ඉදිකටුදෙනිය ගම්මානය යනු අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානයකි. පසුගියදා ඇදහැලුණු මහා වර්ෂාව හේතුවෙන් විශාල ප්‍රදේශයක් නාය ගොස් නිවාස තුනක් විනාශ වී නිවාස 10කට අර්ධ හානි සිදු විය. නිවැසියන් පැවසූයේ ඉකුත් පළමුවැනිදා අලුයම 05 ට පමණ විශාල හඬක් සමග වැදුණු අකුණුසැරෙන් නිවාස මතට පස් කඳු කඩා වැටුණු බවයි.
එසේ විනාශ වී පස් මඩවලින් වැසී ගිය නිවාසවල මඩබරිත සිය පෙළපොත් හා සටහන් පොත් සොයාගෙන දරුවන් ඉතා ආදරයෙන් තුරුළු කරගෙන සිටින දර්ශනය දකින කාගේත් සිත් තෙත් කළේය. මවුපියන් පැවසූයේ මෙවර ශිෂ්‍යත්වය හා සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින දරුදැරියන් මෙම ආපදාව හමුවේ දැඩි සේ අපහසුතාවට පත් වී සිටින බවයි.
ආපදා නිලධාරීන් පැවසූයේ ගම්මානයට ඇති එකම පිවිසුම් මාර්ගයට පස්කදු කඩා වැටී ගමනාගමනය ඇණහිට විදුලි කණු රැහැන් සියල්ලම කඩා වැටී ජනජීවිතයම උඩු යටිකුරු වී තිබෙන බවයි. ගම්මානය උඩුයටිකුරු කරමින් වූ ආපදාව ඇතුළේ ගැබ් වූ කඳුළු කතාව අහන දකින සැම සිත් සංවේගයට පත් කරවයි. මේ කතා සියල්ල අස්සේ ප්‍රදේශවාසීන් මැසිවිලි නගනුයේ මෙතරම් හානියක් වුවත් බලධාරීන් නිහඬ වී සිටින බවයි.
මාග්‍රට් ද සිල්වා |
සංජු වරාගොඩ |
දිලානි ජයවර්ධන |
මාරඹ වැව මැද තොරණ ප්‍රධාන සංවිධායකයකු වූ මොහාන් ජයවර්ධන තරුණයාගේ නිවෙසත් පසුගියදා සම්පූර්ණයෙන්ම පස් කන්දකට යට විය. ඒ කනගාටුදායක අත්දැකීම සම්බන්ධයෙන් විශ්‍රාමික පාසල් ගුරුවරියක වූ ඔහුගේ මව වන ඩබ්.ඒ.මාර්ගට් ද සිල්වා (අවු.67) මෙසේ පැවසූවාය.
‘‘මාරඹ ඉදිකටුදෙනිය වත්ත පාර දෙපස ගෙවල් සේරම ආපදාවට ලක්වුණා. යන්න එන්න පාරක් නෑ. බොන්න වතුර කඳුළක් නෑ. විදුලි කණු කඩන් වැටිලා විදුලියත් නෑ.
අපිට නම් හාල් ඇටයක තරම් වත් දෙයක් තවම ලැබුණේ නෑ. අසල්වාසී දරුවන් තමයි තවමත් අපේ පවුල් සේරගේම කුසගින්න නිවන්නේ. ප්‍රාදේශීය ලේකම්, සහකාර ලේකම්, භූ විද්‍යා හැමෝම ආවා. එයාලා සටහන් දාගෙන ගියා. එයාලා කිව්වා මේ ඔයාලා නිර්මාණය කළ කන්දක් කියලා. අනේ අපි නිර්මාණය කළ කන්දක් මෙතැන නෑ. අපි දන්නේ කන්දක් තියෙන බව විතරයි. තැනිතලා කොටස්වල අපි ගෙවල් හදාගෙන නිර්මාණය කළ ගෙවල් තමයි මේ විනාශවෙලා තියෙන්නේ. අපිට ඉන්න හිටින්න තැනක් නෑ. පොතපත නෑ, නිලඇඳුම් නෑ. සියලුම දේ පස් ගොඩට යටවෙලා. දරුවන් ඉස්කෝලේ යවන්න විදියක් නෑ. මොනවා හරි පිළිසරණක් වෙනවා නම් ඒවා දැන්ම ලැබෙන්න සලස්වන්න. යථාවත් වුණාම ලැබිලා වැඩක් නෑ. මේ වෙලාව තමයි අපිට අමාරුව වෙලාව.”
මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවාටත් නිවාස ආශ්‍රිතව මිනිස් ඇසුරේ සිටින බලු සුරතලුන්ද පීඩාවට පත් වූයේ කිසිදු හිත්පිත් නැති කාලගුණයේ දඬුවමකිනි.
නාය ගිය නිවෙසක හැදුණු වැඩුණු පස් කන්දක් මත සිරවී සිටින ආකාරය සංවේදී දසුනක් විය.
සංජු වරාගොඩ මානගේ (අවු.22) යනු ආපදාවෙන් පූර්ණ හානියට පත් නිවෙසක තරුණයෙකි. සිය නිවෙස වැසී යාමට පෙර තම ජීවිතයත්, මවුපියන් සහ බලු සුරතලුන්ගේ ජීවිත බේරාගත් අයුරු විස්තර කළේ මෙලෙසින්ය.
‘‘පන්ති යන්න එලාම් එක තියලා හතරට නැගිටලා පාඩම් කරන්න හදනකොට පස් වැටෙන ශබ්දයක් ඇසුණා. ගෙදර අයටත් කියලා පස් වැටිච්ච තැන බැලුවා. එකපාරටම මහා පස් කන්දක් කඩා වැටුණා. පස් කන්දෙන් ඉනවටක් යට වුණා. කොහොම හරි දඩි බිඩි ගාලා අත්දෙකේ වාරුවෙන් උඩට ආවා. ගේ ඇතුළට දුවගෙන ගිහින් නිදන් හිටිය අම්මයි තාත්තායි නංගිවයි කළුවරේම එළියට අරගෙන ආවා. ඒ එක්කම මට ගෙදර සත්තු දෙන්නා මතක් වෙලා කරුවලේම ගිහින් බලු සුරතලුන් දෙන්නා ලිහලා එයාලත් අරං පල්ලෙහා ගෙදරකට දිව්වා. ඒ එක්කම දඩාස් ගාලා මහා පස් කන්දක් කඩා වැටිලා මුළු නිවෙසම යටවෙලා ගියා. කොහොම හරි අපේ සියලුම දේ පස් කන්දෙන් වැහුණා.
ප්‍රාදේශීය ලේකම්තුමිය, ගොඩනැගිලි පර්යේෂණ එකේ කට්ටිය ඇවිත් බලලා ගියා. මෙතෙක් කල් කිසිම සහායක් ලැබුණේ නෑ. ගමේ අයගේ පිහිටෙන් උදව්වෙන් කාල බීලා ඉන්නෙ. මේ ඇදන් ඉන්න ඔක්කොම අනුන්ගේ. පොත් පත් සියලුම දේ මඩට යටවෙලා. බලධාරීන්ගෙන් ඉල්ලන්නෙ අපිට සාධාරණයක් කරන්න කියලා.”
නිරෝෂා දිලානි ජයවර්ධන (අවු.42) මහත්මිය සිය අත්දැකීම මෙසේ ගෙනහැර පෑවාය.
‘‘අපි මාරඹ වැව මැද තොරණ බලලා රාත්‍රී 12ට විතර ඇවිත් නිදා ගත්තා. මොහාන් මල්ලි තොරණ කටයුතු ඉවර කරලා ආවා. මල්ලි ආවා ගමන් සාමාන්‍යයෙන් කරන්නේ නාන කාමරයට යාමයි. ඒත් එදා අම්මා කිව්වා රෑට කන්න තිබුණූ කොත්තුව කලා යන්න කියලා. ඒ නිසා මල්ලි නාන කාමරයට නොයා කොත්තුව කෑවා. ඒ ගමන් එයා කෑ ගැහැව්වා ඔන්න පස් වැටෙනවා කියලා. අම්ම තාත්තා ඔක්කොම එළියට දුවනවා එක්කම මහා පස් කන්දක් ඇවිත් මුළු ගේම විනාශ වුණා.”
මේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් මහ දිසාපති ගනේෂ් අමරසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු පැවසූයේ ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ වාර්තාව ලැබුණු වහාම ඉවත්කළ යුතු ඉඩම් හඳුනාගෙන වෙනත් ඉඩම් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ හතරක් ලබාදී නිවෙස ඉදිකර ගැනීමට ලක්ෂ 12ක මුදලක් ලබා දෙන බවයි.
අකුරැස්ස නගරය ඉකුත් 03 වැනිදා මහා ගංවතුරින් යටව තිබියදී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ගැබිනි මවක් ජේසීබී යන්ත්‍රයේ බකට්ටුවෙන් ප්‍රවාහනය කොට ජීවිත දෙකක් බේරාගෙන සිය රැකියාව හා ජීවිතය පවා අවදානමක් ගෙන ඩී.කේ චමින්ද මහතා කළ සත්ක්‍රියාව ප්‍රදේශවාසීන්ගේ ඇගයීමට ලක්විය. මේ සඳහා ප්‍රදේශවාසීන්ගේද නොමද සහායක් ලැබුණු බව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම් ප්‍රභාත් නිමේෂ මහතා පැවසුවේය.
ඒ වගේම ඔහු පැවසූයේ ගම්මානයේ සහන කටයුතු සැලසීම දුෂ්කර වී ඇත්තේ පස්කදුවලින් වැසී ගිය මාර්ගවල ගමනාගමනය අඩාල වීමෙන් බවයි. කිලෝමීටරයක් දුරට අට තැනකින් පස් කඳුවලින් වැසීගොස් තිබිණි. එහෙයින් අමු තේ දලු ප්‍රවාහන ලොරි රථවලටද ගම්මානයට ඇතුළු වීමට නොහැකි වී තිබූ අතර ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ උපදෙස් අනුව ලොරිරථ ගමන් කළ හැකි ප්‍රමාණයට මාර්ගයේ පස් ඉවත් කළ බව ලේකම්වරයා කීය. මේ සඳහා ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරී ශ්‍රීලාල් මදුරංගන, තාක්ෂණ නිලධාරි එන්.ඩී.රණවීර, ආදායම් පරීක්ෂක රුවන් මානවඩු යන මහත්ම මහත්මීන් සහාය දැක්වූ බවද ලේකම්වරයා පැවසුවේය. ඒ වගේම මාර්ගය හරහා කඩා වැටී තිබූ විශාල ගස්ද විදුලි බල මණ්ඩලයේ සහයෝගයෙන් කපා ඉවත් කළ බවත් ප්‍රභාත් නිමේෂ ලේකම්වරයා වැඩිදුරටත් කීය.
- අකුරැස්ස ප්‍රියන්ත දසනායක