ඉගෙන ගත යුතු පාඩම්



ලෝක කුසලානය නිමාවට පත්වූයේ ඉන්දියානුවන් කාලයක් බලාපොරොත්තුවෙන් සිටි ලෝක කුසලානයක් හිමිකර දෙමිනි. දකුණු අප්‍රිකාව එම තරගය ලෙහෙසින් අත්හැරියේ නැත. ඒ නිසා මේ ජයග්‍රහණය ඉන්දියාව 2011 දී ලැබූ එක්දින ලෝක කුසලානය තරම් පහසු එකක් නොවේ. එය ජස්ප්‍රීට් බුම්රා සහ අර්ශ්දීප් සිං ගේ දක්ෂතා පැහැදිලිව පෙන්වූ අවස්ථාවක් විය. මේ නිසාම මේ ජයග්‍රහණය සූර්ය කුමාර්ගේ උඩ පන්දුව ලකුණු හයක් යැයි කියමින් හෝ ලඝු කළ නොහැකිය. දකුණු අප්‍රිකාව පැත්තෙන් බැලූ විට එය අතේ තිබූ දෙයක් කටේ දමා ගන්නට බැරි වූ අවස්ථාවකි. 

පසුගිය සතියේ අප ලෝක කුසලානය ගැන ලියමින් කියූවේ විරාත් කෝලි අවසන් තරගයේ දී ලකුණු අතරට එන බවයි. එය එසේම සිදුවිය. කෝලි, විශිෂ්ටයෙකු ගමනක් අවසන් කරන ආකාරයටම එය කළේය. මෙය සම වෙන්නේ 2014 දී කුමාර් සංගක්කාර තමන්ගේ අවසන් විස්සයි-20 ඉනිම ලෝක කුසලාන ජයග්‍රහණයක් වෙනුවෙන් කැප කළ අවස්ථාවටය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් අවසන් තරගය ක්ලාසන්ගේ දවස වෙනු ඇතැයි අපි විශ්වාස කළෙමු. අප විශ්වාස කළ පරිදිම ක්ලාසන් තවත් හයේ පහර 5 ක් ඉන්දියාවට එරෙහිව ගැසුවේය. එහෙත් අවශ්‍යම මොහොතේ ඔහු දුර්වල පන්දුවකට දැවී ගියේය. ක්ලාසන්ගේ කතාව ‘අවාසනවාට ඇත්ත කතාවක්’ බවට පත්විය. 

මේ සමස්ත තරගයම අපට පෙන්වූයේ තමන්ගේ රටින් පිටදී දක්ෂතාව නොමැති නම් වෙන කුමන බාහිර සාධක තිබුණද ක්‍රිකට් දිනනන්ට බැරි බවයි. එය ලෝකයේ සෑම කණ්ඩායමකටම පොදු තත්ත්වයකි. මේ නිසා තමන්ගේ රටේ දී ලබන ජයග්‍රහණ තමන්ගේ රටේ දී දක්වන දක්ෂතාව මත ක්‍රීඩකයන් තෝරා ගැනීමට වඩා ක්‍රීඩකයන්ගේ හැකියාව ගැන ඇස යොමා ක්‍රීඩකයන් තෝරා ගත යුතු වෙයි. ඒ ගැන අපි එල්.පී.එල් සමග පසුව කතා කරමු. 

මේ ලෝක කුසලානය ක්‍රිකට් පිටියේ දැවැන්තයින් රැසකගේ අවසන් ජාත්‍යන්තර විස්සයි20 තරගාවලිය විය. රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි යන විස්සයි20 පිටියේ දැවැන්තයන් දෙදෙනා ඉන්දියානු කණ්ඩායමෙන් සමුගත්තේය. ඔවුන් දෙදෙනාටම අවශ්‍ය තරම් ආදේශක ඉන්දියාවට සිටියි. ඔවුන් සමග රවීන්ද්‍ර ජඩේජාද ඉවත් විය. ජඩේජාගේ ආදේශකය වන අක්සාර් පටේල් අවසන් තරගයේ දී ඉන්දියාවේ ගමන වෙනස් කරන ඉනිමක් ක්‍රීඩා කළේය. එසේම අත්‍යාවශ්‍ය වේලාවේ කඩුලු ලබා දුන්නේය. මේ නිසා වඩාත් නිදහසේ විස්සයි20 ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා ඉන්දීය ක්‍රීඩකයා ජඩේජාය. මේ තරගාවලියේ මුල්වටයේ දී නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන් සහ ට්‍රෙන්ට් බෝල්ට් ගේ සමුගැනීම අපි දුටුවෙමු. දෙවැනි වටය අවසනයේ දී ඩේවිඩ් වෝනර් තම සමුගැනීම ප්‍රකාශ කළේය. වෝනර් වෙනුවට ෆ්‍රේසර් මැක්-ගෘක් සූදානමින් සිටියි. මේ නිසා වෝනර්ගේ සමුගැනීමද ඔස්ට්‍රේලියාවට ප්‍රශ්නයක් නොවේ. ලෝක කුසලාන තරගාවලිය ඇරඹීමට පෙර එංගලන්තයේ මොයින් අලී කියා සිටියේ ලෝක කුසලානයේ දී දක්ෂතා අතර පැමිණීමට නොහැකි වුවහොත් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමගන්නා බවයි. මොයින් දක්ෂතා අතරට නොපැමිණියද ඔහුගේ සමුගැනීමක් ප්‍රකාශ කර නැත. 

ලෝක කුසලානය එසේ නිමාවෙද්දී එල්.පී.එල් තරගාවලිය ඇරඹුණි. පළමු තරගයේදීම දසුන් ශානක එල්ල කළ පහරවල් දුටු බොහෝ දෙනා ඇසුවේ මේ පහරවල් තිබුණේ කොහෙද කියාය. අපට අමතක අනෙක් කරුණ නම් තරග තිබුණේ කොහෙද? පන්දු යැව්වේ කවුද? යන්නයි. මේ නිසා යළිත් මතක්කරන්නේ දේශීය දක්ෂතා මතම ක්‍රීඩකයින් තෝරා ගැනීම නොව ක්‍රීඩකයන්ගේ හැකියාව දෙස බලා, ඔවුන්ට විවිධ තත්ත්වයන්ට අනුගත වීමට ඇති හැකියාව බලා ක්‍රීඩකයන් තෝරා ගැනීම වැදගත් බවයි. එසේ නොකරන තාක් ප්‍රශ්න ඇතිවෙයි. මේ තරගාවලියෙන් පසුව එන ඉන්දීය තරගාවලියට නම් එල්.පී.එල් දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් එක් කර ගත හැකිය. ඒ ඉන්දියාවට එරෙහි තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන නිසාය. එහෙත් රටින් පිටතට යන විට එම තත්ත්වයන්ට අනුගත වීමට හැකි ක්‍රීඩකයන් සොයා ගෙන සිටිය යුතුය. 


මෙවර තරගාවලියේ දක්නට ඇති සුවිශේෂත්වයක් නම් දඹුල්ල කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස රොෂාන් මහානාම පත්වීමයි. තරාගවලිය ආරම්භයට පෙරම අර්බුදයකට ලක්වූ දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරු තමන්ගේ කණ්ඩායමට වැදුණු නරක නාමය නිවැරදි කර ගැනීමට ගැළපෙනම ජ්‍යෙෂ්ඨයා තෝරාගෙන තිබේ. රොෂාන් මහානාම සිටින තැනක විනය විරෝධී හෝ නීති විරෝධී දෙයක් සිදුවීමට ඉඩ නොමැති බව අප දන්නා දෙයකි. ඒ අනුව මෙය ඉතාම හොඳ තීරණයකි. මේවා හරහා තරගාවලියේ සුදු පැහැය වැඩි කර ගැනීමේ අනගි අවස්ථාවක් තිබේ. 

එල්.පී.එල් මහනුවර වටයේ දී අප දුටු දෙය නම් පිතිකරුවන්ට හිතකර තණතිලි නිර්මාණය වී තිබීමයි. මීට පෙරද අප මේ සම්බන්ධයෙන් කතා කළෙමු. මේ ආකාරයේ බය නැතුව හයේ පහර එල්ල කළ හැකි තණතිලි නිර්මාණය කර ක්‍රීඩකයන්ට හයක් ගසන්නට පුරුද්ද ඇති කළ යුතු බව අපි කීවෙමු. එය පළමු වටයේ දී සෑහෙන සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. මෙය ඉදිරි තරගවලදීත් සිදුවෙනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි.


  • කාංචන දසනායක