්දේ රතු කැකුළු, සුදු කැකුළු වගේම අත්‍යවශ්‍ය වෙනවා කීරි සම්බා සහ සම්බා සහල්. සෑම ගෙදරකම වගේ අමුත්තන්ට සලකන්න එළවළු බතක්, මස් මාළු සමඟ රසවත් වෑංජන සකස් කරනවා. විශේෂයෙන් නිවසට පැමිණෙන අමුත්තන්ට සලකන්න විශේෂ කෑම වේලක් සකස් කරනවා. අපේ සිංහල ජනතාව ඉතා උත්සවශ්‍රීයෙන් සලකන්නේ සිංහල අවුරුද්ද. තමන් අවුරුද්දක් තිස්සේ වෙහෙස මහන්සි වෙලා උපයා ගත්ත ධනයෙන් ඒ වගේම තමන් මහන්සිවෙලා ලබාගත් භව බෝගවලින් අග්‍රඵලය තමන් අදහන ආගම්වලට පූජා කරලා තමන්ගේ දූ දරුවන් එක්ක සතුටින් කාලය ගත කරන්නේ මේ සිංහල අවුරුද්දේ. ඒක සමරන්න අසීරුයි මේ අවුරුද්දේ. මොකද පොල්තෙල් නිසා කැවිලි සෑදීමේ ප්‍රශ්නයක් තිබෙනවා.  
අනික් කාරණය තමයි මෙවර පරණ අවුරුද්ද ගෙවිලා නව අවුරුද්ද බාරගන්න කොට නැකතේ ප්‍රධාන අංගයක් තමයි මුංඇට සහිත කෑම වර්ගයක් සකසා ගැනීම. ‘කිරිබත් සමඟ මුං ඇට මිශ්‍ර ආහාර වර්ගයක් සකසා කොළපාට වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ආහාර පිළියෙල කිරීම මැනවි’ බවයි සඳහන් වෙන්නේ. කොහොමද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක් සකස් කරන්න කියලා අවුරුදු චාරිත්‍රවල සඳහන් කළාට සාද‌ා ගන්නේ? ඒ නිසා මෙවර සිංහල අවුරුද්ද නිසි අංගෝපාංගවලින් සහිත චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන්න හම්බවෙන්නේ නැහැ. දැන් මුංඇට කිලෝග්‍රෑමයක් රුපියල් 1000ක් වෙනවා. සාමාන්‍ය අයෙකුට මධ්‍යම පාන්තිකයෙකුට මේ සිංහල අවුරුද්දේ තිබෙන චරිත්‍ර ඉටුකරන්න හම්බවෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු කාරණා නිසා.  


 මුංඇට ආනයනය කිරීම නවත්වලා තිබෙනවා දේශීය ගොවීන් ආරක්ෂා කරගන්න කියලා. නමුත් ප්‍රමාණවත් තරම් මුංඇට ලංකාවේ නිෂ්පාදනයක් වුණේ නැහැ මේ පාර. එතකොට කොහොමද සිංහල අවුරුද්දේ පළමුවැනි චාරිත්‍රය ඉෂ්ඨ කරන්නේ? කොහොමද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ස‌ාද‌ා ගන්නේ? ඒක විශාල ගැටලුවක්.  


 අනික කුකුල් මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 600 කට අධිකයි. බිත්තරයක විතරක් මිල සුලු වශයෙන් අඩුවෙලා තිබෙනවා. එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒකත් පාරි​භෝගිකයන්ට විශාල ප්‍රශ්නයක්. මේ වෙන විට ජනතාවට සිංහල අලුත් අවුරුද්ද සැමරීමේදී ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙනවා. මේ ආහාර පාන සංස්කෘතිය තුළ අනියත බියක් සමාජය තුළ ඇතිවෙලා තිබෙනවා. මෙන්න මේ තත්ත්වය තුළ තමයි මෙවර අවුරුද්ද අසීරුවෙන් සමරන්න ජනතාවට සිද්ධ වෙන්නේ.  

 

 

 

සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර