දිගට හරහට දහඩිය දමන්න හේතු වූ උණුසුම් කාලගුණය අවසන් කරමින්, තොරතෝංචියක් නැතිව මහ වැසි ඇදහැළුණි. මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලුණේ තද සුළං ද සමගය. ගංගා පිරී පිටාර ගලන්නට විය. අයහපත් කාලගුණයෙන් රටේ සෑම දිස්ත්‍රික්කයකටම බලපෑම් එල්ල විය. ජල ගැලීම් සහ නායයෑම් දසතින් වාර්තා විය. නගර ජලයෙන් යටවූයේ ජනතාවට උන්හිටි තැන් අහිමි කරමිනි. ගස් කඩා වැටුණි. විදුලි බල සැපයුම් ඇණහිට තිබිණි. අයහපත් කාලගුණය ජීවිත 21 ක් බිලිගත් බව ද පැවසිණි.
ප්‍රචණ්ඩකාරී විපරිත කාලගුණ තත්ත්වයකින් ශ්‍රී ලංකාවේ අප බැට කෑවේ හිටිහැටියේය. අනපේක්ෂිත ආකාරයටය. මෙම වසරේ මේ දක්වා ලොව නන්දෙසින් විපරීත මෙන්ම ප්‍රචණ්ඩ කාලගුණ තත්ත්වයන් නිර්මාණය විය. එහි අයහපත් කාලගුණ තත්ත්වයන් සහ ජන ජීවිතයට එල්ල වුණු බලපෑම් සම්බන්ධයෙන් අසන්න ලැබුණේ අසුබ පුවත්ය.
ආසියාවේත්, අප්‍රිකාවේත් රටවල් බොහොමයකට මහ වැසි ඇදහැලෙද්දී, තවත් රටවලට දැඩි උණුසුම් කාලගුණයකින් බැට කන්නට සිදු විය. අපට මහ වැසි ඇදහැලෙද්දී, ඉන්දියාවේ උතුරු සහ මධ්‍යම ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 සිට 50 තෙක් ඉහළ ගියේ ජීවිත රැසක් බිලිගනිමිනි. අධික උණුසුම් කාලගුණය, ලොව විශාලතම මැතිවරණ ක්‍රියාදාමය වූ අදියර 7 ක් යටතේ දින 44 ක් පුරා පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයට ද බාධා කළේය. මීට පෙර අවසන් වරට මහ මැතිවරණයක් පැවැත්වූයේ 2019 වසරේදීය. මෙම වසරේ අධික උණුසුම හේතුවෙන් ඡන්දපොළට රැස්වී පෝලිම් ගැසුණු ඡන්දදායකයන් ගණන 2019 වසරට වඩා අඩු අගයක් ගත්තේය.
මැතිවරණය නිමාවට පත්වෙද්දී, ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරි කරමින් සිටි මැතිවරණ නිලධාරීහු තිස් තුන් දෙනෙක් අධික උණුසුම දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් වූහ. දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් මියගිය සමස්ත ඉන්දියානුවන් ගණන 58 කි. මරණ වාර්තා වූයේ උත්තර ප්‍රදේශ්, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, ඔඩීෂා යන ප්‍රාන්තවලිනි. ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයට දින ගණනක් එක දිගට මහ වැසි ඇදහැලෙන්නට ගත්තේය. සෑම ප්‍රාන්තයක්ම පාහේ ජලයෙන් යටවිය. පැපුවානිව්ගිනියා දූපත් රාජ්‍යයේ උතුරුදිග පළාත්වලට නොකඩවා වැසි ඇදහැලීමත් සමග නිවාස සිය ගණනකින් සමන්විත ගම්මාන රැසක් මුළුමනින්ම පස්වලින් යටවූයේ 700 කට වැඩි පිරිසක් බිලි ගනිමිනි. පස් යට පණපිටින් වැළලුණු බොහෝ දෙනෙකුගේ මළසිරුරු පවා සොයාගැනීමට හැකි වූයේ නැත. ඒ අතර බෙංගාල බොක්කේ වර්ධනය වූ බිහිසුණු ප්‍රචණ්ඩ කුණාටුව ‘විරෙමාල්’ බංග්ලාදේශය සහ ඉන්දියාවේ වෙරළ තීරයට කඩාවැදුණේ පැයට කිලෝ මීටර් 135 කට වැඩි වේගයකිනි. එයින් මිලියන දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත්වූහ.
අන් කවරදාටත් වඩා, මෙම 2024 වසරේ ජනවාරියේ සිට මේ දක්වා කාලයේ ප්‍රචණ්ඩකාරී, විපරිත අසාමාන්‍ය කාලගුණ තත්ත්වයන්ට ලෝකවාසීන් මුහුණ දුන් බවත්, ඉදිරි මාසවලදී තව තවත් විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වනු ඇති බවත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවා තිබේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මෙසේ අනතුරු අඟවා ඇත්තේ, කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ඔවුන්ට ලැබුණු දත්ත මත පදනම්වය.
“සෑම වසරකම වාගේ ලෝකවාසීන් අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් බැට කෑම සාමාන්‍යයි. ඒත් 2024 වසර තරමක් අසාමාන්‍යයි. කුමක් හෝ වෙනස්වීමක් සිදුවී ඇති බව පැහැදිලියි.” යැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ විද්‍යාඥ, අල්වාරෝ සිල්වා පවසයි.
ගල් අඟුරු, තෙල් සහ වායු දහනය කිරීමෙන් ඇතිවන හරිතාගාර විමෝචනය, ගෝලීය උණුසුම ඉහළ යෑම සහ විපරීත කාලගුණ තත්ත්වයන් හටගැනීම වැඩි කිරීමට හේතුවක් බව අල්වාරෝ සිල්වා ඇතුළු විද්‍යාඥයන්ගේ අදහසය. පසුගිය 2023 වසරට වඩා මෙම වසරේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යනු ඇති බවටත්, ඉදිරි වසරවලදී එය තව තවත් ඉහළ යනු ඇති බවටත් විද්‍යාඥයෝ බිය පළකරති.
උණුසුම වැඩිවෙද්දී, වාෂ්පීකරණ ක්‍රියාවලිය වැඩිවෙයි. වැඩි වැඩියෙන් ජල වාෂ්ප වායුගෝලයට ඇතුළු වෙයි. මේ නිසා සමහර ප්‍රදේශවලට තීව්‍ර වර්ෂාපතනයක් ලැබෙයි. ජල ගැලීම් ඇති වෙයි. ශ්‍රී ලංකාවේ අප මුහුණ දුන්නේ මෙවැනි තත්ත්වයකටය. ඒ හා සමානව, ඇතැම් ප්‍රදේශවලට නියං තත්ත්වයක් ද නිර්මාණය වෙයි.
කාලගුණය විපරීත වන්නේ, එය අසාමාන්‍ය ස්වරූපයක් ගනිද්දීය. උණුසුම් සාගර උෂ්ණත්වය, දේශගුණික රටා තීව්‍ර කරන අතර සමස්ත උෂ්ණත්වය ඉහළ යාම නිතර නිතර තාප තරංග ඇති කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස පෘථිවිය පුරා අසාමාන්‍ය කාලගුණ තත්ත්වයන් දැකිය හැකිය. “අප දිගින් දිගටම පමණ ඉක්මවා පොසිල ඉන්ධන දහනය කරන තාක් කල්, වායුගෝලයේ හරිතාගාර වායුවල සාන්ද්‍රණය වැඩි කරන තාක් කල්, මෙම තාප තරංග වඩාත් දරුණු වන අතර ඒවා පවතින්නා වූ කාලසීමාව ද වැඩි වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ” යැයි විද්‍යාඥ අල්වාරෝ සිල්වා වැඩිදුරටත් කියා සිටී. විපරීත කාලගුණය තත්ත්වයන් ලෝකයට අලුත් දෙයක්ද? මෙම පැනයට පිළිතුර ඔව් සහ නැහැ යන්නය. කාර්මික විප්ලවයට පෙරත්, ඉවක් බවක් නොමැතිව පොසිල ඉන්ධන දහනයට පෙරත්, බිහිසුණු ආකාරයේ කාලගුණ පෙරළි සිදුවිය. ඒ, සොබාදහමට අවනත නොවන කිසිවක් ලොවේ නැතැයි යන්න පසක් කරමිනි.
එහෙත් අද වන විට කාලගුණ සහ දේශගුණ විපර්යාස හේතුවෙන් වැඩි වැඩියෙන් විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින බව විද්‍යාඥ අල්වාරෝ සිල්වා පෙන්වා දෙයි. “1990 දශකයට පෙර, වසරකට විනාශකාරී කාලගුණ පෙරළි හෝ කාලගුණ වෙනස්වීම් සිදුවූයේ 70 ක් හෝ 150 ක් පමණ ප්‍රමාණයක්. ඒත් වසර 2000 න් පසු වාර්ෂිකව විපරිත කාලගුණ පෙරළි 300 කට වඩා වැඩි ගණනක් නිර්මාණය වී තිබෙනවා.
ගෝලීය උණුසුම ඉහළ යෑම ඊට හේතුවක් බව අපට පැහැදිලිව පෙනීයනවා.” යැයි අල්වාරෝ සිල්වා කියයි. පෘථිවිය මතුපිට උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යෑම ගෝලීය උණුසුම ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. සූර්ය විකිරණ වායුගෝලය මතට වැටී එය පෘථිවි තලය දක්වා පැමිණ ඉන් කොටසක් අවශෝෂණය කරන අතර ඉතිරි කොටස පරාවර්තනය කරයි. එහෙත් ඉහළ වායුගෝලයේ ඇති වළා වැස්ම පෘථිවි තලයට පැමිණෙන කෙටි තරංග අවශෝෂණය වී දිගු තරංග ලෙස පිටකර හැරීම අවහිර කරයි. පිටතට විකිරණය වී නොයන මේ තාප ශක්තිය වායුගෝලය තුළම පැවතීම නිසා එහි උෂ්ණත්වය වැඩි වෙයි. මිනිස් කටයුතු මගින් වායුගෝලයට එක් කළ ක්ලෝරො ෆ්ලෝරො කාබන් ප්‍රමාණය ද ඕසෝන් ස්ථරය විනාශ කර ඇත. එය පාරජම්බුල කිරණ පෘථිවි ගෝලය කරා පැමිණීමටත්, එහි උෂ්ණත්වය වැඩි කිරීමටත් බලපා ඇත.
එමෙන්ම වායුගෝලයේ වැඩියෙන් ඇති කාබන්ඩයොක්සයිඩ්, නයිට්රස් ඔක්සයිඩ්, මීතේන් වැනි වායු වර්ග හා හයිඩ්රජන්වල විවිධ ඔක්සයිඩ් වර්ග අධෝරක්ත කිරණ අවශෝෂණය කරයි. මින් වායුගෝලය වැඩි වැඩියෙන් තාපවත් වේ.
ජගත් දේශගුණ විපර්යාස කමිටුව පැහැදිලි කර ඇති ආකාරයට, වසර 1900 සිට 2100 දක්වා කාලය තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.4 සිට 5.8 දක්වා වැඩිවෙයි. ඒ හා සාපේක්ෂව, ඉදිරියේ දී අපට තව තවත් තීව්‍ර, බිහිසුණු හා ප්‍රචණ්ඩ කාලගුණ පෙරළි සමග පෙරළි කිරීමට සිදුවනු ඇත.
විදෙස් මාධ්‍ය ඇසුරිනි.
- ලුසිත ජයමාන්න